
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මැල්සිරිපුර උපන් ඔහුගේ පියා පළාතේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ යූ.කේ. සරත් නාමරත්න උඩුකුඹුර ය. මව, පියසීලි උඩුකුඹුර ය. ඔවුන් දෙපළගේ දරුවන් තිදෙනාගෙන් දෙවැන්නා සුමිත් ය. ඔහුට වැඩිමහල් සහෝදරයකු සහ බාල සහෝදරියකි.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුමිත් උඩුකුඹුර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු උසස් පෙළ හදාරන්නේ වාණිජ විෂයය ධාරාවෙනි. පාසලේ වාණිජ ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඔහු බාහිර ක්‍රියාකාරකම්වලට ද සම්බන්ධ වෙමින් සිය පෞරුෂත්වය සහ නායකත්ව ලක්ෂණ ගොඩනඟා ගත්තේය. පාසලේ ක්‍රිකට්, මලල ක්‍රීඩා මෙන්ම ශිෂ්‍ය භට කණ්ඩායමේ ද කැපී පෙනෙන සාමාජිකයකු වූ හෙතෙම ක්‍රීඩා සමාජ සහ යෞවන සමාජ ඇතුළු ස්වේච්ඡා සංවිධාන රාශියක් නියෝජනය කරමින් සමාජ ඇසුර ද දියුණු කර ගත්තේය.
“පාසල් ජීවිතයෙන් පසුව මම බලාපොරොත්තු වුණේ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නිලධාරියකු විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමටයි. ඒ නිසාම මම උසස්පෙළ විභාගය ලියලා වැඩි කාලයක් යන්න කලින්ම ශ්‍රී ලංකා පොලිසියේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට පොලිසියට බැඳුණා. ටික කාලයක් එහි පුහුණුවීම්වලටත් සම්බන්ධ වෙලා හිටියත් පසුව මම එයින් ඉල්ලා අස්වුණා. ඒකට හේතුව වුණේ ආයතනයක් ඇතුළට වෙලා කරන සේවයට වැඩි සේවයක් මට එළියට ඇවිත් මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් කියලා හිතුණු නිසයි. ඒ නිසාම මම තාත්තගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන අතරතුරම මගේ අතේ තිබුණු සල්ලිවලින් යූ. කේ. සුමිත් සත්කාරක පදනම පිහිටුවා ගත්තා. ඒ මඟින් ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරුවන්ට පාසල් උපකරණ, පාවහන් ආදිය ලබා දුන්නා වගේම අසරණ මිනිස්සු වෙනුවෙන් මට හැකි පමණින් උදව් උපකාර කළා. ඒ දේවල් කළේ දේශපාලනයට එන අදහසකින් නම් නෙවෙයි. එහෙත් ඒ දේවල් මගේ දේශපාලන ගමනට පදනම සපයන්න ඇති”
ඒ වදන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ ය. ඉකුත් මැයි 9 වැනිදා රට පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් ඔහුගේ පෞද්ගලික දේපළ ද විනාශයට පත්විය. ඒ සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් උඩුකුඹුර සිය මතකය ආවර්ජනය කළේ මෙසේය.
“එදා මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ධුරයෙන් සමුගැනීමේ උත්සවයට සහභාගි වෙන්න මමත් අරලියගහ මන්දිරයට ආවා. ඒක අවසන් වෙලා අපි අරලියගහ මන්දිරයේ ඇතුළේ ඉන්නකොට තමයි එළියේ ගැටුම් ඇතිවෙන බව ආරංචි වුණේ. ඒ නිසා අපිට එළියට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වෙද්දිත් එළියේ විශාල භීෂණකාරී තත්ත්වයක් ඇතිවෙමින් තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකට පහර දීම්, වාහන ගිනි තැබීම් වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමඟදීම ඝාතනය කරන තරමටම ඒ සිදුවීම් බිහිසුණු වෙමින් තිබුණා. ඊට පහුවදා, 10 වැනිදා මම හිටියේ කොළඹ මගේ සමීප හිතවතකුගේ නිවෙසේ. එතකොට මට දැනගන්න ලැබුණා, ෆේස්බුක් හරහා විශාල ප්‍රචාරයක් යනවා, “අද අනිවාර්යෙන් යූ. කේ. සුමිත්ගේ ගෙට ගිනි තියන්න ඕනේ, ඒකට එකතු වෙන්න” කියලා. ඒවා දකිද්දි මට හිතුණා මොකක් හරි විනාශයක් සිද්ධ වෙයි කියලා. මම වහාම කුරුණෑගල ගෙදර හිටපු මගේ බිරියත් දියණියන් තිදෙනාත් වාහනේකින් මගේ නංගිගේ ගෙදරට යවන්න කටයුතු කළා. ඒ වාහනය එයාලව ඒ ගෙදරට ඇරලවලා ආපහු එද්දි ගොකරැල්ල පොලිසිය ආසන්නයේදී කිසියම් පිරිසක් විසින් ගිනි තියලා විනාශ කරලා තිබුණා.
ගෙදරට ගිනි තියනවා කියලා ආරංචිය ලැබුණු ගමන් ඒ සිද්ධිය වෙන්න පැය දෙක තුනකට ආසන්න කාලයක් තිස්සේ මම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා පමණක් නොවෙයි ඊට ඉහළ සියලුම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ අපේ හිතවත් ඇමතිවරුන් මාර්ගයෙන් හමුදාව ඇතුළු සියලුම අංශ දැනුම්වත් කළා. නමුත් ඒක වළක්වගන්න කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැහැ.”
![]() |
පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් සිය බිරිය නිරෝෂණී, දියණියන් වන ඉමන්දි, නිසදරා සහ දියන්සා සමඟ |
ප්‍රචණ්ඩකාරීන් විසින් එසේ ගිනි තබා විනාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් උඩුකුඹුර ජීවත් වූ මැල්සිරිපුර, කරඳගොල්ලේ බෝගහලන්ද වත්තේ පිහිටි ඔහුගේ නිවෙසයි. ඒ නිවෙසට යාබදව පිහිටි ඔහුගේ මවුපියන් ජීවත් වූ නිවෙස ඔහුට මවුපියන්ගෙන් ලැබුණු උරුමයක් වන අතර මන්ත්‍රීවරයා සිය කාර්යාලය ලෙස පවත්වාගෙන ගොස් තිබුණේ ඒ නිවෙසය.
‘‘නිවෙසත් කාර්යාලයත් අළු ගොඩක් වෙන්නම ගිනි තියලා විනාශ කරලා තිබුණා. ඒ විනාශය ඉතාම අමානුෂික අපේ හිතට දරන්න බැරි තරම් වේදනාත්මක සිදුවීමක් සහ විශාල පාඩුවක්. ගේ ගිනි තැබීමෙන් සිදු වුණු පාඩුව අතරින් මට දරාගන්නම බැරි දේ මගේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වුණු පාඩුව. මගේ ලොකු දුව මෙවර උසස් පෙළ විභාගය ලියන්න ඉන්නේ. ඇය ඉතා උසස් අන්දමින් සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වූ දක්ෂ දරුවෙක්. දරුවාගේ පොත්පත් සියල්ලම මේ ගින්නෙන් විනාශ වුණා. ඒ සිදුවීමෙන් දියණිය විශාල මානසික පීඩාවකට, කඩාවැටීමකට ලක් වුණා. දෙවැනි දුව මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්නේ. ඒ දරුවටත් ඇයගේ පොත්පත් සියල්ල අහිමි වුණා. මේ පාර උසස් පෙළ විභාගය ලියන්න ඉන්න මගේ වැඩිමහල් දුවට අදටත් පාසලක් නැහැ. විභාගයට තියෙන්නේ තව මාස කිහිපයක් නිසා කොළඹ ඉස්කෝලෙකින් බාර ගන්න බැහැ කිව්වා.
මම කවදාවත් මගේ දරුවන් කොළඹ පාසල්වලට යවන්න හිතුවේ නැහැ. දරුවෝ තුන්දෙනාම ගියේ කුරුණෑගල පාසල්වලට. මම කුරුණෑගල ගේ හැදුවෙත් මට ගමේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕන වුණු නිසයි.මගේ බාලම දුවට අවුරුදු 7යි. එයාගෙත් සියලුම දේවල් ගින්නෙන් විනාශ වුණා. ගෙට ගිනිතියන්න කලින් ගෙදර තිබුණු රන් ආභරණ ඇතුළු වටිනා සියලුම දේවල් මංකොල්ලකාලා තමයි ගෙදරටයි කාර්යාලයටයි ගිනි තියලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ ජිප් රථය ඒ දවස්වල තිබුණේ ගෙදරට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ගරාජයක. ගෙට ගිනි තියපු පිරිස එතැනටත් ගිහින් මගේ ජිප් එක හොයාගෙන ඒක සම්පූර්ණයෙන් කුඩුපට්ටම් කරලා විනාශ කරලා. ඒ අය මොනතරම් වෛරයකින් සැලසුම් සහිතව මේ අපරාධය කළාද කියලා එයින් පැහැදිලියි. ඒ විනාශ වුණු භෞතික දේවල් කාලයක් ගිහින් ආපහු උපයා ගත්තත් එහෙම කවදාවත් නැවත උපයාගන්න බැරි දේවල් ගොඩක් අපේ ගේ එක්කම අළු වෙලා ගියා.” පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් උඩුකුඹුර පැවසුවේ තවමත් පහ නොවූ කම්පනයෙනි.
“අපි බොහොම ආදරෙන් සතුටෙන් ජීවත් වුණු පවුලක්. ජීවිත කාලය පුරාවටම එකතු කරගත් සුන්දර මතක සටහන් රාශියක් අපේ ගෙදර තිබුණා. මගේ ලොකු දුවට දැන් අවුරුදු 19යි. එයාගේ පළමුවැනි උපන්දිනේට තෑගි ලැබුණු ටෙඩිබෙයාව අවුරුදු18ක් තිස්සේ දුව හරිම ආදරෙන් ළඟ තියාගෙන හිටියා. දරුවන්ගේ කුඩා කාලේ ඡායාරූප, මගේත් බිරියගේත් විවාහ ජීවිතයේ සැමරුම් වගේම මගේ අම්මා, තාත්තා සිහිපත් වෙන්න තිබුණු දේවල් ඒ සියල්ලම අළු ගොඩක් බවට පත්වුණා. මට අවුරුදු 10දි කුරුණෑගල දිස්ත්‍රික්කයේ උස පැනීමේ තරගයෙන් පළමු වැනියා වුණු දවසේ මම ඇන්ඳ කොට කලිසම, බැනියම පවා මගේ අම්මා පරෙස්සමට අරන් තියාගෙන ඉඳලා මගේ බිරියට දීලා තිබුණා. ඒ වගේම මගේ අයියා ලංකාවේ ජාතික පැසිපන්දු පුහුණුකරු. ඔහුගේ ක්‍රීඩා සහතික, පදක්කම් සියල්ලම අපේ ගෙදර තිබුණේ. ක්‍රීඩා තරගවලින් මම දිනපු පදක්කම්, කුසලාන, සහතික සියල්ලම එක්ක ඒවත් විනාශ වුණා. ඒවා මිල කළ නොහැකි දේවල්.”
පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් උඩුකුඹුර ඒ විනාශයේ මතක එකින් එක දිගහරිමින් කීවේය. ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කළ දේවල් අතර මන්ත්‍රීවරයාගේ මවගේ මහගෙදර තිබූ වසර 120ක් පමණ පැරණි කන්නාඩි මේසයක් ඇතුළු මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ රාශියක් ද විය.
දේශපාලඥයන් මහජන මුදල්වලින් සුරසැප විඳින බවට ඇතැමුන් චෝදනා කළත් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් උඩුකුඹුර පැවත එන්නේ ශක්තිමත් ආර්ථික පසුබිමක් සහිත පාරම්පරික ව්‍යාපාර පවුලකිනි.
“මම 2006 මුල්වරට මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කළේ මොන්ටේරෝ රථයක්. ඒ කාලේ අපිට පෞද්ගලික බස් රථ හතරක් විතර තිබුණා. හෝටල් ව්‍යාපාරයක් තිබුණා. ඒ වගේ ශක්තිමත් පසුබිමක ඉඳලා තමයි මම දේශපාලනයට ආවේ. මම පාර්ලිමේන්තුවට ඇවිත් තවම අවුරුදු එකහමාරයි.
මිනිස්සු වෙනුවෙන් වැඩ කළා මිසක් දේශපාලනයෙන් මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. කොරෝනා කාලෙත් අපි දුෂ්කරතා රාශියක් විඳගෙන මිනිස්සු වෙනුවෙන් වැඩ කළා මිසක් සතපහක් අයුතු විදිහට උපයලා නැහැ. මගේ පියා ඇතුළු ඥාතීන් ව්‍යාපාරික ලෝකයේ හොඳ නමක් තියාගෙන හිටියා. මගේ තාත්තාත් අම්මත් අපට හොඳ අධ්‍යාපනයක් ලබාදීලා සමාජයේ උසස් තැන්වලට යන්න පාර හදලා දීලා වගකීම් දරන්න පුළුවන් පුද්ගලයෙක් විදිහටයි රටට දායාද කළේ. ඒ නිසා කවදාවත් ඔවුන්ට අගෞරවයක් වන විදිහට වැඩ කරලා නැහැ. ජීවිතේ කිසිම දවසක වැරදි දේකට කිසිම සහයෝගයක් දීලා නැහැ. හිතට එකඟව නිවරැදි දේශපාලන ගමනක් ගිය මට මෙහෙම දෙයක් කළේ මගේ ගම් පළාතේ මිනිස්සු නෙවෙයි. ඊට කිලෝමීටර් 10ක් විතර දුර ඉඳලා තුන්සීයක විතර කණ්ඩායමක්. ජවිපේ සංවිධායකවරු, ඒ පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වුණු අය ඒ අතර හිටියා.
එකී ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් විසින් පොලිස්පතිවරයාට විරුද්ධව මානව හිමිකම් නඩුවක් පවරා ඇත.
‘‘ එතුමාගේ වගකීම රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි. මගේ ගේ ගිනි තියන්න සූදානම් වෙන බව ඊට පැය කිහිපයකට කලින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් තිබියදී ඒ බවට කිහිපවරක්ම අදාළ නිලධාරින්ව දැනුම්වත් කළත් මේ අපරාධය වළක්වන්න අදාළ පියවර ගැනීම පැහැර හැරීම සම්බන්ධයෙනුයි මම ඒ නඩුව පැවරුවේ. ඒ වෙනුවෙන් පොලිසිය අවශ්‍ය පියවර නොගැනීම ගැන විශාල කලකිරීමක්, කනගාටුවක් මගේ හිතේ තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් සහ දේශපාලනය අතර ඇත්තේ දිගුකාලීන සබඳතාවකි. ඔහුගේ පියා එක්සත් ජාතික පාක්ෂිකයකු වන අතර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට සක්‍රීය දායකත්වය දැක්වූ අයෙකි. පියා අනුගමනය කරමින් සුමිත් ද තරුණයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට සහයෝගය දක්වමින් කටයුතු කළ අතර, 2006 දී ඔහු පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි.
‘‘තරග කළ පළමු මැතිවරණයේදීම දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් රැසක් අතරින් වැඩිම මනාප ලබාගත් පළමුවැන්නා ලෙස ප්‍රාදේශීය සභාවට තේරී පත්වෙන්න මට හැකි වුණා.
2010දී ඔහුගේ දේශපාලන ගමන් මඟ වෙනස් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ආරාධනය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමත් සමඟ ය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ පළමු පළාත් පාලන මැතිවරණයේදී ද එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් අතරින් වැඩි ම මනාප ලබාගනිමින් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත්විය.
‘‘දවසේ වැඩිපුරම කාලයක් මම වෙන් කළේ ජනතා සේවය වෙනුවෙන්. 2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත්වුණාම විරුද්ධවාදීන්ගෙන් එල්ල වූ චෝදනා සහ පළිගැනීම්වලට මුහුණ දුන්නා. පොදු ජන පෙරමුණ නමින් අලුත් පක්ෂය හැදුවාම මුලින්ම එහි සාමාජිකත්වය ගත්ත කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු ප්‍රාදේශීය සභා සභාපතිවරයා මමයි. ඒ පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ පළමු මැතිවරණයේදිත් වැඩිම මනාපයෙන් ප්‍රාදේශීය සභවේ සභාපති වෙන්න මට හැකි වුණා. 2020 පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත් වුණාම දේශපාලන ඉතිහාසයේ පළමු වරට පළාත් සභා මැතිවරණයකටවත් තරග නොකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කෙළින්ම පාර්ලමේන්තුව නියෝජනය කළ පළමු සභාපතිවරයා විදිහට මම වාර්තාවක් තැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස උපරිම කැපවීමෙන් වැඩ කළා. හිරියාල ආසනයේ අවුරුදු 25-30ක් හදාගන්න බැරිවුණු මාර්ග ගණනාවක් කාපට් අතුරන්න වගේම යටිතල පහසුකම් දියුණු කරන්නත් හැකි වුණා.
එවැනි ජනතා සේවයක නියැළුණු ඔහුට මැයි 9 වැනිදා මුහුණ දීමට සිදුවූ සිදුවීම හදවතට සදාතනික කම්පනයක් එක් කළ බව සිදුවීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් පැවසුවේය.
ගේ ගිනි තියලා තියෙනවා ෆේස්බුක් එකෙන් දැක්කාම මගේ හිතට දරාගන්න බැරි වේදනාවක් දැනුණා. ඇස්වලට කඳුළු ආවා. ඒ දේ කිසිම කෙනකුට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මටත් මගේ බිරියටත් දරුවන්ටත් සියලු දේම නැතිවුණාත් මිනිස්සු වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා මිසක් මෙයින් අධෛර්යය වෙන්නෙ නැහැ කියලා මම හිතාගත්තා. දැනට මමත් බිරියත් දරුවනුත් ඉන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාසයේ. බාල දියණියන් දෙන්නා තාවකාලිකව කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙන ගන්නවා.
ලොකු දුව ගෙදර ඉඳන් තනියම විභාගයට සූදානම් වෙනවා. අදටත් අපේ ගෙට ගිනි තියලා කරපු විනාශය මතක් වෙද්දි ඇස්වලට කඳුළු එනවා. හැකි ඉක්මනින් මැල්සිරිපුර ගෙදර හදාගෙන එහේ පදිංචියට යන්නයි මගේ බලාපොරොත්තුව.
ගින්නෙන් දැවුණ ද ඒ අළු මතින්ම යළිත් උපදින ෆීනික්ස් කුරුල්ලකුසේ ආත්ම ශක්තියෙන් හදවත පුරවාගෙන ඔහු එසේ කීවේය.
අපේ තරුණ පරපුර රාජ්‍ය පාලනය ගැන මීට වඩා අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. ගහලා, මරලා , ගිනි තියලා පොදු දේපළ විනාශ කරලා බලය ගන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, නීතියට ගරු කරන්න රටේ තරුණ පිරිසට විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු නොකළොත් ඔබේ අනාගතය වගේම රටම විනාශ වෙනවා.