
ලොව බොහෝ රටවල ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා අපමණය. කනගාටුවට කරුණ වන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ අප්‍රසන්න සිදුවීම් වීමය. එකම රටක් වෙනුවෙන් ක්‍රීඩා කළ ද වැටුප් සහ සෙසු දීමනා ලබාදීමේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට සාපේක්ෂව අඩු සැලකිලි ලැබෙන තත්ත්වයක තේරීම් කමිටු නිලධාරීන්ගේ, පුහුණුකරුවන්ගේ සහ කළමනාකරුවන්ගේ ලිංගික ගොදුරු බවට පත්වීමට සිදුවීම දුක හිතෙන කතාවකි. එවැනි බොහෝ සිදුවීම් හිරු සඳු යට සදාකාලික රහසක් බවට පත් වන්නේ ඊට මුහුණ පාන ක්‍රීඩිකාවන් ආත්ම ගරුත්වය සහ ලජ්ජාව නිසාම මුනිවත රකිමින් ක්‍රීඩාවෙන් ඉවත් වීම මිස ලිංගික අල්ලස් ඉල්ලා සිටින නිලධාරීන්ට එරෙහිව ඉහළට පැමිණිලි කිරීමක් සිදු වන්නේම නැති තරම්ය. පැමිණිලි කළත්, නොකළත් ඉල්ලූ අල්ලස ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් ක්‍රීඩිකාවන්ට සිදු වන්නේ ක්‍රීඩාව හැර යෑමටය. නොඑසේ නම් සදාකාලිකවම අතිරේක ක්‍රීඩිකාවන් බවට පත්වීමටය. දස්කම් අනුව ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටපත් වී සිය මනදොල පිනවීමට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන්ට සංචිතයේ දොර හැර දීමට තරම් නරුම ගති පැවැතුම් ඇති තේරීම් කමිටු නිලධාරීන්ද, පුහුණුකරුවන් සහ කළමනාකරුවන් ද බොහෝ රටවලින් අදටත් වාර්තා වේ. එය හෙට දිනයේදී ද එලෙසින්ම පවතිනු ඇතැයි ඉඳුරාම කිව හැකි වන්නේ එවැනි චෝදනාවලට ලක්වූ බොහෝ පුද්ගලයන්ට ලැබුණු දඬුවමක් නැති බැවිනි. බොහෝ විට සිදු වන්නේ චෝදනාව ඉදිරිපත් කළ ක්‍රීඩිකාවන්ට ක්ෂේත්‍රය තුළ අවමානයට පත්වීමටය. ඒ හැර අමන වැඩේට මුල් වූ පුහුණුකරුවාට, තේරීම් කමිටුව නිලධාරියාට හෝ කළමනාකරුවාට සුපුරුදු පරිදි සිය රාජකාරියේ නිරත වීමට අවස්ථාව උදා වන්නේ නිතැතින්මය.
ඒවාටද හේතු බොහෝය. ඒවා අඩුවැඩි වන්නේ ක්‍රීඩිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයාගේ තරාතිරම අනුවය. අදාළ පුද්ගලයා ක්‍රිකට් ආයතනයේ ඡන්ද හිමි සාමාජිකයකු නම් වැඩේ ගොඩින් බේරා ගැනීමට අවශ්‍ය පසුබිම ආයතනය විසින්ම සකස් කරනු ලබයි. මාධ්‍ය විවේචන හා රජයේ බලපෑම් හෝ වෙනත් බලපෑම් එල්ල කළ හැකි යම් සංවිධානයකින් එල්ල කෙරෙන දැඩි දෝෂාරෝපණය මත පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් කිරිමට ද ඉඩ තිබේ. එවැනි කමිටුවලින් ඉදිරිපත් කෙරෙන නිර්දේශ සහිත වාර්තා අවසානයේදී පුස්සක් බවට පත් වන්නේ ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැතිවීමෙනි. තිබුණද, ඒවායේ අඩුලුහුඬුකම් ඉස්මතු කර පෙන්වමින් චූදිතයා නිදහස් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට ඕනෑම රටක ක්‍රිකට් බලධාරින්ට ලෙහෙසි වැඩකි. අනික් කරුණ වන්නේ එවැනි චෝදනාවකදී ශාරිරිකව ලිංගික හිංසනයක් සිදුවී නැතිනම් චූදිතයාගේ වාසියට තීන්දුව ලැබීමය. වරදකරු වන්නේ ශාරිරික ලිංගික හිංසනයකදී පමණක් ද? වාචික ලිංගික හිංසනයට නීතියේ ඉඩක් නැද්ද? මෙවැනි ගැටලු රැසකට මැදිවන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ ද සිටිති.
මෙහිදී සිහිපත් වන්නේ පසුගියදා ජීවිතය හැර ගිය සුපිරි දඟපන්දු යවන්නා ශේන් වෝන් වසර ගණනාවකට පෙර එක්තරා කාන්තාවකට ගෘංගාරාත්මක කෙටි පණිවුඩ යැවීමෙන් දඬුවම් ලැබීමේ සිදුවීමය. එසේ බැලූ විට වාචිකව ලිංගික අල්ලස් ඉල්ලා සිටින නරුමයන්ට දඬුවම් ලැබෙන්නේම නැත.
බරපතළම සිදුවීම් සිදු වන්නේ විමර්ශනයට කමිටු පත් කිරීමෙන් පසුය. එවැනි කමිටු හමුවට කැඳවීමෙන් පසු කරුණු ඉදිරිපත් කිරීමට වින්දිතයාට සිදු වෙයි. බොහෝ විට සිදුවන්නේ ඒ වෙද්දිත් අදාළ ක්‍රීඩිකාවට සිය දිවි හානි කරගැනීමට තරම් පීඩනයක් පැටවී තිබීම නිසා සාක්ෂි දීමට ඉදිරිපත් නොවීමය. ඉදිරිපත් වුවත් ඒ වනවිටත් මානසිකව අන්ත අසරණ තත්ත්වයට ඇද වැටී සිටීම නිසා උත්තර බඳින්නේ චූදිතයාගේ වාසියටය. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනු ලබන්නේ ද චූදිතයා විසිනි. විමර්ශන කමිටුව හමුවට යෑමට දිනයක් නියම වීමෙන් පසු නියමිත දිනය වනතුරු වින්දිතයාට හැම පැත්තකින්ම එල්ල වන්නේ දැඩි දෝෂාරෝපණ මාලාවකි. එය චූදිතයාගේ කීර්ති නාමයට හානි කිරීමට හෝ ඔහුගෙන් පළි ගැනීමේ චේතනාවෙන් සිදු කළ ප්‍රලාප බවට පත් කරමින් වින්දිතයාගේ ගැලවිල්ලට අවශ්‍ය පසුබිම සකස් කෙරේ. එය තනිකරම වින්දිතයාගේ මෙහෙයුමකි. ඊට උඩගෙඩි දෙන්නේ අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළම මට්ටමේ නිලධාරීන්ය.
අනිත් අතට ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව කරළියට එක්වීමෙන් පසු සිදුවිය යුත්තේ චූදිතයාට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා වීමය. ක්‍රීඩාවට අදාළ සෙසු පාර්ශ්ව මුණ ගැසීමේදී හිස පහත් කර ගැනීමය. එහෙත් ඒ වෙනුවට සිදු වන්නේ එහි අනික් පැත්තය. චූදිතයා හිස කෙළින් තබා සිනහමුසු මුහුණින් සමාජයේ පෙනී සිටිද්දී, වින්දිතයාට සිදුවන්නේ ලජ්ජාවෙන් හා චකිතයෙන් සමාජයෙන් වසන් වී සිටීමටය. වරද ඒ වනවිටත් හරවා ඇත්තේ වින්දිතයාගේ අවාසියටය.
මීට වසර කිහිපයකට පෙර පාකිස්තානයේ සිදුවූයේ ඒ ටිකය. නිලධාරින් කිහිපදෙනකුගෙන් ලිංගික අතවර සිදු වූ බවට පාකිස්තානයේ මුල්තාන් කලාපයේ ක්‍රීඩිකාවන් පස්දෙනකු චෝදනා එල්ල කර තිබිණි. ඉන් කියැවුණේ ජාතික කණ්ඩායමට සහ කලාපීය ක්‍රිකට් සංචිතයට තෝරා ගැනීමට නම් ලිංගික අල්ලස් ලබා දෙන ලෙස ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ සභාපති සහ කණ්ඩායම තේරීමේ නිලධාරියකු ඉල්ලා සිටි බවය. ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩිකාවක වූ සීමා ජවේඩ් සාක්ෂි සපයමින් ප්‍රකාශ කර තිබුණේ එක්තරා ක්‍රීඩිකාවකගේ නම සඳහන් කරමින් එම ක්‍රීඩිකාව තමාට සපයන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටි බවය. සභාපතිවරයාගේ වයස අවුරුදු 70ක් බව සඳහන් කළ යුතුමය. අනතුරුව මේ සම්බන්ධව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විමර්ශනයක් ආරම්භ කළේය. අවසානයේ සිදු වුයේ චෝදනා එල්ල කළ ක්‍රීඩිකාවන් පස්දෙනාට මාස 6ක තරග තහනමක් පැනවීමය. මුල්තාන් ක්‍රීඩා සමාජයේ නිලධාරින්ට ලැබුණු දඬුවමක් නැත. පසුව වාර්තා වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන් ගෙන්වා නොසෑහෙන්න දොස් පැවරූ බවය. දඬුවම එය විය යුතුද ? සැබැවින්ම සිදු වී ඇත්තේ අදාළ ක්‍රීඩිකාවන් පස්දෙනාට එම චෝදනාව තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සැපයීමට නොහැකි වීමය. නමුත් එහි නිගමනය වූයේ මුල්තාන් ක්‍රිකට් සභාපතිවරයාට සහ තේරීම් බාර නිලධාරියාට එරෙහිව ඔවුන් එල්ල කළ චෝදනා සාවද්‍ය බවටය.
ඛේදජනක සිදුවීම වන්නේ එම ක්‍රීඩිකාවන් පස්දෙනාගෙන් ළාබාලතම ක්‍රීඩිකාව වූ 17 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩිකා හලීමා රෆීක් ඇසිඩ් පානය කර සිය දිවි නසා ගැනීමය. එය සිදුවූයේ චෝදනාව එල්ල කළ ක්‍රීඩිකාවන් පස්දෙනාට එරෙහිව පාකිස්තාන රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා මුල්තාන් ක්‍රිකට් සභාපතිවරයා නඩු පැවැරීමෙන් පසුවය. මේ කාරණාව සෑහෙන දුර දිග ගිය අතර, එහි ප්‍රතිඵලය වූයේ කාන්තා ක්‍රිකට් ලිංගික අතවර හා ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම් සම්බන්ධව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට වඩා වගකීමෙන් යුතුව කටයුතු කිරීමය. පසුගියදා එරට හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයකු වූ නදීම් ඉක්බාල් පුහුණු කාර්ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේ ඒ අනුවය. දකුණු පන්ජාබයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටි 50 හැවිරිදි මේ ක්‍රීඩකයා තමාට ලිංගික අතවර සිදු කළ බවට එම ප්‍රාන්තයේ ක්‍රීඩිකාවක විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. අතවර කළා මදිවට ඔහු සිය මිතුරකු ලවා එය වීඩියෝ පටිගත කර තිබූ අතර, පසුව එම වීඩියෝ පටය පෙන්වා ක්‍රීඩිකාව තවදුරටත් දූෂණය කිරීමේ උත්සාහයක නිරතව ඇත.
අසල්වැසි ඉන්දියාවේ ද මෙවැනි නරුම පුද්ගලයන්ගෙන් අඩුවක් නැත. සමූහ ස්ත්‍රී දූෂණ නඩු පිට නඩු ගොඩ ගැසී ඇති ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සිදුවන ලිංගික අතවර හා ලිංගික අල්ලස් චෝදනා එමටය. මීට දශකයකට පෙර ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රාන්තයේ ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා සිය කණ්ඩායමට තෝරා ගැනීමට නම් ලිංගික කප්පම් ඉල්ලූ බවට එක්තරා ක්‍රීඩිකාවක විසින් පැමිණිලි කර තිබිණි. ආන්ද්‍ර ක්‍රිකට් සංගමය සිය ලේකම්වරයා තනතුරෙන් පහ කළ අතර, පැමිණිල්ල පොලිස් පොතට ද ගියේය. ඉන් නොනැවතී ක්‍රීඩිකාවන් පස්දෙනකු ප්‍රාන්තයේ ස්වදේශී කටයුතු ඇමැතිනි සබීතා රෙඩ්ඩි මුණ ගැසී පැමිණිලි කිරීමට ද කටයුතු යොදා තිබිණි. මීට අමතරව ඉන්දියාවේ බරෝඩා ප්‍රාන්තයේ ක්‍රිකට් සංගමයේ පුහුණුකරු අතුල් බෙඩාඩේට එරෙහිව ක්‍රීඩිකාවන් රැසක් ඉහළට පැමිණිලි කර තිබුණේ බේරෙන්නටම බැරි තැනය. අවසානයේදී ඔහුගේ රැකියාව අත්හිටුවා පරික්ෂණයක් සිදු කිරීමට බරෝඩා ක්‍රිකට් සංගමය පියවර ගත්තේය. සියලු චෝදනා පරීක්ෂණයේදී තහවුරු වූ අතර, ඔහු තනතුරෙන් නෙරපා හැරිණි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය ද ඊට දෙවැනි නොවීය. 2014 වසරේ අවසන් භාගයේදී පුපුරා ගිය ලිංගික අල්ලස් ඉල්ලීමේ බෝම්බය මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද විශාල අවධානයකට ලක් වූ සිදු වීමකි. ජාතික කණ්ඩායමට එක්වීමට නම් ලිංගික අල්ලස් දිය යුතු බවට චෝදනා එල්ල වී තිබුණේ එවකට සිටි නිලධාරීන් කිහිප දෙනකුටය. එවකට සිටි ක්‍රීඩා ඇමති නියමයෙන් පරික්ෂණයක් ද පැවැත්විණි. චෝදනාව වූයේ ලිංගික අල්ලස් නොදීම නිසා දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් කණ්ඩායමට තෝරා ගන්නේ නැති බවටය. මාස ගණනාවකට පසු පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් විය. ශාරිරික වශයෙන් අතවරයක් සිදුවී නැත. ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ විහිළුවටය. එය ක්‍රීඩිකාවන් තේරුම් ගෙන ඇත්තේ වැරදියටය. තේරීම් කමිටු ප්‍රධානියා ක්‍රීඩිකාවන්ට වැඩිහිටියෙකි. ඔහු ක්‍රීඩිකාවන්ට දැනමුතුකම් දෙන්නෙකි. එවැනි පුද්ගලයකුට චෝදනා එල්ල කිරීම සාහසික වැඩකි. අනික කළමනාකරු සහ පුහුණුකරු දෙදෙනාම චරිතය අතින් අන්තිම ඉහළ තලයක සිටින්නෝ වෙති. මේ දෙදෙනාම ක්‍රීඩිකාවන් දෙස බැලුවේ තම එක කුසේ උපන් සොහොයුරියන් දෙස බලන්නා සේය. එවැනි කීර්තිමත් පුද්ගලයන්ට එරෙහිව මෙවැනි චෝදනා එල්ල කිරීම අපරාධයකි.
එවකට ඇහැට කණට පෙනෙන ක්‍රීඩිකාවන්ට කිසිදු කරදරයකින් තොරව කණ්ඩායමේ රැඳී සිටීම අතිදුෂ්කර බව හිටපු ක්‍රීඩිකාවෝ කියති. එබැවින්ම කණ්ඩායම හැර ගිය ක්‍රීඩිකාවෝ ද වෙති. ලිංගික අල්ලස් නොදුන් ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් ක්‍රීඩාව එපා වන තැනට පත් කිරීමට ද කටයුතු යොදා ඇත. මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් ජාතිකයකු හා විවාහ වී එහි පදිංචිව සිටින එවකට ජාතික පිලේ විශිෂ්ට ක්‍රීඩිකාවක වූ සඳමාලි දොළවත්ත සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිව සිටින චමනී සෙනෙවිරත්න ද ඒ අතර වෙති.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු ඇතැම් පුහුණුකරුවන්ගේ අයුතු යෝජනාවලට අවනත නොවීමත්, තේරීම් කමිටුවට ඔවුන් සිදු කළ බලපෑම් විවේචනය කිරීමත් නිසා තමා ඇතුළු දස්කම් අතර සිටි බොහෝ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉවත්වීමට සිදු වූ බව මීට වසරකට දෙකකට පෙර ඩුබායි සිට චමනී සෙනෙවිරත්න මේ ලියුම්කරුට කීවාය. ඇය විදෙස්ගත වූයේ මීට වසර අටකට පමණ පෙරය. සඳමාලි දොළවත්ත හා චමනී දෙදෙනාම කණ්ඩායම හැර ගියේ එකටමය. ජාතික පිලේ හිටපු තවත් විශිෂ්ට ක්‍රීඩිකාවක වන ශ්‍රීපාලී වීරක්කොඩි කණ්ඩායමෙන් ඉවත් වූයේ ඉන් වසර කිහිපයකට පසුවය. මේ තිදෙනාටම අත් වූයේ එකම ඉරණමය.
චමනී විසින් ලියුම්කරුට අනාවරණය කළ තොරතුරු ‘දිනමිණ‘ සහෝදර පුවත්පතේ එවකට පළ විය.
“මේක සිද්ධ වුණේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එක්තරා පුහුණුකරුවෙක් ජාතික කාන්තා පිලේ පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුවයි. එයාගේ අයුතු යෝජනාවට අවනත නොවීම නිසා මටත්, තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකටත් පන්න පන්නා පහර දුන්නා. අපි දෙදෙනාම එයා නියෝජනය කළ කෝල්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්. පසුකාලීනව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ තවත් තුන්ඉරියව් ක්‍රීඩිකාවකට මේ ඉරණම අත්වුණා. නමුත් ඉදිරියට ඇවිත් මේ ගැන හෙළි කරන්න ගොඩක් අය බයයි. එයාලාට හානියක් වේවි කියලා” ඇය කීවාය.
“මේ කියන පුහුණුකරු ජාතික කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ එවකට සිටි ප්‍රධානියා සමඟ පෙර දින රාත්‍රියේ මත්පැන් පානය කරමින් පසු දින තෝරා ගැනීමට නියමිත කණ්ඩායමට එක්විය යුතු ක්‍රීඩිකාවන් කවුරුන්දැයි සාකච්ඡා කළා. පුහුණුකරුගේ අයුතු යෝජනාවට අවනත නොවූ ක්‍රීඩිකාවන් කපා දැමීම සිද්ධ වුණේ ඒ විදියට සමාජ ශාලාවල මත්පැන් තොලගාමින් සිදු කළ සාකච්ඡාවලදියි. තේරීම් කමිටුව ඔහුගේ කීමට අනුව කටයුතු කළා. මේ පුහුණුකරු යම් යම් විදෙස් සංචාරවලදී දැඩි ලෙස බීමත්ව අවිනීත ලෙස හැසිරෙමින් අයුතු යෝජනා ඉදිරිපත් කළ අවස්ථා ද තිබුණා. මේ පුහුණුකරුවන්ගේ පුහුණු කිරීම ඉතා ඉහළ මට්ටමක තිබුණත්, චරිතය නම් ගන්න දෙයක් නෑ.” චමනී පැවැසීය.
මේ තත්ත්වය වෙනස් වූයේ මීට වසර කිහිපයකට පෙර සිටය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ වත්මන් ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය ලෙස කටයුතු කරනු ලබන්නේ ඔහුගේ බිරිය අප්සාරි තිලකරත්න විසිනි. ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් බිහිවෙමින් තිබෙන්නේ ඇගේ මූලිකත්වයෙන් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කරනු ලැබූ ග්‍රාමීය මට්ටමෙන් කාන්තා ක්‍රිකට් දියුණු කිරීමේ සහ ජාතික කණ්ඩායමට දස්කම් සපිරි යොවුන් ක්‍රීඩිකාවන් බිහි කිරීමේ වැඩසටහන තුළිනි. හෂාන් තිලකරත්නගේ උත්සාහය එවැනි ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා අනාගතය ඔප් නැංවීමට ක්‍රිකට් ආයතනය දැමූ අඩිතාලම ඔස්සේ ජාතික සංචිතයට එක්වන ක්‍රීඩිකාවන්ගේ දස්කම් මුවහත් කිරීමය. කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පාර්ශ්ව කියන්නේ හෂාන් සහ අප්සාරි පත් කරමින් ක්‍රිකට් ආයතනය මෙවැනි පියවරක් නොගත්තේ නම් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව අඳුරට තල්ලු වී බොහෝ කල් බවය. එය තනිකරම නරුමයන්ගේ සහ සල්ලාලයන්ගේ රජදහනක් වී බොහෝ කල් බවය.