සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය වශයෙන් හැඳින්වූවද දේශපාලන සාහිත්‍යයේද බොහෝ විශේෂ සිදුවීම් මෙම සැප්තැම්බර් මාසයේ වාර්තා වී තිබීම විශේෂත්වයකි. මේ රටේ දේශපාලන පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර යෙදී තිබුණේද පසුගිය සතියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය පසුගිය 06 වැනිදා පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට බැණුම්
මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් නව ලංකා නිදහස් පක්ෂය පසුගිය 05 වැනිදා බත්තරමුල්ලේ දී ආරම්භ කෙරුණේ එම නව පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කරමිනි. මෙම අවස්ථාවට එක්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය උත්සවය අවසන් වී ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් පිරිසකට හමුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ උත්සාහය ගැන චන්ද්‍රිකාගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් සිටින්නේ පිස්සෝ ටිකක් සහ ඔල්මාදකාරයෝ ටිකක් කියාය. ඇය දැඩි ලෙස චෝදනා එල්ල කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාටයි.
මන්ත්‍රීවරුන් සතුටු වූ දුරකථන ඇමතුම
වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම්දීම පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීම සඳහා අදාළ මන්ත්‍රීවරුන්ට 08 වැනිදා පෙ.ව. 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට දුරකථන ඇමතුම් ලැබුණේ 07 වැනි බදාදා රාත්‍රී 11.00 ට පමණය. දුරකථන ඇමතුම්වලින් සතුටු වූ මන්ත්‍රීවරු පෙරවරු 9.30 පමණ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ.
රනිල්, ඩයනාට, ශෂින්ද්‍රට හා සිරිපාලට කිව්වේ මොනවාද?
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙන විට කිහිපදෙනකු සමඟ සුහදව කතාබස් කිරීම ද බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය.
ඩයනා ගමගේ දිවුරුම් දුන්නේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි.
“මේක ඔයාට හොඳට ගැළපෙනවා. ඔයාට විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් කරන්න පුළුවන්. කොහොම හරි රටට ඩොලර් ගේන්න ඕන” යනුවෙන් ජනාධිපතිවරයා ඩයනාට ප්‍රකාශ කළේය.
ශෂින්ද්‍ර රාජපක්ෂ දිවුරුම් දුන්නේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වශයෙනි.
“මේ වාරිමාර්ග ව්‍යාපෘති ටික හදන්න ඕන. තාත්තා වගේ හොඳට වැඩ කරන්න” යනුවෙන් ජනාධිපතිවරයා ශෂින්ද්‍ර රාජපක්ෂට කියා සිටියේය.
මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සිරිපාල ගම්ලත්ය.
“රජයට මුදලුත් නැහැ. අමාත්‍යාංශයට මුදලුත් නැහැ. ඔයාට අතින් සල්ලි දාලා තමයි මේ වැඩ කරන්න වෙන්නේ.” යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට සිරිපාල ගම්ලත්ට ද සිනහ ගියේය.
චානක හැරෙන තැපෑලෙන්ම ජනාධිපති හමු වූයේ ඇයි?
වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඩී.වී. චානක පැයක් ඇතුළත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අස්වීමට තීරණය කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමු විය. වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර, ඩී.වී. චානකත් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන නිසා වෙනත් රාජ්‍ය අමාත්‍යධුරයක් ලබා දෙන ලෙසට චානක කළ ඉල්ලීම පිළිගත් ජනාධිපතිවරයා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරය චානකට ලබාදීමට තීරණය කළේය.
දිවුරුම් දුන් විගස රාජ්‍ය අමාත්‍යවරුන් ගියේ කොහේද?
රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන් අමාත්‍යවරුන් තම අමාත්‍යාංශවලට යාමටත් පෙර පැමිණියේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගෙන් ආශිර්වාද ලබාගැනීමටය. ජානක වක්කුඹුර, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, සනත් නිශාන්ත, ශෙහාන් සේමසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් මෙසේ පැමිණියහ.
රාජ්‍ය අමාත්‍යාංශ මඟින් උපරිම ආකාරයෙන් රටේ පොදු මහජනතාවට සේවය කළ යුතු මේ අවස්ථාවේදී රටේ ජනතාව විශාල සේවයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක ද එක්ව සිටියේය.
පසුගිය 08 වැනිදා දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද පැමිණ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුණ ගැසුණහ.
රනිල්ට අලි මාලයක්
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර සමුළුව යෙදී තිබුණේ ඉකුත් 06 වැනි අඟහරුවාදා ය. රටේ රාජකාරි අස්සේ පක්ෂ සංවත්සරයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ද ඔහු අමතක නොකළේය. පක්ෂයේ නිලධාරී මණ්ඩලය ජනාධිපතිවරයාගේ නිවෙසට කැඳවා තිබුණේ ඉකුත් ඉරිදාය.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත ජනාධිපතිවරයා පැමිණියේ පාක්ෂිකයන්ගේ ජයඝෝෂා හඬ මධ්‍යයේය. සංවත්සරයට පැමිණි ජනාධිපතිවරයාට අලි රූප සහිත මාලයක් පැලඳවීමට ජාතික යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකාවන් පිරිසකට අවශ්‍යතාව පැන නැඟිණි. එහෙත් ආරක්ෂක අංශ ඊට ඉඩ ලබා දී තිබුණේ නැත. මාලය රැගෙන විත් තිබුණේ කෝට්ටේ නාගරික මන්ත්‍රීනි හර්ෂනි විසිනි.
පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂිකාවකට ද කාරණය දැන ගන්නට ලැබුණි. ඒ ඇය ද යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකාවක වූ බැවිනි. කෙසේ හෝ ඇයට ජනාධිපතිවරයාගේ අවධානය ලබාගත හැකි වූ අතර ඒ ක්ෂණයකින් ඇය ජනාධිපතිවරයා අසලට ගොස් අවශ්‍යතාව පැහැදිලි කර දුන්නාය.
“හා කමක් නෑ. ඔයාලගේ මහන්සියනේ”. ජනාධිපතිවරයා ඊට අවසර දුන් බැවින් ඔවුන් එම මාලය පැලඳ වූයේ ජනාධිපති රනිල් සංවත්සරයේ සිය කතාව කිරීමට පීඨිකාව වෙත යද්දීය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අසුන් ගෙන සිටියේ එක ළඟ ආසන දෙකකය. අනෙක් පසින් නියෝජ්‍ය නායක රුවන්, ජාතික සංවිධායක සාගල හා උප නායක අකිල අසුන් ගෙන සිටියේය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ ජෝන් අමරතුංග ද එම පේළියේම අසුන් ගෙන සිටියේය.
ජෝන්ගේ පින
උත්සවය විචිත්‍රාංග රැසකින් සමන්විතව තිබූ අතර තරුණ තරුණියන් කිහිප දෙනෙකු සහභාගී වූ රංගනයක් ද විය. ඔවුන් ප්‍රධාන පීඨිකාවෙන් පහතට බැස ආරාධිතයන් අසලටම ගොස් සිය රංගනයේ නිරත වූවේ එය වඩාත් තාත්වික කිරීමටය. එහෙත් ආරධිතයන් සියල්ල ජෝන් අමරතුංග දෙස බලනු දුටු ජනාධිපතිවරයා ද “මොකද ජෝන් මේ ඔක්කොමලා ඔයා දිහා බලන්නේ.” යැයි විහිළුවක් කළේ සිනාසෙමිනි.
“මෙයාලට පින නෑනේ සර්.” යැයි රංගනයේ දෑස් ඉවත් නොකරම ජෝන් කියද්දී සැවොම කොක් හැඬලූහ. උත්සවය අවසන් වීමෙන් අනතුරුව ඉන් පිටව නොගොස් උත්සව සංවිධායකයන් අසලට ජනාධිපතිවරයා ගියේ ඔවුනට ස්තූති කිරීමටය. බොහෝ දෙනෙක් එහිදි ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි ඡයාරූපයන්ට පෙනී සිටීමට ද අමතක නොකළේය.
වැරදි තොරතුරු මාධ්‍යයට දුන්නේ කවුද?
මෙරට දරුවන්ගේ හා ගර්භණි මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදය පසුගිය සතියේදී පැවැත්විණ.
මේ සඳහා වන පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය ඉදිරිපත් කර තිබුණේ සමඟි ජන බලවේගය පක්ෂය විසිනි.
විවාදයට පෙර ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට කැඳවා තිබුණි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ සාකච්ඡාවට සහභාගී වූයේ නැත.
“ මන්දපෝෂණ තත්ත්වය අතින් ලංකාව ලෝකයේ හයවැනි ස්ථානයේ ඉන්නව කියල විපක්ෂය කියනවා. ඒක ඇත්තද ?” ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
“ ඒ සංඛ්‍යා ලේඛන වැරදියි”
නිලධාරීහු පැවසූහ.
“ඒක වැරදියි නම් මීඩියාවලට ගියේ කොහොමද?”
ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
“ අපි මාධ්‍ය සාකච්ඡාවක් තියල මේ ගැන කිව්වා. ඒත් මීඩියාවල ඒක ලොකුවට ගියේ නෑ”
“ මීඩියාවල ගියේ නැත්නම් අපිට කියන්න ඕන. අපි මේ ගැන පාර්ලිමේන්තුවෙදි හරි කියනවානේ. ඇයි අපි දැනුවත් කළේ නැත්තෙ. අඩුම තරමේ මේ ගැන සෞඛ්‍ය ඇමතිතුමා දැනුවත් කළාද?
අමාත්‍ය මහින්ද අමරවීර තරමක කේන්තියෙන් ප්‍රශ්න කළේය.
මහින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසුවේ කුමක්ද?
“ ඒකනේ මේ සංඛ්‍යාලේඛන වැරිදියිනම් අමාත්‍යංශය ඒක නිවරදි කළේ නැත්තේ ඇයි”
හිටපු අගමැති මහින්ද රාජපක්ෂද ප්‍රශ්න කළේය.
පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ කතාවට හවුල් විය.
“ අපි මේ ගැන ඇමතිතුමා දැනුවත් කළා”
සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පැවසීය.
“ අපි මේ ගැන විවාදයේදී කරුණු දක්වමු” ජනාධිපතිවරයා කීවේය.
අනතුරුව ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය ගැන කතා කළේය.
“ ප්‍රාදේශීය ලේකම්වරු එක්ක කතා කළාට වැඩක් නෑ. අපි කියන දේවල් පිළිගන්නේ නෑ”
සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා කීය.
“අපිට වයඹ ආණ්ඩුකාරයා එක්කත් වැඩ කරන්න බැහැ. එයා නාවික හමුදාව පාලනය කළා වගේ මහජන නියෝජිතයන් පාලනය කරනවා. එයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න” සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.
“ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුකාරවරයාගේ බලතල පවරන්න පුළුවන්ද කියල බලන්න ඕන” ජනාධිපතිවරයා පැවසීය.
“ පළාත් සභා ක්‍රියාත්මක නොවුණට ඒකේ සභාපතිවරයාට බලතල තියෙනවා.” වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
“ බුදු අම්මෝ ඒක කරන්න එපා.” මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එකවර පැවසීය.
ඒකට ජනාධිපතිවරයාටත් හිනාය.
ප්‍රසන්න මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලුවේ මොනවාද?
“ නිවාස ගිනි ගැනීම සම්බන්ධයෙන් හානි පූර්ණ වන්දි ලබා ගන්න මන්ත්‍රීවරු තිස් දෙනයි අයැදුම්පත් පුරවල තියෙන්නේ. අනිත් අයත් ඉක්මනට පුරවල දෙන්න ” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කතාව වෙනත් පැත්තකට හරවමින් කීය.
“ ප්‍රාදේශීය ලේකම්වරයත් ෆෝම් එකක් එවල තියෙනවා. එයාල කියන්නේ ඒ ෆෝම් එක පුරවන්න කියලයි”
සමන්ප්‍රිය හේරත් නැවත කීවේය.
“ නෑ. ප්‍රාදේශීය ලේකම්තුමාට දෙන්න ඕන දිවුරුම් ප්‍රකාශයක්. අපි ගිය සතියේ විජයදාස රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් තිබ්බා. මේ වැඩ වෙන්නෙ කොහොමද කියල ඒකෙදි මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළා. ආපු නැති මන්ත්‍රීවරු ආපු මන්ත්‍රීවරුන් එක්ක කතාකරන්න ” ඇමති ප්‍රසන්න යළි පැවසීය.
“ අපි එහෙම එකක් ගැන දන්නේ නෑ” මන්ත්‍රීවරු කීප දෙනෙක්ම කීය.
තිස්සකුට්ටිට අත්පොළසන්
අනතුරුව නැඟී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිය. ඔහු පැවති ආණ්ඩුවට චෝදනා කළේය.
“ අපි ප්‍රශ්නයක් කිව්වම හිටපු ජනාධිපතිතුමා අපිව ගණන් ගත්තේ නෑ. ඒකෙන් වුණේ මන්ත්‍රීවරු, ඇමතිවරු කලකිරිලා ආණ්ඩුව කඩාගෙන ගියා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් ගෙදර යන්න වුණා. ”
අනතුරුව ඔහු නැවත මෙසේ කීවේය.
“ අද අපේ ජනාධිපති ඔබයි. අපි ඔබගේ වැඩපිළිවෙළ අගයනවා. අපේ ජීවිත බේරලා අභයදානය දීපු එකට අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. දැන් ආපහු තැන් තැන්වල කුටු කුටු ගානවා. කැබිනට් ඇමතිවරුන්ගෙන් ඇහුවම මොකද වෙන්නෙ කියල අනේ වැඩක් නෑ බං කියනවා. මොකද්ද වෙන්නෙ කියල අපිට තේරෙන්නේ නෑ. ඔය ඇමතිකම් දීල වැඩේ ඉවර කරගෙන සාමුහිකත්වය ආරක්ෂා කරගමු. දැනටමත් අනවශ්‍ය ප්‍රචාර අපේ කණ්ඩායමේ පැතිරෙනවා. මෙහෙම ගියොත් මේකත් හෝදගෙන යාවි.”
“ අද මට එන්න වාහනයක් තිබුණෙ නෑ. හිතවතෙක්ගේ වාහනයක ආවේ. ඇමතිකම් දෙන අයට ඒව දීලා. අපිටත් එහෙට මෙහෙට යන්න තෙල් ටිකක් දෙන්න”
ඇඟට පතට නොදැනී තිස්ස කුටිටිආරච්චි කී ඒ කතාව අත්පොළසන් දෙමින් සියල්ලෝම අනුමත කළහ.
“ ඒ වගේම ජනාධිපතිතුමනි, සමහර ඇමතිවරු කියනවලු සමහරුන්ට ඇමතිකම් දෙන්න එපා කියලා. එහෙම කියපු අය ඉන්නව නම් එහෙම කිව්වෙ ඇයි කියන්න. නැත්නම් නෑ කියන්න. ඒ කතාව ඇහිච්ච අයත් ඒක කියන්න.” තිස්ස කුට්ටිආරච්චි නැවත කීවේය.
ලාන්සාගේ ඉල්ලීම
එයට උත්තර දුන්නේ නිමල් ලාංසාය.
“ හෙට අනිද්දට ඇමතිකම් ලැබෙන ඇමතිවරු මේ මන්ත්‍රිවරු ගැනත් බලන්න. රාජ්‍ය ඇමතිකම් ලැබෙන අය අඩුම තරමේ මන්ත්‍රීවරු දෙන්නෙක්වත් බලා ගන්න. එතකොට මෙහෙම ප්‍රශ්න එන්නේ නෑ. ”
පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන පරිදි ජාතික සභාවක් පිහිටුවීමට පසුගිය සතියේදී තීරණය විය. ඒ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කතාබහට ලක්විය. එහෙත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතාගේ යුතුකම සංවාද කවය පක්ෂය ඇතුළත්ව නැත. ඔහු ඒ ගැන පක්ෂනායක රැස්වීමේදී විමසීය.
“ඒක ප්‍රශ්නයක් කරගන්න එපා?” පක්ෂ නායකයෝ පැවසූහ.
“ නමුත් ඒක අපිට ප්‍රශ්නයක්. අපේ පක්ෂයේ සාමාජික මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව ඇතුළේ වෙනම පක්ෂයක් විදියට හිටියම අපිට විනය ක්‍රියා මාර්ගයක්වත් ගන්න බැරිවේවි” පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් කීය.
එයට පිළිතුරු දීමේදී ගෙවිඳු කුමාරතුංගට හැඬිණි.
ඒ කතාබහ එතනින් නතරවිය.
මහින්දගෙන් අලුත් පක්ෂයක්
“ අපි ශ්‍රී ලංකා නිදහස් ඒකාධිපති පක්ෂයෙන් අයින්වෙලා ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හදනවා.”
පක්ෂ නායක රැස්වීම අවසන්ව එළියට එමින් ඇමති මහින්ද අමරවීර කීවේය.
“ සර්... ඔහොම අඬන්න පක්ෂ මොකටද? මගේ පක්ෂය ස.ජ.බ ගත්තා. හරි නම් මම නේ අඩන්න ඕන.”
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඇමති නිමල් සිරිපාලට කිවේය.
“ ඔය පොඩි පක්ෂවලට එළියට බැහැල ඡනදයක් ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලුවොත් වෙනදේ බලාගන්නකො. කිසි කෙනෙක්ට පාර්ලිමේන්තු එන්න බැහැ”
ඇය නැවත කීවේය.
“ ඒක ඇත්ත” ඇමති නිමල් සිරිපාලද එය අනුමත කළේය.
සුසිල්ට ලැබුණු තෑග්ග
පසුගිය පාර්ලිමේන්තු සතියේද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අඛණ්ඩව පාර්ලිමේන්තුවට පැමිණියේය. බදාදා(07) පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු අගමැති දිනේෂ්, සභානායක සුසිල්ව පාර්ලිමේන්තුවේ පිහිටි සිය කාර්යාලය වෙත කැඳවාගෙන ගියේය.
" තෑග්ගක් දෙන්න තියෙනවා"
සුසිල්, කුතුහලයෙන් බලා සිටියදී දිනේෂ් සිය ලේකම්වරයෙකුට කීවේ...
" අර ඉතිරි කරපු මුදල් බාර දෙන්න " කියාය. ඒ, අගමැතිවරයා සභානායක ලෙස සිටි 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා, ඉතිරි කළ නිල රථයට හිමි ඉන්ධන දීමනාවය. එහි වටිනාකම රුපියල් පහළොස් ලක්ෂ හැට අට දහසකි(රු.1,568,000). එය නව සභානායක සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා අතට පත් කළේ, අගමැති දිනේෂ්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාය.
සජිත්, දමිතාගේ සුවදුක් බලයි
දමිතා අබේරත්න කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව සැලවීමත් සමඟම විපක්ෂ නායක සජිත් ඒ පිළිබඳව සොයා බැලුවේය. ඇයට පොලීසියට එන්නට යැයි කැඳවා තිබුණේ නව වෙනිදා වුවත් දියත උයන පරීක්ෂණ පැවති විරෝධතාවකට එක් වූ අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි.
සජිත් පෙරවරුවේම ඇයගේ සුවදුක් බැඳීමට කොටුව පොලිසිය වෙත ගියේය.
විපක්ෂ නායක, සජිත් ආණ්ඩුව කළ යුත්තේ ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම මිස ජනතාව දඩයම් කිරීම නොවන බව පැවසීය.
ඉන් අනතුරුව, සජිත් පාර්ලිමේන්තුවේදී ද දමිතා වෙනුවෙන් හඬ නැඟුවේය.
අජිත් රාජපක්ෂට පොන්නම්බලම්ගේ ප්‍රසාදය
පසුගිය දිනක පැවති පක්ෂ නායක රැස්වීමකදී අකිලෙයි ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්ට චෝදනාවක් එල්ල කරන ලදී. මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
“සුරේන් රාඝවන් මන්ත්‍රීතුමා මුලාසනයේ ඉන්නකොට අපිට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. වෙලාව හරියට ලැබෙන්නේ නැහැ. ඒත් නියෝජ්‍ය කථානායක ධුරයට පත්වෙන්න කලින් ඉඳලම ඔබතුමා ඉතා සාධාරණව සභාව මෙහෙය වනවා. සභාව සාධාරණව මෙහෙයවීම ගැන බොහෝ දෙනෙක් ඔබතුමා ගැන ප්‍රශංසාවෙන් කතා කරනවා. ඒක නිසා සුරේන් රාඝවන් මන්ත්‍රීතුමා මූලාසන්යේ ඉන්නකොට සාධාරණව මෙහෙය වන්න කියලා උපදෙස් දෙන්න” යනුවෙන් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කළේය.
විමල්ගේ කතාවට තානාපතිවරුන් කීවේ මොනවාද?
ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් පසුගිය 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි.
චීන තානාපති Qi Zhenhong, කියුබානු තානාපති Andrés Marcelo Garrido, ජපාන නියෝජ්‍ය තානාපති Kotaro Katsuki, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් Vinod K. Jacob යන මහත්වරු ඇතුළු ඉරාන, වියට්නාම තානාපති කාර්යාලයන්හි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිසක් ද සුබ පැතුම් රැගෙන මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුන් ලංකාවේ දේශපාලන කරළියට එක්වන නව සභාගයේ නායකයන්ගේ කතාවලට සාවධානව ඇහුම්කන් දුන්නේ භාෂා පරිවර්තක කට්ටල මඟිනි. එහිදී ඒ සියලු දෙනා නව ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳව පහත සඳහන් අයුරින් විමල් වීරවංශ අපූරු විග්‍රහයක යෙදෙන විට ඊට ප්‍රසාදය පළ කළේ අත්පොළසන් දෙමිනි.
"පරිණාමවාදයේ පියා’ චාල්ස් ඩාවින් කියා පුංචි පුතාලට කියලා දෙනවා. ‘හේතු ඵලවාදයේ’ පියාව කවුරුත් හඳුන්වා දී තිබෙනවාද? ‘හේතු ඵලවාදයේ’ පියා බුදුන්වහන්සේ කියා කවුරුත් අපට කියා දෙන්නේ නැහැනේ. මේ තමයි පෙරදිගට තිබෙන ගැරහීම, නොසැලකිල්ල. අපරදිග දැනුම අතේ තියාගෙන, පෙරදිග දැනුම කොල්ල කමින් අපරදිග දැනුම පමණයි අපේ ඔළුවලට අද පටවමින් ඉන්නේ. නමුත් මේ සියලු දෙනාම තේරුම් ගන්න මේ උත්තර ලංකා සභාගය හැදෙන්නේ රට ඇතුළේ පරිවර්තනීය යුගයක් වගේම, ලෝකය ඇතුළෙත් පරිවර්තන යුගයක, යුරෝපය අතේ තිබෙන බලය ආසියාවට පරිවර්තනය වෙමින් තිබෙන යුගයක. අන්න ඒ බව දැකලා ඒ ආසියානු බලයත් එක්ක හිටගන්න, ප්‍රධාන බලවේගය තමයි උත්තර ලංකා සභාගය. අපි ඉන්නේ ආසියානු බලයත් එක්ක." යනුවෙන් විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
වජිරට සුබ පැතුම් ගලාගෙන එයි
එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ උපන්දිනය පසුගිය සැප්තැම්බර් 02 දාට යෙදී තිබුණු අතර එදින කිසිවකුට ආරාධනා නොකර තිබුණත් එම අවස්ථාවේ පැමිණි ජනාධිපතිවරයාට සහ නිවසට පැමිණි අය සඳහා පමණක් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහ ලේකම් රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් පමණක් සහභාගී වී සිටි අතර උපන් දිනයට පුරුදු පරිදි පැමිණෙන මහාචාර්යවරුන් කිහිපදෙනෙකු සහ වෘත්තියවේදීන් කිහිපදෙනෙකුද සහභාගී වී සිටියේය.
වජිර අබේවර්ධනට එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, සමඟි ජනබලවේගයෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ සුළු පක්ෂවල දේශපාලන නියෝජිතයන්ගෙන් සුබ පැතුම් ගලාගෙන එන්නට විය.
ඒ සියලුදෙනාටම වජිර ස්තූතිය ප්‍රකාශ කළ අතර ඔහු හිතවතුන් කිහිපදෙනකුටම ප්‍රකාශ කළේ තමා ඉතා සතුටට පත් වූ උපන්දිනයක් වශයෙන් මෙය හැඳින්විය හැකි බවයි. ඊට හේතු ලෙස වජිර පෙන්වා දී තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවීමෙන් පසුව රට බේරාගන්නා මෙහෙයුමට තමාද කැපවී සිටින බවයි.