
දේශපාලන පරපුරකින් පැවත එන ඔබ රාජ්‍ය ඇමැති තනතුරක් දක්වා ආ ගමන ගැන සිහිපත් කළොත්....?
මගේ මහප්පා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම හිටපු මන්ත්‍රී දයා ටී. පස්කුවල්. මම දේශපාලනයට ප්‍රවිෂ්ට වුණේ ඒ නිසාම නෙමෙයි. විශ්වවිද්‍යාලයේදි මහාචාර්ය නලින්ද සිල්වාගේ ජාතික චින්තන මතය සමඟයි මුලින්ම වැඩ කටයුතු කළේ. එදා මම කොළඹ විශ්වවිද්‍යාලයේ සටන්කාමී චරිතයක්. මම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සභාවේ කැඳවුම්කරු හා සභාපතිව සිටියා. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කොළඹ නියෝජිතවත් සිටියා. විශ්වවිද්‍යාලය ඇතුළෙ එදා අපේ සටන පැවැතුණේ ඒ වන විට රටේ පැවැති ඊළාම් යුද්ධයට එරෙහිව. විශ්වවිද්‍යාලය තුළ පක්ෂ දේශපාලනයක් ක්‍රියාත්මක කළේ නැහැ. 2005 වසරේදී, යුද්ධයේ නිමාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂයන් සමඟ එකතු වී දේශපාලනයට පිවිස සටනට සහය දුන්නා. පසුව පොදු ජන පෙරමුණෙන් ඉල්ලීමක් කළා, අපට ඡන්දයට එක්වන ලෙස. ඒ අනුව දේශපාලනයට පිවිස කළුතර දිස්ත්‍රික්කයෙන් පස් වැනි ස්ථානයට පිවිසියා.
රට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන් මේ අවධියේ ඇමැති තනතුරක් බාර ගැනීමේ අරමුණ කුමක්ද?
අපි පාර්ලිමේන්තුවට ගියේ ජනතාවගේ ඡන්දයෙන්. මන්ත්‍රීවරු ඉන්නේ සති දෙකකට වතාවක් පාර්ලිමේන්තුවේ කතාවක් පමණක් පවත්වන්නට නෙමෙයි. ඒ අයගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ අවස්ථාවේ මන්ත්‍රීවරුන් ලෙස නොව රාජ්‍ය ඇමැතිවරුන් ලෙස සහාය දිය යුතුයි. අරගලකරුවන් කුමන දෙයක් කීවද රට වෙනුවෙන් අපේ සේවය ලබා දීමයි සිදුවිය යුත්තේ. ඒ නිසයි, මම රාජ්‍ය ඇමැතිකම බාර ගත්තේ.
ඔබට ලැබුණු ඇමැති ධුරය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?
අනිවාර්යෙන්ම මම සෑහීමකට පත්වෙනවා. මට ලබාදුන් රාජ්‍ය ඇමැතිකම උපරිමයෙන් ඉටු කිරීමටයි, මම කැපවෙන්නේ.
රාජ්‍ය ඇමැතිවරුන්ම 37 දෙනෙක් පත්වුණා. ඔවුන්ගේ නඩත්තුව වෙනුවෙන් විශාල මුදලක් වැය වෙන බවත්, රටේ ප්‍රශ්න වෙනුවෙන් කළ යුත්තේ මෙයද යන්න ජනතාව චෝදනා නඟනවා?
ජනතාව කතා කරන්නේ වියදම් ගැන. ඇමැතිවරුන් සිටියේ නැතිනම් ඒ ඒ අමත්‍යාංශවල වගකීම් හරිහැටි සිදු වන්නේ නැහැ. ඒ නිසා මහජන නියෝජිතයන්ට වගකීම් දිය යුතුයි. රටේ ඇති අමත්‍යාංශවලට දේශපාලනඥයන් හා නිලධාරින් නොමැතිව ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම ඇමැතිවරයෙකුගේ අතින් සිදුවිය යුතුයි. පහසුකම් කප්පාදු කිරීමෙන් ඒ කටයුත්ත සාර්ථක වන්නේ නැහැ. මේ වන විට රාජ්‍ය ඇමැතිවරු ඇමැති වැටුප ගන්නේ නැහැ. නමුත් ඒ කටයුතු කරගෙන යෑමට කාර්ය මණ්ඩලය ඇතුළු අනිකුත් අවශ්‍යතා ලබා දිය යුතුයි. මේවා ඇමැති වරප්‍රසාද නෙමෙයි පහසුකම් පමණයි. අපි කවදත් වරප්‍රසාද භුක්ති විඳලා නැහැ. ඒ වගේම වරප්‍රසාද අපිට අවශ්‍යයත් නැහැ. පහසුකම් ඉක්මවා ගියොත් පමණයි, එය වරප්‍රසාදයක් බවට පත් වන්නේ. ඒ රාජ්‍ය ඇමැතිවරයා කරන කොටසින් ඒ අමත්‍යාංශයේ ඵලදායිතාව වැඩි වෙනවද කියා ජනතාව සෙවිල්ලෙන් සිටිය යුතුයි. ප්‍රගතිය සමාලෝචනය කළ යුතුයි.
රාජ්‍ය ඇමැති වැටුප පත්වූ සියලු දෙනාම ප්‍රතික්ෂේප කළාද?
ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් දෙන්නෙ නැහැ කියලා රජය තීන්දුවක් අරගෙන තියෙනවා. කිසිවකුත් එයට විරුද්ධ වුණේ නැහැ.
මේ අවස්ථාවේ රටට සේවය කරන්න ඇමැති, රාජ්‍ය ඇමැති තනතුරු අවශ්‍යම ද?
මෙයට වඩා අඩු ප්‍රමාණයකින් වුණත් මේ දේ කළ හැකියි. පාර්ලිමේන්තුවේ 225 ක් පත්කර තියෙනවා. අපි රාජ්‍ය සේවයේ සිටියා. ඒ දක්ෂතාවලින් අපි ප්‍රයෝජන ගත යුතුයි. ඊට අවශ්‍යය සහය දිය යුතුයි. ජනතාව හා රජය විසින් කළ යුත්තේ මේ ඇමැතිවරුන්ගේ ඵලදායිතාව පිරික්සීම පමණයි.
යුනිසෙෆ් ආයතනය විසින් ලංකාවේ පෝෂණ තත්ත්වය පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමක් කළා. සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය ඇමැති ලෙස මේ සඳහා ඔබගේ අවධානය යොමු වන්නේ කොයි ආකාරයෙන්ද?
යුනිසෙෆ් ආයතනයේ දත්ත පිළිබඳ යම් අඩුපාඩුවක් අපි දකිනවා. ලංකාවේ සිදු කළ සංගණනය පාදක කර ගනිමිනුයි මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ. අද මන්දපෝෂණය යම් ප්‍රමාණයකට අඩු වෙලා. පසුගිය කාලයේ ජනතාව ස්වභාවිකව ගමේ ආහාරවලට හුරු වුණා. නමුත් ආහාර මිල වැඩි වීම නිසා ලබා ගන්නා ප්‍රමාණයේ අඩුවීමක් පෙන්නුම් කරනවා. මේ නිසා සමාද්ධි ව්‍යාපාරය හරහා අපි අඩු ආදායම්ලාභීන්ට වැඩසටහන් දියත් කරනවා. මේ සඳහා ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් වෙන්කරගෙන තියෙනවා. මේ හරහා අඩු ආදායම්ලාභීන්, ගර්භණි මවුවරුන් දැනුවත් කිරීම මෙන්ම සහන ලබා දෙනවා.
සමෘද්ධිමත් දේශයක් ගොඩ නැඟීමට අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි ව්‍යාපාරය හරහා ශක්තියක් දෙනවා සේම ශක්තිමත් ජනතාවක් ගොඩනැඟිය යුතු වෙනවා.
සමෘද්ධි ආධාරලාභීන් මෙන්ම සමෘද්ධි ආධාර මුදල් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර තියෙනවද?
සමෘද්ධිය කියන්නේ ආධාර දීමක්ම නෙමෙයි. ශක්තිමක් පුද්ගලයකු බිහි කිරීමයි. ස්වයං රැකියා පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. මන්දපෝෂණ ගැටලුවලට මුහුණ දී ඇති අයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අර්බුදය ජය ගැනීම මුළු සමාජයේම රෝපණය කළ යුතුයි. රටවල් දුප්පත් හා පොහොසත් වන්නේ අර්බුදයට මුහුණ දෙන ආකාරයෙනුයි. එය ජයග්‍රහණයේ මාවතක් කර ගත යුතුයි. පාඩු ලබන ආයතන ඉහළ කාර්යක්ෂමතාවකට ගෙන ආ යුතුයි. සමෘද්ධි ව්‍යාපාරයත් එයට අනුගත කළ යුතුයි. මේ හරහා සමාද්ධිලාභි ලිස්ට් එක අඩු කළ යුතුයි. අමත්‍යාංශයට ගිය පසු මම නිලධාරින් සමඟ සාකච්ඡා කර නිසි සැලැස්මක් හදනවා.
රට වැටී ඇති මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අපට හැකි වෙයිද?
ප්‍රශ්නයක් එනවා වගේම එය නැවතත් යනවා. කාලයයි වැදගත්. මෙහිදී ප්‍රශ්න ඉක්මනින්ම විසඳා ගැනීමයි වැදගත් වන්නේ. අපේ සැලැස්ම වෙනස් කර ගත යුතුයි. ලාබදායී රටක් කියන සංකල්පයට අප ආ යුතුයි. පරිභෝජනය අඩු කර ආයෝජනය වැඩි කළ යුතුයි. නිෂ්පාදනයට හවුල් විය යුතුයි. සංචාරක කර්මාන්තය, විදෙස්ගත ශ්‍රමිකයන් වැඩි කළ යුතුයි. මේ වන විට සෑම අමාත්‍යාංශයකම සතුටුදායි ප්‍රගතියක් තියෙනවා. මූලික ප්‍රශ්න මේ වන විට අපි අඩු කරමින් පවතිනවා. තෙල් ගෑස් ප්රශ්නය අඩු වුණාට අර්බුදය තවමත් අවසන් නැහැ. එහි දරුණුතම මට්ටමකයි අපි ඉන්නේ.
නව රාජ්‍ය ඇමැතිවරුන්ට යම් ඉලක්කයක් ලබා දී තිබෙනවාද?
ඉලක්කයක් ලබා දීම ඉදිරියේදී සිදු කෙරෙයි. ඒ ඒ ඇමැතිවරුන් විසින්ම ඉලක්කයක් ලබා ගත යුතුයි. එය මාස්පතා පසු විපරමක් සිදු කළ යුතුයි.