කට්ටි පැන පැන ඉන්දි­යා­වට යන එන පාතාල ඝාතන රැල්ලේ හීන් නූල්කාරයා | සිළුමිණ

කට්ටි පැන පැන ඉන්දි­යා­වට යන එන පාතාල ඝාතන රැල්ලේ හීන් නූල්කාරයා

ස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව සිදුවන පාතාලයේ වෙඩි තබා ගැනීම්වල අඩුවක් තවමත් දකින්නට නැති තරම්ය. එක දිගට සිදුවන වෙඩි තබා ගැනීම්වලින් පෙනෙන්නට ඇත්තේ පාතාලය අද වන විට පොලීසියට පවා අභියෝගයක් වී ඇති බවකි. මෑතකදී වර්ධනය වූ ඝාතන රැල්ලේ පළමු වෙඩිල්ල බැස්ටියන් මාවතෙන් ඇරඹෙන්නේ ඉකුත් මැයි 30 වෙනිදාය. එදා සිට ඉකුත් අගොස්තු 31 වෙනිදා දක්වා ගෙවී ගිය කාලය තුළ සිදු වූ පාතාලයේ වෙඩි පත්තුවීම් ගණන 35කි. හැබැයි ඒ හැම වෙඩිල්ලක්ම ජීවිතයක් බිලිගත්තේ නැත. පත්තු වූ ඇතැම් වෙඩි අහක ගියේය. ජීවිත හානියකින් තොරව තුවාල ලැබූ වෙඩි පත්තුවීම්ද තුන හතරක්ම තිබුණේය. නමුත් මේ කාලය තුළ පත්තු වූ පාතාලයේ වෙඩි උණ්ඩවලට බිලි වූ ජීවිත ගණන නම් සුළුපටු පටු නැත. පොලීසියේ ගණන් මිනුම්වලට අනුව එම ගණන මිනිස් ජීවිත 30කි.

මෙම ඝාතන 30න් ඝාතන 18ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය. සෙසු ඝාතන 12 සිදුව ඇත්තේ දකුණු පළාත ආශ්‍රිතවය. දකුණු පළාතේ සිදුවූ ඝාතන අතරින් ඝාතන 11ක්ම සිදුව ඇත්තේ ගාල්ල දිස්ත්‍රිකයේය. දකුණේ සිදු වූ අනෙත් ඝාතනය සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළය. තංගල්ල මොරකැටිආරේදී සිදුවූ එම ඝාතනයේ වෙඩික්කරුවා පමණක් නොව, ඝාතකයන්ට රැකවරණය දුන් අපේ ජනබල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරාවද පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ හැරුණු කොට දකුණේ සිදුවූ ඝාතන අතරින් මෙතෙක් පොලීසිය විසඳීමට සමත්ව ඇත්තේ එක් ඝාතනයක් පමණි.

බස්නාහිර පළාත තුළ සිදුවූ ඝාතන අතරින් කිසිදු ඝාතකයෙක් මෙතෙක් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය තවමත් සමත්කම් දක්වා නැත. නමුත් බැස්ටියන් මාවතේ වෙඩික්කරුවා නම් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැහැදිලිවම හඳුනා ගත්තේය. නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලන්නට ගිය ඔහු පොලීසිය සමඟ ගැටී බෙම්මුල්ලේ දී වෙඩි කා මරු වැළඳ ගත්තේය. ඒ හැරුණු කොට සෙසු ඝාතන දාහතේම වෙඩික්කරුවෝ තවමත් සිටින්නේ නිදැල්ලේය. නොනැවතී පාතාලයේ වෙඩි තාමත් මේ පළාත් දෙකේ පත්තුවෙමින් ඇත්තේද ඒ නිසාමය.

මෙම පළාත් දෙකේ සිදු වූ ඝාතන වලින් වැඩි හරියකට වගකිව යතු වූයේ හරක් කටා සහ මාකිලංගමුවේ සංජීව යන කුඩු පාතාලයේ කුප්‍රකටයින් දෙදෙනාය. ඒ අතර හරක් කටාගේ සෘජු සම්බන්දකම් ඇතිව සිදු වූ බව කියන ඝාතන ගණන 05කි. මේ කාලය තුළ මාකිලංගමුවේ සංජීවගේ නම ඉදිරියේ ලියැවෙන ඝාතන ගණන 06කි.

පෑලියගොඩ මැනිං වෙළද පොළේදී සිදුවූ අඹ ශානාගේ ඝාතනයත් ගම්පහ අධිකරණය ආසන්නයේ සිදුවූ පස් පොඩ්ඩා ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ වෙඩිල්ලත් හැරුණු කොට ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවූ ඝාතන 07න් 04කටම වගකිව යුතු වූයේ මාකිලංගමුවේ සංජීවයි. පස් පොඩ්ඩාගේ ඝාතනයට පළිගන්නට කෙහෙල්බද්දර පිහිටි බාබර් සාප්පුවකදී කරණවෑමියකුට වෙඩි තබා මරා දමවන්නේත් කෙහෙල්බද්දර පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයක හිමිකරුවකුට වෙඩි තබා මරවන්නේත් මාකිලංගමුවේ සංජීවයි. පෑලියගොඩ පටිටිය හන්දියේදී පොලිස් අත්තනායක නම් වූ මත්කුඩු ජාවාරම්කරුවකු ඝාතනය කෙරුණු වෙඩිල්ලේද නම ලියැවී ඇත්තේ මාකිලංගමුවේ සංජීවගේය.

වත්තල ඇලකන්දේ කායවර්ධන මධ්‍යස්ථානයක් අසලදී ජූනි 14 වැනිදාත් මට්ටක්කුලියේදී අගොස්තු 26 වැනිදාත් තරුණයන් දෙදෙනකුට මරු කැදවමින් පත්තුවූ වෙඩි තැබීම් පිටුපසද සිටින්නේ මාකිලංගමුවේ සංජීව බව කියයි. එම ඝාතන දෙකම සිදුවන්නේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වැල්ලේ සාරංගගේ උවමනා එපාකම් මතය.

පොලීසිය කියන ආකාරයට අනුව අද මේ මතුවී තිබෙන පාතාලයේ ඝාතන රැල්ලට ආරම්භයක් දෙමින් බැස්ටියන් මාවතේදී මැයි 30 වෙනිදා පත්තු වූ වෙඩිල්ල පිටුපස සිටින්නේද මාකිලංගමුවේ සංජීවය.

ඒ අනුව බලනවිට ගෙවී ගිය තෙමසක කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන අතරින් වැඩිම ඝාතන ප්‍රමාණයක් මෙහෙයවා ඇත්තේ මාකිලංගමුවේ සංජීවයි. ඔහුව සැලකෙන්නේ දැනට ජීවතුන් අතර සිටින පාතාල අපරාධකරුවන් අතර දරුණුතම කල්ලි නායකයෙක් ලෙසිණි. ඉවක් බවක් නොමැතිව මාකිලන්ගමුවේ සංජීව මෙසේ මිනීමරමින් සිටින්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් චරිතයට අද පණ පොවමිනි.

මාකදුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී හැරුණු කොට එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ගෙන් හොඳටම වැඩ ගත්තේ මාකිලංගමුවේ සංජීවයි. දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරම් මහතා ඝාතනය කිරීමට පවා එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ඔහු සමඟ කළ උත්සහයක් ගැනද රාජ්‍ය බුද්ධි සේවය වරක් හෙළිකර ගත්තේය. එම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ද සමඟ මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාශය සමඟ එක්ව 2019 වසරේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙහෙයුමකට අනුව කොටුකර ගන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ජීවිතයද ආරක්ෂාකර ගනිමිනි. එහිදී ගිනි අවි සහ බෝම්බ රැසක්ද සොයා ගනු ලැබුවේ උතුරේ වල දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධ මාකිලංගමුවේ සංජීවගේ අතට පත්වන බව තහවුරු කරමිනි.

පාතාලයේ අලුත්ම ගෝඩ් ෆාදර් ලෙස මෙසේ කරලියට පැමිණ සිටින මාකිලංගමුවේ සංජීව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළද සමත් විශ්ව විද්‍යාල වරම් ලබන්නට පවා සුදුසුකම් ලැබූවෙකි.

මාකිලංගමුවේ සංජීවගේ ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ ඔහු සමූපකාර පරීක්ෂකවරයෙක් ලෙස ගම්පහ පැත්තේ සමූපකාරයකද සේවයේ නිරතව සිට ඇති අයෙක් බවය. පසු කාලයේ ඔහු යුද හමුදා කමාන්ඩෝ බලකායට එක්වන්නේ රට ජාතිය ගැන ඇතිවුණු කැක්කුමකිනි. එහෙත් ඔහු වැඩි කාලයක් හමුදා සේවයේ නිරතව සිටි බවක් පෙනෙන්නට නැත. හමුදා සේවයට සමුදෙන සංජීව නයිවල පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙක් ලෙස සේවයට එක්වන්නේ කායවර්ධන ක්‍රීඩාවට දැක්වූ ඇල්ම නිසාමය. කායවර්ධන ශිල්පියෙක් මෙන්ම කරාතේ ශූරයෙක් වූ බැවින් සංජීවට එම රැකියාව හොඳින්ම ගැළපුණේය.

එම රැකියාවේ ද වැඩි කාලයක් රැඳී සිටින්නට සංජීවට ඉඩක් නොවීය. ඒ කාය වර්ධන මධ්‍යස්ථනය ආසන්නයේ නතර කර තිබුණු කලගෙඩිහේනේ ආයතනයකට අයත් බේකරි කෑම බෙදාහරින ලොරියකින් රුපියල් 65,000ක් හා රන් මාලයක් කොල්ලකෑමකට සැකපිට පොලිසියට ඔහු හසුවන බැවිනි. 2004 වසරේ සිදුවුණු එම කොල්ලය සැලකෙන්නේ මාකිලංගමුවේ සංජීවගේ නම ඉදිරියේ ලියැවෙන පළමු අපරාධය ලෙසිනි.

එම මංකොල්ලයට බන්ධනාගාරගත වන සංජීව ටික කාලයට පසු ඇප මත එළියට එන්නේ අපරාධ ලෝකයේ නමගිය වැඩ්ඩෝ කිහිප දෙනෙක් සමඟ සම්බන්ධකම් ගොඩනඟාගෙනය. අපරාධ ලෝකයේ “අ“ යනු “ආ“ යනු ඒ ටික කාලය තුළ ප්‍රගුණ කළ මාකිලංගමුවේ සංජීව ඇප ලැබීමෙන් පසු නැවතත් සුපුරුදු කායවර්ධන උපදේශක රැකියාවට පිවිසෙන්නේ ගනේමුල්ල පැත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් හා සම්බන්ධ වෙමිනි.

බටුවත්තේ එකල නමගිය පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක් එකල එම කාය වර්ධන මධ්‍යස්ථානයට නිතර ආවේ ගියේය. ඒ අය අතර කුප්‍රකට අපරාධකරුවෙක් වූ බටුවත්තේ චූලා ද සිටියේය. එකල බටුවත්තේ චූලා ඇතුළු කණ්ඩායම සූදානමින් සිටින්නේ මෙරට ප්‍රමුඛතම විදෙස් බැංකුවක මුදල් ප්‍රවාහනය කරන සේප්පු ලොරියක් මංකොල්කෑමටය. ඊට සම්බන්ධ වන්නට සංජීවටද ආරාධනාවක් ලැබෙන්නේ කමාන්ඩෝ සෙබළෙක් ලෙස ඔහු ලබා තිබුණු පුහුණුව නිසාය. අතේ සතේ නොමැතිව පැත්ත වැටී සිටි සංජීවට එම ආරාධනාව බැහැර කිරීමට කිසිසේත්ම සිත් නොවීය. එදා ඒ කොල්ලය සිදුවන්නේ 2009 වසරේදීය. ඒ පෑලියගොඩ පැත්තේදී මුදල් සේප්පු ලොරිය පැහැරගෙන ගොසිනි. එහි තිබුණු රුපියල් කෝටි 07ක් ඔවුන් කොල්ලකෑවේ මෙරට ඉතිහාසයේ ඒ වන විට සිදුවූ විශාලතම මුදල් කොල්ලය එය බව සනිටුහන් කරමිනි.

රටම හෙල්ලී ගිය ඒ මහා කොල්ලය ගැන එදා විමර්ශන පැවැත්වීමේ වගකීම පැවරෙන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයටය. එහි ප්‍රධානියා ලෙස එකල කටයුතුකරනු ලැබුවේ කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වන ප්‍රියන්ත ජයකොඩි ය. එදා ඔහු යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම එම කොල්ලයට ගෑවුණු සෑම අයෙක්ම කොටුකර ගත්තේය. ඒ අතර බටුවත්තේ චූලාත් මාකිලංගමුවේ සංජීවත් සිටියේය. කොල්ලකන ලද මුදල්ද සමඟ එම කොල්ලයට යොදාගත් ගිනි අවියක්ද පොලීසිය සොයා ගත්තේය. එම අවිය එදා එම කොල්ලයට රැගෙන විත් තිබුණේ මාකිලංගමුවේ සංජීව විසිනි. එය ඔහු එම කොල්ලයට රැගෙනවිත් තිබුණේ හිරේ සිටියදී දැන හඳුනාගත් බ්ලූමැන්ඩල්හි ආමි සම්පත්ගෙන් ඉල්ලා ගෙනය.

මාකිලංගමුවේ සංජීව අපරාධ ලෝකයේ කියැවෙන නාමයක් බවට පත්වන්නේ මෙම කොල්ලයත් සමගිනි. කෝටි හතේ මුදල් කොල්ලයට එදා ඇතුළට යන සංජීව එළියට එන්නේ අපරාධ ලෝකයේ චරිතයක් බවට පත්වෙමිනි. පාතාලයේ ප්‍රබලයින් රැසක්ම ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන්නට ගත් සංජීව මත්කුඩු ජාවාරමට අතපොත් තබන්නේ පාතාලයේ ක්‍රියාකාරීකයන් දෙදෙනෙක් වූ ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ සමග එක්වය. බ්ලූමැන්ඩල් කුණුකන්ද කේන්ද්‍රකරගෙන මට්ටක්කුලියේ සිය පාතාල අධිරාජ්‍යය ගොඩනගාගෙන සිටි ඔවුන්ට මාකිලංගමුවේ සංජීව එක්වීම ලොකු හයියක් බවට පත්වූයේ කෝටි හතේ කොල්ලය නිසාම අපරාධ ලෝකයේ ගොඩනැගී තිබුණු පිළිගැනීම හේතුවෙනි. සංඛත් ආමි සම්පතුත් එකල සංජීවගෙන් බොහෝ වැඩ ගත්තේය.

ඒ නිසාම එකල කුප්‍රකට සුදුවෑන් කල්ලිය ඔවුන් පසු පස හඹා එන විට ජීවිතය බේරාගෙන ආමි සම්පත් සමග සංඛ ඉන්දියාවට නැගී බෝට්ටුවක නැගීය. සංජීවට එහිදී ගතකරන්නට සිදුවන්නේ සැඟවුණු ජීවිතයකි.

මේ හැමෝම නැවතත් කළඑළි බසින්නේ 2015 මහා මැතිවරණයත් සමගිනි. ඉන්දියාවට පළාගොස් සිටි ආමි සම්පත් සහ සංඛ ඒ ගිය විදිහටම බෝට්ටුවක නැගී ආවේ එකල ප්‍රබල දේශපාලනඥයෙකුගේ ඡන්ද වැඩට බැහැලම වැඩකරන්නටය. කොටහේනේදී දේශපාලන රැලියකට දෙමටගොඩ චමින්දගේ කල්ලියෙන් එකල වෙඩි ප්‍රහාරයක් එල්ලවන්නේ ද ඔවුන් දෙදෙනාව ඉලක්කරගෙනය. එම වෙඩි උණ්ඩ වලට බිලිවන්නේ අහිංසක ජීවිත දෙකකි.

මාකිලංගමුවේ සංජීව නැවතත් එළි බසින්නේ ඒත් එක්කමය. ඒ දෙමටගොඩ චමින්දට ප්‍රතිප්‍රහාරයක් එල්ලකරමිනි. එම ප්‍රහාරය එල්ලවන්නේ භාරත ලක්ෂමන් ඝාතන නඩුවට අලුත්කඩේ අධිකරණයට චමින්දව ඉදිරිපත්කර රැගෙන එමින් තිබුණු බන්ධනාගාර බස් රථයට දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී වෙඩි පිට වෙඩි තබාය. එදා වෙඩි වරුසාවක් බන්ධනාගාර බස් රථයට එල්ලවූවත්, චමින්දගේ ජීවිතයට කිසිඳු හානියක් නොවීය.

දේශපාලන පෙරළියත් සමඟ එසේ හිස ඔසවන්නට ගත් පාතාලය මර්දනය කිරීමේ වගකීම එවර පැවරෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයටය.එහි සේවයේ නිරතව සිටි ත්‍රස්ත ක්‍රියා ගැන මෙන්ම පාතාල අපරාධකරුවන්ගේ හැසිරීම් ගැන හසල දැනුමක් ඇති නිලධාරීන් බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත් මෙන්ම මාකිලංගමුවේ සංජීවද අත්අඩංගුවට ගනු ලැබුවේ බන්ධනාගාර බස් රථයට එල්ලකල ප්‍රහාරය සම්බන්ධයෙනි. එහිදී මාකිලංගමුවේ සංජීව ඇතුළු අපරාධකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් ගිනි අවි 27ක් සොයා ගත්තේ පාතාල අපරාධකරුවන් සතුව තිබී එතෙක් මෙතෙක් සොයාගත් වැඩිම ගිනි අවි සංඛ්‍යාව එය බව සනිටුහන් කරමිනි.

මෙතරම් අවි තොගයත් මෙම කල්ලිය අතට ලැබුණු ආකාරය ගැන සොයා බැලීමටද එදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අමතක නොකළේය. මඩකලපුවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටින ඉංජිනේරුවරයෙක් හරහා එල්.ටී.ටී.ඊ.යේ කරුණා පාර්ශවයේ සාමාජිකයන් සතු අවි පාතාලය අතට පත්වීමේ සංවිධානාත්මක ජාවාරමක තොරතුරු එළියට එන්නේ එහිදීය.

මෙම අවි ජාවාරම පවා මෙහෙයවා තිබුණේ මාකිලන්ගමුවේ සංජීව විසිනි. ඒ සඳහා ඔහු මෙම ඉංජිනේරුවරයා සමඟ සම්බන්ධකම් ගොඩනගා ගන්නේ රද්දොළුගම ලොකු ලාල් හරහාය. රද්දොළුගම ලොකු ලාල් මේ වන විට සිටින්නේ විශේෂ පොලිස් කණ්ඩායමක් භාරයේය. ඒ පස් පොඩ්ඩාගේ ඝාතනයට ගම්පහ අධිකරණයේ සිට ඝාතකයන්ට ඔත්තු ලබාදීමේ චෝදනාවට ලක්වය.

බන්ධනාගාර බස් රථ ප්‍රහාරයට හසුවූ සංජීවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ භාරයේ කාලයක් රැදී සිටින්නට සිදුවූයේ රඳවා ගැනීමේ නියෝගයක් මත කෙරුණු විමර්ශන ඔස්සේය. එකල කොස්ගොඩ සුජීද සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ භාරයේය. කොස්ගොඩ සුජීව දැන හඳුනාගෙන දකුණේ පාතාලය සමඟ සංජීව අලුත් සම්බන්ධයක් ගොඩනගා ගන්නේ එහිදීය.

සංජීවගේ දැන් ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේ ගම්පහ පැත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ඔස්මන්ය. ඒ ගම්පහ පැත්තේ පාතාල බලය අල්ලමින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමටත් මත්කුඩු ජාවාරම නිදහසේ ව්‍යාප්ත කිරීමටත් කිසිවෙකුටත් ඉඩක් නොලැබෙන්නේ ඔස්මන් නිසා වන බැවිණි. ඒ නිසාම ඔස්මන්ට වැඩක් දෙන්නට අවස්ථා කිහිපයක්ම සංජීව උත්සහ ගත්තේය. ඒ බන්ධනාගාරයේ සිට ගෝලබාලයන් මෙහෙයවමිනි.

ඒ අනුව ඔස්මන්ව ඉලක්කකර පළමු ප්‍රහාරය එල්ල වන්නේ 2017 වසරේ අප්‍රේල් මාසයේදීය. එදා ඔස්මන් ගමන් කරමින් සිටි ජිප් රථයට උඩුගම්පොල පැත්තේදී වෙඩි වර්ෂාවක් එල්ලවන්නේ පත්තඬුවන අජිත් නැමැති පාතාල අපරාධකරු යොදාගෙනය. එහෙත් එදා ඔස්මන්ට සීරීම් තුවාලයක්වත් නොවීය. එහි ලැජ්ජාව වසා ගනිමින් දෙවැනි ප්‍රහාරය එල්ල කරන්නට ඔහු සූදානම් වන්නේ එකවර වෙඩික්කරුවන් දෙතුන් දෙනෙක් යොදා ටී 56 අවිවලින් ඔස්මන්ව කුඩු පට්ටම් කරන්නටය.

එදා 2017 වසරේ ඔක්තෝබර් 02 දාය. ඔස්මන්ට කුරුමාණම් අල්ලමින් මෝටර් රථයක නැගුණු සංජීවගේ වෙඩික්කරුවන් ගම්පහ පැත්තේ කරක් ගසමින් සිටියේය. ඒ වන විටත් ඔස්මන් හැම දෙයක්ම දැන සිටියේය. ඒ නිසාම ඔහු ඒ වෙඩික්කරුවන්ට උගුලක් ඇටෙව්වේය. ඊට පැටලුණු ඔවුන් අවසානයේදී ගම්පහ රෝහල අසල මෝටර් රථය දමා පළායන්නේ වෙඩි තබන්නට ගෙන ආ ටී 56 අවි 03ක්ද එහි අතහැර දමාය.

සිය ප්‍රතිවාදියාට එසේ ඉව අල්ලමින් සංජීව හිරේ සිට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම කරගෙන යන්නට වූයේ ඇප ලැබුණත් එළියට නොයාය. ඒ ඔහුට බන්ධනාගාරය තරම් ආරක්ෂිත ස්ථානයක් නොවූ බැවිනි. සුමන්තිරන් ඝාතන සැළසුමට පවා ඔහු සම්බන්ධ වන්නේ සිරගතව සිටියදීය. මැගසින් බන්ධනාගාරයේ ඔහු සමඟ සිටි එල්.ටී.ටී.ඊ. සිරකරුවන් කිහිප දෙනෙක් සමඟ එක්වය.

එම ඝාතන සැළසුම හෙළිවීමත් සමඟ රැඳවුම් නියෝගයකින් ඔහුව හිරෙන් එළියට ද ගත්තේය. එල්.ටී.ටී.ඊය උතුරේ වළ දැමූ ආයුධ ගොඩ ගනිමින් දකුණේ අපරාධ කල්ලි වෙත අලෙවි කිරීමේ ජාවාරමක් ගැනද එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හෙළිකර ගත්තේය.

එකල ඔහුව රදවා තැබුවේ වැල්ලවත්ත පොලිස් ස්ථානයේය. එහිදී ඔහු පොලිස් නිලධාරියෙක් සමඟ මිතුරු වෙමින් ජංගම දුරකතන දෙකක් සිර මැදිරියට ගෙන්වා ගත්තේය. ඒ සිම්කාඩ් පත් හය හතක්ද සමගිනි. සිර මැදිරියේ වැසිකිලියේ බිම හාරා එහි එම ජංගම දුරකතන දෙක සහ සිම්කාඩ්පත් සඟවාගත් සංජීව එහි සිට යස අගේට මත්කුඩු ජාවාරම මෙහෙයැ වූයේය. ඒ අතර තමාගේම ගෝලයෙක් වූ පත්තඬුවන අජිත්වද මරා දැමුවේය. ඒ මත්කුඩු ආරවුලක් දුරදිග ගොසිනි. ඒ අතර ඔහු ඔස්මන්ව මරා දමන්නට ද අලුත් සැළසුමක් දියත් කළේය. ඒ සැලසුම ද ව්‍යාර්ථ වන්නේ ඔස්මන්ගේ ඔත්තුවෙන් වැල්ලවත්ත පොලිස් සිරමැදිරියේ වැසිකිලියෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් දුරකතන දෙක සොයා ගන්නා බැවිනි.

මාස ගණනාවක්ම රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාශභාරයේ සිටි සංජීව නැවත බන්ධනාගාරයට භාරදෙන විට ඔහුට එරෙහිව තිබුණු එක් නඩුවක් හැරුණු කොට සෙසු සෑම නඩුවකින්ම ඔහු සිටියේ ඇප මත නිදහස ලබාය. ඉතිරිව තිබුණේ ද පහසුවෙන්ම ඇප ලබා ගැනීමට හැකියාව තිබුණු ගම්පහ අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවකි. එම නඩුවට සංජීව ඇප ඉල්ලන්නේ අවසානයටය.

ඒ යම් සැළසුමකට අනුවය. ඒ ඉකුත් වසරේ දෙසැම්බරයේදීය. රුපියල් ලක්ෂ 70ක් පමණ ඔහු ඒ වෙනුවෙන් වියදම් කළේය. රටේ නමගිය ජනාධිපති නීතීඥවරයකුගේ නීතීඥ සමාගමක් සංජීව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය. එහිදී අධිකරණය විසින් සංජීවට ඇප නියමකරමින් නියෝග කරනුයේ ඔහුව නීතීඥ මඩුල්ලක් භාරයට පත්කරන ලෙසය. එදා අධිකරණයෙන් ඇප ලබා සංජීව එළියට එන්නේ නීතීඥවරු පිරිසකගේ ආරක්ෂාවක් සහිතවය. එසේ නොවන්නට අද මාකිලංගමුවේ සංජීව නැමැති පාතාල අපරාධකරුවකු සොයාගන්නටවත් නොමැත.

එදා නීතීඥවරයකුගේ රථයක නැඟී අධිකරණ භූමියෙන් පිටව ගොස් අතුරුදන්වන සංජීව මාර්තු 15 වෙනිදා කල්පිටියෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පැන ගන්නේ වැල්ලේ සාරංගේ සහයෙනි. සංජීව නැවතත් වැඩ අල්ලන්නේ ඉන්දියාවේ සිටය. ඒ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට කොළඹ - නුවර මාර්ගයේ කඩවත 09 කණුව ආසන්නයේදී මාර්තු 24 වෙනිදා වෙඩි තබා ඝාතනය කරවමිනි.

එම ද්විත්ව ඝාතනය කරවන්නේ සිය අනියම් බිරිය ක්‍රිෂාන්තියේ මන දොල සපුරන්නටය. ඒ ක්‍රිෂාන්තියේ සැමියා වූ චූටි උක්කුං ඝාතනයට ඔවුන් දෙදෙනාව මරා පළිගනිමිනි. එතැන් සිට තාමත් සංජීව තැන තැන වෙඩි පත්තු කරති. මෙසේ ඔහු වෙඩි පත්තු කරනුයේ සැබෑ ලෙසම තාමත් ඉන්දියාවේ රැඳී සිටිමින්දැයි ඇත්තේ ගැටලුවකි. ඒ ඉන්දියාවට ගොස් මාසයකට දෙකකට වැඩි කාලයක් මදුරාසියේ ඔහු රැඳී නොසිටි බවට ඇති තොරතුරු නිසාය. සංජීවගේ පසු පස්සේ පන්නන විමර්ශන අංශවල නිලධාරීන් නම් පවසන්නේ සංජීව නැවතත් බෝට්ටුවකින් පැමිණ මෙරට සැඟවී පිටරටක සිටින බව පෙන්වමින් අපරාධ මෙහෙයවමින් සිටින බවකි.

සංජීව හිරෙන් එළියට ආ දින සිට මේ දක්වා එසේ ඔහු සිය ගෝල බාලයන් යොදා කර ඇති ඝාතන ගණන 08කි. ඊට හෙට අනිද්දා වන විට තවත් කීයත් එකතු වේවිදැයි කියන්නට බැරිය. ඒ තාමත් මේ ඝාතන රැල්ලට නැවතීමේ තිත තබා නොමැති බැවිනි.

 

Comments