
මම හිනාවෙලා ආතල් එකේ ඉන්න කෙනෙක්
මගෙ කටේ සැරට අම්මත් බයයි
මම ආදරේ විඳලත් තියෙනවා විඳවලත් තියෙනවා
චේතනා කැටගොඩගේ නමට වඩා රූපය ඇතැම් අයට හුරුයි. ඊටත් වඩා ඇයගේ කටහඬ බොහෝ දෙනකුට හුරු පුරුදුයි. සමාජ මාධ්‍ය ඔස්සේ රූපය ප්‍රසිද්ධ වුවත් කටහඬ නම් කාලයක් තිස්සේ ටෙලිවිෂණය තුළ රැඳුණා. බොහෝ දෙනෙක් ආදරය කරන මේ ආදරයයි ටෙලි නාට්‍යයේ ඉෂිතා අම්මට හඬ කවන්නේ ඇයයි. ප්‍රධාන නාට්‍ය හා කාටුන් බොහෝමයකට හඬ දායකත්වය දෙන ඇය ගැනයි මේ කතාබහ.
චේතනාව බොහෝ දෙනෙක් දන්නේ යූටියුබ් ඔස්සේ, ඩිජිටල්කරණය ඔස්සේ, ඒ නිසා මුලින්ම අපි ඔබ ගැන කෙටියෙන් කියමු..?
මම 10 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයෙන්. පසුව රාජකීය ජාත්‍යන්තර පාසලට ඇතුළත් වුණා . ඊට පස්සෙ නීතිය ගැන ඉගෙන ගත්තා. ඊට අමතරව හිංදි භාෂාව සම්බන්ධයෙන් ඉගැන්වීම් කටයුතු කරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා හා අක්කා. මගේ අක්කා විවාහකයි. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
නීතිය ඉගෙන ගත්තට නීතිඥවරියක් හැටියට කටයුතු කරන්නේ නැහැ නේද ..?
සතියේ දින පහම උසාවි යන්න ඕන. එතකොට මගේ අනෙක් වැඩ අතපසු වෙනවා. ඒ නිසා උසාවි යන්නේ නැහැ
චේතනා පැතිකඩ කිහිපයක නියෝජනයක් නේද..?
ඔව්. පුංචි කාලේ ඉඳලම කරන්න පුළුවන් කියලා හිතපු හැමදේම කළා. මේ වෙද්දි නිළියක්, හඬ කැවීම් ශිල්පිණියක්, ගායිකාවක් වගේම යූටියුබර් කෙනෙක් හැටියටත් කටයුතු කරනවා.
මගේ අම්මා ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් වෙලා හිටියා මම පොඩි කාලේ. එතකොට බොහෝ කලාකරුවන්ගේ ආශ්‍රය තිබ්බා. මට මතකයි මර්සි එදිරිසිංහ මහත්මිය මම අකමැත්තෙන් එක්කගෙන ගියා ඩබින් කරනවා පෙන්නන්න. බලාගෙන ඉන්න කියලා. ඉන් පස්සේ මට කරන්න දුන්නා. ඊට පස්සේ මම ඒකට යොමු වුණා. කොරෝනා කාලේ තමයි ඩිජිටල්කරණය ට යොමු වුණේ.
ඔබේ නමට වඩා ඔබේ කටහඬ ජනතාවට හුරුයි .?
ජනප්‍රිය චරිත බොහොමයක් මම හඬ කවලා තියෙනවා , ඒ අතරින් මේ ආදරයයි නාට්‍යයේ ඉෂිතා අම්මා , බෝයි ඔෆ් ෆ්ලවර්ස් , ඔබත් මමත් ඇයත්, මායාවරුන්ගේ ලෝකය ජනප්‍රිය යි. මම ඩබින් ආර්ටිස්ට් කෙනෙක් වුණා ට රූපය ප්‍රසිද්ධ වෙන්නේ යූටියුබ් එක නිසයි. යූටියුබර් කෙනෙක් විදිහටත් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන මටත් පුදුමයි. මට කොරෝනා හැදිලා හුස්ම ගන්න අමාරු වෙලා රෝහල්ගත කළා. මාව අඳුරගෙන හොස්පිට්ල් එකේ ගොඩක් අය උදවු කළා, පොලිසියකට ගියත්, දුර පළාතක තේ කඩේකට ගියත්, පෙට්‍රල් ෂෙඩ් එකට ගියත් මාව අඳුරගන්නවා. අපි ටීවි එකේ නිතරම ඉන්න නළු නිළියෝ නෙමෙයිනේ. නමුත් යුටියුබර් කෙනෙක් විදිහට ජනතාව ආදරෙයි කියලා හිතෙනකොට හරි සතුටුයි.
ඒ නිසා චේතනා ආඩම්බර චරිතයක් වෙන්න ඇති.?
ආඩම්බර වෙන්න ඕන තැන්වල මම ආඩම්බරයි. නමුත් හිනාවෙලා ආතල් එකේ ඉන්න කෙනෙක් මම
හම්බ කරපු මුදල්වලින් දැන් වාහනයක් , ගෙයක් දොරක් හදාගෙන ඇති නේද ..?
ඒ හීන ඔක්කොම වතුරේ ගියා වගේ වුණා. රටේ ඇති වුණු ප්‍රශ්න එක්ක. මම නිවාස සංකීර්ණයක ගෙයක් ගන්න හිටියා ඒකත් බැරි වුණා. තවම පදින්නේ අම්මා අරන් දුන්න කාර් එක. කාර් එකක් ගන්න වෙන්නෙත් නැහැ හම්බ කරන සල්ලි දිය වෙලා යනවා වගේ මේ දවස්වල.
අම්මා කියන්නේ නැද්ද පිස්සු නටන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කියලා ..?
අම්මත් මගේ කටේ සැරට බයයි. මම මොන දේ කරත් හරි දේ කරන්නේ කියලා අම්මයි තාත්තයි දන්නවා. ඒ නිසා උදවු කරනවා. බාධා කරන්නේ නැහැ මගේ අක්කත් වෛද්‍යවරියක්. අපි දෙන්නා කවදාවත් එයාලගේ විශ්වාසේ කඩලා නැහැ. ඒ නිසා නිතිරිතී දාන්නේ නැහැ
පෙම්වතෙක් නැහැ කිවුවොත් ඒක බොරුවක්.?
ඇත්තටම පෙම්වතෙක් නැහැ. මට ආදරේ කරන්න කොල්ලෙක් හොයනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒක කොච්චර බරපතළ ද කියලා ලෝචී දන්නවා. මම හොයන දේවල් වැඩියි. මගේ නිදහස මට ඕන. ඒ දේවල් එක්ක මට කොල්ලෝ සෙට් වෙන්නේ නැහැ
ආදරේ කරලා ඇති නේ..?
මගේ කලින් පෙම්වතා එක්ක ආශ්‍රය අවුරුදු තුනහමාරක් තිබ්බා. පස්සේ බැරිම තැන අපි කතාබහ කරලා සුහදව වෙන් වුණා.
ඒ කියන්නේ විවාහ වෙන්නේ නැහැ ..?
මම ආදරේ විඳලා තියෙනවා, විඳවලා තියෙනවා . එහෙම බලද්දී ආදරේ කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවා. දැන් පරිණතයි. ආදරේ ඕන නැහැ වගේ, බලමු.