ගාල්ලේ සිසුවා උසස් පෙළ විභාග ප්‍රති­ඵල වෙබ් අඩ­වි­යට රිංගන්න ගහපු ගේම් | Page 2 | සිළුමිණ

ගාල්ලේ සිසුවා උසස් පෙළ විභාග ප්‍රති­ඵල වෙබ් අඩ­වි­යට රිංගන්න ගහපු ගේම්

 

කොවිඩ් වසංගත තත්ත්වය අපේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු හැම ක්ෂේත්‍රයකටම දැඩිව බලපෑම් එල්ල කළ යුගයක් විය. පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට මෙම වසංගතයෙන් එල්ල වුණු බලපෑම ද සුළුපටු නැත. දරුවන් වෙනුවෙන් පැවැත්වෙන සෑම විභාගයක්ම පාහේ මාස ගණනාවකින් කල්යන්නට වූයේ ද එබැවිනි. ඒ අනුව 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු අධ්‍යයන පොදු සහිකපත්‍ර උසස් පෙළ විභාගය පවත්වන්නට විභාග දෙපාර්තමේන්තුවට සිදු වන්නේ 2022 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදීය. එසේ පැවැත්වෙන්නේ 2021 වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණු විභාගයයි.

 

එසේ දෙලක්ෂ හැත්තෑදෙදහස් හයසිය අසූදෙදෙනක් මුහුණදුන් 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන්නේ පසුගිය අගොස්තු 28 වෙනිදාය. මුලින්ම එම ප්‍රතිඵල මුදාහරින්නේ අන්තර්ජාලය ඔස්සේය. ඒ විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය මඟිනි. www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ දරුවන්ට විභාග ප්‍රතිඵල සිය පරිගණකයෙන් මෙන්ම ජංගම දුරකතනයෙන් ද පහසුවෙන් බලා ගැනීමට ඒ තුළින් හැකියාව ලබාදී තිබුණේ විභාගයට මුහුණදුන් අපේක්ෂකයාගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේය. ඒ හැරුණු කොට තවත් අයකුගේ ප්‍රතිඵලයක්, නමක් භාවිතයෙන් හෝ වෙන යම් ක්‍රමයකින් කිසිවකුටත් ප්‍රතිඵල පරික්ෂා කර බැලීමට ඇති අවස්ථාව අහිමිකර තිබුණේ ආරක්ෂාවට සහ රහස්‍ය භාවයට මුල්තැන දෙමිනි.

මේ හැරුණු කොට විදුහල්පතිවරුන්ට සිය පාසලෙන් විභාගයට මුහුණදුන් දරුවන්ගේ ප්‍රතිඵල බලා ගැනීමට පරීශීලක නාමයක් සහ මුරපදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබුණේය. ඒ මුරපදය සහ පරිශීලක නාමය යොදාගෙන ප්‍රතිඵල පරික්ෂා කිරීමට විදුහල්පතිවරුන්ට පවා අවකාශ උදා වී තිබුණේ සිය පාසලේ සිසුන්ගේ ප්‍රතිඵල ලේඛනය පමණි.

එය එසේ වූවත් මෙවර විභාග ප්‍රතිඵල නිකුත් වී දිනක් දෙකක් යන්නට මත්තෙන් උසස් පෙළ සිසුන් සම්බන්ධව සිටින සමාජ මාධ්‍ය ජාල සමූහයන් අතර වේගයෙන් හුවමාරු වෙන්නට වූයේ 2021 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵලය නම යොදා බලා ගැනීමට හැකි අපූරු වෙබ් අඩවියක ප්‍රවේශයකි. http://rezoth.ml නම් වූ මෙම වෙඩ් අඩවිය ඔස්සේ නම පමණක් නොව, නමේ කොටසක් ඇතුළු කළ ද ඒ නම ඇති එවර විභාගයට මුහුණදුන් සෑම සිසුවකුගේම දත්ත දිස්වෙනු ඇත. එමඟින් තමන් කැමති ඕනෑම අයකුගේ විභාග ප්‍රතිඵල බලා ගැනීමට එම වෙබ් අඩවිය ඔස්සේ ලබාදී තිබුණේ කදිම අවස්ථාවකි. නමුත් ගැටලුව වන්නේ ආරක්ෂාව සහ රහස්‍ය භාවය මුළුමනින්ම බිඳ දැමීමය.

මෙම වෙබ් අඩවිය ගැන විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේනට දැනගන්නට ලැබෙන්නට වැඩි කාලයක් ගත නොවීය. විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් සමඟ ඔහු මෙම වෙබ් අඩවිය ගැන යම් සොයා බැලීමක් කළේය. එහිදී පෙනී යන්නට වූයේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවේශ වෙමින් නැතිනම් හැක්කර 2021 උසස් පෙළ විභාග ප්‍රතිඵල දත්ත සොරගෙන එ් ඔස්සේ එම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන බවය. එය බරපතළ තත්ත්වයක් බව වටහා ගත් විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මේ ගැන පැමිණිල්ලක් කරනුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවියට හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ලවී ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට හැකි විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසා වන බැවිනි.

මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ පසුගිය 05 වෙනිදාය. එම පැමිණිල්ල ලද සැණින් ඒ ගැන සිය විශේෂ අවධානයක් යොමු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා කඩිනම් විමර්ශන කටයුතු සඳහා එය යොමුකරනුයේ පරිගණක අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය වෙතය.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට එල්ල වුණු හැකර්වරුන්ගේ ප්‍රහාරය ගැන විමර්ශන ලකී රන්දෙණිය විසින් පවරනු ලබනුයේ සහකාර පොලිස් අධිකාරී ජයනෙත්ති යටතේ ඇති සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයටය. මෙහි ස්ථානාධිපතිවරයාව සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන පවත්වා පාසල් සිසුවෙක් වූ එම හැකර්වරයාව කොටුකර ගනු ලැබු කණ්ඩායමේ සිටි ක්‍රියාකාරී නිලධාරියෙක් වූ පොලිස් පරික්ෂක ඉෂාර ගයාශ්‍රී ය. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කිරීම ගැන සොරාගත් දත්තයන් මඟින් විභාග ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන අලුත් වෙබ් අඩවිය ගැන ඉෂාර ගයාශ්‍රී විමර්ශන අරඹන්නේ උප පොලිස් පරික්ෂක මහේෂ් කළුගල්ල, කොස්තාපල්වරුන් වන විරංග (68813), මහේෂ් (71191),ජයවර්ධන (97642) සහ ලහිරු (15124) යන නිලධාරීන් සමඟ එක්වය.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රිංගූ හැකර්වරුන් කවුරුන් දැයි ඒ වන විටත් පැහැදිලි කිසිදු තොරතුරක් නොවූ බැවින් මෙම විමර්ශන කණ්ඩායමට පරීක්ෂණ ආරම්භ කරන්නට සිදු වන්නේ අඳුරේ අතපතගාමිනි. එහිදී විමර්ශන නිලධාරීන්ට ඉදිරියට යන්නට මඟක් ලෙස තිබෙන්නේ විභාග කොමසාරිස්වරයා විසින් සිය පැමිණිල්ල සමඟ ඉදිරිපත් කළ http://rezoth.ml වෙබ් අඩවිය පමණි. එම වෙබ් අඩවිය ගැන කෙරුණු තාක්ෂණික සොයා බැලීමේ මෙහෙයුමකදී පෙනී යන්නේ එය ඔරිකල් ඩෙමියන් එකක් හරහා ක්‍රියාත්මක වන්නක් බවය. එම ඩොමියන් එක ගෙවීමකින් තොරව සේවා ලබාගැනීමට හැකි විදේශීය එකක් බවද විමර්ශන නිලධාරීන් අනාවරණයකර ගත්තේය. එම ඩොමියන් එක විදේශයක එකක් වූ බැවින් ඒ ඔස්සේ තොරතුරු ලබා ගැනීම ඉතාම දුෂ්කර කාර්යක් බව වටහාගත් විමර්ශන නිලධාරීන් අන්තර් ජාල අවේෂණයක් කරන්නට ගත්තේය. http://rezoth.ml වෙබ් අඩවියට සම්බන්ධකම් කියන ටෙලිග්‍රෑම් සමූහයක් ගැන තොරතුරු හෙළි වන්නේ එවිටය.

ටෙලිග්‍රෑම් ඇප් එක මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ පණිවුඩ හුවමාරුවේදී ඉතාමත් ආරක්ෂිතම ඇප් එකක් ලෙසිනි. අනන්‍යතාව මඟ හැර එහි රැඳීමට ඇති හැකියාව නිසාම මේ වන විට බොහෝ පිරිස් එම ඇප් එක හරහා පණිවුඩ හුවමාරුව හා සම්බන්ධ වෙමින් ඇති බව විමර්ශකයෝ කල්තියාම දැන සිටියෝය. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රිංගූ හැකර්වරුන් සහ හඳුනා ගත් ටෙලිග්‍රෑම් සමූහය හඳුනා ගත්තත් එම සමූහයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට නම් ඒ තුළට සාමාජිකයෙක් ලෙස රිංගිය යුතු විය. එහෙත් එය හිතන තරම් පහසු කටයුත්තක් නොවීය.

මෙහිදී විමර්ශන නිලධාරීන් උපක්‍රමශීලී පියවරක් අනුගමනය කරමින් තාක්ෂණික මෙහෙයුමකින් අනතුරුව මෙම සමූහයට ඇතුළු වන්නේ එහි සිටින කිසිවෙකුටත් නොදැනෙන්නටය.

එහිදී පෙනී ගිය ආකාරයට අනුව මෙම සමූහය තුළ සිටින සාමාජිකයන් ගණන 5000කට ආසන්නය. වැඩිදෙනෙක් පාසල් සිසුන්ය. හැමෝම වාගේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන්නන්ය. හැකින් ටෘෘල් නැතිනම් අනවසරයෙන් වෙබ් අඩවිවලට රිංගන විධි ක්‍රම ගැන වගේම රහස් අංක බිඳගෙන වෙබ් අඩවිවලට ඇතුළු වී දත්ත සොරා ගන්නා විධික්‍රම ගැන මෙහි බොහෝ දේවල් කථාබහ වෙමින් දැනුම හුවමාරු කර ගන්නා බවද විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. ඒ පාසල් පොතින් ලැබෙන දැනුම වර්ධනය කර ගනිමිනි. සීමා රහිතව මෙහි සිටින ඇතැම් පිරිස් තාක්ෂණයෙන් කරන ගේම් ගැන විමර්ශන නිලධාරීන්ට බොහෝ තොරතුරු ලැබුණත්, ඒ වන විට ඔවුන්ගේ ඉලක්කය වූයේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රිංගූ හැකර්වරයා හඳුනා ගැනීම වූ බැවින්, මුල් තැන දෙන්නේ ඊටය.

එම සයිබර් ප්‍රහාරය එල්ල කර වැඩි වේලාවක් ගියේ නැත. ටෙලිග්‍රෑම් සමූහයේ සිටින යමෙක් ඒ ගැන සිය සමූහය දැනුම්වත් කරමින් වෙබ් පිටුව යථාවත් කිරීමට උදව් ඉල්ලන්නට ගත්තේය. සිය උපක්‍රමය සාර්ථක වී ඇති බව ඒත් එක්කම පසක් කර ගත් විමර්ශකයෝ එතැන් සිට පන්නන්නට ගත්තේ එම පණිඩුය තැබූ අය පස්සේය. එහෙත් එය ද එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ ඔහුගේ අනන්‍යතාව එහි පෙන්නුම් නොවූ බැවිනි. ඒ තත්ත්වය මත විමර්ශකයන් තීරණය කරනුයේ මෙම සමූහයේ සිටින පරිපාලකවරයෙක්ව (admin) කොටුකර ගන්නටය. ඒ අනුව ඉතා පහසුවෙන්ම ඒ එක් පරිපාලකයෙක්ව විමර්ශකයන් කොටු කර ගත්තේය. දෙහිවල පැත්තේ පදිංචිකරුවෙක් වන ඔහු පාසල් සිසුවෙකි. තොරතුරු තාක්ෂණය විෂයක් ලෙස හදාරන පාසල් සිසුන්ගෙන් මෙම ටෙලිග්‍රෑම් සමූහය ක්‍රියාත්මක වේ. ඒ තුළින් දැනුම ද හුවමාරුකර ගන්නා බව විමර්ශකයන් දැන ගන්නේ එම සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

“ ඉස්කෝලේ ටීචර්ල අපිට හැමදෙයක්ම කියල දෙන්නේ නැහැ. හැබැයි සිලබස් එකේ ගොඩක් දේවල් තියෙනවා. අපි සිලබස් එකේ තියෙන දේවල් මේ ගෘෘප් එකේ කට්ටිය එක්ක හුවමාරු කර ගන්නවා. “ සිසුවා මේ දේවල් කියන්නට ගත්තේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇතැයි සිතාය. එහෙත් විමර්ශකයන්ට ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිසේත්ම උවමනාවක් නොවීය. ඒ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රිංගා කළ දත්ත සොරා ගැනීමට ඔහුගේ සම්බන්ධයක් අනාවරණය නොවන බැවිනි. එහෙත් මෙම සිසුවාගේ සහය ඉදිරි විමර්ශන සඳහා විමර්ශකයන්ට අවශ්‍ය වන්නේ සමූහයේ රැඳී සිටින පුද්ගලයන් හඳුනාගැනීමේදී පරිපාලකයෙක් ලෙස ඔහු ඊට ඇතුළු වන මුරපදය ලබා ගැනීම වෙනුවෙනි. ඒ අනුව එම සිසුවාගෙන් මුරපදය ලබාගත් විමර්ශකයන් එතැන් සිට සිය විමර්ශන ඉදිරියයට කරගෙන යන්නට වූයේ ඒ වන විට හඳුනාගෙන සිටි සැකකරු හඹා යමිනි.

එහිදී විමර්ශකයන්ට ලැබෙන්නේ එම සැකකරුගේ ජංගම දුරකථන අංකයක් පමණි. 2020 වසරේදී එම ජංගම දුරකථන සම්බන්ධය ලබා ගෙන තිබුණු අතර, එම ජංගම දුරකථනයෙන් කිසිදු දුරකථන ඇමතුමක් ඒ වන විට ලබා ගෙන තිබුණේද නැත. මේ දක්වාම එය භාවිත කර තිබුණේ අන්තර්ජාලයට පිවිසීම සඳහා පමණක් බව විමර්ශකයන්ට පෙනී ගියේය. ඒ අනුව එම සිම්පතේ ලියාපදිංචි අනන්‍යතාවය ඔස්සේ විමර්ශනයක් පැවැත්වීමට විමර්ශකයන්ට සිතුණත් එම සිම්කාඩ්පත සැබෑ සැකකරුගේ නමින්ම ලබා ගත්තක් දැයි පැන නඟින්නේ ගැටලුවකි. එබැවින් විමර්ශකයන් සොයා බැලීමක් කරන්නේ සිම්කාඩ් පත ඔස්සේ සැකකරු සජීවීව ඔහු සිටින ස්ථානය හඳුනා ගැනීමටය. එහෙත් එයද එතරම් පහසු කටයුත්තක් නොවන්නේ එම සිම්පත භාවිතා කර ඔහු කිසිදු ඇමතුමක් ගෙන නොතිබීමය. ටෙලිග්‍රෑම් ඔස්සේ පණිවුඩ හුවමාරුවේදී පවා සජීවී ස්ථානය පෙන්නුම් නොකරන බැවින් විමර්ශකයන් අපූරු ගේමක් මෙහිදී ගැසුවේය. ඒ තාක්ෂණික මෙ‍ෙහයුමක් ඔස්සේ වට්ස් ඇප් සමූහයකට ඔහුව සම්බන්ධ කරගනිමින් ඒ ඔස්සේ ඔහු රැඳී සිටින ස්ථානය හඳුනා ගනිමිනි.

ඊට අනුව එම සැකකරු රැඳී සිටින ස්ථානය පෙන්නුම් කරන්නට වූයේ ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේය. ඒ අනුව ඉකුත් 08 වෙනිදා උදෑසනම ඉෂාර ගයා ශ්‍රී ප්‍රමුඛ විමර්ශන කණ්ඩායමක් ගාල්ල බලා පිටත්ව යන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ ද උපදෙස් ඇතිවය. ඒ තොරතුරු තාක්ෂණයෙන් ගැසූ ගේමක් තොරතුරු තාක්ෂණයෙන්ම හඹා යමින් සැකකරු ලුහු බඳින්නටය. එදා දහවල් වන විට විමර්ශන කණ්ඩායම එම සැකකරුව කොටු කර ගන්නේ සිය නිවසේ රැඳී සිටියදීය. ඔහු මෙවර උසස් පෙළට මුහුණ දීමට සූදානමින් සිටින පාසල් සිසුවෙකි. ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයක අධ්‍යාපනය ලබන එම සිසුවා උසස් පෙළට මුහුණ දීමට සූදානමින් සිටින්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ධාරාවෙනි.

මෙම සිසුවාගේ දෙමාපියන් ද ගුරුවරුන්ය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනක් ද සිටින්නේය. ඒ එක් අයෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටින්නියකි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී ඔහු දත්ත සොරාගෙන තිබුණේ ඒ ගැන කිසිදු බරක් පතළක් ගැන නොදැනය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබුණේ පසුගිය වසරේදීත් මෙසේම විභාග දෙපාර්තතමේන්තුවේ වෙබ් අඩයට ඇතුළු වී දත්ත ලබාගෙන ප්‍රතිඵල සහිත වෙබ් පිටුවක් විවෘත කළ බවකි. ඒ ගැන මෙම සිසුවා හෙළි කරනතුරු අඩුම තරමින් විභාග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් පවා සිය වෙබ් අඩවිය හැක්කර දත්ත සොරාගෙන ඇති බවක් දැන සිට නැත. නමුත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට හොර රහසේ රිංගා දත්ත සොරාගත්ත ද ඒ කිසිවිටකත් විභාග ප්‍රතිඵල කිසිදු වෙනසකට ලක්කරන්නට ඔහු කටයුතු කර තිබුණේ නැත.

මෙසේ ඔහු විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රිංගන්නේ මෘදුකාංගයක් මඟිනි. ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සිසුවා පවසන්නට වූයේ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දුර්වලතා හඳුනා ගෙන බෲට් ෆෝස් (Bruit Force) ප්‍රහාරයක් එල්ලකරමින් එම වෙබ් අඩවියට තමන් ඇතුළු වූ බවය. එසේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට මෙම සිසුවා ඇතුළු වන්නේ ප්‍රතිඵල අන්තර් ජාලයට මුදාහැර දිනක් දෙකක් තුළදීය. එසේ දත්ත සොරා ගැනීමක් කළේත් වෙබ් පිටුවක් ඔස්සේ එම දත්ත අලුත් විදිහට මුදා හැරියේත් තාක්ෂණ විෂය ගැන වැඩිදුර ඉගෙනුම ලබන විටදී ලබාගත් දැනුම අත්හදා බැලීමට බව ද ඔහු කියන්නට ගත්තේය. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුලු වීමෙන් පසු දත්ත බා ගැනීමට ඔහුට ගත වූයේ යැයි කියන්නේ පැය පහක හයක පමණ කාලයක් පමණි. මේ සෑම දෙයක්ම ඔහු කර තිබුණේ ජංගම දුරකථනයත් පරිගණකයත් ඔස්සේය. දැඩි ලෙස ජංගම දුරකථනය සහ පරිගණකය භාවිත කිරීමට ඇබ්බැහි වී සිටි ඔහු පාසලෙන් ලැබෙන තාක්ෂණ දැනුම වර්ධනය කරගනිමින් සිට ඇත්තේ අන්තර්ජාලයෙන් තොරතුරු හඹා යමිනි.

මෙම සිසුවාට ඒ කරන කියන දේවල්වල හැරි වැරැද්ද ගැන එතරම් අවබෝධයක් තිබී නැති බවක් නම් විමර්ශන නිලධාරීන්ට පෙනී ගියේය. ඒ යැයි කියා ඔහුව අතහැර දැමීමට විමර්ශකයන්ට නීතියෙන් ඉඩක් හිමිවන්නේ නැත. ඒ 2007 අංක 24 පරිගණක අපරාධ පනතේ විධිවිධානයන්ට අනුව මෙම සිසුවා කර ඇත්තේ බරපතළ ගණයේ වරදක් වන බැවිනි. ඒ අනුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින ඔහුට අධිකරණයෙන් කුමන දඬුවමක් හිමිවනු ඇතැයි ද දැන්ම කියන්නට බැරිය.

මෙම විමර්ශනයේදී පෙනී ගියේ සිසුවා කිසිවිටකත් එහි දත්තයන් වෙනස් කිරීමක් කර නැති බවයි. ඔහු කර ඇත්තේ දත්තයන් සොරාගෙන තවත් වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පමණි. විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතනයක වෙබ් අඩවියක ආරක්ෂාව පිළිබඳව මෙහිදී පැන නැඟෙන්නේ බරපතළ අනාරක්ෂිත තත්ත්වයකි. ඒ උසස් පෙළ සිසුවකුට හැක් කිරීමට තරම් එහි ආරක්ෂාව දුර්වල මට්ටමක ඇති බවකි. එසේ එම වෙබ් අඩවිය හැක්කර ඇති බව විභාග කොමසාරිස්වරයා පවා දැනගන්නේ සොරාගත් දත්තයන් ප්‍රසිද්ධ කළ වෙබ් පිටුව නිසාය. එසේ නොවන්නට ඒ ගැන විභාග කොමසාරිස් පවා දැන ගන්නේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිල්ලක් ගොනු වන්නේත් නැත. එසේ වී නම් එම වෙබ් අඩවියට රිංගා විභාග ප්‍රතිඵල පවා වෙනස් කිරීමට එම සිසුවාට හැකියාවක් තිබුණේය.

එහෙත් ඔහු එවැන්නක් කළේ නැත. එසේ දත්තයන් වෙනස් කළේ නම් එය ජාතික ආරක්ෂාවට නොදැවෙනි තර්ජනයක් වනු ඇත. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇති දුර්වලකම් ගැන මෙන්ම එහි ඇති අනාරක්ෂිත තත්ත්වය ගැන එම සිසුවා තරම්වත් තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ එම වෙබ් අඩවිය නඩත්තු කරන තාක්ෂණ නිලධාරීන් දන්නේ දැයි මේ අනුව පැන නඟින්නේ ගැටලුවකි. හරි නම් දැන් කළ යුතුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවාව තමා වෙත ගෙන්වා ගෙන පොදු සමාවක් දෙමින් තාක්ෂණික විෂයෙන් ඉදිරියට යන්නට ලබා දුන් දිරි ගැන්වීමක් වැනි අවස්ථාවක් මෙම සිසුවාටද ලබා දීමය. එසේ නොමැතිව මෙම සිසුවාව හිරේ විලංගුවේ දැමුවහොත් සිදුවන්නේ ඔහුගේ අනාගතයම විනාශ වීමකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා ඒ නිසා මෙම සිසුවා සම්බන්ධයෙන් නීතිමය විමර්ශන කටයුතු සිදුකරමින් සිටින්නේ ඉතාමත් පරෙස්සමිනි. කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සිසුවා නිර්මාණය කළ වෙබ් අඩවිය විනාශ කරන ලෙස රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝග කරමින් සැකකාර සිසුවාට ලක්ෂ 10ක ශරිර අැපයක් මත මුදා හරිමින් සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9-12ත් කාලයේ දී පදිංචි ප්‍ර‍ෙද්ශයේ පොලිසිය වෙත වාර්තා කිරීමට නියෝග කෙරිණි. හපුගල වක්වැල්ල පදිංචි අසෙන් ඉන්දිවර නැමති සිසුවාට මෙලෙස ඇප නියම විය.

 

Comments