අපි දෙන්නගේ ආදරේට අවුරුදු 10ක්. එයා වගේ නිහතමානී කෙනෙක් මගේ සැමියා වෙන එක ලොකු වාසනාවක්
අසිත පුංචි කාලේ ඉඳලා දුවලා පැනලා සෙල්ලම් කළා. යාළුවෝ එක්ක වැල්ලෙමයි හිටියේ. ඉස්කෝලේ ඇරිලා ඇවිත් මට කියනවා, “අම්මේ මට පහ වෙනකල් සෙල්ලම් කරන්න ඕන” කියලා
BMW එකක් ගන්න එයා හරිම ආසයි
ඉස්සර අසිත ප්‍රැක්ටිස් නැති දවස්වලට මාව බලන්න එනවා. මම අම්මට කියලා එන්නේ ක්ලාස් යනවා කියලා. එයත් එක්ක විහාරමහාදේවි පාක් එකට ගිහින් කතා කර කර ඉන්නවා. දවසක් මගේ අම්මාගෙ අතටම අහුවුණා.
මැච් එක පටන් ගන්න කලින් පුරුද්දක් විදිහට එයා මටයි එයාගේ අම්මටයි දුරකථනයෙන් කතා කරනවා
පන්දුවට ප්‍රේම කළ ඔහු අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගන්නේ කෙදිනක හෝ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන බව සිතාගෙන නොව අහඹු ලෙසිනි. එල්ලේ පිත්තට වැටෙන පන්දුවට වේගයෙන් පහර දුන් ඔහු අද ලොවක් හඳුනන ක්‍රිකට් තරුවකි. ඔහු නමින් අසිත ප්‍රනාන්දු ය. අයිරින් ප්‍රනාන්දු හා නිමල් ප්‍රනාන්දු ගේ කැදැල්ලේ තෙවැනි දරුවා වන අසිත, වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුගේ ආදරණීය බාල සහෝදරයාය.
රටම හඳුනන ක්‍රිකට් තරුවක් වුවත් පුතකුගේ ලෝකයේ කිරුළු පලඳින පළමු රැජන වන්නේ අම්මාය. අසිතගේ මව අයිරින් ප්‍රනාන්දු අසිත පිළිබඳ කතාකරන්නට ‘සිළුමිණ’ සමඟ පිළිසඳරකට එක්වූයේ මෙසේය.
“අසිතට ඉන්නේ අයියලා දෙන්නෙක්. ලොකු පුතා සම්පත් රංග. වයස අවුරුදු 33ක් වෙනවා. පොඩි පුතා තනූජ් කුමාර. එයාට වයස අවුරුදු 30ක් වෙනවා. මේ දෙන්නම විවාහකයි. ලොකු පුතා විවාහ වෙලා ඉන්නේ සෙව්වන්දි එක්ක. පොඩි පුතාගේ බිරිය සඳලිකා. ලොකු පුතාලා දෙන්නම වෘත්තියෙන් වඩු කාර්මිකයන්. දරුවන්ගේ තාත්තා රස්සාව විදිහට කරන්නේ බෝට්ටු යන එක. අසිත මේ හැමෝගෙම ආදරේ මැද ජීවත් වුණේ. අදටත් පුතාලා තුන් දෙනා හරිම සමගියි. පුංචි කාලේ වුණත් මෙයාලා අතර පුංචි පුංචි රණ්ඩු මිසක් ලොකුවට රණ්ඩු වෙන්නේ නැහැ.
අසිත පුංචි කාලේ ඉඳලා දුවලා පැනලා සෙල්ලම් කළා. යාළුවෝ එක්ක වැල්ලෙමයි හිටියේ. ඉස්කෝලේ ඇරිලා ඇවිත් මට කියනවා, “අම්මේ මට පහ වෙනකල් සෙල්ලම් කරන්න ඕන” කියලා. පොඩි කාලේ ඉඳලා හරිම දඟයි. ටික ටික ලොකුවෙද්දි ඒ දඟ වැඩ ටික ටික අඩු වුණා. පුතා ඉගෙන ගත්තේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ විභාගය කළත් උසස් පෙළ කරන්න බැරි වුණේ ඒ වෙද්දි පුතා ක්‍රිකට් තරගවලට සම්බන්ධ වුණු නිසා. පුතා පාසලේ වයස 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. එතකොට හිටපු විදුහල්පති මොහාන් වික්‍රමසිංහ සර් හා පුහුණුකරු ඇන්ටන් සර් තමයි පුතාගේ දක්ෂතා මතුවෙන්න අවස්ථාව ලබාදුන්නේ. පාසල් තරගවලදි පුතා කඩුලු දෙක තුනක් ගන්නවාමයි. බිග් මැච්වලට සෙල්ලම් කළා වගේම එහි නායකත්වයත් දැරුවා. ඒ දක්ෂතා එක්ක තමයි එයාට ජාතික කණ්ඩායමට මුලින්ම එකතු වෙන්න ලැබුණේ”
නවක ක්රීඩකයකුට සිය ක්‍රිකට් ජීවිතයේ ලැබෙන ඒ ස්වර්ණමය අවස්ථාව ගැන අසිතගේ මව පැවසුවේ නිහතමානී ආඩම්බරයකිනි.
“එදා පුතා කොළඹ හිටියේ, ජාතික කණ්ඩායමට බොහෝ දුරට මාව දායි අම්මේ කියලා පුතා කතා කරලා කිව්වා. එයාගේ කැපකිරීමේ ප්‍රතිඵලය ලැබුණා නේද කියලා මට එදා හිතුණා. ඒ ගැන පුතා වගේම අපිත් ගොඩක් සතුටු වුණා.”
ඒ අසිතගේ ආදරණීය අම්මාගේ ආඩම්බරකාර වදන්ය. ඉකුත් දිනවල අසිත බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූයේ ඩුබායි හී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු තුනකට ලබා ගත් වේගවත් ලකුණු දහය නිසාය. කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එදා ඔහු ඔහුගේ වගකීම ඉටු කළේය. පන්දුවෙන් දක්ෂතා දැක්වූ ඔහු පිත්තෙන් දක්ෂතා දක්වන්නෙත් ප්‍රථම වරටය. එමෙන්ම පන්දු වාර විස්සයි විස්ස සඳහා අවස්ථාව හිමි කර ගත්තේ ආසියාතික තරගාවලියට එකතු වෙමිනි. අසිත මුල්ම වතාවට ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් මුදලක් උපයාගෙන ඇත්තේ වයස අවුරුදු 19න් පහළ තරගාවලියකට සම්බන්ධ වීමෙනි. ඒ ගැන අසිතගෙ මව සිය මතකය අවදි කළේ මෙලෙසිනි.
“මුලින්ම එයාට සල්ලි ලැබුණු වෙලාවේ මගෙන් ඇහුවා, “අම්මේ අම්මට මොනවද ඕනේ? මට මැච්වලින් සල්ලි ලැබුණා” කියලා. මම කිව්වා මොකුත් එපා පුතේ කියලා. ඒත් පුතා මට ඔරලෝසුවක් ගෙනත් දුන්නා. කොච්චර ආර්ථික ප්‍රශ්න තිබ්බත් ක්‍රීඩා කටයුතුවලට එය බාධාවක් කරගන්න පුතා වගේම අපිත් ඉඩ දුන්නේ නැහැ. පුතාගේ හොඳම යාළුවා, සචින් තාරක දැන් ඉන්නේ ඉතාලියේ. එයා තමයි පුතාට මුදල්වලින් හා ඇඳුම් පැලඳුම්වලින් උදව් කළේ. අපේ පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා කියලා එයාගේ යාළුවට අමතක කරලා නැහැ. ඒ යාළුකම තවම තියෙනවා. සචින් පුතාත් අපේ පුතාගේ මැච් එකක්වත් මගහරින්නේ නැතුව බලනවා. පුතා හොඳට සෙල්ලම් කරයිද නැද්ද කියලා බයට එදාට එයා කෑම කන්නෙවත් නැතිලු”
ඒ මිතුදම අසිතගේ නිහතමානීකමට පුංචි සාක්ෂියක් පමණි. සිය පුතුගේ නරකම පුරුද්ද ගැන නම් ඔහුගේ මව පැවසුවේ සිනාසෙමිනි.
“අසිත පුතා කෑමට නම් රුසියා. ඉස්සෝ දැල්ලෝ කන්න හරි ආසයි. ඒත් දැන් නම් කෑම පාලනය කරනවා.”
කොතරම් මිල මුදල් ලැබුණත් ජනතා ප්‍රසාදය හිමි වුවත් අසිත ආඩම්බරකාරයකු නොවේ. මුල අමතක නොකිරීම ඔහුගේ ජීවිතයේ හොඳම ගුණාංගයයි. එයට හොඳම උදාහරණය ඔහුගේ පෙම්වතියයි. අසිතගේ පෙම්වතිය නමින් නිකේෂලා පෙරේරා ය. ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙන්නේ පාසල් වියේදීය. ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වුවත් ඔහු සිය පෙම්වතිය අමතක නොකළේය.වේයන්ගොඩ පදිංචි නිකේෂලා පවුලේ එකම දරුවාය. මවුපියන්ගේ නොමඳ ආදරය රැකවරණය මැද හැදුණු වැඩුණු ඇයට අසිත හා විවාහ වීමට මවුපියන්ගේ අවසරය ලැබී ඇත. ඒ ගැන නිකේෂලා කීවේ දැඩි සතුටිනි.
“මම ඉගෙන ගත්තේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ. ඒ දවස්වල අසිත නතර වෙලා හිටියේ ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහ නවාතැනක. මම ඉස්කෝලේ යද්දී හැමදාම එයාව දකිනවා. එතකොට මම උසස්පෙළ පංතියේ. එයා යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මට කතා කළේ, ඒ කතාබහ අවසානයේ ආදරයක් බවට පත් වුණා. ඉස්සර එයා ප්‍රැක්ටිස් නැති දවස්වලට මාව බලන්න එනවා. මම අම්මට කියලා එන්නේ ක්ලාස් යනවා කියලා. එයත් එක්ක විහාරමහාදේවි පාක් එකට ගිහින් කතා කර කර ඉන්නවා. දවසක් මගේ අම්මාගෙ අතටම අහුවුණා. නමුත් අම්මා බැන්නේ නැහැ. මාව ගෙදර එක්කගෙන ගියා. මගේ අප්පච්චි ඉන්නේ ජපානයේ. ඒ නිසා අම්මලා අසිතට මුලින් විරුද්ධ වුණා. ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ නිසා ජීවිතයක් නැති වෙයි. ආර්ථික ප්‍රශ්න මතු වෙයි කියලා නෙවෙයි. මගේ අධ්‍යාපන කටයුතු අඩාළ කර ගනියි කියලා, මුලින් ඉගෙන ගෙන ඉන්න කිව්වා. ඉතින් මමත් ඉගෙන ගත්තා. අපි දෙන්නගේ ආදරේට අවුරුදු 10ක් වෙනවා. අවුරුදු දෙකකට කලින් තමයි අපි දෙන්නගේ ආදරේ ජය අරගෙන විවාහ වෙන්න ගෙදරින් අවසර ලැබුණේ”
දස වසක් පුරා සිය පෙම්වතා ලෙස සිටි ඔහු සමඟ ගෙවෙන යුග දිවිය ගැන ඇයගේ හදවත සුන්දර බලාපොරොත්තු රැසකින් පිරී ඇතිවාට සැකයක් නැත. අසිත ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ස්ථාවර වෙද්දී ඒ ආදරය දුරස් වේවි දැයි යන බිය ඇයගේ හදවතට නොදැනුණා වන්නට බැරි නැත. ඒ ගැන නිකේෂලා මෙසේ කීවාය.
“ආදරේ කරන මුල් කාලේ මට හිතුණා එයා කවදා හරි මාව අමතක කරයිද දන්නේ නැහැ කියලා. අපි ආදරේ කරන්න පටන්ගත්තේ එයාට කිසි දෙයක් නැති කාලෙක. අපිට කොහොමත් ලොකු බලාපොරොත්තු තිබ්බෙත් නැහැ. ලොකු ලොකු හීන පස්සෙ ගියෙත් නැහැ. එන විදියට මුහුණ දෙනවා කියලයි අපි දෙන්නම හිතුවේ. අසිත විදෙස් සංචාරවලට ගියාම මාස දෙක තුන පිටරට ඉන්නවා. ඒත් මම ඒවා ඉවසගෙන දරාගෙන හිටියා. එයා ළඟ නැහැ කියලා හිතෙන්නේ නැහැ. මොකද නිතරම කතා කරන නිසා. ඒ වගේම මැච් එක පටන් ගන්න කලින් පුරුද්දක් විදිහට එයා මටත් එයාගේ අම්මටත් කතා කරලා තමයි යන්නේ. තරග ඉවර වුණ ගමන් ආයෙමත් කතා කරනවා.“
නිකේෂලාගේ මව ද හොඳ ක්‍රිකට් ලෝලියකු වුවත් නිකේෂලා කවදාවත් ක්‍රිකට් තරග නරඹන්නේ නැත. අසිත ක්‍රීඩා කරන තරග පවා ඇය නරඹන්නේ නැත.
“අසිත සෙල්ලම් කරද්දී මැච් බලන්න මම හරි බයයි. ඒ නිසා මම බලන්නේ නැහැ. විකට් ගත්තොත් අපේ අම්මා කෑ ගහලා කියනවා අසිත විකට් ගත්තා කියලා. මම ටීවී එක ළඟට දුවගෙන එන්නේ එතකොටයි. අසිතගේ අම්මත් මට කෝල් කරලා සතුට බෙදා ගන්නවා.“
ඇය කීවේ සිනාසෙමිනි.
“ඇෆ්ගනිස්තානය එක්ක තිබ්බ තරගයේදී අසිත ලකුණු දහයක් ගත්තා. එයා බැටින් කරන්නේ නැති තරම්. එදා අපිට පුදුම සතුටක් දැනුණා. එයාගේ අම්මා එදා කෝල් කරලා ඒ ගැන කියලා සතුටට ඇඩුවා. මටත් හරියට සතුටු හිතුණා. මොකද මම කවදාවත් එයාගේ ඒ පැත්ත ගැන හිතුවේ නැහැ. එයාට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දුන්නා. එයත් මට කවදාවත් නීති දාලා නැහැ“
නිකේෂලා කීවේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමණීය බැඳීම ගැන සිහි කරමිනි. අසිත දැන් ජනප්‍රිය ක්‍රිකට් තරුවක් නිසා යුවතියන්ගේ ප්‍රතිචාරවලින් ද අඩුවක් නැත. ඒ ගැන නිකේෂලා මෙසේ කීවාය.
“අසිතට ක්‍රීඩා ලෝලින්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. සුබ පතනවා. සුබ පතලා එවන කෙටි පණිවිඩවලට එයා ස්තූති කරලා පිළිතුරු යවනවා. ඉස්සර නම් අසිතගේ ආදරය බලාපොරොත්තු වුණු අයත් හිටිටා. දැන් නම් එහෙම නැහැ. මොකද, ෆේස් බුක් එකේ අපි දෙන්නගේ ඡායාරූප දකින නිසා වෙන්න ඇති. ඒත් අසිතව දැක්කම හරි ආසාවෙන් ළඟට ඇවිත් කතා කරන අය ඉන්නවා. ඡායාරූප ගන්නවා. ඒ දිහා මම පැත්තකට වෙලා බලාගෙන ඉඳලා සතුටු වෙනවා. අසිත ක්‍රිකට් තරගවලට සම්බන්ධ වෙලා ගත්ත මුදලින් වැගන්නාර් එකක් මිලදී ගත්තා. අම්මලා ඉන්න ගෙදර අලුත් වැඩියා කළා. එයා ආසාවෙන් ඉන්නවා BMW එකක් මිලදී ගන්න. දැන් තියෙන කාර් එක පදින්නෙත් BMW එකක් කියලා හිතාගෙන තමයි කියලා විහිළු කරනවා. මොකද එයා හරි ආසයි වාහනේ හයියෙන් පදින්න.”
ඇය කීවේ සිනාසෙමිනි. දස වසරක ආදරණීය ප්‍රේම කතාවක් හිමි අසිතත් නිකේෂලාත් දැන් සිහින මවන්නේ ඒ ආදර සිහිනය සැබෑ වන සුබ දිනය ගැනය.
“ලබන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. එයා වගේ නිහතමානී කෙනෙක් මගේ සැමියා වෙන එක ගැන සතුටුයි. ඒක ඇත්තටම වාසනාවක්.."
ඒ වදන්වල රැඳී ඇත්තේ ආදරණීය යුවතියකගේ හදවතේ රැඳි සුබ සිහිනය. ඒ සිහින සැබෑ වෙන දවස දුර ඈත නොවේවා යැයි අපිදු පතමු.