සොෆොක්ලිස්ගේ ඊඩිපස් රජ | සිළුමිණ

සොෆොක්ලිස්ගේ ඊඩිපස් රජ

ඩිපස් රජ නම් චරිතය වටා ගෙතුණු ජනප්‍රවාද ඇසුරින් සොෆොක්ලීස් (ක්‍රිපූ 525 - 426)නම් ග්‍රීක නාට්‍යකරුවා නාට්‍ය තුනක් රචනා කළේය. ඊඩිපස් රෙක්ස්, ඇන්ටිගනි සහ ඊඩිපස් ඇට්කොලන්නස් ඒවායි.

මේ නාට්‍ය තුනම ඛෙදාන්ත නාට්‍ය ය. ඊඩිපස් නාට්‍යය ලොව ප්‍රථම එම ශානරයේ නාට්‍යය ලෙස සැලකෙන අතර, සොෆොක්ලීස් ඛේදාන්ත නාට්‍ය රචනයේ පුරෝගාමියා ලෙස පිළි ගැනේ. ලොව වඩාත්ම හද කම්පා කරවන ඛේදාන්ත ප්‍රබන්ධ අතරින් මුල්තැන් ගන්නේ මේ නාට්‍යය සහ ශේක්ස්පියර්ගේ හැම්ලට් බව පැවසෙයි. මට නම් සිතෙන්නේ මෙය පාඨකයාගේ සිතේ මහත් කනස්සලු හැඟීමක් ශේෂ කරන වඩාත්ම දුක්දෙන ප්‍රබන්ධය බවයි. හැම්ලට් කියවද්දී හෝ නරඹද්දි මෙහි පෙළ කියැවීමේදී තරම් ශෝකයක් සිත ජනිත නොවූ බව සිහිවෙයි. 

ඊඩිපස් යනුවෙන් පසුව නම් ලද මෙහි කතානායකයා තිබ දේශයේ රජු වූ ලයියුස්ට දාව යකොස්ටා නම් ඔහුගේමෙහෙසිය උපත දුන් පුත්‍රයා ය. ඔහු සිය පියා ඝාතනය කොට සිය මව අඹුව ලෙස පාවා ගන්නා බවට අනාවැකියක් වෙයි.

ඇත්තටම නම් මේ අනාවැකියට මුල්වූ හේතුව ලයියුස් රජුගේ නොපනත්තමකට ඔහුට අපොලෝ දෙවිඳුන් විසින් කරන ලද සාපයකි. තරුණ සමයේ ඔහු එලිස් රාජ්‍යයේ පෙලොප්ස් රජුගේ ළපටි පුත්‍රයාට ගුරු වූ අතර ඒ දිනවල ඔහු ඒ දරුවා අපචාරයට යොමුකැර ගත්තේය. තරුණයන් සහ දරුවන්ගේ ආරක්‍ෂාවට අධිපති අපොලෝ මෙය දැනගත් අතර ඉහත සඳහන් සිද්ධියට පාදක වු සාපය කර ඇත.

දරුවා උපන් පසු නොබෝ දිනෙක් ඇවෑමෙන් ‘කොහොමවුණත් ඒ අපේ දරුවානේ’ යන සිතුවිල්ලෙන් මඬිනු ලැබූ ලයියුස් සහ යාකොස්ටා ඔහු මරන්නට මැළි වන්නෝ නිරාහාරව මැරෙනු පිණිස කඳුකරයේ අත්හැර දමන්නැයි සේවකයකුට අණකොට දරුවා දී යවති. ඊටපෙර ඔවුහු දරුවාගේ දෙපා විද යකඩයක් එතුළින් යවා විලංගු ලති. සේවකයා දරුවා ගෙන කඳුකරයට යන්නේ ඔහු මරන්නට ලෝබ සිතින් ගොපල්ලකුට බාර කළේය. ගොපල්ලා දරුවා ගෙන ගොස් කොරින්ත් දේශයේ රජු වූ පොලිබස්ට බාර දුන්නේය. දරුවන් නොමැති පොලිබස් හා දේවිය මෙරෝප් ඔහු සිය දරුවා ලෙස හදාවඩා ගනිති. තමන්ට ලැබෙනවිට ඔහුගේ පා ඉදිමී තිබූ හෙයින් ඔහු දරුවාට ‘ඉදිමුණු පයැති’යන අරුත් ඇති ඊඩිපස් යන නම තබති.

වැඩිවිය පත් ඔහු තමා කවදා හෝ පියරජු මරා මවු බිසව සිය මෙහෙසිය කැරගෙන රජ වන බවට අනාවැකියක් ඇති බව දැන ගනී. මෙයින් තැති ගන්නා ඔහු සිය දෙගුරුන් වන පොලිබස් හා බිසව හැරපියා තිබ දේශය වෙත පලා යයි.

තිබ දේශයේ මායිමේදී ඔහුට වෘද්ධයකු සහ ඔහුගේ පිරිවර හමුවේ. ඔවුන් අතර සටනක් ඇතිවන අතර ඊඩිපස්, වෘද්ධයා සහ පිරිවර අතරින් එකකු හැර අනෙකුන් මරාදමයි. ඊඩිපස් නොදන්නා නමුත් ඔහු අතින් එසේ මිය යන්නේ සිය ජාත පියා වූ ලයියුස් බව ප්‍රේක්‍ෂකයා (සහ පාඨකයා)දනියි.

තිබ නුවරට පැමිණෙන ඔහු යක්දෙස්සියකගේ හිංසාවක් නිසා එනුවරුන් බියෙන් මුසපත් වැ සිටිනු දැන ගනියි. ඇය අසන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර දී ගත නොහෙන රටවැසියෝ හිංසාවට ලක් කෙරෙති. ඊඩිපස් ඉදිරිපත් වැ ඇගේ පැනයට පිළිතුරු සපයයි. එවිට ඇය පැරද සිය පණ නසා ගනියි. සිය දේශයේ රජු මැරකණ්ඩායමක් අතින් ඝාතනය වූ බැවින් තිබ වැසියෝ තමන් අඳුරු ශාපයෙන් මුදා ගත් තැනැත්තා සිය රජු ලෙස අභිෂේක කරති.

මෙලෙස ඊඩිපස් එනුවර රජ වන අතර යොකස්ටා එනම් ඔහුගේ මව ඔහුගේ මෙහෙසිය වන්නීය. මේ දෙදෙනාට දරුවෝ සිවු දෙනෙක් වෙති. පාළොස් අවුරුද්දක් ගෙවී යයි. තිබ නුවරට දුර්භික්‍ෂ සමයක් උදාවේ. තමන් ඉන් ගලවා ගන්නා ලෙස වැසියෝ රජුගෙන් ඉල්ලා සිටිති.

කතාව ඇරැඹෙන්නේ එතැනිනි.

ව්‍යසනයට හේතු සොයන්නට රජු විසින් ඇපලෝ දෙවිඳුන් වෙත යවන ලද යකොස්ටාගේ සහෝදරයා වන ක්‍රියොන් ආපසු පැමිණ ඇත. ලාය්යුස් රජුගේ ඝාතකයා නුවරුන් අතර සිටිනා බවත් ඊට කෝප වූ දෙවිඳුන් මේ ව්‍යසනය කැඳවා ඇති බවත්හෙළි කළ බව ක්‍රියොන් හෙළදරව් කරයි. ඔහු සොයා ඔහුට දඬුවම් කරන බවට රජු සපථ කරයි.

මේ අතර රජු ටෙරේසියස් නමැති අන්ධ අනාවැකි කියන්නා ද කැඳවයි. මුල දී කිසිවක් නොකියන නමුත් රජුගේ තර්ජන ද නින්දා ද නිසා කෝපයට පත්වන ඔහු ඒ ඝාතකයා වෙන කවුරුත්නොව ඊඩිපස් ම බව කියා පිටව යයි.

සියල්ලෝ මෙයින් වික්‍ෂිප්තියට පත්වෙති.රජු කෝපයට පත්වෙයි. ඔහු සිතන්නේ තමා පලවා හැර රාජ්‍යය අල්ලා ගන්නට ක්‍රියොන්ගේ කුමණ්ත්‍රණයකට අනුව ටෙරේසියස් එබව පැවැසූයේය කියායි.

කෙසේවෙතත් රජු විමර්ශනය අත්නොහරී. මෙහිදී ලයියුස් ඝාතනය වන අවස්ථාවේ සිට දිවි ගලවා ගත් සේවකයා ද, යාකොස්ටා විසින් දරුවා කැලයේ අත්හැර දමන්නටය කියා බාරදෙන ලද සේවකයා ද ඔහුගෙන් ළපටියා බාර ගත් ගොපල්ලා ද සාක්‍ෂි දෙති. ඒ අනුව ඊඩිපස් පියා මරා මව අඹුකමට ගත් බව සැකයෙන් තොරව ඔප්පු වෙයි.

සයනාගාරයට දිවයන යාකොස්ටා ගෙල වැල ලා සිය පණ හානිකැර ගනී. ඒ වෙත යන ඊඩිපස් ඇගේ ඇඳුමේ වූ රන් කටුවක් ගෙන සිය දෑස අන්ධ කැර ගනියි. ඔහු ක්‍රියොන්ට රාජ්‍යය සහ සිය දරුවන් පවරා තමා පිටුවහල් කරන ලෙස ඉල්ලයි.

‘සොෆොක්ලිස්ගේ ඊඩිපස් රජ’ ආරියවංශ රණවීරයන් ගේ කෘතියකි.

Comments