
මං කරන්නේ බොහෝ වගකීම් සහිත වෘත්තියක්
හරි කෙනා හමුවුණොත් අනිවාර්යයෙන්ම විවාහ වෙනවා
නිවේදනය කියන්නෙ වෙනස්ම කලාවක්. එහි දිශානතිය විවිධාකාරයි. සාමාන්‍ය වැඩසටහන්, දේශපාලන වැඩසටහන්, සංගීත වැඩසටහන්, හාස්‍ය මුසු විනෝදාත්මක වැඩසටහන්, ළමා වැඩසටහන්, ආගමික වැඩසටහන් ආදී පැතිකඩවල් සියල්ලම නිවේදන ක්ෂේත්‍රයේ නියෝජනයන්ය.
මේ අතරින් වටිනාකමින් වැඩිම නියෝජනය සිදුවන්නේ ප්‍රවෘත්ති විකාශය කීවොත් එය නිවැරැදියි. රටේ පමණක් නොව ලොවේම සිදුවන කාලීන සිදුවීම් පිළිබඳ විශේෂ අවධානයෙන් සිට නිරතුරුවම යාවත්කාලීන විය යුතු අංශයකි. එමෙන්ම සියලු අංශයන් කෙරෙහි දැනුමින් සන්නද්ධව සිටිය යුතුය. කුඩා කල සිටම ප්‍රවෘත්ති නිවේදනයට ඇලුම් කළ ඇය නමින් ඉෂාරා දේවේන්ද්‍රයි. ස්වාධීන රූපවාහිනී සේවයේ පස්වරු 6.30 සහ රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔබ වෙත ගෙන එන රුවැත්තිය ඇයයි.
“පුංචි කාලෙ ඉඳන්ම මං ප්‍රවෘත්ති කියන අයට හරි ආසයි. එයාලා දිහා බලාගෙන මාත් පත්තර කොළයක් අරන් කණ්ණාඩිය ළඟට ගිහින් කියෙව්වා. අපේ ගෙදර අයටත් තේරුණා මං ගොඩක් ඒ පැත්තට කැමතියි කියලා. ගෙදරින් ලැබුණු සහයෝගය නිසා ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණා. ඒ 2008 වර්ෂයේ. ඉන්පසුව මාතර සුජාතා බාලිකාවේ උසස් පෙළ හදාරන කාලෙදිම මම ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. ඊට පස්සෙ හිරු නාළිකාව, සියත වගේ නාළිකාවලට සම්බන්ධ වෙලා වැඩ කළා. 2021 දී නැවතත් ස්වාධීන රූපවාහිනී සේවයට එක්වුණා. මේ වෙද්දි මං පස්වරු 6.30 සහ රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඉදිරිපත් කරනවා. ඒක සැහැල්ලුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි. ලොකු වගකීමක් සහිත වෘත්තියක්. ඊට අමතරව සතියේ දවස් පහේම උදේ 6.00 – 7.00 දක්වා ජාතික පුවත්පත් විශ්ලේෂණය කරන ‘පත්තර මේන්තුව’ කියන වැඩසටහන කරනවා. ඒ හැරුණු කොට වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරනවා. මගේම උත්සාහයෙන් මේ සම්බන්ධ පාඨමාලා හදාරලා ඒ ගැන දැනුමක් ලබාගෙන තමයි මෙපමණ දුරක් ආවේ. දැන්නම් මගේ මල්ලි ඉෂාන් දේවේන්ද්‍රත් Y FM එකේ සේවය කරනවා”
ප්‍රවෘත්ති නිවේදනය කියන්නේ නිවේදන ක්ෂේත්‍රයේ වගකීම් වැඩිම අංශය. නිරතුරුවම යාවත්කාලීන විය යුතුයි. පෙර සූදානමත් බොහෝ වැදගත්.
“ ප්‍රවෘත්ති විකාශයකදී වරදක් වුණොත් ඒක නිවැරදි කිරිම මඳක් අපහසුයි. ප්‍රවෘත්ති විකාශය ප්‍රේක්ෂකයාගේ විශ්වාසය රැඳුණු තැනක්. නිවේදකයා හෝ නිවේදිකාව තමයි ප්‍රේක්ෂකයාගේ විශ්වාසවන්තම පුද්ගලයා. අප ඒ විශ්වාසය ආරක්ෂා කළ යුතුයි. ගලා යෑමේ රටාවෙන් එහා මෙහා වීම් සිදුවී තිබුණත් ලොකු හානියක් වන කිසිම දෙයක් මා අතින් මෙතෙක් සිදුවී නැහැ. ප්‍රවෘත්ති විකාශයට වාඩි වෙද්දි අදටත් තිගැස්මක් තියෙනවා. ඒත් මට මා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මං හිතන විදියට ප්‍රවෘත්ති නිවේදකයකුට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විය හැකි වුණාට ඕනෑම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුට ප්‍රවෘත්ති නිවේදකයකු විය නොහැකියි. ඒ සඳහා නිරතුරුවම දැනුමින් සන්නද්ධව සිටිය යුතුයි. පොත්පත්, පත්තර කියවා අන්තර්ජාලය පරිහරණය කරමින් නිරතුරුවම දැනුමින් යාවත්කාලීන විය යුතුයි.”
ඇයත් තාරුණ්‍යයේ පසුවන සුන්දර යුවතියක්. සුන්දර, ආදරණීය හැඟීම් ඇයටත් ඇති. නමුත් ඇය තවමත් තනිකඩ යුවතියක්. වගකීම් සහිත ඇගේ වෘත්තිය ඒ සොඳුරු හැඟීමට බාධකයක් වූවාද විය හැකියි.
“මං කරන්නේ ගොඩක් වගකීම් සහිත වෘත්තියක්. හැමවෙලේම අවධානයෙන් ඉන්න ඕන. සැහැල්ලුව කියන එක ටිකක් අඩුයි තමයි. මේ ක්ෂේත්‍රය තුළදි ගොඩක් අය හමුවෙනවා. ඒ අතරේ ආදරණීය ඇරයුම් ලැබිලා තියෙනවා. තවමත් ලැබෙමින් පවතිනවා. එක එක අවස්ථාවල හමු වුණ වැරදි මිනිසුන් නිසා ගත්ත වැරදි තීරණවලින් ජීවිතේ වැරදුණු වෙලාවල් තියෙනවා. මාත් ආදරේ විඳලා තියෙනවා. මටත් සම්බන්ධකම් තිබුණා. ඒත් දැනට මං ආදරේ විඳින කෙනෙක් නෙවෙයි. විවාහය ගැන බලාපොරොත්තුවක් තියෙනවා. මටත් වඩා මගේ මවුපියන්ට සහ මල්ලිට. හරි කෙනා ජීවිතේට ආවොත්, මාව තේරුම් ගන්න පුළුවන් කෙනා, මගේ වෘත්තීය තේරුම් ගන්න පුළුවන් කෙනා, මං වගේම මගේ මවුපියන්ට ආදරේ කරන කෙනා හමුවුණොත් අනිවාර්යයෙන්ම විවාහ වෙනවා.”