ලෝක ත්‍රස්ත­වා­දයේ මළ­ගම සට­හන් වූ ලොව විශා­ල­තම ත්‍රස්ත ප්‍රහා­රය සිදුවී වසර 21යි | Page 2 | සිළුමිණ

ලෝක ත්‍රස්ත­වා­දයේ මළ­ගම සට­හන් වූ ලොව විශා­ල­තම ත්‍රස්ත ප්‍රහා­රය සිදුවී වසර 21යි

හෝලි වින්ටර් ඒ දිනය වෙනුවෙන් සිහින මැවුවාය. වසර දහයකටත් අධික කාලයකට පසු තම පාසල් මිතුරන් සියලු දෙනා එකම තැනකදී මුණ ගැසීම යනු සිහිනයකි. ඔව්. තව මිනිත්තු කිහිපයකින් ඒ සිහිනය සැබෑ වන්නේය. හෝලි වින්ටර් තම පය ඉක්මන් කළාය. ඈ තුළ නොරිස්සුම් හැඟීම් මතුව එමින් තිබිණි. තම වියපත් මව නොවන්නට මේ වන විටත් ඇය ඔවුන් අතරය. තමාගේ ප්‍රමාදයට හේතුව විමසමින් නිව්යෝර්ක් හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දකුණු කුලුනෙහි තම පාසල් මිතුරු ඩෙරික්ගේ කාර්යාලයේ මේ වන විට ඔවුන් සියලු දෙනා රැස්ව සිටින්නෝය. හෝලි යළිත් පය ඉක්මන් කළාය. ඇයට දැඩි සතුට හේතුවෙන් රාත්‍රියේ සුව නින්දක් තිබියේද නැත. වේලාසනින්ම අවදි වූ ඇය ආහාර ද සකසා සූදානම් වුවද ඇයගේ වියපත් මව පවසා සිටියේ තමන් සමඟ මඳ වේලාවක් ගත කරන ලෙසයි. එය ප්‍රතික්ෂේප කළ නොහැකි වූ බැවින්ම ඇය මවගේ ඇඳ අසලට වී ඇය වෙනුවෙන් කියවමින් පැයක පමණ කාලයක් ගෙවා දැම්මාය. ඉතින් ඇය නිවසින් පිටත් වන විටත් ඇය සිටියේ පැය බාගයක ප්‍රමාදයක් සමඟිනි.

හෝලි වින්ටර්ට ඒ වන විට ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දිස් වෙමින් තිබිණි. ඇය ඇවිද යමින් සිටියේ ඍජුව ඒ වෙතට වැටුණු දෙපස කාර්යාල ගොඩනැගිලිවලින් පිරී ගිය මාවත ඔස්සේය. වේලාව උදෑසන 8.46 ලෙසින් සටහන්ව තිබෙණු තම අත බැඳි ඔරලෝසුවෙන් හෝලි දුටුවාය. ඔව්. ඇය විනාඩි 46ක් ප්‍රමාදය. යළිත් පය ඉක්මන් කරමින් ඉදිරිය බැලූ හෝලි වින්ටර් දුටුවේ අසාමාන්‍ය ලෙස පහතින් ගමන් ගන්නා ගුවන්යානයකි. එය නම් මේ උසැති ගොඩනැගිලි සහිත නිව්යෝර්ක් නගර මධ්‍යයට අසාමාන්‍ය දසුනකි. එබැවින්ම හෝලි එම ගුවන් යානයෙන් තම ඇස ඉවතට නොගත්තාය. ඇය නොදැනුවත්ව ඇය මේ දකිමින් සිටියේ මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ සිදුවීමක සජීවී දර්ශනයකි.

වේගයෙන් පැමිණි ගුවන්යානය හෝලිගේ ඇස් ඉදිරිපිටදීම ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු කුලුනේ ගැටිණි. සිදුවීම ඇසින් දුටු හෝලි ඇතුළු මාවතේ සිටි සියලු දෙනා භීතියෙන් මරහඬ නැගුවෝය. ගැටීම හේතුවෙන් දෙදරුම් කෑ කුලුන දුමෙන් පිරී ගියේය. ඇතුළත ගිනි ගන්නා බවක්ද දක්නට විය. කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ ජනතාව ඒ මේ අත දිව යන්නට වූහ. තම මිතුරන් මේ මොහොතේ සිටින්නේ දකුණු කුලුනේ වූ බැවින් හෝලි සැනසුම් සුසුමක් හෙළුවාය. ඔවුන් වෙත යන්නට ඉදිරියටම ගියද ඒ වන විට මාර්ගය වසා දමා ජනතාව ඒ වෙතට ඒම පොලිසිය විසින් වළකමින් සිටි බැවින් හෝලි කිසිවක් තීරණය කර ගත නොහැකිව සිටියාය. එහෙත් යළිත් වරක් නිව්යෝර්ක් නගර මධ්‍යයේ අහස තවත් ගුවන් යානයකින් වැසී ගියේය. එම ගුවන් යානයද දෙනෝ දාහක් දෙනාගේ ඇස් ඉදිරිපිටම වේගයෙන් ගමන් කර මේ දක්වා නිරුපද්‍රිතව තිබූ දකුණු කුලුනේ ගැටුණේය. ඒ වන විට වේලාව උදෑසන 9.03 ලෙසින් සටහන් විය.

මෙතැන් සිට ගතව ගිය පැයකුත් විනාඩි හතළිස් දෙකකට පසු ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු දෙකම සම්පූර්ණයෙන් බිමට පතිත විය.

ඒ සමඟම ඇමෙරිකාව තම ආරක්ෂක විධිවිධාන තර කිරීමට කටයුතු කළද, ඒ වන විටත් තවත් ගුවන් යානා දෙකක් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් බිම ඇද වැටී තිබිණි. ඉන් එක් ගුවන්යානයක් ඇමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට කඩා වැදී තම ඉලක්කය සපුරාගෙන තිබූ අතර අනික් ගුවන්යානය පෙන්සිල්වේනියාවට කඩා වැටී තිබුණේ ත්‍රස්තයන් තම ඉලක්කය කරා එය ගෙන යෑමට පෙර මගීන් යානය තුළ සිදු කළ කලබලයක් හේතුවෙනි. පසුව බුද්ධි අංශ විසින් තහවුරු කර ගනු ලැබුවේ සිවුවැනි ගුවන් යානය ඇමරිකාවේ පාර්ලිමේන්තුව ලෙස සැලකෙන කැපිටල් ගොඩනැගිල්ල හෝ ධවල මන්දිරය ඉලක්කය ලෙස තබා ගනිමින් ක්‍රියාත්මක වුවද ඒ වන විට අදාළ ඉලක්කවලට කඩා වැදුණු අනෙකුත් ගුවන්යානා පිළිබඳ තොරතුරු මගීන් දැන සිටි බැවින් ඔවුන් ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්නට ඇති බවත්, ඒ මගින් අදාළ ඉලක්කය වෙත යෑමට පෙර යානය කඩා වට්ටන්නට මගීන්ට හැකි වන්නට ඇති බවත්ය.

මෙතරම් විනාශයක් වුවද ඉතා නුවණැතිව කටයුතු කළ ඇමෙරිකානු බලධාරින්, ආරක්ෂක අංශ මෙන්ම ඇමෙරිකානු මාධ්‍ය ද මියගිය කිසිවකුගේ ඡායාරූප ලොව පුරා පතුරුවා නොහැරි අතර ජනතාව කුපිත කරවන පුවත් පළ නොකිරීමටද කටයුතු කළේය. අවසානයේදී ලොවට ප්‍රකාශ කෙරුණේ පුද්ගලයන් 3000කට අධික සංඛ්‍යාවක් මේ ප්‍රහාරය හේතුවෙන් මියගිය බව පමණි.

එහෙත් ඒ අතර ඇමරිකානු බලධාරීන් මේ ප්‍රහාරය පසුපස සිටින ත්‍රස්ත සංවිධානය නිවැරදිව හඳුනා ගනිමින් ඔවුන් පරාජය කිරීමට කටයුතු මෙහෙයවීය.

සැබවින්ම ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ලෝක ඉතිහාසයේ සංධිස්ථානයක් වන්නේ එයින් පසු එම ප්‍රහාරයේ අතුරු ප්‍රතිඵල ලෙස සමස්ත ලෝකයට අත්විඳිමට සිදුවූ සිදුවීම් හේතුවෙනි. මේ ප්‍රහාරයත් සමඟම ඇමෙරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ ප්‍රකාශයට පත් කළ අතර, ප්‍රහාරය පිළිබඳව චෝදනා එල්ල වූ අල් කයීඩා සංවිධානයේ මූලස්ථානය ස්ථාපිත කර ඇතැයි ඔවුන් සැක පහළ කළ ඇෆ්ගනිස්ථානය කරා හමුදා මෙහෙයවීය. ඉන් ටික දිනකින්ම ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ ඇමෙරිකාව 2021 වන තෙක් එරට පාලනයද මෙහෙයවීය. අවසානයේ 2021 වසරේ අගෝස්තු මාසයේදී එරටින් තම හමුදා ඉවත් කර ගත්තේ දැරිමට සිදුවන අධික වියදමද සැලකිල්ලට ගනිමිනි. ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමේදී සේවා සහාය ලබා ගැනීම සඳහා පාකිස්තානය සමග මිත්‍රශීලී වූ ඇමරිකාව පාකිස්තාන දේශපාලනයද යම් යම් බලපෑම් කළ බවට සාධක තිබේ. මේ සියල්ලේ අවසානය වුයේ පාකිස්තානය කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක් බවට පත් වීම ලෙසින්ද දැක්විය හැකිය.

මෙලෙස ඇමෙරිකාව ඉස්ලාම් අන්තවාදයට එරෙහිව යුද ප්‍රකාශ කරන විට, අල් කයීඩා සංවිධානයයේ සාමාජිකයන් ඝාතනය වන විට, ඇෆ්ගනිස්තානයේ තලේබාන් සාමාජිකයන් පසු බසින විට, ඝාතනය වන විට තවතවත් ඉස්ලාම් සංවිධාන ලොව තුළ වඩා ප්‍රබලව සංවිධානය වන්නට විය. අයිඑස්අයිඑස් සංවිධානය ඒ සඳහා හොඳම උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒ සමඟ ලෝක සිතියමේ සාමකාමී රටක් ලෙස පැවති සිරියාව කනගාටුදායක ලෙස යුද බිමක් බවට පත් විය. අවට වූ තුර්කිය ඇතුළු රටවල් රැසක වාතාවරණයට ද ඒ සමඟින් බලපෑම් එල්ල විය. ඉරාකයද අන්තවාදී ඉස්ලාම් සංවිධාන විසින් අත්පත් කර ගැනීමට උත්සාහ දැරූ නමුත් ඇමෙරිකාව එය වළක්වාලීමට සමත් විය.

මේ අතර වසර ගණනාවක් උත්සාහ කිරීමෙන් පසුව සැප්තැම්බර් ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී අල් කයිඩා නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් මරා දැමීමට ඇමෙරිකාවට හැකියාව ලැබුණු අතර පසුව අයිඑස් සංවිධානයේ නායකයන් කිහිප දෙනෙක්ද මරා දැමීමට ඇමෙරිකාවට හැකියාව ලැබිණ. මෙලෙස 2001 සැප්තැම්බර් 11වැනිදා ඇමෙරිකාවට එල්ල වූ ප්‍රහාරය ඇමෙරිකාවේ පමණක් නොව ලොව රජ්‍යයන් රැසක මිලියන ගණන් ජනතාවකගේ ජීවිත වෙනස් කිරිමට වක්‍රාකාරයෙන් දායක විය.

 

Comments