ලොව හොඳම මාස්ක් එකට මොකද වුණේ | සිළුමිණ

ලොව හොඳම මාස්ක් එකට මොකද වුණේ

කොවිඩ් වසංගත පැතිරෙමින් තිබිණි. මැසි මදුරුවෝ සේ මිනිස්සු මිය යමින් සිටියහ. අප සිටියේ ලෝකයම ගිලගත් මහා උවදුරේ පහසු ගොදුරක්ව ව්‍යසනයට ලක් වෙන්නට හිත හදා ගනිමිනි. ඒ ව්‍යසනය මැද අපේ අපූරු මිනිස්සු ලෝකයේ විශිෂ්ටතම මුව ආවරණය නිපදවූ බව ඔබට මතක ඇත. එය ලෝකයේ අංක එකේ මුව ආවරණය ය. ඒ මුව ආවරණය හැදුවේ ලෝකයේ ප්‍රථම වරට නිර්මාණය කළ වයිරස් මරා දමන සේ වැඩි දියුණු කළ රෙදි විශේෂයකිනි. ඒ තාක්ෂණය අපේය. ඒ විශිෂ්ට නිර්මාණයට අද කුමක් වී තිබේද?. මේ විමසුම ඒ පිළිබඳ කරන පසු කථනයකි.

 

ලෝකයේ අංක එකේ මුව ආවරණය නිර්මාණය වන්නේ පේරාදෙණිය සරසවිය මුල් කර ගනිමිනි. අපට ජීවිත බලාපොරොත්තු ගෙනා ඒ විද්වත් පර්යේෂණ කාර්යයේ පුරෝගාමියා වූයේ පේරාදෙණිය සරසවියේ රසායන විද්‍යායාව පිළිබඳ මහාචාර්ය ගාමිණී රාජපක්ෂය. ඔහු ලොව පිළිගත් විශිෂ්ට පර්යේෂණ ගණනාවක් කළ විද්වතෙකි. නව නිර්මාණ 10කට පේටන්ට් අයිතිය හිමි පර්යේෂකයෙකි. අන්තර්ජාතික තලයේ පේට්න්ට් අයිතීන් දෙකක් ද ඔහු සතුය. මෙම මුව ආවරණය නිර්මාණය කිරීමට පදනම් වූ පසුබිම ඔහු අපට පැහැදිලි කරන්නේ මෙසේය.

නැනෝ මාස්ක් එක බිහිවුණු හැටි

“ කොවිඩ් ආවාම බැලුවා මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඒ වෙනකොට මම මොරටුවෙ සරසවියේ රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු අංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමඟ එක්ව වැඩි දියුණු කළ රෙදි ප්‍රභේද ගැන පරීක්ෂණ කරමින් හිටියේ. මේ වැඩි දියුණු කළ රෙදි සම්බන්ධව මගෙ තිබූ දැනුමෙන් මාස්ක් එකක් නිර්මාණය කරන්න පුළුවන් කියලා මම තේරුණා.

මට වඩාත් ඵලදායී, පරිසර හිතකාමී මුව ආවරණ හදන්න අවශ්‍ය වුණා. සැලසුම් කළේ පරිසර හිතකාමී කපු රෙදිවලින් හදන මුව ආවරණයක්. එය ස්ථර තුනකින් යුතුයි. මුල් ස්ථරය නෙළුම් කොළයක් වගේ. අපේ පර්යේෂණ දැනුම මේ කටයුත්ත ඉතා පහසු කළා. මෙවැනි වැඩි දියුණු කළ රෙදි විශේෂයක් නිර්මාණය කර ගන්න ක්‍රම 19ක් අප සොයාගෙන තිබුණේ. මෙය මුව ආවරණයක් නිසා රෙදිවල කිසිම වසක් විසක් තියෙන්න බෑ. ඒ වගේම අප භාවිත කරන ද්‍රව්‍ය රෙද්දට හොඳින් රසායනිකව බැඳිලා සේදුවත් ගැලවිලා නොයන සේ තිබිය යුතුයි. මුලින්ම අප එය කළා. නෙළුම් කොළය වගේ පෘෂ්ඨය නිසා වයිරසය නොරැඳී විසි වී යනවා.

දෙවන ස්ථරයේ කපු රෙද්ද මිනිස් ශරීරයට හිතකර රූපලාවණ්‍ය ආලේප සඳහාත් භාවිත කරන රසායනික සංයෝග දෙකකින් බලගැන්නුවා. ඒ ස්ථරයෙන් වයිරසය අතුළු වෙන්න ගියොත් රෙදිවල බන්ධනය කරලා තිබෙන ඒ සංඝටක විසින් වයිරසය විනාශ කරනවා. තුන් වන ස්ථරය ජල වාෂ්පවලට ඔරොත්තු දෙන, මිනිස් සිරුරට අහිතකර නොවුණත් මැද ස්ථරයෙ ඇති කිසිම රසායනික ද්‍රව්‍යයක් සිරුරට ස්ඵර්ශ නොවන වැඩි දියුණු කළ කපු රෙදි වර්ගයක්. මේ මාස්ක් එක හදලා අපි එංගලන්තයෙ ඉම්පීරියල් සරසවියේ දියුණුම පර්යේෂණාගාරයකින් තුන් වරක් පර්යේෂණ කළා. තුන් වතාවෙම ප්‍රතිඵලය ආවේ සාර්ථකත්වය සියයට 99.9යි. ලංකාවේදී කළ පර්යේෂණවලදී අපි තහවුරු කර ගත්තා වොෂින් මැෂිමක 25 වතාවක් යනතුරු සේදුවත් කිසිම ආකාරයකින් පිටත ස්ථරයේ නෙළුම් කොළය ස්වරූපය විනාශ වෙන්නෙ නැති වග. ඒ කියන්නෙ පුද්ගලයකුට මේ මුව ආවරණය සෝදමින් මාසයකට ආසන්න කාලයක් භාවිත කළ හැකියි. ඒ වගේම අප තහවුරු කර ගත්තා මෙය පලඳින පුද්ගලයකුට රෝගය බෝ නොවනවා සේම රෝගියකුගෙන් මේ මුව ආවරණය හරහා වයිරසය එළියට ගමන් නොකරන වග.

නැනෝ ඒ.වී. රෙස්පිරොන් 99 කියන්නේ, ඉතාලි වචනයක්. විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් එය සොයා ගත්තේ. ඒ.වී. කියන්නේ ඇන්ටි වයිරස් එක සීයට 99ක් මරනවා කියන එකයි. කොහොම වුණත් මේ මොහොතෙත් මේ මාස්ක් එක තමයි ලෝකයේ නිෂ්පාදනය වෙන සෞඛ්‍ය ආරක්ෂිතම මාස්ක් එක.“

එකමුතුව කළ මෙහෙයුම

රටක් ලෙස ආඩම්බර විය හැකි එම නව නිපැයුම. ඉන් අනතුරුව වසරකට ආසන්න කාලයක් දේශීය වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් ලැබුණේය. මෙම මුව ආවරණය නිර්මාණය වන්නේ විශාල පරාසයක විෂය ක්ෂේත්‍රයන්හි දැනුම, කැපවීම හා අවබෝධයේ එකමුතුවකිනි. ඒ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ, විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් සසංක තිලකරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමෙනි. සරසවිය තුළ මේ විශිෂ්ට පර්යේෂණය සිදු කිරීමේ පදනම නිර්මාණය කළෝ එවකට උපකුලපති උපුල් දිසානායකයෝය. එවකට නියොජ්‍ය උපකුලපති පරාක්‍රම කරුණාරත්නයන්ය.

මේ විශිෂ්ට පර්යේෂණය ප්‍රායෝගික කර එය වාණිජ නිෂ්පාදනයක් තෙක් දියුණු කිරීමට මූලිකත්වය ගන්නේ එවකට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනය. කපු රෙදි රසායනිකව බල ගන්වන ද්‍රාවණය හදන්නේ කටුනායක ඉසබෙලා ආයතනයෙනි. එය රෙදිවලට බන්ධනය කරන්නෙ කඩුවෙල ලුමියා ආයතනයෙනි. ලෝකයට මේස් නිෂ්පාදනය කරන සමාගමක් වූ සරසවි ඉන්ඩ්‍රස්ට්‍රීස් ආයතනය හරහා මෙම මුව ආවරණය නිෂ්පාදනය කරවා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ඔස්සේ සතොස වෙළෙඳසල් හරහා අලෙවිය සිදු විය. නිෂ්පාදනය වෙළෙඳපොළට එන සෑම අවස්ථාවකම අදාළ තොගවල තත්ත්ව පරීක්ෂා කොට ස්ථර තුනේ ක්‍රියාකාරීත්වය ගැන සහතික විය.

ව්‍යාජ නිෂ්පාදන

ඒ අතරම වෙළෙඳපොළ මාෆියාවට එරෙහිව සටනක් කිරීමට නිෂ්පාදකයන්ට සිදු වී තිබිණි. මේ විද්වත් කණ්ඩායම මෙම මුව ආවරණය හදා එය Respirone ලෙස නම් කර පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා කාලය ඇතුළතත් මීට සමාන, තාක්ෂණිකව බෙහෙවින්ම බාල උපක්‍රම සහිතව Respilon ලෙස නම් කළ මුව ආවරණයක් චෙකොස්ලෝවැකියාව විසින් විදේශ වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය කීරීම අරඹා තිබිණි.

අපෙන් පසු මෙවැනිම මුව ආවරණයක් මෙම තාක්ෂණය යොදාගෙන වෙනත් රෙදි වර්ගවලින් දකුණු කොරියාවේ නිෂ්පාදනය විය. එය ඩොලර් තිස් ගණනකට අලෙවි කර තිබිණි. ඒ අතර අපේ මිනිස්සුම Respirone වෙළෙඳ නාමය සහිතව ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳපොළට එක් කළේය. පුදුමාකාර වේදනාවක් ඇතිවන්නේ ලෝකයට නව විශිෂ්ට තාක්ෂණයක් සොයා දෙමින් ලෝකයේ අංක එකේ මුව ආවරණය නිෂ්පාදනය කළ අපට අපේ නිෂ්පාදනය ආනයනය කිරීමට ඉඩකඩ නොලැබීමය.

“අපට අපනයන වෙළෙඳපොළට යවන්න බැරි වුණා. ඒ ලංකාවේ එන්. එම්.ආර්.ඒ සහතිකය ලබා ගන්න බැරිවුණු නිසා.“ මහාචාර්යවරයා කීවේය.

මුව ආවරණයේ කතාව නිම වෙයි ද

දැන් කොවිඩ් වසංගතය පිළිබඳ ඇති අවධානය ජනතාව කෙරෙන් තුරන් වී යමිනි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව මුව ආවරණ පැලඳිය යුතු වුවද පවතින ආර්ථික ව්‍යසනය මිනිස්සුන්ගේ ප්‍රමුඛතා වෙනස් කර තිබේ. මේ තත්ත්වය තුළ ලෝකයේ අංක එකේ මුව ආවරණයේ අනාගත ඉරණම කුමක් විය හැකි ද? ලොව පිළිගත් ආයතනයක් ලෙස මෙම මුව ආවරණය නිෂ්පාදනය කිරීමේ වගකීම භාර ගත්, සරසවි ඉන්ඩ්‍රස්ටීස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත පෙරේරාගෙන් විමසුවෙමි.

“ මාස්ක් එක හඳුන්වා දී ප්‍රසිද්ධ වූ පසු ඉතාම ශීඝ්‍ර ඉල්ලුමක් තිබුණා. ඒ ඉල්ලුම සැපයුම වගේ දහ ගුණයක්. නමුත් ඒ සැපයුම කර ගන්න අපට බැරි වුණා. හේතුව කොවිඩ් දවස්වල කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ධාරිතාව අඩු වීම. තාක්ෂණිකව වැඩිදියුණු කරන්න තොරාගත් මේ රෙද්ද විශේෂිත වූ එකක්. එය සාමාන්‍ය දේශීය වෙළෙඳපොළේ නෑ. කොවිඩ් වසංගතයත් සමග ලෝකයේ සියලු නැව ගත කිරීම් ප්‍රමාද වුණා. නිෂ්පාදනය අඩු වෙන්න එය එක් හේතුවක් වුණා.

ඒ වගේම මේ මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලිය සංකීර්ණයි. මේ වගේ තත්ත්ව තුළ ප්‍රායෝගිකව මුව ආවරණයක් නිෂ්පාදනය කරන්න තරමක කාලයක් ගියා. ඒ අතරෙ කොවිඩ් රැලි කීපයක් ආවා . ඒවට මුහුණ දෙමින් නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කරමින් එනකොට කොවිඩ් රැල්ල අඩු වුණා. ඒ එක්කම ඉල්ලුම අඩු වුණා.

වසංගත තත්ත්වය අඩු වීම රටක් වශයෙන් අසීමිත සතුටට කාරණයක්. ඒත් තවමත් සෞඛ්‍ය මාර්ගෝපදේශවල තියෙන්නෙ මුව ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය බවයි. එය නොසලකා හැරීමක් සමාජයේ තිබෙනවා. එන්නත් කරණය හතර වන මාත්‍රාව දක්වා යන හින්දා වයිරසයේ බලපෑම ජන ජීවිතයට අඩු වෙලා.

මේ තත්ත්වය තුළ දැනට වෙළෙඳපොළට අවශ්‍ය මාස්ක් ප්‍රමාණය අප සතුව තොග වශයෙන් තියනවා.“

හේමන්ත පෙරේරා නිෂ්පාදකයෙක් ලෙස මේ තත්ත්වය දකින්නේ එසේය. ඒ සමඟම මෙම මුව ආවරණයේ මිල අඩු වීමක් දක්නට ලැබිණි. එම මිල අඩු කිරීම පවතින ආර්ථික ව්‍යසනය සෑම ව්‍යාපාරයකටම බලපෑම් කරන ආකාරය පිළිබඳ වූ කතාවක් කියන්නේය.

“මිල අඩු වුණේ විශේෂිත වූ මිලක් නියම කරලා ප්‍රමෝෂන් එකක් ආරම්භ කළ නිසා. අපේ ලොකු ස්ටොක් එකක් තියනවා. ඉක්මනින් ඒ තොග ඉවර කරගන්න ඕන. මීට මාස හයකට කලින් මේ වෙනුවෙන් ආයෝජනය කළ මුදලට ගිය බැංකු පොලියට වඩා බැංකු පොලිය තුන් ගුණයකින් වැඩි වෙලා. අපට මේ ව්‍යාපාරයෙදි දැන් අවශ්‍ය වෙන්නේ තොග අඩු කර ගැනීම. එසේ කරන්නෙ මිල අඩුකිරීමේ අලාබය ආයතනය විසින් දරාගෙන.

මේක ව්‍යාපාරයකට වඩා සමාජ ව්‍යාපෘත්යක්. ඒත් මේ සඳහා විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණෙ නෑ. නමුත් එවකට හිටපු වෙළෙඳ ඇමතිවරයා විසින් සතොස වෙළෙඳ ජාලය හරහා මෙය අලෙවි කරන්න අවස්ථාව සැලසුවා. පේරාදෙණිය සරසවිය රාජ්‍ය සරසවියක් විදිහට විශාල කැපවීමක් කළා.

අපනයන වෙළෙඳපොළ මඟ හැරුණු හැටි

අපට අපනයන වෙළෙඳපොළ මඟ හැරුණු ආකාරය විමසුවෙමි. ඔහු ඒ සම්බන්ධව අපට කීවේය.

“ ලෝකයේ ප්‍රථම වතාවට මෙහෙම නිෂ්පාදනයක් කරලා තියෙන්නෙ. අපනයන වෙළෙඳපොළට යන්න ඒවට අවශ්‍ය පරීක්ෂණ වාර්තා අරන් ඒවා ජාත්‍යාන්තරව ඉදිරිපත් කරලා සන්නාම ලියාපදිංචි කරලා විශාල වැඩකොටසක් තියනවා කරන්න. ඒක සමහරවිට මේ නිෂ්පාදන ක්‍රියාවලියටම දරන පිරිවැයට සමාන පිරිවැයක් දැරිය යුතු වැඩක්. අපට ඒ මට්ටමට ළඟා වෙන්න ආර්ථික ශක්තියක් නෑ.

තව මාස හයකට ආසන්න කාලයක් සඳහා රෙදි කෙමිකල් සහ නිමි නිෂ්පාදන තොගයක් අප සතුව තිබෙනවා. ඩොලර් එක වැඩි වෙන්න කලින් රෙදි ටික ගෙනාවෙ. අද පවතින තත්ත්වය තුළ ඉදිරි නිෂ්පාදන ක්‍රියාවලිය ගැන තීරණයක් ගන්නත් බෑ. අනික නව නිෂ්පාදනයක් කරන්න වුණොත් මේ මිල සියයට පනහක් වැඩි කරන්න වෙනවා.“

අපට කළ හැකි දේ

“පේරාදෙණිය සරසවිය සොයා ගත්තු මේ තාක්ෂණයට රජයෙන් අතහිත දෙනවා නම් විවිධ ඉසව් සඳහා යොදවන්න පුළුවන්. මේ ෆැබ්රික් එකෙන් වයිරස් එක මැරෙනවා. වයිරස් එකක් මැරෙන ෆැබ්රික් එකක් ලෝකයේ කොතැනවත් නිෂ්පාදනය වෙලා නෑ.

බෝ වන රෝග සහ දරුණු රෝග සඳහා ප්‍රතිකාර කරන ලෝකයේ විවිධ රෝහල්වලට ඒ අයගෙ ඒප්‍රන් එක, පීපීඊ කිට් එක පුද්ගලික ආරක්ෂණ උපකරණ, ඇඳ රෙදි, කොට්ටඋර, තුවා නිෂ්පාදනය කරන වැඩක් සඳහා අපට යන්න පුළුවන්. මේ වගේ කටයුත්තකදි අවසන් හොඳ ප්‍රතිඵලයක් ගන්න එම ක්‍රියාවලියේ අවසානයක් දක්වා රාජ්‍ය අංශයේ සහයෝගයක් අවශ්‍ය වෙනවා.“

ලෝකයේ අග්‍රේසර සොයාගැනීමක් කර මරණය දකිමින් බියපත්ව සිටි මිනිස්සුන්ට ජීවිතය සහතික කළ ව්‍යාපෘතියක දුක්ඛිත අවසානයක් සලකුණු වන අයුරු දුර සිට දකිමු. සුවපත් ලොවකට මුව ආවරණයක් අවශ්‍ය නොවන්නට පුළුවන. නමුත් එම නිෂ්පාදන තාක්ෂණයේ මූලධර්මය ලෝකය පවතිනතාක් වලංගුය. ඉතිහාසය පුරා මතුවුණු එවැනි අවස්ථා නිර්මාණාත්මකව කළමනාකරණය කර නොගැනීමේ ඛේදවාචකය අපි විඳිමින් සිටිමු.

 

 

Comments