සාර්ව ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­ය­කට IMF එළ­ඹුම පිළි­ගත් සිද්ධා­න්ත­යක් | Page 2 | සිළුමිණ

සාර්ව ආර්ථික කළ­ම­නා­ක­ර­ණ­ය­කට IMF එළ­ඹුම පිළි­ගත් සිද්ධා­න්ත­යක්

 ශ්‍රී ලංකාවට IMF මඟින් මාස 48 කාලයකට අදාළව ඇමරිකානු ඩොලර් බිලියන 2.9 මුදලක් ලබා දී ඇත. මේ මුදල මූලික වශයෙන් යෙදවිය හැකි වනුයේ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමටය. එනම් මේ රටේ සංචිත ප්‍රමාණය ගොඩනඟා ගැනීම සඳහා යෙදවීමටය. එහිදී IMF විසින් පනවන ලද කොන්දේසි අනුව ඉල්ලුම සැපැයුමට අදාළව වෙළෙඳපොළ බලවේගයන් තීරණයට වීමට ඉඩහැරිය යුතු වෙයි. ඒ සඳහා මහ බැංකුවේ සංචිත ක්ෂණිකව ගොඩනැඟීම ඉතා වැදගත් වෙයි. විශාලතම අර්බුදය වන්නේ මේ රටේ මහබැංකුව සතු භාවිත කළ හැකි සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් පමණ වන අතර, එය ඉතාමත් පහළ ශේෂ මට්ටමකි. එසේ නම්, මෙරටේ ඇති කළ යුත්තේ අවම වශයෙන් යම් ආකාරයකට අත්‍යවශ්‍ය වන ආනයනිකයන් සඳහා යම් මුදල් හිඟයක් ඇතිවූ අවස්ථාවලදී යොදා ගැනීමට හැකියාවක් ඇති කිරීමයි. එසේම මේ සංචිත ණය ගෙවීම්වලට හෝ දැනට ආනයනයන් සීමා කර ඇති භාණ්ඩ ආනයනය සඳහා හෝ සංවර්ධන ව්‍යාපෘතිවලට යොදාගැනීමට නොවෙයි. මේ IMF මඟින් ඩොලර් බිලියන 2.9ක මුදල එක්වර නොලැබෙයි. මේ ණය ඩොලර් මිලියන 200 සහ 300ක් වශයෙන් වාරික ලෙස මාස කිහිපයකට වරක් මෙරටට හිමි වෙයි.

එසේම මේ ණය ලබා ගැනීමේදී IMF සමඟ යම්කිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සමූහයක් ඇති කිරීමට යම් එකඟතාවක් ද වෙයි. එනම්, රජයේ බදු වැඩි කිරීම, දූෂණය වැළැක්වීමට අණ පනත්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය වියදම් කපා හැරීම්, සමාජ ආරක්ෂක වැඩපිළිවෙළ හඳුන්වාදීම් වැනි කරුණු ඒ හා බද්ධ වීමක් සිදු වෙයි.

එසේම IMF විසින් මේ අදාළ ප්‍රතිසංස්කරණයන් පොරොන්දු වූ පරිදි සිදු කර ඇතිද යන කරුණු පිළිබඳ කණ්ඩායමක් මෙරටට පැමිණ නිරීක්ෂණය සහ අධීක්ෂණය කරයි. ඉන් අනතුරුව අදාළ කාලයකට යටත්ව අධීක්ෂණ වාර්තාවක් සකස් කරයි. ඊළඟ වාරිකය මුදාහැරීම ඉන් අනතුරුව සිදු වෙයි. මේ මුදල මෙරටට හිමි වීමත් සමඟම, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතන හරහා සහ සංවිධාන හරහා මෙරටට අනෙකුත් ක්ෂේත්‍රවලට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට හැකියාව හිමි වෙයි. ඒ අනුව සමාජ ආරක්ෂණය, මානව සහ භෞතික සම්පත් සංවර්ධනය වැනි බහු පාර්ශ්විය ණය දෙන ආයතන හරහා ආධාර ලබා ගැනීමට හැකි වෙයි. අපි ණය ආපසු නොගෙවීමට තීරණය කළද ණය ආපසු නොගෙවන්නේ ද්වී පාර්ශ්වීයව ලබාගත් ණය සහ පෞද්ගලික අංශයෙන් ලබා ගත් ණය පමණයි. ලෝක බැංකුව, IMF ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල සංවර්ධන බැංකුවෙන් එවැනි බහුපාර්ශ්වීයව ලබා ගෙන ඇති ණය ගෙවීම් අඛණ්ඩව සිදුවිය. ඒ නිසා IMF ආධාර වැඩසටහනට සමගාමීව බහු පාර්ශ්වීය ආයතනවලින් ණය ලබා ගැනීමට හැකියාව ඇත.

ඇතැම් විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන විට ද්වී පාර්ශ්වීය මූලාශ්‍රවලින් ද ණය ලබා ගැනීමට වුවත් හැකියාව ඇතිවිය හැකිය. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අදාළව නව ආයතන පිහිටුවීමට, නීති රිති හඳුන්වා දීමට, නව මානව සහ භෞතික ප්‍රාග්ධනය සංවර්ධන කටයුතු සඳහා, අවශ්‍ය නවීකරණයන් සඳහා, නව තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමට, රජයේ ආදායම් එකතු කිරීම, වියදම් කළමනාකරණය, සුපරීක්ෂණය කිරීම වැනි අංශවලට බහු පාර්ශ්වීය ණය දෙන ආයතනයන් මඟින් ලැබෙන අරමුදල් රජය අත්‍යවශ්‍යයෙන්ම යොදා ගත යුතු වෙයි. IMF ණය වැඩසටහන අනුමත වූවායින් පසුව බහු පාර්ශ්වීය සංවිධානවලින් සහ ද්වී පාර්ශ්වීය රටවල්වලින් කෙටිකාලීනව අත්‍යවශ්‍ය වන්නා වූ ආනයනයන් සඳහා අරමුදල් ලබාගැනීමට ලංකාව මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙයි. ලංකාවට එවැනි අරමුදල් ලබාගැනීමට හැකිවන්නේ ක්‍රමානුකූලව අත්‍යවශ්‍ය ආනයනයන් ඇති කිරීමෙනි. එවැනි අරමුදල් යොදා ගැනීමේදී විනිමය ඉපැයීම සඳහා ණය කොතෙක් දුරට හේතු වෙනවාද යන කාරණාව සෙවිය යුතුය. ණයට ඩොලර් ලබා ගෙන වියදම් කිරීමෙන් ඩොලර් කීයක් උපයා ගැනීමට හැකි වන්නේද යන කරුණ සලකා බලා අපි ඒ වැය කිරීම් අත්‍යවශ්‍ය වැදගත් කරුණයි. අපනයන ප්‍රවර්ධනයට සහ සේවාවන් සපයන ක්ෂේත්‍රයන්වල ගුණාත්මක භාවය වැඩි කිරීමට අදාළව එම අංශ කඩාවැටීම් වැළැක්වීම සඳහා යෙදවීම වැදගත් වෙයි.

විශේෂයෙන්ම IMF යටතේ මූලික වශයෙන් පවතින කොන්දේසියක් ලෙස හැඳින්විය හැකි අල්ලස් දූෂණ වළක්වාලීම සඳහා අවශ්‍ය වන නීතිරීති සහ ආයතනික පද්ධතිය ශක්තිමත් කිරීම වැදගත් වෙයි. අල්ලස්, දූෂණය සැලකිය යුතු හේතුවක් වී ඇති බව ජාත්‍යන්තරිකව ලංකාවට එරෙහිව ඇති බරපතළ චෝදනාවකි. මේ චෝදනාව පවතින තාක් ජාත්‍යන්තර සහයෝගය පුළුල් ලෙස ලබා ගැනීමට හැකියාව නොලැබෙයි.

අල්ලස් දූෂණවල නිරතවන පිරිස් නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගේ හැකියාවන් වැඩි දියුණු කළ යුතුය. මේ අවස්ථාවේදී මතුවන තවත් කරුණක් නම් ලංකාවට විශාල සංවර්ධන ව්‍යාපාරවලට යෑමේ හැකියාවක් හෝ අඩපණ වී ඇති ව්‍යාපෘති ඇරඹීමේ හැකියාවක් හෝ මේ අවස්ථාවේදී නැත. ඒ සඳහා වසර කිහිපයක් ගතවිය හැකි අතර, ඒ දක්වා කාලසීමාව යටතේ වැදගත් වන්නේ ලංකාවේ ආර්ථිකයේ මේ දක්වා හඳුනාගෙන ඇති අඩුපාඩු නිවැරදිව සකස් කරගන්නා අතර, දේශීයව ආර්ථිකය පවත්වාගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමයි. කෙටිකාලීනව පවතින තත්ත්වයන් ආරක්ෂා කර ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම පහළ ආදායම් ලබන පිරිස්වල ජීවන තත්ත්වය ආරක්ෂා කර ගැනීමයි. එසේම ආර්ථිකයේ ඉදිරි ගමනට අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණවලදී යම් ආයෝජනයක් සහ අණපනත් හඳුන්වා දීම, ආයතනය ව්‍යුහය ශක්තිමත් කිරීම වැනි විවිධ ක්ෂේත්‍රවලට අදාළව අරමුදල් යෙදවීමට සිදු වෙයි. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන්නා වූ ආයෝජන ක්ෂේත්‍රයන්ට අදාළ ආයෝජනය කිරීම වැදගත් වෙයි.

මෙරටට ලැබෙන ඩොලර් බිලියන 2.9 ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට කථිකාවන් ගොඩනැඟෙන අතර, එය ඇත්ත වශයෙන්ම ණය ගෙවීමක් සඳහා ලබා දෙන අරමුදලක් නොවේ. අපේ ආර්ථිකය වර්ධනය අඩපණ කර ඇති මූලික ගැටලු විසඳීමට මේ අරමුදල ලබා දෙයි. අපි නියමාකාරයෙන් මේ ගැටලු විසඳා ගතහොත්, මෙරටට ණය ගෙවීම සඳහා අවශ්‍ය වන්නා වූ අරමුදල් අපි විසින්ම උපයා ගැනීමට හැකි වෙයි. අපේ ආර්ථිකය මේ මඟින් ප්‍රතිසංස්කරණය කළහොත් ඒ ප්‍රතිසංස්කරණයන් ආයෝජන ප්‍රවර්ධන කිරිමට සහ ආනයනිකයන් ප්‍රවර්ධනය කිරීමට, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට, විදේශ ශ්‍රමිකයන්ගේ අරමුදල් නිත්‍යනුකූල මාර්ගවලින් ගෙන ඒමට හැකියාව ලැබුණහොත් අප විසින් ලබා ගෙන ඇති ණය ආපසු ගෙවීමට ඒ හරහා හැකියාව ලැබෙයි. 16 වාරයක් අප IMF සඳහා යොමුවී ඇත. 16 වරක් IMF අරමුදල් ලබාගත්තද ඒ අය සමඟ මූල්‍ය ගිවිසුම්ගතව වැඩසටහන ක්‍රියාත්මක වන කාල සීමාවේදී අදාළ ප්‍රතිසංස්කරණයන් කළ ද ඒ වැඩසටහන අවසන් වූ විගස ඒ ගනු ලැබූ ප්‍රතිපත්ති ආපස්සට හැරවීම සිදු වී ඇත. පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ 16 වැනි වරට ගිවිසුමකට එළඹිණි. ඒ යටතේ බදු ආදායම වැඩිකිරීම කාර්ය සාධනය, රාජ්‍ය ව්‍යවසායන් සැලසුම් සකස් කිරීම සිදු විය. ඒ සියල්ල නව රජය බලයට පත්වූ පසු අහෝසි කිරීමක් සිදුවිණි. IMF අධික්ෂණයෙන් තොරවූ විගස අපේ පුරුදු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සිදු විය. ඒ නිසා IMF මෙවර එළඹෙන වැඩසටහන අපි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් වෙයි. IMF අරමුදල මැදහත් වීම හරහා අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳ, එය කෙටිකාලීනව කළ නොහැකියි. මධ්‍යකාලීනව හා දිගුකාලීනව සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට නම් ඒ ක්‍රියාවලිය අඛණ්ඩව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට දේශපාලන සහයෝගය ඉතා වැදගත් වෙයි. මේ වැඩසටහනට විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති අතර විවිධාකාර විරෝධයන් ගොඩනඟමින් පවතී. ඒ නිසා රටේ අති බහුතරයකගේ සහයෝගය අවශ්‍ය වෙයි. යම් ප්‍රතිව්‍යුහගත කිරීම් සහ රාජ්‍ය සංස්ථා පෞද්ගලිකකරණය කිරීම් වැනි දෑ අතිරික්ත සේවකයන් ඉවත් කිරීම වැනි ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම්, රජයට බඳවා ගැනීම් සීමාකිරීම් වැනි ව්‍යාපෘතින් කෙටිකාලීන දුෂ්කර සහ ප්‍රතිසංස්කරණ වුවත් දිගුකාලීන වශයෙන් ඒවාගේ ප්‍රතිඵල යහපත් වෙයි. කෙටිකාලීන දැක්මක් ඇතිව දේශපාලනික වාසි නොගෙන කටයුතු නොකර මාධ්‍යකාලීනව සහ දිගුකාලීනව රටට වඩා යහපත් දේ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුය. නැවත වරක් මේ තත්ත්වය තුළ වැඩසටහන අතරමැද නතර වුවහොත් අපි විශාල අර්බුදයකට යෑම සහ රට ආපස්සට ගමන් කිරීම නියත කරුණකි.

පැහැදිලිව IMF යම් රටක රජයක් සමඟ වැඩසටහනකට එළැඹී ඇතැයි යන කරුණ තුළින් මූලික වශයෙන් කියැවෙන කරුණක් නම්, එවැනි රටක සාර්ව ආර්ථීක කළමනාකරණය යම් විධිමත් ආකාරයට සහ පිළිගත් සිද්ධාන්ත මත සිදුවන්නේයැයි යන සහතිකයක් ලැබෙයි. එවැනි රජයකට අත්තනෝමතික මුදල් නාස්ති කිරීමට, දේශපාලන අවශ්‍යතා මත රජයට බඳවා ගැනීම අවකාශ නැත. මූලික ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම් වී ආර්ථිකය හැසිරවෙන්නේ යැයි යන කරුණ IMF යම් රටක ක්‍රියාත්මක වීමෙන් තහවුරු වෙයි. ජාත්‍යන්තර අනෙකුත් බහු ජාතිය පාර්ශ්වීය ණය දෙන ආයතනවලටත් රටවල්වලටත් ආයෝජකයන්ට ඒ මඟින් යම් පණිවුඩයක් දෙයි. ඒ රට තුළ සාර්ව ආර්ථික ස්ථායිතාව, තරගකාරීත්වය ආරක්ෂා කිරීම, වංචා දූෂණ මැඬ පැවැත්වීම, ආයෝජකයන්ට හිතකර පරිසරයක් සකස් කිරීම, මෙවැනි ආර්ථික සංවර්ධන සංඥාව ලබාදීමක් සිදු වෙයි. බහුපාර්ශ්වීය සංවිධානවලින් ණය ලබාදීමට, විදෙස් අපනයන ක්ෂේත්‍රයේ අපනයන ක්ෂේත්‍රය නංවාලීමටත්, විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේරණයන් විධිමත් ආකාරයට මෙරටට ලබා ගැනීමටත් යම් විශ්වාසයක් ගොඩනැඟීමට යන IMF මැදහත් වීම වැදගත් වෙයි. මේ රටේ IMF ක්‍රියාත්මක වීම යන කාරණාව තුළ ගම්‍ය වන ප්‍රධානම කාරණාව නම්, රජය හිතුමනාපයට දේශපාලනික හේතු මත තීන්දු තීරණ නොගැනීම, දේශීය ආයෝජකයන්ටත් විශ්වාසයක් ගොඩනැඟීම සහ පෞද්ගලික අංශයට අයහපත් වන ආකාරයේ තීන්දු තීරණ ගැනීම සිදු නොවීමයි. රජයේ නාස්තිකාර වියදම්, අත්තනෝමතික ආකාරයට ව්‍යාපෘති ආරම්භ කිරීම, ණය ගැනීම්, මුදල් මුද්‍රණය කිරීම නැවැත්වීම, දේශීය වෙළෙඳපොළින් ණය ගැනීම වැනි ප්‍රධාන කරුණු එයින් වැළකෙයි. ආයෝජන හා ආර්ථික පරිසරයක් ගොඩනැඟීම මෙමඟින් සිදුවෙයි. රජයකට මෙමඟින් යම් කිසි හික්මවීමක්, නාස් ලණුවක් දැමීමක් සිදුවෙයි. එම හික්මවීම මඟින් විනිවිද භාවය, අල්ලස් දූෂණ අඩු වීම, පෞද්ගලික අංශයට හිතකර නොවන ආකාරයේ තීන්දු තීරණ ගැනීමට හැකියාව ලැබෙන අතර, පවතින පරිසරය තුළ තමන්ගේ ආයෝජන කටයුතු සිදු කර ඒ හරහා නිෂ්පාදන පුළුල් කිරීමට හැකිවෙයි. විශේෂයෙන් පහළ ආදායම්ලාභීන් නොසලකා හැරීම් සහ ඔවුන් මත විශාල බරක් පැටවීම සිදු නොවීම IMFහි වැදගත් කමයි. අපට IMF හැර වෙනත් විකල්පයක් නැත. පක්ෂ විපක්ෂ සියලු දෙනා තර්කයකින් තොරව රටක් ලෙස ගොඩ ඒමට නම් IMF කොන්දේසි සහ නිර්ණායකයන් ඉටු කළ යුතුය.

රටක් ලෙස අප මේ අර්බුදයෙන් මිඳීමට රෝග නිධානවලට පිළිතුරු සෙවිය යුතු බව IMF අවධාරණය කර ඇත. අද අපට ණය ගැනීමට සිදුවී ඇති කරුණ වන්නේ රජයේ ආදායම් සහ වියදම් අතර පරතරයක් පැවතීමයි. ඒ සඳහා බදු පැනවිය යුතුය. මේ ආකාරයට ආර්ථික ප්‍රතිසංස්කරණ කර ඉදිරියට ගියොත් සාධනීය ප්‍රතිඵල ලබාගත හැකිය. කාලයක් පුරා මේ අර්බුදයන්ට පිළිතුරු සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය ඇති විය. ආනයනික අපනයන අතර ගෙවුම් ශේෂයට අදාළ හිඟය පියවා ගත යුතුය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ලාබ ලබන, තත්ත්වයට ගෙන ආ යුතුය. රාජ්‍ය අංශය කාර්යක්ෂම කළ යුතුය. මේ ගැටලු පැවතීමෙන් ආර්ථිකයකට දිගු කාලයක් ගමන් කිරීමට නොහැකිය.

කිනම් දේශපාලන පක්ෂය බලයට පත්වුවත් පවතින ආර්ථික යථාර්ථය අමතක කර ඉදිරියට යා නොහැකිය. ආර්ථීක ගැටලුව විසඳීම යන කරුණ අනිවාර්ය වෙයි. අපිට ඊළඟ දශකයට යෑමට නම් මේ තත්ත්වයෙන් ගොඩ ඒම අනිවාර්ය වෙයි. එසේ නොවුණහොත් ජනතාවට ජීවත් වීමට නොහැකියාව මත ගොඩනැඟෙන අරගලයක් ඉදිරියේදී ද පැමිණිය හැකිය. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ රටේ දේශපාලන පක්ෂ එකමුතුව සිද්ධ කිරීම සඳහා අවශ්‍ය වන්නා වු පියවර අනිවාර්යෙන්ම ගත යුතුය. සූඩානය, හයිටිය, සෝමාලියාව, වැනි රටවල් බහුතරයක් ආර්ථිකය ගොඩනැඟීමට අසමාර්ථ වීම නිසා විශාල සමාජ පරිහානියකට සහ ආර්ථික පරිහානියකට ගමන් කර ඇත. මෙරටේ ද මේ තත්ත්වය දරුණු වීමට ඉදිරියේදී ඉඩ නොතැබිය යුතුය. IMF ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම නිසා වෙනත් රටවල්වලින් ආධාර ගැනීම ප්‍රමාද වීමට හේතු වෙයි. ඒ හරහා පවතින ආර්ථික අහේනිය වඩා තීව්‍ර වෙයි. ඒ තුළ මිනිසුන්ට ජීවත් වීමට නොහැකි වූ විට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් නිශ්චය කළ නොහැකිය. ඒ නිසා සියලු පාර්ශ්වයන් රටේ ජනතාව වෙනුවෙන් පෙළගැසී මේ අර්බුදය සඳහා පිළියම් සෙවීම කඩිනම් කළ යුතුය.

 

Comments