වේදනාව තුළින් පටන් ගන්න ජීවිතේ මාරම ලස්සනයි | සිළුමිණ

වේදනාව තුළින් පටන් ගන්න ජීවිතේ මාරම ලස්සනයි

ක්ෂේත්‍රයට එද්දි මගේ හෙවණැල්ල වගේ හිටියේ තාත්තා

මාස තුනකට විතර පස්සෙ තමයි එයා මට හායි කියලා දැම්මේ

අන්තිමට එයාගේ හීන ඔක්කොම අතෑරලා මගේ හීනෙට ඉඩදුන්නා

 

‘සමු අරන් යා යුතුයි

දුක ඉතින් මට හුරුයි

හෙට ඉඳන් මට ඔයා

නොලැබුණත් ආදරෙයි........’

 

‘හමුවී වෙන්වීමත්

දෛවයෙ තීරණයක්

අපි ආදරෙ කෙරුවත්

එක් වෙන්නෑ කවදාවත්......’

 

ප්‍රේක්ෂක සිත් උන්මාදයට පත් කළ ඔහුගේ ගී බොහොමයක් විරහ රසයෙන් යුතු වීම විශේෂත්වයකි. විරහව ඔහුට නුපුරුදුයි කියා හැඟුණේද නැත. ආදරය ඔහුට හද ගැස්ම තරමටම සමීප බව හැඟුණේද නැත. නමුදු ඔහු ගැයුවේ හදවතින්ය. බොහෝ දෙනෙකුට දැනුණේ ඔහු පරාජිත ප්‍රේමවන්තයකු ලෙසයි. ඔහු දක්ෂ, නව පරපුරේ ගායන ශිල්පී අශාන් ප්‍රනාන්දුයි. පසුගිය දා යුග දිවියට පිවිසි ඔහු පළමුවෙන්ම පුවත්පතකට ඇය ගැන කියූ කතාවයි මේ.

“ගොඩක් අය කියනවා, මං ගයන ගීත හදවතටම දැනෙනවා කියලා. ඒත් මං කවදාවත් කවුරුත් වෙනුවෙන් නම් සින්දු කියලා නැහැ. විරහව කියන එක ජීවිතේ කවදා හරි අත්නොවිඳි කෙනෙක් නෑනෙ. මාත් ඒක අත්විඳලා තියෙනවා. ඒත් මං හිතන දෙයක් තමයි වේදනාව තුළින් පටන් ගන්න ජීවිතේ මාරම ලස්සනයි.”

අශාන්ට තියෙන්නෙත් හරි අපූරු ආදර කතාවක්. අශාන් තම පෙම්බරිය වූ කුමිදිව හොයා ගන්න සෑහෙන වෙහෙසක් දරලා.

“ මං එයාව දකින්නෙ ෆේස්බුක් එකෙන්. සුදු නෙළුම් මල් පොකුරක් අතේ තියාගෙන ගත්ත එයාගෙ ඡායාරූපයක් දැක්කා. ඒත් ඒ පින්තූරය ඇය දාපු එකක් නෙවෙයි. ඒක එයාගේ යාළුවෙක් ෂෙයාර් කරපු එකක්. ඒ ෆොටෝ එක පහළට ගියාම මගේ හිතට අමුත්තක් දැනුණා. මං නැවතත් ඒක හෙව්වා. පැය ගාණක් හොයල තමයි නැවත ඒ පින්තූරය හොයාගත්තෙ. එයා තුළින් මං දැක්කේ මොකක්දෝ අහිංසකකමක්. හිතට මාර විදියට වැදුණා. ඊට පස්සෙ මං එයා ගැන හොයන්න පටන් ගත්තා. දන්න අයගෙන් ඇහුවා. හෙව්වා. කොහොම හරි මාස තුනක් ගිහිල්ලා තමයි එයාව හොයා ගත්තේ.

එයාගෙ නම කුමිදි ලියනගේ. බැංකු නිලධාරිනියක්. හැමදාම මං හායි කියලා දානවා. ඒත් කිසිම පිළිතුරක් නෑ. කොහොමද නංගී කියලා අහනවා. ඒත් නෑ. මාස තුනකට විතර පස්සෙ තමයි එයා මට හායි කියලා දැම්මේ. ඊට පස්සේ ඉතින් බොහොම අමාරුවෙන් කතාවට අල්ල ගත්තා. අපි හොඳ යාළුවෝ වගේ ආශ්‍රය කළා. එයා ගොඩක් අහිංසකයි කියලා මට තේරුණා. එයාත් මාව හොඳින් තේරුම් අරගෙනයි හිටියේ. ඒ නිසා මං එයාට ආදරෙයි කිව්වා. එක පාරටම මොකක්ද මේ වුණේ වගේ එයා කම්ෆියුස් වුණා. මාසෙකට විතර පස්සේ තමයි එයා කැමති වුණේ.

ඒ වෙද්දි මං ගායකයෙක්වත් ප්‍රසිද්ධ කෙනෙක්වත් නෙවෙයි. ඔය රියැලිටි වැඩසටහන්වලින් එන අයට සින්දු කීපයක් කරලා තිබුණා. ඒත් මගේ නමවත් කවුරුත් දන්නෑ. මගේ ඇතුළේ මියුසික් කම්පෝසර් කෙනෙක් හිටියා. මං සින්දු කියන්නත් ආසයි කියලා එයා තේරුම් ගත්තා. අන්තිමට එයාගේ හීන ඔක්කොම අතෑරලා මගේ හීනෙට ඉඩදුන්නා. ”

අශාන් ප්‍රනාන්දු කියන්නේ දැන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්. ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ඔහුගේ විරහ ගීවලට. කාලයක් තිස්සේ ඔහු සංගීත ක්ෂේත්‍රයේ සිටියත් ගායකයකු ලෙස ඔහු ජනප්‍රියවන්නේ මෑතකදී.

“මං ගොඩක් කටුක ජීවිතයක් ගත කරපු කෙනෙක්. මේක මං හෙමින් ආපු ගමනක්. සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10ක් විතර වෙනවා. ගායකයෙක් විදියට ප්‍රේක්ෂකයා මා අඳුනගන්නේ මීට අවුරුදු 6කට විතර කලින්. පළමුවෙන්ම මං කළේ අයි. ටී. එන්. එෆ්.එම් එකට තේමා ගීයක්. හීන කැන්දන ආදරේ කියලා. ඒක පද රචනය කළේ ඩිලාන් ගමගේ. එයා තමයි මට මේ ෆීල්ඩ් එකට එන්න ගොඩක් උදවු කළේ. ඒකෙන් පස්සේ තමයි කවුද මේ කියලා කවුරුත් මාව හොයන්න පටන් ගත්තේ.

මගේම සින්දුවක් විදියට මුලින්ම ගායනා කළේ ‘මං පතනවා‘ සින්දුව. ඒකත් ඩිලාන්ගේමයි. ඒක නිකන් ආසාවට කරපු එකක් වුණත් ගොඩක් ජනප්‍රිය වුණා. මුල් කාලේ මට ගොඩක් සින්දු ලියලා දුන්නේ ඩිලාන් ගමගේ. මෑත කාලයේ සින්දුවලින් ගොඩක් ඒවා නිසල් ප්‍රනාන්දුගේ. මගේ අලුත්ම සින්දුව ‘සිහිනේ.’ ඒක කළේ අපේ වෙඩින් ප්‍රී ෂූට් එකට. මට ඕන වුණා ඒකට ජාත්‍යන්තර පෙනුමක් දෙන්න. ඒ නිසා රත්මලාන ගුවන් තොටුපොළ සහ පෝට් සිටි එක රූප රචනයේ දී යොදා ගත්තා. ගොඩක් අය හිතුවේ ඒක ගුවනේ රූගත කළා කියලා.

මේ වෙද්දි මං සින්දු විස්සක් විතර කරලා තියෙනවා. ටෙලි නාට්‍ය ගීත කීපයකටත් සංගීත නිර්මාණය කළා. වෙනත් අයගෙ සින්දුවලටත් සංගීත නිර්මාණයෙන් දායක වෙලා තියෙනවා. මං තැනක ඉන්නවා නම් කුමිදිට වගේම ඒකෙ ගෞරවය මගේ තාත්තටත් හිමිවෙන්න ඕන. මේ ක්ෂේත්‍රයට එද්දි මගේ හෙවණැල්ල වගේ හිටියෙ තාත්තා. එදා වගේම අදත් මගේ ලෝකෙ වීරයා මගේ තාත්තා.”

 

Comments