
පාසල් දරුවන්ට උදෑසන 9 සිට පස්වරු 2 දක්වා විශේෂ කාලයක්
7 වැනි මහලේ පිහිටි නැරඹුම් පෙදෙස දැන් ජනතාවට විවෘතයි
මා දසත සිසාරා බැලුවෙමි. ළඟ ළඟම පෙනෙන්නේ බේරේ වැවය. ඊටත් එහායින් කඳු යායක් මෙන් උස ගොඩනැගිලි සමුහයකි. මගේ දෑස් මට අදහාගත නොහැකි සේය. මා සිටින්නේ මීටර් 300ක් පමණ උස් ස්ථානයකය. ඒ දැනට අපේ රටේ ඉදිකරන ලද ගොඩනැගිලි අතර වන උසම ස්ථානයයි. ඒ කොළඹ නෙළුම් කුලුනයි.
‘නෙළුම් කුලුන‘ මේ දිනවල කාගේත් කතා බහට ලක්වන මාතෘකාවකි. වසර ගණනක් තිස්සේ ඉදිවෙමින් තිබූ මෙහි වැඩ කටයුතු දැන් බොහෝ දුරට අවසන්ය. ඉකුත් දා එනම් සැප්තැම්බර් 15 දා ජනතාව සඳහා විවෘත වූ මේ කුලුනේ ඇතුළත සංචාරය කිරීමට මට ද අවස්ථාව හිමි විය.
දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන මෙම කුලුනේ උස මීටර 350කි. සැප්තැම්බර් 15 වැනිදා සිට ජනතා නැරඹුමට නතුවූ මෙය නුදුරේදීම ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා විවර වන්නේ ඩොලර් ඉපයීමේ මඟක් නිර්මාණය කරමිනි. මෙහි මුළු ඇස්තමේන්තුව ඩොලර් මිලියන 104.3 කි. විදුලි සංදේශ කොමිෂන් සභාව යටතේ පවතින මෙය සියලු පහසුකම් සහිතව නුදුරේදීම ව්‍යාපාර ක්ෂේත්‍රයට විවර වන්නේ විදේශ විනිමය ඉපයීමේ මඟක් ලෙසිනි. එය අදියර තුනකින් සමන්විතය. පළමු අදියර ලෙස සැප්තැම්බර් 15 සිට 7 වැනි මහලේ පිහිටි නැරඹුම් පෙදෙස ජනතාවට විවෘත ය.
සතියේ දිනවල දහවල් 2 සිට රාත්‍රී 10 දක්වා ද සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 11 දක්වා ද නැරඹුම් කාලය වෙන් කෙරෙන්නේ මහජනයාගේ පහසුව සඳහාය.
මහල් 9කින් සමන්විත නෙළුම් කුලුනේ මහල් 7ක් සඳහා දැනටමත් සැලසුම් සකස් කොට ඇත. පළමු අදියරේදී රු.500 සහ රු.2000 වටිනාකමින් යුතු ටිකට් පත් ලබා ගැනීමෙන් පියවි නෙත් මානයට හසුවන දෑ දැකගැනීමට ඔබට හැකිය. රු.500 ටිකට් පත මඟ පෙන්වන්නෙක් සමඟ කණ්ඩායම් වශයෙන් ගෙන යන අතර රු. 2000 සඳහා තනිව ඉහළට යෑමේ වරප්‍රසාදය හිමිවේ. පැය භාගයක් රැඳී සිටිමින් නැරඹුම් පරිශ්‍රයේ සිට කොළඹ නගරයම ඔබ නෙත් මානයට ගෙන සිහිවටනයක් සේ ඡායාරූපයට හසු කරගැනීම හෝ වීඩියෝ කරගැනීමට ඔබට කිසිදු බාධාවක් නැත.
ඔක්තෝබර් පළමුවැනිදා සිට පාසල් ළමුන් සඳහා ද ප්‍රදර්ශනය කිරීමට පාලනාධිකාරිය කැමැත්තෙන් සිටී. මූලික දැනුම්දීමකින් පසු පාසල් වශයෙන් පැමිණිය යුතු අතර ඒ සඳහා උදෑසන 9 සිට පස්වරු 2 දක්වා විශේෂ කාලයක් ලබාදීමට කටයුතු කර ඇත. විශේෂ වරප්‍රසාදයක් ලෙස ළමුන් සඳහා රු. 200 ටිකක් පතක් නිකුත් කිරීමට ද කටයුතු කොට ඇත. විදේශිකයන් සඳහා ඩොලර් 20 ක මුදලක් අය කෙරෙන්නේ සංචාරක ආකර්ෂණයට ලක්වීම ප්‍රබල ආදායම් මඟක් නිසාය. නැරඹුම් ස්ථානයට පිවිසීම මෙන්ම විනෝදාස්වාදය සඳහා සැකසුණු වැඩසටහන්වලට සහභාගි වීමේ අවස්ථාව ද මෙහිදි ඔබට හිමිවේ.
දෙවැනි අදියර ලෙස QR කේතයක් හඳුන්වා දීම සිදුවේ. එහිදී ඩිජිටල් බෑන්කින් සේවාව, වෙළෙඳසල් ඇතුළු විවිධ සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. තෙවැනි අදියරේදී නව තාක්ෂණික අත්දැකීමක් විඳගැනීමේ 9D සිනමා පහසුකම මෙන්ම කැරකෙන අවන්හලේ රසය විඳගත හැකිය. එළැඹෙන මාර්තු මාසයේ එම සැලසුම ක්‍රියාත්මක වේ.
මහල් නවයකින් ගොඩනැඟුණු මෙහි දැනට පරිහරණයට ගැනෙන්නේ මහල් 7ක් පමණි. තට්ටු 2කින් සමන්විත බිම් මහල 1500 දෙනෙකුට ආහාර සැකසිය හැකි මුළුතැන්ගෙය මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා ද සැකසූවකි. දෙවැනි මහල සම්මන්ත්‍රණශාලා සහිත රැකියා ස්ථාන සඳහාය. අහස නැරඹුම් පෙදෙසක් වීමද එහි විශේෂත්වයකි. තුන්වැනි මහල 400 පිරිසක් සහභාගී විය හැකි උත්සව ශාලාවකි. සිවුවැනි මහලේ ද එවැන්නකි.
පස්වැනි මහලේ 300ක පිරිසකට සේවය සැලසිය හැකි කැරකෙන අවන්හලකි. එය අපූරු අත්දැකීමකි. ඔබ කැමැති නම් කෝපි කෝප්පයක් බොන ගමන් විනාඩි 90ක් කොළඹ වටේ රවුමක් යෑමේ භාග්‍ය ඔබට උදාවෙයි. එමෙන්ම හයවැනි මහල අධිසුඛෝපභෝගී නිවාස 6කින් සැදුම් ලද්දකි. හත්වැනි මහල ඔබ සඳහාම විවෘත 150 දෙනෙකුට එකවර නැරඹිය හැකි නැරඹුම් පෙදෙසයි.
නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොට ගෙන සැකසූ විදුලි සෝපාන 8ක් මේ වනවිටත් ක්‍රියාත්මකය. තත්පර 49ක් තුළ තට්ටු 29 ගමන් කිරීමේ හැකියාව සහිත ලංකාවේ වේගවත්ම විදුලි සෝපාන තුන මෙහි තිබීම මෙම කුලුනේ තවත් විශේෂත්වයකි.
නව තාක්ෂණය හා විනෝදාස්වාදයෙන් පිරි මෙම
පරිශ්‍රයේදී සජීවී සංගීත ප්‍රසංගවල මිහිරියාව මෙන්ම ගුවනේ සිට පැනීම, ගුවනේ ඇවිදීම වැනි ත්‍රාසජනක ක්‍රීඩාවල අත්දැකීම් ලැබීමට නොබෝ දිනකින් ඔබට හැකිය. අලංකාරය පිණිස බිම් මහලේ මීටර 30ක් තරම් උසකට විහිද යන ජල කිරණ පද්ධතියකි.
මෙහිදි දුටු දේ අපට ඔබට විස්තර කරන්නට හැකිය. නමුදු ඒ අත්දැකීම ඔබ විඳින්නට නම් එහි යායුතුමය. ඒ ගමන ඔබට සොඳුරු අත්දැකීමක් වනු නොඅනුමානය. එමෙන්ම එය රටේ ආර්ථිකයට ද ශක්තියක් වනු ඇත.