2022 පාඨක දෝතට පිරිනැමෙන පොත් | සිළුමිණ

2022 පාඨක දෝතට පිරිනැමෙන පොත්

ප්‍රේමයේ දරාගැනීම පසක් කරන නවකතාවක්

කෘතියේ නම-ඉසිදාසි 
කර්තෘ-සුරේකා නිල්මිණි ඉලංකෝන් 
කර්තෘ ප්‍රකාශනයකි 
මිල - 950/= පිටු ගණන -192 
විමසීම්-0777 204 836

මාධ්‍යවේදිනි සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් රචිත අලුත්ම නවකතාව ‘ඉසිදාසි’ කතෘ ප්‍රකාශකයක් ලෙස ඉකුත් 14 වැනිදා නිකුත් විය. මෙය කතුවරිය විසින් රචිත 15 වැනි නවකතාව වන අතර, ප්‍රේමය සහ විවාහ ජීවිතයේ බැඳීම් පවත්වාගෙන යෑමේදී ගැහැනු සහ පිරිමි කටයුතු කරන විවිධාකාර ස්වභාව පිළිබඳ මේ නවකතාවෙන් සියුම්ව විවරණය වේ.

ප්‍රේමය සහ බැඳීම් සිය ජීවිතයම කරගත් පිරිමි සහ ගැහැනුන් මෙන්ම ඊට හාත්පසින්ම වෙනස් ගැහැනු සහ පිරිමින් ද සමාජයේ වේ. එය එකිනෙකාගේ මානසික ස්වභාව අනුව තීරණය වන අතර, විවිධ සමාජීය සාධක ද ඊට ඉවහල් වේ. ගැහැනිය ප්‍රේමය සහ බැඳීම් පවත්වාගෙන යන ආකාරයත් ඊට අනුගත වන ආකාර‍යත් මේ මඟින් ඉස්මතු කිරීමට කතුවරිය උත්සාහ දරා ඇත.

සුරේකාගේ බස නිරවුල්ය; සරලය; සුගමය. ඈ නවකතා සඳහා වස්තුබීජ සපයා ගන්නේ තමා අවට සමාජයෙනි. ඒ සමාජයේ ජීවත් වෙන අනේක විධ මිනිසුන්ගේ චර්යා රටා ගැන ඈ විමසිලිමත් ය. ඒවා සිය නවකතා සඳහා ඈ පාදක කරගන්නේ පරිකල්පනය හා මුසු කරමිනි. සම්මානනීය පුවත්පත් කලාවේදිනියක ලෙස ඇය සමාජය වෙත හෙළන විමසුම් සහගත අවධානය නවකතාකරණයේදී කලාත්මක ලෙස භාවිත කරන්නට ඇයට ඇති හැකියාව මනරම් ය. ආදරය, විරහව වැනි පොදු ධර්මතා ඕනෑම කෙනකුට පොදු අත්දැකීම් වුවත් ඇය ඒ සංවේදනා වෙත හෙළන දයාර්ද්‍ර බව විසින් නවකතාවට අපූරු ආලෝකයක් එක් කර තිබේ.


සාහිත්‍ය මාසය වෙනුවෙන් ගුලිගෙන් පොත් 3ක්

කෘතහස්ත පුවත්පත් කතුවරයකු සහ ගත්කතුවරයකු වූ දිවංගත දිවලකඩ ගුණදාස ලියනගේ සූරින් විසින් රචිත කෘති 3ක් සාහිත්‍ය මාසය වෙනුවෙන් නැවත මුද්‍රණයෙන් නිකුත් වේ.

ඒ කෘති තුන වන්නේ දෝන කමලාවතී, මුළුහදින් මම ඇයට පෙම්කොට සහ තෙවැනි සිල්පදය නොකඩමි ග්‍රන්ථයන්ය.

චීන මහාචාර්ය තෙං නියන් විසින් චීන භාෂාවට පරිවර්තනය කළ තෙවැනි සිල්පදය නොකඩමි නවකතාව මෙරට සංඝ සමාජයේ සැබෑ පැතිකඩක් ගැන කරන හෙළිදරව්වකි. රැකිය යුතු සියලුම ශීලයන් රැකගෙන පන්සලත් ශාසනයත් වෙනුවෙන් අවංකවම වෙහෙසෙන සුපේෂල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන්ට පසඟ පිහිටුවා වැඳ වැටෙමින් තෙවැනි සිල්පදය නොකඩමි නවකතාවෙන් කතුවරයා පාඨකයාට ඉදිරිපත් කොට ඇත.

මුළු හදින් මම ඇයට පෙම්කොට නවකතාව ගුණදාස ලියනගේ විසින් රචිත පළමු නවකතාවයි. මෙරට පාඨකයන් අතර අමරණීය ප්‍රේම කතාව ලෙස නම් දරා ඇති මේ නවකතාව මුලින්ම නිකුත් වූ 1968 වසරේදී මුද්‍රණ වාර 3ක් නිකුත් වී ඇති අතර ඔහුගේ වැඩිම වාර සංඛ්‍යාවක් නැවත මුද්‍රණය වී ඇති කෘතිය වන්නේ ද මේ නවකතාවයි. දෝන කමලාවතී නවකතාව මෙරට ගුවන්විදුලිය ගැන බයිබලයක් බව 1977 ගුවන්විදුලි කොමිෂන් වාර්තාවේද සඳහන් කර ඇත. වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නන්ට මාධ්‍ය ක්ෂේත්‍ර යේ ඇතුළාන්තය කදිමට විග්‍රහ කළ කෘතියක් වශයෙන්ද ප්‍රකටය.

ගුණදාස ලියනගේ සූරින් විසින් රචිත මෙම කෘති තුන ඇතුළු ඔහුගේ අනෙකුත් කෘති ද නලින් ප්‍රකාශන වන අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටියෙන් මිලදී ගත හැකිය.

විමසීම්- -712 541806, 0722 892726


නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලා ගැන කියන සරත් අමරකෝන්

කෘතියේ නම-නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලා 
කර්තෘ-සරත් අමරකෝන් 
ප්‍රකාශක-සරසවි ප්‍රකාශකයෝ 
මිල - 650/= පිටු ගණන -224 
විමසීම්-0717 295 815

හතළිස් දෙවසරක වෘත්තීය පළපුරුද්දෙන් සහ අත්දැකීම්වලින් සන්නද්ධ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සරත් අමරකෝන් විසින් රචිත දෙවැනි කෘතිය මෙයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතක සිවු මසක් පුරා සැරිසරමින් දුටු,නොදුටු, කළ නොකළ දෑ පිළිබඳ සුන්දර මෙන්ම අසුන්දර අත්දැකීම් සමුදායක සංක්ෂිප්තයක් ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. කතුවරයාගේම බසින් කියතොත් “මෙම ලියවිල්ල මීට වසර කිහිපයකට පෙර ලොව සුපිරිම රටේ කරක් ගහපු ගමේ කොල්ලකුගේ කතාව”කි. එහෙත් එය හුදු භූගෝලීය සහ සංස්කෘතික තොරතුරු ඇසුරෙන් ලැබූ සෞන්දර්යාත්මක වින්දනය පමණක් අඩංගු විය යුතුය යන මතයෙන් ඔබ්බට ගොස්, සංසන්දනාත්මක විපරමක් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරන කතුවරයාගේ අදහසයි.

හතළිස් වසරක් පුරා රජයේ හා පෞද්ගලික පත්තර කන්තෝරු දෙකක පිරිස් හා පරිපාලනමය රාජකාරී කටයුතුවල නියැළී සිටි සරත් අමරකෝන් පරිපාලක තනතුර උරචක්‍රමාලයක් කර නොගත් සෞන්දර්යාත්මක චාරිකාවක නියැළුණු අයකු බවට මේ කෘතිය කදිම නිදසුනකි. ළාබාල වයසේ සිටම කියවීම සහ ලිවීමට නැඹුරු වූ කතුවරයා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ මෙරට පත්තර මහගෙදර, ලේක්හවුස් ආයතනයේ පිරිස් හා පරිපාලන කළමනාකරු ලෙසටය. තනතුරේ වගකීම් මනාව ඉටුකරමින් එහි ගරුත්වය ද සුරැකි ඔහු, පත්තර මහගෙදර පත්තර පිටු අතරින් හඳුනාගත් පළපුරුදු මාධ්‍යවේදීන්ගේ සහෘදයකු වෙමින් ලේඛන කලාවෙන් ජීවය ලබන්නේ ‘සිළුමිණ’ පුවත්පතට ලියූ ලිපියකිනි. පත්තර මහගෙදරින් ලද ජීව ශක්තිය වඩාත් ඵලදායි ලෙස ඉදිරියට ගෙනයමින් තවත් පුවපත්පත් කිහිපයකටම විටින් විට ලිපි ගණනාවක් රචනා කිරීමෙන් නොනැවතී, ‘නොනවතින දඩයම’ නමින් කෘතියක් ද ප්‍රකාශයට පත් කළේය. 2015 වසරේදී සිය හතළිස් දෙවසරක පරිපාලන චාරිකාව සාර්ථකව අවසන් කළ සරත් අමරකෝන්, නිර්මාණශීලී හදවත වඩ වඩාත් විවර කරන්නේ ඉන්පසුවය. ‘නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලා’ ඒ හදවතින් ප්‍රාණය ලැබූ කෘතියකි. සිවු මසක් වැනි සුළු කාලයක් සංචාරය කිරීමෙන් ලැබූ අත්දැකීම්වලින් විශ්වයේ එක් අර්ධද්වීපයක තොරතුරු ලියා නිම කළ නොහැකි වුවත් ලියවිල්ලේ තේමාවට අදාළ යම් යම් ධනාත්මක හා ඍණාත්මක කරුණු කිහිපයක් ලුහුඬින් හෝ මෙම කෘතියට ඇතුළත් කිරීමට කතුවරයා දරා ඇති වෑයම අගනේය. ඒ මඟින් නිසරු බිමක සහ සරු බිමක වෙසෙන මිනිසුන් දෙකොට්ඨාසයක ආකල්පමය වෙනස හඳුනාගැනීමට ද කතුවරයා පාඨකයාට ඇරයුම් කරන්නේය.

චාරිකා සටහන් යනු පෞද්ගලික අත්දැකීම් හා මුසුවීමෙන් ගොඩනැඟුණු යථාර්ථයෙන් පිරි තාර්කික ලියවිල්ලක් වුවත් කතුවරයා කරුණු ගොනුකර ඇති ආකාරය සිත්ගන්නාසුලුය. එමෙන්ම තොරතුරුවල නිරවද්‍යතාව හා විශ්වාසනීයත්වය ආරක්ෂා කරමින් සිය පෞද්ගලික අත්දැකීම් මෙන්ම අන්තර්ජාලය, පොතපත ඇතුළු මූලාශ්‍ර රාශියක් ඇසුරු කරගනිමින් මේ නිර්මාණ කාර්යයේ යෙදීමට කතුවරයා ගෙන ඇති වෑයම ප්‍රසංශනීය වේ.

කෘතියට අගනා පසුවදනක් සපයමින් ‍ෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් පවසන්නේ, සරත් අමරකෝන් චාරිකාවේ යෙදෙන්නේ ‘අපේකම’ නමැති සමාජය විනිවිද දැකිය හැකි අමුතු කැමරාවක් ද රැගෙන බවත් ඔහු කැමරාගත කළ රූපාවලියේ යටිපෙළ මේ කෘතිය තුළින් කියවිය හැකි බවත්ය. එමෙන්ම මේ කෘතිය හුදෙක් සුලභ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් නොව, ඒ මඟින් එරටට නොගිය කෙනෙකුට මෙන්ම, ගිය කෙනෙකුට ද ලොව සුපිරි බලවතා දෙස විචාරශීලීව බලන්නට නව ඇසක් පාදා දෙන බව ද ඔහු සිය පසුවදන තුළින් වැඩිදුරටත් සඳහන් කර ඇත.


දඹානේ ස්පිට්ල් ගැන අලුත්ම කියැවීමක්

කෘතියේ නම - දඹානේ ස්පිට්ල් 
කර්තෘ - නිමල් අබේසිංහ 
කර්තෘ ප්‍රකාශනයකි 
මිල - 900 /= පිටු ගණන - 160 
විමසීම් - 0779 868 010

මානව හිමිකම් පිළිබඳ සංකල්පය ක්‍රියාත්මක කළ විශිෂ්ට මානව හිතවාදී රාජ්‍ය සේවකයකු වූ විජේරත්න බණ්ඩාර ඒකනායක පිළිබඳ ලියැවී ඇති මේ කෘතියෙන් කතුවරයා උත්සාහ කර ඇත්තේ විජේරත්න බණ්ඩාර දඹාන නම් දුෂ්කර ශුෂ්ක ගම්මානයේ වැදි ජනතාවගේ ශුභ සිද්ධිය වෙනුවෙන් ඉටුකළ විස්මිත සේවය පිළිබඳ දැනුම්වත් කිරීමකි. දඹානේ වැදි ජනතාවගේ ජීවිතය පිළිබඳ විවරණය කෙරෙන මේ කෘතිය ශාස්ත්‍රීය නිබන්ධනයක් නොව නිර්මාණාත්මක කෘතියක් ලෙස පාඨකයාගේ සිත ඇදබැඳ ගන්නා අයුරින් රචනා කර තිබීම විශේෂත්වයකි. නිමල් අබේසිංහ විසින් සිදු කර ඇති මේ අධ්‍යයනය මාධ්‍යකරණයේ විශිෂ්ට කෘතියක් බව විචාරකයන්ගේ අදහසයි. එමඟින් 1940 දශකයේදී දඹාන ග්‍රාම සංවර්ධන නිලධාරි ලෙස පත්ව ගිය විජේරත්න බණ්ඩාර ඒකනායක නම් රාජ්‍ය නිලධාරියා ගැන මූලාශ්‍ර ගණනාවක් ඔස්සේ ඓතිහාසික අධ්‍යයනයක් සිදුකර ඇත. මහා ඉතිහාස ආඛ්‍යානවලදී එවැනි කුඩා මිනිසුන් මගහැරෙන ආකාරය පිළිබඳ උත්ප්‍රාසය දනවන වදන් පෙළක් ද ඊට ඇතුළත් කිරීමට කතුවරයා සමත්ව ඇත. සර්වෝදය ආරම්භ වූ කනතොලුව ශ්‍රමදානය එක්ක ඒ.ටී. ආරියරත්න හා නාලන්ද සිසුන් ඉතිහාසගත වුවත්, මේ කෘතියට අනුව, එම ශ්‍රමදානය සංවිධානය කළ රාජ්‍ය නිලධාරියා ඉතිහාසයට මගහැරී ඇත. එවැනි මගහැරුණු ඉතිහාසයන් සොයා යෑමේදී මෙවැනි කෘතියක් විසින් සිදුකරන ඌනපූරණය ඉතා වැදගත් බව ද ඔහුගේ අදහසයි.


අ. ආ.ගුණතිලකගෙන් සිංහල නිපාත සංග්‍රහයක්

කෘතියේ නම- සිංහල නිපාත සංග්‍රහය 
කර්තෘ-අ. ආ. ගුණතිලක 
ප්‍රකාශක- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 
මිල - 400/= පිටු ගණන -152 
විමසීම්- 0372 286 032

සිංහලයෙහි නිපාත පිළිබඳව පළ වී ඇති පොතපත ඉතා දුලබය. විශේෂයෙන් කුමාරතුංග මුනිදාසයන් ප්‍රමුඛ විවිධ විද්වතුන් විසින් ඒ පිළිබඳ හෙළි කරන ලද කරුණු ද පදනම් කරගනිමින් ඒ වෙනුවෙන් පළ කැරෙන මේ කෘතිය බස පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට යම් පමණකට හෝ අත්වැලක් විය හැකි බව කතුවරයාගේ විශ්වාසයයි.


ප්‍රේමකීර්ති රණතුංගගේ ‘කුණ්ඩලිය’ 20 වැනිදා ජනගත වෙයි

කෘතියේ නම-කුණ්ඩලිය 
කර්තෘ-ප්‍රේමකීර්ති රණතුංග 
ප්‍රකාශක-දයාවංශ ජයකොඩි සහ සමාගම 
මිල - 800/= පිටු ගණන -223 
විමසීම්- 0718 529 833

ප්‍රවීණ මාධ්‍යෙව්දී, ලේඛක ප්‍රේමකීර්ති රණතුංග විසින් රචිත අලුත්ම කෘතිය කුණ්ඩලිය සැප්තැම්බර් මස 20 වැනිදා කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි පොත් ප්‍රදර්ශනගාරයේදී දොරට වඩියි.

ප්‍රේමකීර්ති රණතුංග, 2018, 2019 සහ 2020 වසරවලදී ස්වර්ණ පුස්තක සම්මාන දෙවැනි වටය සඳහා නිර්දේශිත වූ අවසාන නින්දගම, මලබාර් නෑයෝ, පොල් මට්ටා ඇතුළු නවකතා රැසක කතුවරයාය.

කුණ්ඩලිය නම් මේ නවතම කෘතියට පාදක වී ඇත්තේ පුස්කොළ පොත් සැකසීමෙන් ජීවනෝපාය කරගත් ශිල්පියකුට අලුතෙන් පැමිණි කඩදාසි පොත් හේතුවෙන් ඔහුගේ ජීවිකා වෘත්තිය අහිමි වීමය. ඒ අනුව ඔහු සහ ඔහුගෙන් යැපෙන්නන් පාදක කරගනිමින් මේ නවකතාව රචනා කර ඇත. පුස්කොළ ලේඛනයේදී ඡේදයක් හෝ පරිච්ඡේදයක් අවසන් කරන්නේ අද මෙන් තිතක් තබා නොවේ. ඒ සඳහා භාවිත වූයේ කුණ්ඩලිය නමින් හැඳින් වූ සංකේතයකි. පරිච්ඡේදයක් අවසන් කරන කුණ්ඩලිය හෙවත් නැවතීමේ තිත වෙනුවට මුද්‍රණ යන්ත්‍රය් තිබූ නැවතීමේ තිත තබා අවසන් කෙරුණේ පුස්කොළ ශිල්පීන්ගේ ජීවන ක්‍රමය බව කතුවරයා පවසයි. මුද්‍රිත පොත් භාවිතයට පැමිණීම සත්කෝරලයේ අලව්ව ප්‍රදේශයට විශේෂිත වන්නේ අලව්ව ආශ්‍රිත ගම්මාන කිහිපයකම පුස්කොළ පොත් සකසා රට පුරා බෙදාහල පිරිසක් ජීවත් වීම නිසාය. අලව්වට යාබද ‘ගලතරය’ ගම ඉන් එකකි. එහි අද ද තල කොළවලින් වටාපත් කර්මාන්තය සිදු කෙරේ. මේ නවකතාව සම්පූර්ණයෙන්ම කතුවරයාගේ මනසේ චිත්‍රනය කරගත් එකක් බවක් ‘ගලතරය’ නම් ගම වටා කතාව ගොතා ඇත්තේ නවකතාව රචනා කිරීම සඳහා බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.


රෝහණ වෙත්තසිංහගෙන් ‘මතු ජීවිත’

කෘතියේ නම- මතු ජීවිත 
කර්තෘ- රෝහණ වෙත්තසිංහ 
ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ 
මිල - 1700/= පිටු ගණන -392 
විමසීම්- 0777 305 777

ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ විසින් සිංහලයට නඟන ලද 2021 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ අබ්දුල්රසාක් ගුර්නාගේ 'Afterlives' නවකතාව ‘මතු ජීවිත’ නමින් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වේ. මෙය කතුවරයාගේ සය වැනි පරිවර්තන කෘතියයි. ‘මතු ජීවිත’ තුළින් කියැවෙන්නේ 20 වැනි සියවස ආරම්භයේ නැඟෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාව පසුබිම් කරගත් වෘත්තාන්තයකි. යුද බිය මැද නොදියුණු සමාජ වටපිටාවක ජීවත්වෙන මිනිස් ජීවිත කීපයක පෙරළිය මීට වස්තු විෂය වී ඇත.


ඉතාලෝ කැල්විනෝගේ කෙටිකතා එකතුවක්

කෘතියේ නම- දුෂ්කර පෙම් බැඳුම් 
පරිවර්තක- සත්‍යපාල ගල්කැටිය 
කර්තෘ ප්‍රකාශනයකි 
මිල - 650/= පිටු ගණන -152 
විමසීම්-0762 910 890

ඉතාලියානු ලේඛක ඉතාලෝ කැල්විනෝගේ Difficult Loves නම් කෙටිකතා එකතුවෙන් තෝරාගත් කෙටිකතා පහළොවක් මෙම කෘතියට ඇතුළත්ය. කාව්‍යාත්මක, ප්‍රචණ්ඩ හා හාස්‍ය රසයෙන් යුතු කැල්විනෝගේ කෙටිකතා කියවීමට ප්‍රිය කරන පාඨකයන්ට මේ පරිවර්තන කෘතිය නැවුම් අත්දැකීමක් ලබාදෙනු ඇත


යමුනා මාලිනිගේ නිර්මාණ ගැන විද්වත් විචාරයක්

කෘතියේ නම - නිර්මාණ කෘති විචාරාවලී 
කර්තෘ - යමුනා මාලිනි පෙරේරා 
ප්‍රකාශක - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 
මිල - 900/= පිටු ගණන -272 
විමසීම් - 0777 815 133

ප්‍රවීණ ලේඛිකා යමුනා මාලිනි පෙරේරා විසින් රචිත විවිධ කෘතීන් පිළිබඳ පුවත්පත්වල පළවූ විචාර සහ රසවින්දන අතරින් තෝරාගත් විද්වත් විචාරාවලියක් ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. ඒ අනුව යමුනා මාලිනිය විසින් රචිත කාව්‍ය, ගීත සංග්‍රහ, කෙටිකතා, යොවුන් නවකතා සහ නවකතා පිළිබඳ විද්වතුන් සහ මාධ්‍යෙව්දීන් රැසක් විසින් ලියන ලද විචාර මීට ඇතුළත්ය.

Comments