පෙට්‍රල් වාහනවල කාබ්යුරේටර් ගොඩදාන අවුරුදු අසූහයේ මීගොඩ වැඩ්ඩා | සිළුමිණ

පෙට්‍රල් වාහනවල කාබ්යුරේටර් ගොඩදාන අවුරුදු අසූහයේ මීගොඩ වැඩ්ඩා

මේ වැඩේ කරන්න වාහන සමාගම්වලටත් බැහැයිලු

කාබ්යුරේටරයක් හදන්න ගන්නේ රුපියල් 4,500 ක සාධාරණ මුදලක්

මේ සාස්තරේ උගන්වන්න හැදුවත් වැඩක් වෙලා නැහැ

බාස් කෙනෙක් වුණත් දක්ෂ නර්තන ශිල්පියෙක්

 

බගේ පැරණි වාහනය ඔබ අපේක්ෂා කරන ආකාරයට ධාවනය නොවේ නම්, ඊට හේතු කිහිපයක් මුල් විය හැකිය. ඉන් ප්‍රධාන එක් හේතුවක් වන්නේ කාබ්යුරේටරය යි. එවැනි අවස්ථාවකට මුහුණ දුන් විට එය යථාතත්වයට පත් කර ගැනීම කොතරම් අසීරු කාර්යයක් දැයි දන්නෝ දනිති. කාබ්යුරේටරයට අත තියන්නට එසේ මෙසේ වැඩ්ඩකුට නොහැකිය. සමහරු ඊට අත තියන්නට ගොස් අනාගන්නා වාර අනන්තය. එහෙත් එවැනි විශ්වකර්ම පුත්‍රයකු ගැන හෝඩුවාවක් සිළුමිණට ලැබුණි. ඒ හෝඩුවාවක් ඔස්සේ අපි ඔහු සොයා මීගොඩට ගියෙමු.

 

මීගොඩ අලුත් පාරේ පොලීසියට මායිම්ව පිහිටි ඔහුගේ නිවස සොයා ගැනීම එතරම් දුෂ්කර කාර්යයක් නොවීය. අප එහි යනවිටත් ඔහු කාබ්යුරේටරයක් සමඟ ඔට්ටු වෙමින් සිටියේය.

"මං මේ ගරාජ් රස්සාවට ආපු දවසෙ ඉඳලම කාබ්යුරේටරේ හදන්න හරිම ආසයි. එක ක්‍රියාකරන විදිය, ඒකෙන් වාහනේට කරන බලපෑම මේ හැමදෙයක් ගැනම මට දැන ගන්න ලොකු උවමනාවක් තිබුණා. ඒත් ඒ ගැන නිවැරදිව කියල දෙන්න කෙනෙක් හිටියෙ නැහැ. මං වැඩ කරපු හැම ගරාජ් එකකින්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තත් මං ආස කරපු කාබ්යුරේටරේ ගැන විශේෂ දැනුමක් ඒ අයට තිබුණෙ නැහැ. සෑම කොටසක් ගැනම අවධානය යොමු කරන්න තමයි හැමෝම ඉගැන්නුවේ.

පරණ වාහනවලට නැතුවම බැරි මේ කොටස ගැන දැනගන්න මට තිබුණෙ අමුතුම ආසාවක්. ඒ තිබුණු ආසාව නිසාම ඉගෙන ගත්ත මිසක් මේක කාටවත් උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල එතකොටයි මං දැන ගත්තේ. කාබ්යුරේටරේ කැඩුණම නැවත හදන්න වාහන හදන පිටරට කොම්පැණිවලටවත් බැහැ. කරන්න පුළුවන් අලුතින් තියෙන එක විතරයි. හරියට වෙද මහත්තයෙක් නාඩි අල්ලලා තියෙන ලෙඩේ හොයා ගන්නවා වගේ. මේක බලපු ගමන් මට ලෙඩේ මොකක්ද කියල අහුවෙනවා. මේ හදන වාහනේ කාබ්යුරේටරේ කෑලිත් මංම ම යි හදල දැම්මේ. මගේ ළඟට කාබ්යුරේටර් හදන්න ගොඩක් අය එන්නේ ඈත පළාත්වලින්. ගොඩක් වෙලාවට වාහනේ වෙනත් වාහනවල පටවගෙන තමයි එන්නේ. ඒත් ආයෙ යන්නේ ඒ වහනේ නැඟල හරිම සතුටින්. මේ ඉන්න මහත්තුරු දෙන්නත් ඇවිත් තියෙන්නේ ගල්කිස්සේ ඉඳලා.

මං කාබ්යුරේටරයක් හදන්න ගන්නේ රුපියල් 4500ක් වැනි සාධාරණ මුදලක්. මගේ සේවය ලබාගන්න අය මට සෑහෙන්න ප්‍රශංසා කරනවා. මට දැන් වයස අවුරුදු 86ක්. මෙතෙන්ට එන ගොඩක් අය කියනවා මේක තව කාට හරි උගන්වන්න කියලා. මාත් හරිම කැමතියි උගන්වන්න. මං ගෝලයෙක් හදන්න උත්සාහ කළා. ඒත් කාටවත් ඒක පිහිටියේ නැහැ. මගේ දෙවැනි පුතා, චූටි පුතා එයාලත් වාහනවලට ආස කළා. ඒයාලටත් උගන්වන්න උත්සාහ කළා. ඒත් වැඩක් වුණේ නැහැ."

හේ කීරවැල්ල කන්කානම්ලාගේ තෝමස් සහ කීරවැල්ල කන්කානම්ලාගේ නගෝහාමිට දාව 1936 පෙබරවාරි 03 වැනිදා සියනෑකෝරලයේ අනුරාගොඩදී උපත ලබා ඇත. මවුපිය දෙපළ අලුත් උපන් දරුවාට කීරවැල්ල කන්කානම්ලාගේ කරුණානායක යැයි නම් තැබීය. දරුවන් සිවු දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා වූ ඔහුට වැඩිමල් සහ බාල සහෝදරයන් හා එක් සහෝදරියක විය. මුලකුරු කියැවීම සඳහා අනුරාගොඩ මිශ්‍ර පාසලට ඇතුළත් වූ කරුණානායක 7වැනි වසර දක්වා එහි අධ්‍යාපනයෙහි නිරත විය.

වයස අවුරුදු 13වන විට පවුලේ අගහිඟකම් නිසා ම පාසල් ජීවිතයට සමුදුන්නේ රැකියාවක් සොයාගැනීමේ අටියෙනි. හේ ගුරුපත්වීමක් ලබා ගැනීමේ අරමුණින් නර්තන ගුරුවරයකු යටතේ නර්තන කලාව ප්‍රගුණ කළේය. උඩරට නර්තනයට වැඩි ඇල්මක් දැක්වූ හෙතෙම පන්තේරූ කවි ගායනයෙහි හා නර්තනයෙහි දක්ෂයකු විය. අනතුරුව සංගීතය හැදෑරීමට යොමු වූ හෙතෙම ගාන්ධර්ව විභාගයටද පෙනී සිටියේය. ඉන් හොඳින් සමත් විය. ඔහුගේ එකම අභිප්‍රාය වූයේ සංගීත ගුරුවරයකු වීමටය. එහෙත් වයස අඩුකමින් දෛවය ඊට හරස් විය. ඔහුට ගුරු පත්වීමක් නොලැබුණි.

ගුරුවරයකු වීමේ බලාපොරාත්තුව සුන් වූ ඔහු කනගාටුවෙන් සිටිනු දුටු පියා" මං දන්න ගැරෑජ් එකක් තියෙනවා. කැමතිද ඒකේ වැඩට යන්න " යැයි ඔහුගෙන් විමසා සිටියේය. හෙතෙම එක පයින් ඊට කැමැත්ත පළ කළහ. එහෙත් එය තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බව ඔහු සිහිනයකුදු නොසිතුවේය.

විල්සන් බාස්ගේ අත් උදව්කරුවකු ලෙස ගරාජයේ වැඩවලට සම්බන්ධ වූ හෙතෙම මහත් ඕනෑකමින් හා උනන්දුවෙන් එහි කටයුතු කළේය. වැඩි කලක් යන්නට මත්තෙන් එහි නිපුණයකු වූ හෙතෙම, පසුව ඉන් ඉවත්ව වැඩිදුර ඉගෙනීමට ගම්පහ රාජසේකර ගරාජයට එක් විය. ඔහුට නවාතැන් ගැනීමට ස්ථානයක් එහිම විය. පාන්දරින් අවදි වන ඔහු කෑම උයාපිහා තබා සිය කටයුතු ආරම්භ කළේය. මෙලෙස ගරාජයේ කටයුතු කරන අතරවාරයේ සිදු වූ හරි අපූරු සිදුවීමක් හේ මෙලෙස විස්තර කළේය.

"රාජසේකර බාසුන්නැහේ හරි අඩිකාරයා; හොඳට අඩි ගහනවා. එයාට ලොකු අලියෙක් හිටියා. ඒ අලියා බැඳල හිටියේ ගරාජ් එක තිබුණු වත්තේ. අලි බලන හෙණ්ඩුව තිබුණේ ගරාජයේ. බාසුන්නැහේ රෑදෙගොඩහරි ජාමේ වෙනකම් අඩි ගහලා; හෙණ්ඩුවත් අරන් වත්ත පැත්තට යනවා. ගිහින් අලියව ඒහාට මෙහාට කර කර ජොලි දානවා. කොයි වෙලේ අලියා කුලප්පුවෙයිද කියලා මං පණ බයේ හිටියේ. මං ඒ ගැන බාසුන්නෑහෙට කිහිප වරක් පෙරැත්ත කර කිව්වත් උන්දැ නෙවෙයි කනකට ගත්තේ. වැඩත් හොඳට දන්න නිසා පස්සේ මං එතනින් පැනල යන්න තීරණය කළා. වේලාසනින් අවශ්‍ය කළමනා ඔක්කොම මං ලෑස්ති කරගත්තා. බුලත් කොරටුවේ මිනිස්සු බුලත් කඩාගෙන කූඩවල දාගෙන ගෙනියනවා. මාත් ඒ මනුස්සයෙක් වගේ මගේ බඩු පොට්ටනියත් කූඩෙක දාගෙන මූණ වහන් එළියට පැනගත්තා. මගේ අතේ තිබුණේ රුපියල් 20යි. ඒකත් මං එතන කෑම උයන්න බඩුගෙන්න කඩේට ගියාම බඩු අරන් ඉතුරු වුණු ශත 5 -10 එකතු කරලා හදාගත්තුවා. මට බාසුන්නැහෙගෙන් සල්ලි ඉල්ලන්න තිබුණා. ඒත් මොනවට කියල ඉල්ලන්නද. අනික මං බය වුණා; සල්ලි ඉල්ලන්න ගිහින් මිනිහ සැක හිතුවොත් කියලා. කොහොම හරි එදා මං එතනින් පැනලා පාදුක්කට ආවා. වැඩ දන්නවනෙ මට බයක් තිබුණෙ නෑ. "

ඒ වනවිට පාදුක්කේ පිහිටි සුගතදාස බාසුන්නැහේගේ ගරාජයේ දොරගුළු ඔහු වෙනුවෙන් විවරව තිබුණි. එහි රැකියාව ලබාගත් ඔහු ගෝලයාගෙන් බාසුන්නැහේගේ චරිතයට රූපාන්තරණය විය. කිසිදු කම්මැලිකමක් නොමැතිව උදෑසනම අවදි වන ඔහු, සිය රාජකාරිය සවස 4.00 පමණ වන විට අහවර කර පිරිසිදු වී ජැන්ඩියට හැඳ පැළඳ යාබද පිහිටි සිනමා ශාලාව වෙත යෑම පුරුද්දක් කරගෙන තිබුණි. ඔහු සිනමා ලෝලියකු විය. එවක එම ‍සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වූයේ ඉංග්‍රිසි චිත්‍රපට හා දමිල චිත්‍රපටය. රේඛාවෙන් පසුව සිංහල චිත්‍රපට විකාශනය වීම ඇරඹි බව ඔහුගේ මතකයයි.

පසුව ඔහුගේම ගරාජයක් ආරම්භ කළ ඔහු සිය කටයුතු කරගෙන ගියේය. හෙතෙම වැඩි කලක් යන්නට මත්තෙන් කරුණානායක බාසුන්නෑහේ කී සැනින් කවුරුත් දන්නා වාහන කාර්මිකයකු විය.

ඒ වනවිට ඔහුගේ ගරාජය වූයේ රේල් පාරක් අසලය. දිනක් අයකු ගරාජයට පැමිණියේය. ඔහුට අවශ්‍යව තිබුණේ තම මොරිස් මයිනර් කාරය පේන්ට් කර ගැනීමටය. ඒ මොහොතේ තේ ඒකක් බීමේ අදහසින් සිටි ඔහු අසල තේ කඩයකට යන බව පවසා එම පුද්ගලයාට කාරය ගරාජයට දමන ලෙස සංඥා කර තේ කඩය වෙත පියමනින්නට විය. කාරය රැගෙන ආ පුද්ගලයා එය ගරාජය ඇතුළට දැමීමට උත්සාහ කිරීමෙදී වෙනත් කාරයක හැපී එය පෙරලීගොස් රේල් පාර අවහිර වී තිබුණි. ඔහු තේ බී පිටතට පැමිණෙන විට එතන එකම ගාලගොට්ටියකි. බොහෝදෙනා සිතා සිටියේ මෙම අනතුර සිදුකර ඔහු පළා ගොස් ඇති බවයි. එනිසා ගරාජයට පැමි‌ණිය හැකි පාරවල් තුනම රැකවල්ලා ඔවුන් රැඳී සිටියේය. මේ පුවත දැනගත් ඔහු මඟදී හමු වූ තම හිතවත් ගුරුවරියකට ඒ පිළිබඳව දැනුම්වත් කළේය. ඇය පවසා සිටියේ " ඒකට ඔයා මොනව කරන්නද. අපි ඒක ඒ අයට පැහැදිලි කරලා කියමු. ඕන නම් සල්ලි දෙමු; නැත්තම් වාහනය හදල දෙමු." ඊට එකඟ වූ කරුණානායක ඇය සමඟ අදාළ ස්ථානයට පැමිණියේය. ඒවනවිටත් එම ස්ථානයට උසස් පොලිස් නිලධාරියකු පැමිණ සිටියේය."මේ අපේ කොල්ලෙක් එයාගෙ අතින් වාහනය පෙරලිලා තියෙනවා. මේකට දැන් මොකක්ද කරන්න ඕන." තැළී පෙරළී ගිය වාහනයේ අයිතිකරු වහා ඉදිරියට පැමිණ තමන්ට රුපියල් 3500ක මුදලක් අවශ්‍ය බව පැවසීය. එවිට පොලිස් නිලධාරියා ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා රුපියල් 2500ක් ප්‍රමාණවත් බවයි. කරුණානායක එය මාසෙකින් ගෙවීමට පොරොන්දු විය. පසුව වාහනය ගරාජයට රැගෙනවිත් සියලු ඇද පළුදු ඇර පෙන්ට් කර තිබුණටත් වඩා ලස්සනට වාහනය සකස් කළේය. අයිතිකරු වාහනය රැගෙන යාමට පැමිණ එය දැක පුදුමයට පත් විය. ඔහු එය රැගෙන යාමට ඉල්ලුවද මාසයක් තිබුණු නිසා තවත් නිම කිරීමට වැඩ ඇති බව පවසා පසුව පැමිණෙන ලෙස දන්වා ඔහු පිටත් කර හැරියේය.

කරුණානායක එම කාරයෙන් එහෙ මෙහෙ යන්න එන්නට පටන් ගත්තේය. ඔය අතර වාහනයක් මිලදී ගැනීමට සොයමින් පැමිණි අයකු වාහනය දැක එය විකුණනවා දැයි කරුණාන­ායකගෙන් විමසා සිටියේය. ඒ ගැන අයිතිකරුගෙන් විමසූ විට ඔහු ඊට කැමති විය. පසුව ඔහු කාරය රැගෙන එය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයාගේ නිවසට ගියේය. ඒ යන විට පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි ඔහුගේ දියණිය කරුණානායක දුටුවේය. දුටු පමණින්ම ඈ කෙරෙහි හිත ඇදී ගිය ඔහු කාරය විකිණීම පසෙක තබා විවාහ යෝජනාවක් කළේය. ඇගේ පියාද " එයා තාම ඉස්කෝලේ යනවා" කීවා මිස විරෝධයක් පැවේ නැත. වැඩේ හරි බව තේරුම්ගත් කරුණානායක වාහනය නැවත හිමිකරුවාට ලබාදී රුපියල් 1000ක මුදලක් අය කරගත්තේය.

ඔහුගේ අතගත් ඈ නමින් කේ.ඩී නන්දාවතී නම් වූවාය. විවාහයෙන් පසු ඔවුන්ට පිරිමි දරුවන් තිදෙනකු හා එක් දියණියක ලැබිණි. ඔවුන් ජනප්‍රිය පාසල්වලට යවමින් හොඳින් ඉගැන් වූ අතර මේ වන විට ඔවුහු කෝටිපතියෝය. ලොකු පුතා ව්‍යාපාරිකයෙකි. දෙවැනි පුතා වාහන වෙළෙඳාමේ නිරත වන අතර තෙවැනි පුතා ටොයෝටා සමාගමේ උසස් නිලධාරියෙකි. මුණුබුරු මිනිබිරියන් විසි දෙනකුගේ මුත්තණුවන් හා මිත්තණිය වන කරණානායක යුවල අදත් ආදරයෙන් සිටිනු එහි ගිය අපට දැකගත හැකි විය.

හෙතෙම පවසන ආකාරයට කාබ්යුරේටරය මඟින් කෙරෙන්නේ ඉන්ධන සහ වාතය නියම අනුපාතය මිශ්‍ර කිරීම වන අතර එමඟින් එන්ජිමේ වේගය ද පාලනය කරයි. බොහෝ අවස්ථාවලදී, වාතය, ඉන්ධන මිශ්‍රණයේ නිශ්චිත අනුපාතයක් පවත්වා ගත යුතු අතර, කාබ්යුරේටරය මඟින් වාතය/ඉන්ධන අනුපාත සමතුලිතව පවත්වාගෙන යාමට දායක වේ. අනෙක් අතට කාබ්යුරේටරය එන්ජිමේ වේග කළමනාකරණය භාරව සිටී.

වර්තමානයේ මෝටර් රථ එකිනෙකට වෙනස් කාබ්යුරේටර වර්ග තුනක් භාවිත කරයි. ඒ එක් බැරලයක්, බැරල් දෙකක් සහ බැරල් හතරක් ලෙසයි. ඔබේ වාහනයේ එන්ජිමේ වින්‍යාසය අනුව කාබ්යුරේටර වර්ගය තෝරාගැනේ. සාමාන්‍යයෙන්, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුතු එන්ජිමකට නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා දීම සඳහා කාබ්යුරේටර කිහිපයක් අවශ්‍ය විය හැකිය.

මිල අධික, අනවශ්‍ය අලුත්වැඩියාවන් වළක්වා ගැනීම සඳහා නරක හෝ අසාර්ථක කාබ්යුරේටරයක සංඥා තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මීට අමතරව, අකර්මණ්‍ය වූ කාබ්යුරේටරයක් මඟින් එන්ජිමට හානි කළ හැකි ගැටලු රැසක් මතුවිය හැකිය එනිසා ගැටලුව වහාම විසඳා ගැනීම සඳහා ඒ පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය බව කරුණානායක පවසයි.

කාර්යක්ෂම ලෙස මෝටර් රථය පණගන්වා ධාවනය කිරීමට කාබ්යුරේටරය අත්‍යාවශ්‍ය අංගයකි. එහිදී කාබ්යුරේටර් මඟින් අභ්‍යන්තර දහනය සඳහා වාතය සහ ඉන්ධන ඒකාබද්ධ කර එන්ජිම වෙත ලබා දීමට පෙර පරිපූර්ණ සංයෝජනයක් නිර්මාණය කිරීම සිදු කරයි. තාක්‍ෂණයෙන් වැඩිදියුණු කරන ලද සමකාලීන මෝටර් රථවල කාබ්යුරේටරවල අවශ්‍යතාව නොමැති වුවද පැරණි මොර්ටර් රථවලට එය අත්‍යාවශ්‍යම අංගයකි. එවැනි කාබ්යුරේටර මත පදනම්වූ මෝටර් රථ දහස් ගණනක් තවම මෙරට තුළ භාවිත වේ. මෝටර් රථයක වෙනත් ඕනෑම සංරචකයක් මෙන්, කාබ්යුරේටර දුර්වල හෝ අක්‍රිය වීම, වාහනය නිවැරදිව ක්‍රියා නො කරයි. මේ නිසා අසාර්ථක වූ හෝ දෝෂ සහිත කාබ්යුරේටරයක සලකුණු අවබෝධ කර ගැනීම මෝටර් රථ හිමිකාරිත්වය සඳහා ඉතා වැදගත් බව කරුණානායක කියයි.

කාබ්යුරේටරයේ ගැටලුවක් පවතින විට එන්ජිමේ කාර්ය යථා පරිදි සිදු නොවේ. කාබ්යුරේටරය අසාර්ථක වූ විට, මෝටර් රථයේ බලය අහිමි වනවා පමණක් නොව, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් භාවිත කිරීමට සිදුවේ. කාබ්යුරේටරය අවහිර වූ හෝ අපිරිසිදු වූ විට අධික උණුසුම් වීමක් (Backfiring) දැකිය හැකිය, එවිට එන්ජිම පසුබැසීම සිදුවේ. ටේල් පයිප්පයෙන් කළු දුමාරයක් පිටවන බව දකින විට, එහි කාබ්යුරේටරය දෝෂ සහිත එකක් බව පෙන්නුම් කරයි. එයට හේතුව ඔබේ එන්ජිම අධික ඉන්ධන ප්‍රමාණයක් භාවිත කළ හැකි නිසාත්, අතිරික්ත ඉන්ධන දහනය වී කළු දුමාරයක් නිපදවීමත් නිසාය. මෙමඟින් අවසානයේ ඔබේ කාබ්යුරේටරය ගිනිගැනීමට පත්විය හැකිය. වාහනය පණගැන්වීමෙදී එහි මන්දගාමී බවක් ඇත්නම් ඊට හේතු විය හැකිකේ කාබ්යුරේටරයයි. මින් මෝටර් රථය පණ ගැන්වීමට නොහැකි වීමට පවා ඉඩ තිබේ. ඊට හේතුව වන්නේ කාබ්යුරේටරය ඉන්ධන වායු මිශ්‍රණයේ නිවැරදි ප්‍රමාණය ඒකාබද්ධ නොකිරීම නිසාය. මෙවැනි අවස්ථාවක ඔබ මෝටර් රථය පණගැන්වීමට කෙතරම් උත්සාහ කළ ද එන්ජිමට ප්‍රමාණවත් ඉන්ධන සපයන්නේ නැත. සමහර කාබ්යුරේටර ආශ්‍රිත ගැටලුවලට අක්‍රිය මිශ්‍රණ ගැළපුම් කට්ටලය ඉතා සිහින් වීම බලපාන අතර, එය ඔබගේ නිෂ්ක්‍රීය තත්ත්වය වැඩි දියුණු වන තෙක් කාල පරිච්‍ඡේදදී එහි නිෂ්ක්‍රීය මිශ්‍රණ ගැලපුම් ඉස්කුරුප්පු ඇණ හෝ බෝල්ට් එක හතරෙන් එකක හැරීම මගින් නිවැරදි කළ හැකි ය. තවත් කාබ්යුරේටර කරදරයක් වන්නේ අපිරිසිදු අක්‍රිය මිශ්‍රණ පරිපථයයි. එය කාබ්යුරේටර් ක්ලීනර් භාවිතයෙන් නැවත ගොඩනැඟීම හෝ පිරිසිදු කිරීම අවශ්‍ය වේ. එසේම, දෝෂ සහිත පිරිසිදු කිරීමේ පාලන කපාටයක් වසා නොගෙන ඉන්ධන වාෂ්ප කෙලින්ම ඔබේ කාබ්යුරේටරයට කාන්දු වීම රළු අක්‍රිය වීමට තවත් විභව හේතුවකි, නමුත් එය නිතර සිදු නොවන්නකි.

ඔහු සම්බන්ධකර ගැනීමට අවශ්‍ය නම් 0113154223 අමතන්න.

 

ඡායාරූප - රංජිත් අසංක

Comments