
මට වැරදුණොත් මම කාටවත් දොස් කියන්නෙ නෑ
පැදුරෙ ඉන්න මට ආයෙ වැටෙන්න තැනක් නෑ
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ. පළමු විවාහයෙන් දික්කසාද වුණාට පස්සේ බොහෝ දෙනෙක් ඔහු ගැන කතා කරන්න පටන් ගත්තා. පළමු විවාහයෙන් දික්කසාද වුණා ට පස්සෙ වැඩි කාලයක් යන්නත් කලින්ම ඔහු නැවත විවාහ වුණා . ඇයත් එක්ක කල් ගෙවන ඔහු ඒ ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු කිවුවේ මෙහෙමයි.
හර්ෂණ කාලෙකින් නිර්මාණවල දැක්කේ නැහැ ..?
විවාහ වුණේ අවුරුදු එකහමාරකට කලින්. ටික දවසකට කලින් තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්න පටන් ගත්තේ. නිධානය චිත්‍රපටය ඇසුරෙන් රන්තලිය කියලා නාට්‍යකට ආරාධනා ලැබුණා. තව ජානු කියලා නිර්මාණයකට සම්බන්ධ වුණා. දැන් එහි රූගත කිරීම් පටන් ගත්තා. ඒ ඇරෙන්න විකාශය වෙන්නේ සඳ හැංගිලා නාට්‍ය විතරයි.
ඔබේ දෙවැනි විවාහය කා අතරත් කතාබහ ට ලක් වූ නිසාද හැංගිලා හිටියේ..?
විවාහයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි . එක දිගට ලැබුණු චරිත එකම වගේ. රඟපාන්න දෙයක් නැහැ. ඒ නිසා පැත්තකට වෙලා පවුල් ජීවිතය ගත කළා. ඇත්තටම දුකක් තිබ්බා හොඳ චරිත නොලැබීම ගැන . අධ්‍යක්ෂවරු මාව කොටු කරා. දැන් නම් ඒකාකාරි චරිතවලින් මිදිලා හොඳ චරිත ලැබිලා තියෙනවා
මුහුණ නොදැක තියෙද්දි ප්‍රේක්ෂකයින්ට පවා අමතක වෙන්න පුළුවන් නේ..?
එහෙම වෙන්න පුළුවන්. ඒත් එහෙම වුණා කියලා එකම විදිහක චරිත බාර ගන්න බැහැ නේ. පහුගිය කාලේ පාරේ තොටේ බැහැලා ගියත් ඇයි පේන්න නැත්තේ, අලුත් නිර්මාණ නැද්ද කියලා අහන ප්‍රේක්ෂකයන් ඒ අතර හිටියා.
එතකොට ආර්ථික ප්‍රශ්න..?
ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා එයින් හම්බ කරලා කාලා බීලා ජීවත් වෙන්න ඕන නැහැ මට. මම කලාව කරන්නේ ඒකට තියෙන දැඩි කැමැත්ත නිසා. ඒ කැමැත්තත් දැන් අඩු වෙලා යනවා වගේ දැනෙනවා.
මම හරිම සරල මනුස්සයෙක්. තියෙන දෙයක් කාලා නිදහසේ ඉන්නයි මට ඕන. සරල ජීවිතයක් ගත කරද්දී ලොකුවට සල්ලි ඕන නැහැ. පැදුරේ ඉන්න මට ආයේ වැටෙන්න තැනක් නැහැ . ජීවත් වෙන්න ලොකු ගෙවල් වාහන ඕන නැහැ. හැමදාම ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නත් බැහැ . ඒ නිසා සරල විදිහට හිතලා ජීවත් වෙනවා. ඒක සිම්පල් දෙයක්.
ඔබ එහෙම කිවුවට බිරියට හීන ඇතිනේ..?
තියෙන දේවල්වලින් සෑහිමකට පත් වෙන කෙනෙක් තමයි මට ලැබිලා තියෙන්නේ. ඇය අරුණි නදිශානි. එයාටත් ලොකු දෙවල් වැඩක් නැහැ . ඒ හැමදේකටම වඩා සැනසීම වටිනවා කියලයි එයත් හිතන්නේ.
ඒ කියන්නේ කිසිම කරදරයක් නැති බිරියක් ඔබට ඉන්නේ..?
ඇත්තටම ඔව්. තේරුම් ගැනීම තමයි පවුල් ජීවිතයක් ලස්සන කරන්නේ. ඒ වගේම ජීවත් වෙන්න පහසුයි. උදේට රූගත කිරීම්වලට යද්දී කෑම හදලා දෙනවා. මගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ හදලා දෙනවා.
ඒ කියන්නේ කලින් කසාදේ වැරදුණේ නිළියක් බැන්ද නිසා, පසුතැවීමෙන්ද ඔබ ඉන්නේ..?
හැමදාම මගේ ජීවිතේ තීරණ ගත්තේ මම. වැරදුණොත් කාටවත් දොස් කියන්නේ නැහැ. මොකද මගේනේ තීරණය .
අනිත් එක. ජොබ් කරන බිරින්දෑවරුන්ගේ කුස්සිය බලන්න. හරි අපිළිවෙළයි. කැතයි. ජීවිතෙත් සමබර නැහැ. නමුත් ගෙදර යද්දී උදේ වගේම හවසත් ලස්සනයි. සුවඳයි. එහෙම ගෙයක් වෙන්න නම් බිරිය ගෙදර ඉන්න ඕන. මේ ජීවිතය ගැන මම දැන් ඉන්නේ සතුටින්. දික්කසාද වුණ නිසානේ ඒ අත්දැකීමත් ගත්තේ. කිසිම දුකක් කලකිරීමක් නැහැ