‘ද සිල්වා බ්‍රදර්ස්’ බ්‍රෑන්ඩ් එකෙන් හොඳ ගමනක් යන්නයි බලාපොරොත්තුව | Page 5 | සිළුමිණ

‘ද සිල්වා බ්‍රදර්ස්’ බ්‍රෑන්ඩ් එකෙන් හොඳ ගමනක් යන්නයි බලාපොරොත්තුව

  • අපිට ඕන වුණා අපේම ගීතයක් එළිදක්වන්න
  • පුංචි කාලෙ ඉඳන්ම ඇහුණෙ ජිප්සීස් හඬ
  • බයිලා ට්‍රැක් එකක් නිසා ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරාවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා

කණ්ඩායම් සංගීතය වගේම යුගල සංගීතයත් කලා ක්ෂේත්‍රය තුළ බොහෝ ජනප්‍රිය වුණු කලාවක්. යහළුවන් හෝ සොහොයුරන් දෙදෙනෙක් එකතු වී කරන මෙම අංගය ප්‍රේක්ෂක සිත් වෙනස්ම මානයකට ගෙන යනු ලැබිණි. දෙදෙනාගේ නමින් හෝ ස්වරූපයෙන් යුගලය හැඳින්වූ අවස්ථා මෙන්ම වෙනත් නමක් යොදාගත් අවස්ථා ද විය. ජනප්‍රියත්වයත් සමඟම එක් අයකුගේ නම තනිව නොකියවෙන තරමටම ඔවුන් අතර බැඳීම ප්‍රබල විය. අද අපගේ හැඳින්වීම එවන් සොයුරන් යුගලක් ගැනයි. කණ්ඩායම් සංගීතයට නව පණක් එක්කළ මොරටුව ප්‍රදේශයෙන් බිහිවීමට වෙර දරන ඔවුන් රුචිර ද සිල්වා සහ ජනිත් ද සිල්වා යි.

‘ද සිල්වා බ්‍රදර්ස්’ නමින් සමාජගත වන ඔවුන්ගේ නවතම ප්‍රවේශය ගැන රුචිර ද සිල්වා දැක්වූ අදහසයි මේ.

“අපේ පවුලේ ඉන්නේ මායි මල්ලියි. තාත්තා ජීවතුන් අතර නෑ. අම්මා අපට ලොකු සහයෝගයක් දෙනවා. පුංචි කාලෙ ඉඳන් දෙන්නම සංගීතයට ගොඩක් ප්‍රියයි. ඉස්සර අපේ සීයයි, තාත්තයි නිතරම සින්දු කියනවා, සින්දු අහනවා. අපටත් ඒවා ඇහෙනවා. ඒ නිසා මේ පවුලෙන්ම ලැබුණු ආභාසයක් වෙන්න ඇති. අපි පාසල් ගියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. පාසලේදී කලා ප්‍රසංගවල ගීත ගායනා කළා. මල්ලියි මායි දෙන්නම පල්ලියේ ගීතිකා කණ්ඩායමෙත් හිටියා. ඒකෙනුත් ලොකු ආභාසයක් සහ නැඹුරුවක් ලැබුණා. අපේ පදිංචිය මොරටුව. මොරටුව කියන්නේ වේග රිද්ම සංගීතයට නම් දැරූ ප්‍රදේශයක්. පොඩි කාලෙ ඉඳන්ම ඇහුණෙ ජිප්සීස්ලගෙ සින්දු. දන්න කාලේ ඉඳන්ම අපිත් ඒ ආරෙට ඇලුම් කළා.

ෆෆෝමින් ආර්ටිස්ල දෙන්නෙක් විදියට කාලෙක ඉඳන්ම අපි සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. අපේම දෙයක් කරන්න ඕන කියන සිතුවිල්ල ටික කාලෙක ඉඳන්ම තිබුණා. මේ දවස්වල බයිලා වගේ මියුසික් ට්‍රැක් ඇහෙනවත් අඩුයිනෙ. ඒ නිසා අපිට ඕන වුණා ඒ වගේ ට්‍රැක් එකකට සින්දුවක් කරන්න. මේ තමයි ඒකට හොඳම කාලෙ කියලා අපි දෙන්නම කතා වුණා.

සංගීත ක්ෂේත්‍රය තුළ අපි කළ දේවල් යූටියුබ්, ෆේස්බුක් වගේ සෝෂල් මීඩියාවල ගියා. අපි දෙන්නගෙ ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පේජ් හරහාත් ඒවා ෂෙයාර් වුණා. ක්ලබ්වල, හොටෙල්වල, පාර්ටිවලත් අපි සින්දු කිව්වා. ඔෆිස්වල ඉවෙන්ට්වලටත් අපට ආරාධනා ලැබුණා. ඒවාට යද්දි අපේ කණ්ඩායමේ අයත් සහභාගි කරගත්තා. ඊට අමතරව සංගීත කණ්ඩායම්වල ආරාධනාවලට මායි මල්ලියි සහභාගී වුණා.

කොවිඩ් සමයේ අපි දෙන්න ෆේස්බුක් හරහා ලයිව් ගීත ගායනා කළා. ඒවට අපේ නෑ හිතමිතුරන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. එයාලගේ පේජ් ඔස්සේ ඒවා ෂෙයාර් කරමින් අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඔවුන් හරහා අපිට එක එක වැඩත් ලැබුණා. ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා අපි දෙන්නට එකතු වෙලා වැඩක් කරන්න කියලා. ඒකත් අපි දෙන්නගෙ හිතට වැදුණා.

ඒ අනුව තමයි ‘ද සිල්වා බ්‍රදර්ස්’ නමින් අපි දෙන්නගෙ එකතුවෙන් බ්‍රෑන්ඩ් එකක් හදාගත්තේ. අපි අපේම කියලා ඔර්ජිනල් සින්දුවක් කළා. ඒක බයිලා ආරෙට යන ට්‍රැක් එකක්. මේ මාසෙ මැද වගේ අපේම කියලා යුටියුබ් නාලිකාවකින් ඒක එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ ඔස්සේ තවත් ඉවෙන්ට් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

අපේ අලුත්ම සින්දුව ‘යාළුවේ’. මගේම පද රචනයට සංකල්ප ද මැල් සහාය දුන්නා. මෙලඩි එක රුචිර ද සිල්වා, ඒ කියන්නේ මගේමයි. මියුසික් ඇරේන්ජ්මන්ට් සියල්ල ජිප්සීස් කණ්ඩායමේ දුෂාන් ජයතිලකගෙ. රෙකෝඩ් කළෙත් දුෂාන් රෙකෝඩින් ස්ටුඩියෝ එකේ. මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ සංකල්ප ද මැල්. ඒ සඳහා රංගන දායකත්වය ලබා දුන්නේ සචිනි දිල්හාරා, දොන් ගයි සහ උදයකුමාරි රණසිංහ. මේ වෙද්දි සින්දුවට මියුසික් විඩියෝවත් කරලා ඉවරයි. මේ මාසෙ මැද ඒක එළිදක්වනවා. සින්දුවේ අර්ථයට අපි ලොකු අවධානයක් යොමු කළා. අපෙන් කෙරෙන්න ඕන සමාජයට යහපතක් වන නිර්මාණ. මේ හරහා සමාජයට පණිවිඩයක් දෙන්නයි අපි උත්සාහ කළේ.

බයිලා ට්‍රැක් එකක් නිසා ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරාවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉදිරියටත් වෙනස් වෙනස් නිර්මාණ කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙද්දිත් අපිට සතුටුවෙන්න පුළුවන් ගමනක් අපි ඇවිත් තියෙනවා. ඒ ගමනෙදි අපිට නන් අයුරින් උදවු කළ හැමෝටම ස්තුතියි. ‘ද සිල්වා බ්‍රදර්ස්’ බ්‍රෑන්ඩ් එකෙන් හොඳ ගමනක් යන්නයි බලාපොරොත්තුව. ”

Comments