දෑත් නැති වුණත් දෙපයින් ඉන්න අනෙක් අයට වඩා කෙලින් ඉන්න පුළුවන් තැනකට අම්මයි තාත්තයි මාව ගෙනාවා | සිළුමිණ

දෑත් නැති වුණත් දෙපයින් ඉන්න අනෙක් අයට වඩා කෙලින් ඉන්න පුළුවන් තැනකට අම්මයි තාත්තයි මාව ගෙනාවා

 

ශ්මි නිමේෂා ගුණවර්ධන දුව මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය වාණිජ විද්‍යා අංශයෙන් 'ඒ' සාමර්ථ තුනක් අරගෙන විශිෂ්ටයන් අතරට එක්වුණ තවත් විශිෂ්ටයෙක්.

ඒත් රශ්මි ඒ දහස් ගණන අතරින් සුවිශේෂී වෙන්නේ එයා දෙඅත් නැතිවා විතරක් නොවෙයි එක පාදයකුත් ආබාධිත දැරියක් වෙලා ඉගෙනීමට පමණක් නොවෙයි විෂය පරිබාහිරවත් එයා දක්වන සුවිශේෂී වූ දස්කම් නිසයි.

රශ්මි නිමේෂා ඇහැලියගොඩ ජාතික පාසලෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී හිටිය සිසු සිසුවියන් 506 අතරින් එක්කෙනෙක්. වාණිජ විෂය ධාරාවෙන් එයත් එක්ක 108ක් ඒ පාසලෙත් උසස් පෙළ විභාගයට පෙනී හිටියා.

රත්නපුර දිස්ත්‍රික්කයේ වාණිජ විෂය ධාරාවෙන් පළමුවෙනිය බිහි කළේ ඇහැලියගොඩ ජාතික පාසලේ ඒ 108 අතරින් වීම ගැන විදුහල්පතිනි හේමාලී රාජගුරු සඳහන් කළේ ආඩම්බරයෙන්.

“මගේ පාසලේ හැම දරුවෙක්ම මගේ දරුවෙක් වගේ කියලයි මම හිතන්නෙ. ඇහැලියගොඩ ජාතික පාසල රටටම නමක් තියපු කීර්තිමත් පාසලක්. දරුවන්ගෙ ගුරුවරුන්ගෙ වගේම දෙමාපියන්ගෙ විශ්වාසය සහ කැපවීම නිසාම ඒ කීර්තිමත් ඉතිහාසය අපි ඉදිරියටත් ගෞරවාන්විතව රැකගන්නව. එය විෂයානු බද්ධව පමණක් නොවෙයි විෂය පරිබාහිරවත් අපි පෙන්නුම් කරනවා. ඔප්පු කරල තියෙනවා. මගේ ගුරු භවතුන්, දරුවන් වගේම දෙමාපියනුත් නිරන්තරයෙන්ම මා සමඟ සිටීම ලොකු ශක්තියක්. මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිය දරුවො ඒ යුතුකම වඩාත් හොඳින් ඉටු කළා. රශ්මි නිමේෂා ඒ අතරින් සුවිශේෂී වෙන්නෙ කාරණා කීපයක් නිසයි.

ඒ දරුව උපතින්ම අත් දෙකම නැති දරුවෙක්. ඒ විතරක් නොවෙයි. එක පාදයකුත් ආබාධිතයි. දෙපයින් තනිවම හිටගන්න බැහැ. අකුරු ලියන්නෙ පාදයෙන්. ඒත් හොඳ ආත්ම විශ්වාසයක් ඕනෑකමක් වගේම අධිෂ්ඨානයක් හා ඉලක්කයක් තියෙන දරුවෙක්.

අපේ ගුරුවරු අනෙක් ළමයි හැමෝම ඒක හොඳින් වටහා ගෙන තිබුණා. ඒ නිසා අපි හැමෝම එයාව විශේෂ අවධානයකින් රැක ගත්තා; හඳුනගත්තා. එයා මේ පාසලට ඇවිත් තිබුණෙ පහ වසර ශිෂ්‍යත්වය සමත් වෙලා. එයා ශිෂ්‍යත්වයට වගේම අනෙක් දේවලටත් දක්ෂයි. අම්ම සංගීත ගුරුවරියක්. ඒ නිසාදෝ එයා සංගීතයට හුඟක් දක්ෂයි. අතපය වාරුව නැතිවට ඇයට කටින් ලොවක් ජයගන්න පුළුවන්. විදේශවල පැවැත්වුණ තරගවලට සහභාගී වෙලා පාසලේ ගෞරවය රැකගන්න, රන් පදක්කම් පවා දිනාගෙන තිබෙනවා.

ඒ වගේමයි එයා සාමාන්‍ය පෙළ විභාගයෙනුත් ‘ඒ‘ සාමාර්ථ නවයක් අරගෙන ලොකු කීර්තියක් ලබා දුන්නා. මෙතනදි තවත් කාරණයක් විශේෂයෙන් කියන්න ඕන. මේ හැම දෙයකම ගෞරවය හිමිවෙන්න ඕන මේ දරුවගෙ දෙමාපියන්ට. අත් දෙකම නැතිව විතරක් නෙවෙයි පාදයකුත් ආබාධිතව උපන් ගැහැනු දරුවෙක්ව මේ තැනට ගෙනෙන්න කැපවුණ අම්මයි තාත්තයි මොන දුකක් විඳින්න ඇද්ද? ඒත් ඒ විඳපු දුකේ ප්‍රතිඵලය අද ඇස් පනාපිට දකිනව. මේක මුළු රටේම මවුපියන්ට ලොකු ආදර්ශයක්" කියලයි එතුමිය කිව්වෙ.

රශ්මි නිමේෂාගෙ තාත්තා ගුරුවරයෙක්. දුවගෙ හපන්කම ගැන ආරංචියට හොයාගෙන ආ අයට විස්තර කියලම හෙම්බත් වෙලා. ඒත් ඒ ඔක්කොම අමතක කරල ඉතාමත්ම සුහදව කතාවට මුල පිරුවා.

“අපි මේ දැන් දරුවන්ගෙ අවශ්‍යතා නිසා ටවුමේ පදිංචි වුණාට දැරණියගල ඈත පිටිසර උපන් අය. පුංචි දුව උපන්නෙත් ගමේදි. එයා පුංචි කාලෙ හැදුණෙ ඉස්කෝලෙ ගියේ ගමේ ඉස්කෝලෙට. මෙයා පවුලෙ බාලයා. අක්කා දැනට විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නෙ.

අපි ගමේ ජීවත් වුණේ අගහිඟකම් නැතිව ගමනට බිමනට වාහන තියාගෙන හිටියෙ. පුංචි දුවගෙ ආබාධිත තත්ත්වය නිසා අපි තරමක මානසික කඩා වැටීමක හිටියෙ. මටත් වඩා එයාගෙ අම්ම. දුවව කොහොම හරි ලොකු මහත් කර ගන්නව වගේම අම්මාගෙ හිත හදන්නත් මට ලොකු මහන්සියක් ගන්න සිද්ධ වුණා. දුව යන්තමට බහ තෝරද්දි අපට දැනුණා. එයා ආබාධිත ගතින් විතරයි කියල. එයාගෙ අනෙක් හැඟීම් දැනවීම් ඒ වයසෙ අනිත් දරුවන්ට වඩා ඉහළින් වග අපිට දැනුණා. මම දුවගෙ මේ අසාමාන්‍ය තත්ත්වය ගැන දන්න කියන හැමකෙනාටම කියල දරුවව සුවපත් කරගන්න නොවෙයි දැනුවත් කරන්න, කරන්න ඕන මොනවද කියල හෙව්වා.

රශ්මි සංගීත ප්‍රසංගයක් පවත්වමින්

ඒ අතරෙදි තමා මට අහම්බෙන් වගේ අමල් කබ්රාල් මහත්තයව හමු වුණේ. එතුමා තමා මට මඟ පෙන්නුවෙ. එතකොට දුවගෙ වයස අවුරුදු 3යි. දුවව හදා වඩා ගන්න උගන්නන්න එතුමාගෙ මඟ පෙන්වීම යටතේ අපට ලොකු හයියක් වුණා. එතුමාගෙ දියණියයි නෝන මහත්මියයි දෙන්නම අදටත් අපිට සමීපව අවශ්‍ය උපදෙස් දෙනවා.

මුලින්ම ගෙදරට ඇවිදින් දුවට උගන්වපු ගුරුතුමියටත් අවශ්‍ය උපදෙස් ඒ අය ලබා දුන්නා.

මුලින්ම දුව කළේ ගුරුවරිය කරපු සුන්දර නිර්මාණ බලා හිටපු එක. එයාට අත් දෙකක් නැහැනෙ. එයා ඇස් දෙකෙන් ඒවා වින්දා.

පස්සෙ පස්සෙ වෙද්දි එයාටත් ඒව කරන්න ආශා හිතුණා. ඒත් අත් දෙකක් නැතිව කොහොමද කරන්නෙ?

එතෙනදි තමා එයා කකුලෙන් ඒව කරන්න පටන් ගත්තෙ. අපිටත් හිතාගන්න බැරි වුණා ඒව කතුර පයේ ඇඟිලිවලට හිරකරගෙන කඩදාසි කෑලි ලස්සනට කැපුව පුංචි සන්දියේදිම. කපල ඒව ලස්සනට ඇලෙව්වා. ඔක්කොම කළේ කකුලෙන්.

අපිට හරිම සතුටුයි. එහෙම ටික දවසක් යද්දි එයා කතුර වෙනුවට චෝක් කෑල්ල කකුලට හුරු කරගෙන ලස්සනට රූප ඇන්ද.

අන්තිමට කකුලෙන්ම අකුරු ලියන්නත් එයාට පුළුවන් වුණා. අපිට හරිම සතුටුයි. දෑස්වල කඳුළු සතුටු කඳුළුවලට පෙරළුණා. ඒ ගමනෙ අවසාන ප්‍රතිඵලය තමා අද එයා පෙන්වන්නෙ. එයා එයාට මුලින්ම අකුරු උගන්නන්න ගෙදරට ආපු කාන්ති අක්කගෙ ඉඳල කනිෂ්ඨයේදි අකුරු කරපු ගුරුවරු, ඇහැලියගොඩ ජාතික පාසලේ ගුරුවරු, විදුහල්පතිතුමිය, දරුවො හැමෝම ඒ ගමනට අතදීපු අය.“

“මේ ගමනෙදි හැමෝම අත දුන්නනෙ. දෙමවුපියෝ හැටියට ඔය දෙපළ කරපු කැපවීම මහන්සිය කොහොමද?“

මම තාත්තගෙ කථාවට පුංචි විරාමයක් දීල අතුරු ප්‍රශ්නයක් දැම්මා.

මම හිතන්නෙ ඒකට උත්තරය තියෙන්නෙ මගේ ළඟ නෙමෙයි අම්ම ළඟ තමා. ඉන්න මම එයාට කතා කරන්නම්. සරත් මහත්තය එයාගෙ බිරියට කතා කළා.

‘ධම්මිකා‘ ආවෙ ආගන්තුක සත්කාරයටත් සූදානමින්.

“අපේ දුව ගැන මේ දවස් ටිකේම මාධ්‍යවලින් ගොඩක් කතා කළා. අපිට හරිම සතුටුයි. අපේ කැපකිරීම් වගේම දුවගෙ උනන්දුව, අධිෂ්ඨානය මල්ඵල ගැන්විලා කියල දකිද්දි අපිට ලොකු සතුටක් දැනෙනවා." රශ්මිගෙ අම්ම එයාගෙ මහත්තය ළඟින්ම වාඩිවෙලා කතාවට මුල පිරුවා.

“දුව උපන්නෙ 2002 දෙසැම්බර් 23. අපේ දෙවෙනි දරුව දහසක් බලාපොරොත්තු ඇතිව දසමසක් කුසේ දරාගෙන උපද්දපු දරුව මෙහෙම ආබාධිතව දැක්කම අම්ම කෙනෙකුට ඇතිවෙන දුක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

මටත් දැනුණෙ අර මොකාටද වගේ මගේ දරුව මට මැණිකක් කියල. මහත්තය මට ලොකු ශක්තියක් වුණා දරුව ලොකු මහත් කර ගන්න. එයා දුව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. අපි දෙන්නම ගුරුවරු. ලැබෙන වැටුප තමා මේ හැම දෙයට ම වැය කරන්නෙ. අපි ගමේ ඉඳිද්දි අපට ඉඩකඩම් තිබුණා. ඒත් පහු පහු වෙද්දි ඒවා එකින් එක විකුණුවා. මහත්තයා විවාහ වෙද්දිත් එයාට වාහනයක් තිබුණා. දරුවා වෙනුවෙන් කරපු විය පැහැදම් පිරිමහගන්න ඒවත් කැපකරපු අවස්ථා තිබුණා. මහත්තයා හැම විටම අපිට අඩුවක් නොදැනෙන්න හැමදේම කළමනාකරණය කළා. මමත් මගේ දවසම දරුව වෙනුවෙන් කැප කළා. මම පහුගිය සතියෙ ගුරු සේවයට ආයුබෝවන් කිව්ව. මට දැනුණ මගේ දරුවො දෙන්න මගේ අඩුව පිරිමහයි කියලා දැන් මට දැනෙනවා.

මම මේ දරුවා වෙනුවෙන්ම කැප වෙන්න වෙලාව හදා ගන්නවා.“

දුව රශ්මි කතාවට එකතු කර ගත්තෙ අන්තිමට. අම්මගෙ වාරුවෙන් එයා අපි හිටපු තැනට ආවා.

රශ්මි මවුපියන් සමඟ

රශ්මිගෙ මොන අඩුපාඩු තිබුණත් ඒව ගානකට ගන්නෙ නැතිව කටපුරා විතරක් නෙවෙයි හදවත පුරාම හිනාවෙමින් අපිව පිළිගත්තා.

“අම්මයි තාත්තයි දෙන්නම මා ගැන කිව්වනෙ. දැන් මගෙන් දැන ගන්න දෙයක් නැතිව ඇති නේද“ කියල තමයි එයා කතාවට මුල පිරුවෙ.

“ඒත් මේ ටික මම කියන්න ඕන. දැන් මම ලොකු ළමයෙක්නෙ. මම මේ ආපු ගමන ගැන මට හොඳ අවබෝධයක් තියනවා. කවදාවත් මට මේ ගමන මෙතනට එන්න ලැබෙන්නෙ නැහැ. මගේ අම්ම තාත්ත අක්කා මගේ ළඟින්ම නොහිටින්න. ඒ අය මට දෑත් දෙක නැතිව වුණත් දෙපයින් ඉන්න අනිත් අයට වඩා කෙළින් ඉන්න පුළුවන් තැනකට ගෙනත් කියලයි මට දැනෙන්නෙ.

අම්ම දැනමටත් මගේ හැම දෙයක්ම හොයල බලල කිසිම අඩුවක් නැතිව ඉල්ලන්නත් අහන්නත් ඉස්සර කර දෙනවා. අම්මට මතු බුදු වෙන්න ලැබේවි.

ඒ වගේමයි මගේ නෑදෑයො, ගුරුවරු, පන්තියේ යාළුවො. ඒ හැමෝම මගේ ආබාධිත බව අවඥාවට ලක් කළේ නැහැ. හැමවිමට මට උදව් කළා.

ඒ වගේමයි මා ගැන අසා දැනගත් අයත් මට මෙතැනට එන්න කරපු උදව් මම දන්නවා.“

දිගටම රශ්මි කියාගෙන ගියේ පන්සලේ හාමුදුරුවෝ පුණ්‍යානුමෝදනාව කරද්දි පින් අනුමෝදන් කරනවා වගේ. මම පුංචි විරාමයක් අරගත්තා.

දැන් අවසාන කඩඉමටනෙ ඇවිත් ඉන්නෙ. ඉතින් අනාගත බලාපොරොත්තු මොකක්ද මම කෙටි ප්‍රශ්නයක් රශ්මිට දැම්ම.

රශ්මි අම්මට බර දෙන ගමන්ම ආයෙම කතාව පටන් ගත්තා.

“මම විශ්වවිද්‍යාලයට යනවා. මගේ බලාපොරොත්තුව මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඉහළට හදාරන්න. මම ඒකත් කොහොම හරි කරනවා. මගේ අම්ම මට ලොකු හයියක්.“

රශ්මි සංගීතයටත් දක්ෂයි නේද? මම ආයෙමත් මාතෘකාව වෙනස් කළා.

ඔව්. මම ඒක පුද්ගල සංගීත සංදර්ශන කරලා තියනවා. ඒක මගේ අම්මගෙන් මට ලැබුණ සම්පතක්. අම්ම සංගීත ගුරුවරියක්. ඒ දැනුම එයා මට ඉහළින්ම දුන්නා. ඒ විතරක් නොවෙයි. මම තාක්ෂණ විෂයටත් ඒ වගේම හපන්කම් පෙන්නල තියෙනවා. වියට්නාමයේ තිබුණ තරගයකින් රන් පදක්කමකුත් ගෙනාව.“ රශ්මි හරියට රශ්මිය විහිදුවන පුංචි තාරකාවක් වගේ බැබළි බැබළි කිව්වෙ අම්මගෙ ඇඟට තවත් බර දෙමිනුයි.

රශ්මි නිමේෂාගෙ කතාව නිමා කරන්න මත්තෙන් එයා කියපු අන්තිම වදන් කීපය හරිම හැඟුම්බරයි.

“මම මේ හැම දෙයක්ම හොඳට තේරුම් අරගෙන ඉන්නෙ. මම රටේ ලෝකෙ දකිනවා මම වගේ දෙඅත් නැති ආබාධිත දරුවො විඳින දුක. ඒ අය ජීවත් කරවන්න අම්ම තාත්තල විඳින දුක. සමහර අම්මල තාත්තල ඒ වගෙ දරුවො හදාගන්න බැරුව මග දමල යනවා. ඒත් මගේ අම්ම තාත්ත මට මේ කරන ටිකට ඒ අය මතු බුදුවෙන්න ඕන. ඒ වගේමයි මගෙත් ලොකු විශ්වාසයක් තියනව මට හැකිවේවි මේ බවයෙදිම ඒ අයව සැනසිල්ලෙ තියන්න. අක්කයි මායි එකතු වෙලා ඒ දෙන්න වෙනුවෙන් කළ යුතු ලොකුම යුතුකම ඉටුකරන්න කැප වෙනව කියන එක තමා අවසානෙට කියන්නෙ“ රශ්මි හුඟාක් හැඟුම්බරව කතාව නිම කළා.

 

Comments