
ශ්‍රී ලාංකිකයකු හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයකු එතෙක් මෙතෙක් විදේශයකදී දරනු ලැබූ උසස්ම දේශපාලන තානාන්තරය යැයි සැලකිය හැකි ධුරයකට පසුගිය සැප්තැම්බර් 6වැනි දා රනිල් ජයවර්ධන නම් බ්‍රිතන්‍යය දේශපාලනඥයා පත්වීම් ලැබුවේය. ඒ තානාන්තරය වන්නේ මහා බ්‍රිතාන්‍යයේ පාරිසරික, ආහාර සහ දුෂ්කර ප්‍රදේශ පිළිබඳ අමාත්‍ය ධුරයයි. ඒ අනුව මේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයා ඉදිරියේදී බ්‍රිතාන්‍ය වැසියන්ගේ පරිසරය සහ ආහාර ගැන වගකීම ගැනීමට නියමිත අතර, එරට දුෂ්කර පළාත් පිළිබඳ වගකිමද ඔහු සතු වනු ඇත.
කෙසේ වුවද එය ශ්‍රී ලාංකික අපට ලබා දෙනු ඇත්තේ වෙනස්ම හැඟීමකි. එයට හේතුව ඔහුගේ රනිල් ජයවර්ධන යනුවෙන් වන ශ්‍රී ලාංකික නාමයයි. එම නාමය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ නිතර අසන්නට ලැබීම මෙන්ම, බ්‍රිතාන්‍ය දේශපාලනයේ නිතර එම නම කියවීම අධිරාජ්‍යවාදි මානසිකත්වයේ ප්‍රති විරුද්ධ මානසිකත්වය අප තුළ ඇති කිරීමට සමත් නොවන්නේ යැයි කිව හැක්කේ කෙසේද?
මේ නව පත්වීමත් සමඟ අපට දැනෙන හැඟීම් දැනීම් කෙසේ වුවද එම ධුරයට පත්වූ රනිල් ජයවර්ධනගේ පැත්තෙන් බැලූ කල මේ නම් පැහැදිලිවම ජයග්‍රහණයකි. තවමත් 36 වැනි වියේ පසුවන රනිල් උපත ලබා ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් හිදීය. ඒ 1986 වසරේදීය. රනිල් උපතින්ම බ්‍රිතාන්‍ය ජාතිකයකු වුව ද ඔහුගේ පියා වන නලින් ජයවර්ධනට ශ්‍රී ලංකාවේ මුල් බොහෝය. රනිල් ජයවර්ධනගේ පියා වන නලීන් ජයවර්ධන යනු බුලත්සිංහල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයකු වූ හෙන්රි ජයවර්ධනගේ පුතෙකි. ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේ මණීය කළු ගංගා නිම්නයේය. එම ගෘහය හඳුන්වන්නේ ජයන්ති නිවෙස යනුවෙනි.
සැබවින්ම එම නිවෙස අභීත, අතීත පෞරාණික උරුමයන් සංරක්ෂිත සංස්කෘතික කේන්ද්‍රස්ථානයකි. මතුගම හොරණ මාර්ගයේ මධුරාවල මහා විද්‍යාලයට යාබදව පිහිටා ඇති මෙම සුවිසල් මහගෙදර අද පදිංචිව සිටින්නේ රනිල් ජයවර්ධනගේ බාප්පාය. මේ බාප්පා විමල් ආනන්ද ජයවර්ධන නම් වේ. ඔහු රනිල්ගේ තාත්තාගේ බාල මලණුවෝය. නලීන් බ්‍රිතාන්‍යයට යෑමට පෙර උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි.
මේ වන විට බ්‍රිතාන්‍යයේ පරිසර ඇමතිවරයා වන රනිල් ජයවර්ධනගේ පිය පාර්ශ්වය සතු වන්නේ ඉපැරණි ඉතිහාසයකි. මේ ඉතිහාසය පිළිබඳව ඔහුගේ මහප්පා වන විමල් ආනන්ද ජයවර්ධන සිහිපත් කරන්නේ බොහෝ සතුටෙනි.
“රනිල්ගේ සීයා හෙවත් හෙන්රි ජයවර්ධනගේ වැඩිමහල් සොහොයුරු දොන් රිචඩ් ජයවර්ධන බුලත්සිංහල මුංවත්තබාගේ පත්තුව ගම් කාර්ය සභාවේ පළමු සභාපතිවරයා වුණා. 1927 සිට 1930 දක්වා ඔහු එම තනතුරේ සේවය කළා. ඔහු අභාවයට පත් වූයේ 1931දී. ඔහුගෙ මරණයෙන් පසුව රනිල්ගේ සීයා හෙවත් හෙන්රි ජයවර්ධන, ඒ කියන්ගේ අපේ තාත්තා 1936 සිට 1946 දක්වාම මුංවත්තබාගේ පත්තු ගම් කාර්ය සභාවේ සභාපති වුණා. තාත්තා විවාහ වුණේ බද්දේගම ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ටී. ඒ. අබේවික්‍රම යුවළගේ පස්වෙනි දියණිය ඩේසි අබේවික්‍රම සමඟ. අම්මාගේ සහෝදරයන් තිදෙනෙක්ම දේශපාලනය කළා. උඩුවන රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී සයිමන් අබේවික්‍රම, රජයේ වැඩ ඇමති වින්සන් අබේවික්‍රම, බද්දේගම ගම් සභාපති වින්සන් අබේවික්‍රම ඒ තුන්දෙනා.”
මල්ලිකා, ලක්ෂ්මන්, අශෝක, නලින් ආනන්ද සහ බාල දියණිය දේවිකා යන හය දෙනා මේ විවාහයෙන් පවුලට එකතු වුණා. හෙන්රි ජයවර්ධන සැම විටම තම කාර්ය භාරය උපරිමයෙන් ඉටු කළ ගම් සභාපතිවරයෙක් විය.
“පවුලෙ පිරිමි හතර දෙනාම මහනුවර ත්‍රිත්ව විද්‍යාලෙට ගියේ. අක්කයි නංගියි විශාඛා විද්‍යාලෙට ගියා. රනිල් පුතාගේ තාත්තා නලින් අයියා උසස් පෙළ දක්වාම ගියෙ ත්‍රිත්ව විද්‍යාලෙට. බෝඩිමේ නැවතිලා හිටියෙ. පුංචි කාලෙ නිදාගෙන තියෙන්නෙ මේට්‍රන්ගෙ කාමරේ. පවුලෙ උසම එයා. ඊට පස්සෙ විගණක ආයතනයක ටික කලක් වැඩ කළා. 1978 දී ඔහොම ඉන්නකොට නලින් අයියා තාත්තට කිව්වා වැඩිදුර ඉගෙන ගන්න එංගලන්තෙට යන්න ඕනෙ කියලා. තාත්තා සල්ලි හොයලා එයාව රට යැව්වා. රට ගිහින් විභාග පාස් කරල විගණකාධිකාරවරයකු විදියට සේවය කළා. අයියා 1985 දී ඉන්දීය සමභවයක් තියෙන ඉන්දිරා දාස් එක්ක විවාහ වුණා. එංගලන්තෙ තිබුණ විවාහ උත්සවයට ගියේ පවුලෙ වැඩිමල් ලක්ෂ්මන් අයියා විතරයි. ඊට පස්සෙ අයියා හැම්ෂයර් ප්‍රාන්තෙ මහේස්ත්‍රාත් විදියට වැඩ කළා. අයියත් එහෙ ප්‍රසිද්ධ සමාජ සේවකයෙක්. නලින් අයියා සහ ඉන්දිරා අක්කාට දරුවන් තුන්දෙනයි. ලොකු පුතා රනිල් මැල්කම්; එයා තමයි අද බ්‍රිතාන්‍යයේ පරිසර ඇමති වෙලා සිටින්නේ. ඔහු ඉපදුණේ 1986 සැප්තැම්බර් 03 වෙනිදා”
රනිල්ගේ බාප්පා වන ආනන්ද තම පවුලේ උත්කෘෂ්ඨ ඉතිහාසය, මෑතකාලීන රනිල් ජයවර්ධනගේ විශිෂ්ට දේශපාලන ආගමනය සමග සම්බන්ධ කරන්නේ මහත් ආඩම්බරයෙනි. රනිල් නලින් ජයවර්ධනගේ පවුලේ වැඩිමලා ලෙස උපත ලබන අතර ඔහුට පසුව 90 වසරේ දි කුෂානි මේරියන් ජයවර්ධන දියණිය ද ඉන්පසු රවීන්ද්‍ර මයිල්ස් ජයවර්ධන පුතු ද මෙම පවුලට එක්විය.
මේ කතා බහ අතර නිවස තුළට ගිය ආනන්ද, කුඩා රනිල්ගේ ඡායාරූප කිහිපයක් ගෙනවුත් අපට පෙන්වූයේය.
“රනිල් පුතා කිහිප වරක්ම ලංකාවට ඇවිත් තියෙනවා. එක ගමනක් සයිමන් අබේවික්‍රම මහත්තයාගෙ මුණුපුරකුගෙ මංගල උත්සවයකට ලංකාවට ආවා. තවත් අවස්ථාවක නලින් අයියයි, ඉන්දිරා අක්කයි, රනිල්, කුෂානි, රවීන්ද්‍ර සියලු දෙනාම නිවාඩුවට මේ මහ ගෙදර ආවා. ඒ වෙලාවට අපි ඔක්කොම එකතු වෙලා ලංකාවේ තැන් තැන්වල සංචාරය කරනවා. අනුරාධපුරය, සීගිරිය, දඹුල්ල, උණවටුන, පොළොන්නරුව, දිය ඇලි, වෙරළ, වනාන්තර, සත්ත්ව උද්‍යාන, වෙහෙර විහාරස්ථාන ආදිය නරඹන්නට යන්නේ ඉතාමත් ආසාවෙන්. ඒ වෙලාවෙ රනිල් පුතා ලංකාවෙ සුන්දරත්වය ගැන බොහොම සතුටින් හිටියා. සොබා සෞන්දර්යය දැකලා ඔහු ලැබුවෙ පුදුමාකාර ආශ්වාදයක්.” ශ්‍රී ලංකාවට රනිල් දැක්වූ ආදරය කෙතරම්දැයි අපට පැවසීමට ආනන්ද උත්සාහ දරන අතරම තම ඥාති පුත්‍රයා බ්‍රිතාන්‍යයේ එතරම් උසස් නිලයක් වෙත පත්වීම් ලැබීම පිළිබඳව තම සිතේ වන සතුටද වචනවලට පෙරළුවේය.
“මට මතකයි රනිල් පුතා එංගලන්තෙ ඉගෙන ගන්න කාලෙත් කියනවා කවදහරි මං ජාතික දේශපාලනයට එනවා කියලා. එයාගෙ වීරවරිය මාග්‍රට් තැචර්. 2008 තමයි රනිල් පුතා නාගරික මන්ත්‍රී වෙන්නෙ. එදා ඉඳලා පියවරෙන් පියවර ඇවිත් 2015 පාර්ලිමේන්තු මන්ත්‍රී වුණා. ඒ වෙලාවෙත් මට හරි සතුටක් දැනුණා.
මට මතකයි රනිල් පුතා ඡන්දෙ ඉල්ලපු වෙලාවෙ ස්වාධීනව තරග කළ රොබට් බ්ලේ තර්ජනය කරපු ආකාරය. එදා ස්වාධීන අපේක්ෂක රොබට් බ්ලේ අපේ පුතාට මෙහෙම කිව්වා. ‘මේ ආසියාතික උරුමයක් තියෙන කොල්ලාට ඡන්දය දෙන්න එපා. මේ කොල්ලා බ්‍රිතාන්‍ය අගමැති වුණොත් මම උගේ ඔළුවට උණ්ඩයක් යවනවා’කියලා කියලා තියෙනවා. මේ කතාව අහලා අපේ ඇඟ හිරිවැටුණා. අපි පුතාට ආශිර්වාද කරලා බෝධි පූජා පැවැත්වූවා. බාරහාර වුණා. ඊට පස්සේ අපිට ආරංචි වුණා. ස්වාධීන අපේක්ෂක රොබට් බ්ලේට විරුද්ධව බ්‍රිතාන්‍ය ජනතාව නැඟී සිටියා. පුතා මහා ඉහළින්ම දිනුවා.
මේ සිද්ධිය වුණේ 2015 දී. පුතාට තර්ජනය කළ රොබට් බ්ලේට ඇපත් නැති වුණා”
රනිල් ජයවර්ධන පිළිබඳව ආසන්නතම මතකය ආනන්ද සිහිපත් කළේය.
“රනිල් පුතා අපේ දුක සැප විමසන්න අමතක කරන්නේ නෑ‘ ඔහු කතාවට මඳ විරාමයක් ගන්නේ අදටත් රනිල් ජයවර්ධන සහ ඔහුගේ පවුල අතර පවතින සබඳතාව පිළිබඳව අදහසක් අපට ලබා දෙමිනි. අද වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරාධිතයකු වන තරමට රනිල් ජයවර්ධනට ලැබෙන සැලකිලි බොහෝය. එහෙත් ඔහු තම ඥාතීන්ට එදා මෙන්ම දැඩි සේ හිතවත්ය.
“2018 අවුරුද්දෙ ලංකා රජයේ ආරාධනයකට පුතා ලංකාවට ආවා; තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් එක්ක. මට බාප්පාව බලන්න ඕනෙ. ඒත් එන්න වෙලාවක් නැහැ. බාප්පලා කොළඹට එන්න කියලා දුරකථන ඇමතුමක් දුන්නා. මායි, නෝනයි, උපේඛා දුවයි, බෑණයි, මුණුබුරයි අපි සේරම එයා නැවතිලා හිටිය ෂැංග්‍රිලා හෝටලයට ගියා. හරි සතුටින් කතාබහ කරල අපි ආවා. එයාට ඊට පස්සෙන්දා වැඩසටහන තිබුණෙ ගාල්ලෙ. ඒ යන ගමන් බද්දේගමටත් ගිහින් අපේ අම්මගෙ පරණ වලව්වත් බලලා නෑයොත් හමුවෙලා ගිහින් තිබුණා. ඒ ගමන නුවර යාපනය වගේ නගරවල සංචාර කිහිපයකට සහභාගි වෙලා ආයෙ එංගලන්තෙ ගිහින් තිබුණා.”
එවකට බුලත්සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල මුණසිංහගේ සමයේ දී අගුරුවාතොට තැපැල් කාර්යාලය ඉහළ ශ්‍රේණියකට උසස් කර එය පවත්වා ගෙන යෑමට තමා සතු ගොඩනැගිල්ලක් ලබා දුන්නේ හෙන්රි ජයවර්ධනය. ඉතා මෑතක දී එම තැපැල් කාර්යාලය ස්ථිරව පවත්වාගෙන යාම සඳහා එංගලන්තයේ වෙසෙන නලින් ජයවර්ධන තමා සතු එම ඉඩම රජයට පරිත්‍යාග කර තිබේ.
මේ පිළිබඳවද සිහිපත් කරන ආනන්ද පවසන්නේ අද රනිල් ජයවර්ධන උසුලන තානාන්තරය සම්බන්ධව තම පවුලේ ඥාතීන් බෙහෙවින් සතුටට පත් වන බවයි. “ජීවත්ව සිටිය නං අද වැඩියෙන්ම සතුටු වෙනවා ඇත්තේ අපේ තාත්තා. අපේ සීයා, බාප්පා, තාත්තා, අයියා සමාජ දේශපාලන කටයුතු සිදු කළේ බොහොම අවංකව. හැම විටම හිතුවෙ ජනතාව ගැන පමණමයි. මේ පරම්පරාවෙ අඩිපාරේ යන අපේ රනිල් පුතා ගැන අපිට හරි ආඩම්බරයි.
පුතාට තව වයස තියෙනවා. ඒවගේම හොඳ අනාගතයක් ද උරුමයි. බුද්ධිමත්ව, පරිස්සමින්, සංයමයෙන්, ඉවසීමෙන් පුතා වැඩ කරගෙන යනවා. මං දන්නවා පුතා කවදාහරි බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වෙනවා කියලා. ලංකාවේ සිංහල පියකුගේ සහ ඉන්දියාවේ හින්දු උසස් පවුලක මවකගේ පුතකු ලෙස එදාට පුතාගේ නාමය ලෝක දේශපාලනයේ අමරණීයව බැබළේවි. ආනන්ද බාප්පා සතුටින් කීවා.
බ්‍රිතාන්‍යයේ නව පරිසර ඇමැතිවරයා පිළිබඳව අදහස් දැක්වීමට මදුරාවල විහාරාධිපති ශාස්ත්‍රපති හාතියල්වල චන්දානන්ද හිමියෝද එක් වූහ.
“ මේ රනිල් ඇමතිතුමාගේ පවුලයි මේ ගමයි, පන්සලයි අතර තියෙන්නෙ පුදුම බැඳීමක්. මේ පළාතට ඔවුන් නොකළ සේවාවක් නෑ. අද ඒ උරුමය තමයි බ්‍රිතාන්‍යයේ පරිසර ඇමතිතුමා අපරදිගට ගෙන ගියේ.“
චන්දානන්ද හිමියෝ එසේ පවසා සිටියේ රනිල් ජයවර්ධනගේ ලංකාවේ ඥාතීන් තවමත් ගමට රටට සිදු කරමින් සිටින සේවය පසසමිනි. ඒ මුළු ගමේම ජනතාව රනිල් ජයවර්ධන පිළිබඳව ආඩම්බර වෙති. සැබවින්ම ගම පමණක් නොව; සමස්ත රටම ශ්‍රී ලාංකිකත්වය බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායක වෙත ගෙන යෑමට සමත් වූ රනිල් ජයවර්ධන පිළිබඳව ආඩම්බර වන බව නිසැකය.
* පසුබිම් වාර්තා
නන්දන කෝට්ටෙගොඩ, කළුතර