කතා නැතිව ජෝඩු වෙන්න විවෘත වේදිකාවක් | සිළුමිණ

කතා නැතිව ජෝඩු වෙන්න විවෘත වේදිකාවක්

බිහිරි තරුණ තරුණියන්ට විවාහයට මඟ පෙන්වන වාර්ෂික හමුව

දැනට විවාහ කරදී ඇති සංඛ්‍යාව 500කට ආසන්නයි

ශ්‍රී ලංකාවේ වසරකට  උපදින බිහිරි දරුවන් සංඛ්‍යාව 200කට අධිකයි

සටහන සහ සේයාරූ නිශානී හේරත් බන්නැහැක

 

ශේෂ අවශ්‍යතා ඇති යෞවන යෞවනියන්ට තම විවාහ සහකරු සහකාරිය තෝරා ගැනීමට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැතියේ විචිත්‍රවත්වත් ස්වයංවර උත්සවයකි. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් සියල්ලක්ම පාහේ විවිධ වයස් කාණ්ඩවලට, අයත් වු අතර ගොළු බිහිරි බව උපතින්ම දායාද කරගත්තෝ වුහ.

 

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව, ලොව පුරා විසිරී සිටින මිලියන 278 වන ශ්‍රවණාබාධිත පිරිසෙන් 80%ක් ජීවත්වන්නේ සංවර්ධනය වන රටවලය. 2001 සංගණනයට අනුව 77, 000 වුවත් මෑත භාගයේ යුනිසෙෆ් වාර්තා අනුව එම පිරිස 130,000කි. සැඟවුණු ආබාධිතයන් ලෙස හැඳින්වෙන මෙම පිරිස මෙරට ජනගහනයෙන් 9%ක් වන අතර, වැඩිහිටි ජනගහනයෙන් 16%කි. සෑම වසරකම ශ්‍රවණ ආබාධිත දරුවන් 200ක් මෙරට උපත ලබන බව සෞඛ්‍ය අධ්‍යාපන දත්ත පෙන්වා දෙයි. ගර්භණී සමයේ මව භාවිත කරන ඇතැම් ඖෂධ, මව රුබෙල්ලා රෝගයට ගොදුරුවීම, අඩු උපත් බර සහිත දරුවන්, වෙඩි හඬ කුස තුළදී ශ්‍රවණය වීම, ශ්‍රවණාබාධ සහිත වීමට ජනාමය හේතු ඊට බලපායි. එසේම කන්වල කලාඳුරු ඉවත් කිරීම සඳහා හැට්ට කටු, කොණ්ඩ කටු ආදී යම් යම් උපකරණ කනට ඇතුළු කිරීම කන අභ්‍යන්තරයේ හානි සිදුවීම්වලින් ඇතිවන ආසාදන නිසා ඇතැම් විෂබීජ පවා මොළයට ගමන් කර බිහිරි බව අැති කරයි. දරුවකු ඉපදී වසර 3 ගතවන විට මොළයේ සෛල සෑහෙන දුරට වර්ධනය වන නිසා දරුවාගේ ශ්‍රවණ ඌනතාවය ඉතා ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දිය යුතුයි. එසේ නොවුණහොත් දරුවාට වයස අවුරුදු 5ක් පමණ වන විට, පරිසරයේ හා මිනිස් හඬ නොඇසී කතා කිරීමේ හැකියාව ද අහිමි වේ. එවැනි දරුවන් සංඥා භාෂාවට හුරු කළ යුතුවේ. ජර්මන් සරම්ප, රුබෙල්ලා, සෙංගමාලය, මෙනින්ජයිටීස්, ඔට්සම් වැනි රෝගවලට බඳුන් වීම නිසාද ශ්‍රවණාබාධවලට ගොදුරු වන අතර බොහෝ රටවල Screen test පරීක්ෂණ මඟින් ශ්‍රවණ ඌනතා දරුවෝ හඳුනාගනිති. රුපියල් ලක්ෂ 18 - 30 දක්වා වැය කරමින් සිදුවන කර්ණ සංඛ බද්ධ කිරීමෙන් ද උසස් ප්‍රතිඵල ලැබිය හැක.

ලංකාවේ විවිධ පළාත්වල විවිධ රැකියා කරමින් දිවිගෙවන විවිධ වයස්වලට අයත්වන විවිධ සමාජ පන්තීන් නියෝජනය කරන මෙවැනි තරුණ තරුණියන් 250කට වැඩි පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වීමට පැමිණියහ. ලියාපදිංචියෙන් පසු හඳුන්වා දීමේ දේශනය පවත්වා උපන් වසරේ පිළිවෙළට තරුණ තරුණියෝ වේදිකාවට කැඳවමින් ඔවුහු පිළිබඳව වෙන වෙනම හඳුන්වා දුන්හ. කලින් ඔවුන් වෙත ලබාදුන් අයැදුම් පත්‍රයේ සඳහන් දත්ත ඔහු හෝ ඇය ඉදිරියේම ශාලාවේ සැමටම ඇසෙන්නට ඉදිරිපත් කරන ලද අතර, එම තොරතුරුම සංඥා භාෂාවෙන්ද සභාවට ඉදිරිපත් කරන ලදි. වේදිකාවට බට තරුණ තරුණියන්ගෙන් යම් තරමකට හෝ යමක් පැවසිය හැකි අය තමන් පිළිබඳ කෙටි කතාවක් ඉදිරිපත් කරන්නට වූහ.

විවාහපේක්ෂිත වේදිකාවට පැමිණි කෙනාගේ නම, උපන් දිනය, වයස, අධ්‍යාපන සුදුසුකම්, රැකියාව, දුරකථනය, කලින් විවාහක ද, අවිවාහක ද යන බව, දෑවැද්ද, වත්කම් හා බලාපොරොත්තු වන සහකරු සහකාරිය පිළිබඳ ඉඟි වැකිද ඉදිරිපත් කළහ. වේදිකාවේ සිටින කෙනා තම දියණියට හෝ පුතාට ගැළපේ යැයි විමසමින් ඔවුන්ගේ දුරකථන අංක සටහන් කරගන්නා මවුපියන් ද මගේ නෙත ගැටුණි. ඇතැම් දෙමාපියන් වැඩසටහන අරඹන්නටත් පෙරම තම පුතුට තමන් සිත් ගත් රුවැත්තියක් ජෝඩු කරන්නට බලනු දුටිමි.

අතරමැද විවේකයේදී තම තමන් කැමති යුවතිය හෝ තරුණයා වෙත ගොස් වැඩිදුර තොරතුරු විමසන මවුපියෝ ද මට නිරීක්ෂණය විය. එතැනදී දැන හඳුනාගත් සමහරෙක් සංඥා භාෂාවෙන් තම අදහස් හුවමාරු කරගත්හ. වේදිකාවට නැඟී එක් කඩවසම් තරුණයකුගේ දුරකථන අංකය රූමත් තරුණියකගේ මව සටහන් කර ගන්නා අයුරු මගේ නෙත ගැටුණි. එම තරුණයා වෙනත් ලස්සන යුවතියක සමඟ සංඥා බසින් පෙම් කරනු දැක මේ දෙන්නා දැන් පෙම්වතුන් දැයි ඇගේ පියාගෙන් ඇසිමි. "ඔව් දෙන්නා කැමැත්තෙන් කතා බහ කරනවා. දුවට කැමැත්තෙන් තව කොල්ලො දෙතුන් කෙනෙකුත් ආවා. එයා කැමති කෙනෙක් තෝරා ගනීවි“ යැයි පැවසීය. වයස අවුරුදු 18 පමණ සිට අවුරුදු 60 දක්වා වයස් ඛාණ්ඩවල පිරිස් පැමිණ සිටීම මෙහි විශේෂත්වයක් විය.

විවාහයට සුදුසු සහකරුවෙක් සහකාරියක් සොයාගන්නට බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. මේ අතර තවත් තරුණයෙක් පැමිණ සිටියේ මව සමඟ විදේශගතව සේවය කරමින් මසකට රුපියල් ලක්ෂ 1 1/2 වැටුපක් ලබන සිය සොහොයුරාට මනාලියක සෙවීමටය. යෝජිත තරුණයාගේ කඩවසම් රුව සටහන් වූ සේයාරුවක් ඔහු සැමට පෙන්වීය.

ගම්පහ රුපියල් ලක්ෂ 200 නිවාස, ඉඩකඩම් දේපළ හිමි, රජයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක තත්ත්ව පාලක තනතුරේ රාජකාරි කරමින් මාසිකව රුපියල් 45,000/-ක වැටුපක් ලබන තම ඥාති පුත්‍ර ටී.ඩී. ජගත් සමරබන්ධු ට (53) කතා කළ හැකි හෝ දරුවෙක් ලබාදිය හැකි කුමන වයසක හෝ සහකාරියක් සොයන බව ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිනි ටී.ඩී. ශ්‍රියාලතා (63) මහත්මිය මා හට පැවසුවාය.

"පුංචි කාලෙ ඉදලම කතා කරන්න බැරි නිසා මහව අඳ, ගොළු, බිහිරි පාසලින් ඉගෙනගත්තා නංගිලා දෙන්නගෙන් එක්කෙනෙක් එංගලන්තේ. මේ පුතා ඉන්නේ මෙයාගේ වියපත් විශ්‍රාමික අම්මා එක්ක. කෝටි දෙකක දේපළ තියනවා. මෙයාගේ කේන්දරේ අඟහරු (කුජ) 7. ඒකට ගැළපෙන කෙනෙක් හමුවුණොත් හොඳයි. කවුරුවත් එක්ක පුතා යාළු වුණෙත් නෑ. දැනට අවුරුදු 15 තිස්සේ හොයනවා. පස්සෙ තමයි මෙතැනට ආවෙ. දරුවෙක් හදාගෙන ජීවත්වෙන්න පුළුවන් කෙනෙක් හොයන්නේ"

ඇගේ සිතේ දැල්වී තිබුණේ ලොකු බලාපොරොත්තුවකි. මෙම වැඩමුළුවට පැමිණි අය අතර කීපවරක් පැමිණි, කලින් විවාහ වී දික්කසාද වූ හා වෙන්වීමට නීතිය ඉදිරියට ගොස් සිටින අය ද වූහ.

ගල්කිස්සේ සිට තම පුතා සමඟ පැමිණි චන්ද්‍රා ද මෙල් (54) පැවසුවේ කලින් පුතා විවාහ වී සිටි බවත් ඇයගෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇති අතර නැවත විවාහයක් සොයන බවයි. තමන්ට දියණියක හා මෙම පුතා සිටින බවත්, දියණිය විවාහ වී සිටින බවත් කීවාය. පුතා 5 වසරට අධ්‍යාපනය ලැබීමෙන් පසු මැහුම් ශිල්පය හදාරා මැෂින් ක්‍රියාකරුවකු ලෙස කෙරවලපිටිය පැරඩයිස් ටොයිස් ආයතනයේ රැකියාව කළ බවත් යෝජනාවකින් මෙවන්ම තරුණියක සමඟ විවාහ වූ බවයි.

"දෙන්න මාස 10ක් ආදරෙන් හිටියා. උපන්දිනය සමරන්න බිරියගේ ගෙදර ගියා. එයා එහෙ නතර වෙලා පුතා විතරයි ආපසු ආවේ. එයා වැඩිය කතා කළේ නෑ. මග ඇරියා. නීතියෙන් වෙන්වෙන්න සූදානම් වෙලා හිටියේ. රුපියල් ලක්ෂ දෙකක් වන්දි ඉල්ලා සිටියා. ඒ අතර ඒ ළමයා වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ නිසා මුදල් ඉල්ලුවෙත් නෑ. වෙන් වුණා."

අම්පාරේ සිට පැමිණි ගාමිණී බණ්ඩාර (59) ඉනෝකා දිල්රුක්ෂි (54) යුවළ ගොවිතැනින් දිවි සරිකරගන්නා අතර දියණිය සත්‍යා නුවනිට (32) විවාහයක් සොයා පැමිණ සිටියහ. බණ්ඩාරවෙල ශ්‍රී සුදර්ශි බිහිරි පාසලින් සා.පෙළ දක්වා අධ්‍යාපනය ලබා මැහුම් ශිල්පය උගත්තාය. කලින් මෙවැනිම තරුණයකු සමඟ හම්බන්තොට සුරියවැව, පදිංචියට ගිය ඇය වනඅලි කරදරවලට ලක්වීම නිසා නැවත මාපියන් හමුවට පැමිණියාය. ඇය ගැන දෙමව්පියෝ පැවසුවේ මෙවැන්නකි.

"ආයේ විවාහ වෙන්න කීවාම හැම දෙයක්ම දුව හොයනවා. එයාගේ අදහස් ලියලා පෙන්වනවා. සංඥා භාෂාවෙන් කියනවා. හරි පිරිසිදුයි. අපි ගැන බලනවා; හොර බොරු නෑ."

චන්ද්‍රා විජේසිංහ (72) පැමිණ සිටියේ තම පුතු අජිත් සුරංග කල්දේරා (48) සමඟය. අජිත්ගේ පියා ගුවන් විදුලියේ සේවය කළ එච්.අයි. ජී. කල්දේරාය. ඔහු අන්ධ ගායක හෙන්රි කල්දේරාගේ සොයුරෙකි. ඇඳුම් ක්ෂේත්‍රයේ රැකියාව කරන අජිත්ට අවුරුදු 40 වැඩි හෝ සුදුසු සහකාරියක් මව සොයයි.

මාතලේ පදිංචි එස්.ටී.ඒ. එදිරිසිංහ (50 හමුදා විශ්‍රාමික සැමියා වන බී.එම්.ජී.කේ. විජේරත්න (53) සමඟ පැමිණ සිටියේ 28 හැවිරිදි චතුරිකා සඳුනි දුවට මනාලයෙක් සෙවීමටය.

"දුවගේ කනට ඉයර්ෆෝන් එකක් දැම්මාම හොඳට ඇහෙනවා. ඒත් අපිට ලක්ෂ 5 1/2 ක් නැහැ ඒක අරන් දෙන්න. කූරිවෙල නවෝද්‍යා ජාතික පාසලෙන් ඉගන ගත්තා. සංඥා භාෂාව බෑ. ටිකක් කතා කළාට වචන ගළපන්න බෑ. පැටලෙනවා. කලින් විවාහ යෝජනාවල හඳහන් ගැළපෙන්නෙ නැහැ".

බලපිටියේ ඩී.එම්.පුෂ්පලතා (67) 35 හැවිරිදි නලින් ප්‍රියංකර පුතා කැටුව ආවේ විවාහයක් කරදීමටය. ඔහු මැලේසියාවේ වසර 09ක් රැකියාව කළේය. ලංකාවට ආවේ කොරෝනා නිසාය. මෙහි පැමිණියේ පළමුවරටය.

රත්මලානේ සිට පැමිණි ඩී.එල්. මාලනී (60) පැමිණ සිටියේ දියණිය ශානිකා ශ්‍රීමාලි (37) සමඟය. ඇය සිද්ධාලේප ආයතනයේ ලේබල් අංශයේ රැකියාව කරන්නේ නුගේගොඩ සමුද්‍රදේවි විද්‍යාලයේ සා.පෙළ හැදෑරීමෙන් පසුය. වැඩසටහනට පැමිණි බොහෝ දෙනෙක් විවාහයට සුදුසු කෙනකු සොයා ගත්තේය.

මෙම වැඩසටහන සංවිධානය කළ ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩේමියන් ප්‍රනාන්දු සිළුමිණට පැවසුවේ මෙවැන්නකි.

"මේ සංගමය 1971 ඇරඹුවේ විවාහය සඳහා තරුණ තරුණියන් යොමු කරන මෙම වැඩසටහන 2005 ඇරඹුවා. දැනට 500කට අාසන්න සංඛ්‍යාවක් විවාහ කරදී තියනවා. සමහරු වෙන්වුණත් බහුතරයක් විවාහ වී දරුවොත් හදාගෙන හොඳින් ඉන්නවා. මම විවාහ වුණේ අවුරුදු 25 දී. මගේ පුතාට මාස 03දී එයා දෘෂ්‍යාබාධිතයි කියා දැනගෙන හොඳින් උගන්වා විවාහ කර දුන්නා. මම කතෝලික වුණත් පුතා විවාහ වුණේ බෞද්ධ පවුලකින්"

ඩේමියන් ප්‍රනාන්දුගේ පුතා පෞද්ගලික බැංකුවක විධායක රැකියාවක් කරන අතර ඔහුගේ බිරිය රාජ්‍ය සංස්ථාවක රැකියාව කරන අතර ඔවුන්ට නිරෝගී දරුවෙක් සිටී. මෙම වැඩසටහන සඳහා තරුණ පිරිමින් වැඩි ප්‍රතිශතයක් පැමිණෙන අතර කාන්තාවන්ටත් මෙමඟින් ප්‍රතිලාභ ලැබීමට හැකි නිසා නිවෙස්වල සිටින මෙවැනි යුවතියන් දැනුම්වත් කරන මෙන් ඉල්ලා සිටී. පානදුර සිට පැමිණි පියෙක් වන බැසිල් කුරුප්පු (60) පැවසුවේ වසර 51 සපිරි මෙම ආයතනයෙන් ලක්ෂ ගණනක පිරිසකට සෙත සලසා ඇති බවකි.

සංගමයේ සම්බන්ධිකරණ ලේකම් ජේ.කේ.ඩී. කරුණාතිලක කීවේ ගොළු බිහිරි දරුවන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත්, මේ වැඩ සටහන යටතේ විවාහපත් ගොළු බිහිරි දෙමාපියන්ගේ දරුවන්ගෙන් 99%ක් කථන - ශ්‍රවණ හැකියාව ලැබු අය වීම සතුටක් බවයි.

ඔබටත් මෙම ආයතනයෙන් සහායක් අවශ්‍ය නම් හෝ අවශ්‍යතා ඇති අයකුට ලබාදීමට මෙසේ විමසිය හැකිය.

 

ඩේමියන් ප්‍රනාන්දු, අංක 220

ලේකම් ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරු සංගමය,

ගාලු පාර, ඉඩම, මොරටුව,

දුරකතන - 077-1575683, 011-2646728

Comments