
පාර්ලිමේන්තුවට පසුගිය 30 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අතුරු අය- වැය සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ අවධානය ඒ දෙසට යොමු විය.
අය - වැය විවාදය උණුසුම් වෙයි
2022 අතුරු අය - වැය සඳහා පාර්ලිමේන්තුවේ විවාදය පසුගිය 30 වැනිදා සිට පසුගිය 02 වැනිදා දක්වා පැවති අතර උණුසුම් වාද විවාද රැසක් මධ්‍යයේ මෙම විවාදය පැවැත්වීම නිසා අලුත් පුවත් ද ඒ සම්බන්ධයෙන් නිර්මාණය වුණි.
පාර්ලිමේන්තුවේ පැවති විවාදවලට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විවිධ රැස්වීම්වලදී යම් යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
අය - වැය කතාව හරියටම පැයයි
අතුරු අය - වැය පාර්ලිමේන්තුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ පසුගිය 30 වැනිදාය. අතුරු අය - වැයක් ලෙස ඉදිරිපත් කෙරුණු මෙම අය - වැය කතාවට වෙන්කර තිබුණේ පැයක කාලයයි. ඒ අනුව අතුරු අය - වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දහවල් එකට ආරම්භ කළ අතර එය හරියටම දහවල් දෙකට අවසන්වීමද විශේෂත්වයකි.
ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීම
අය - වැය කතාවෙන් පසුව ඒ ගැන සාකච්ජා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් වෙන වෙනම පැවැත්වුණි.
කමිටු ශාලා අංක 1හි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීම සූදානම් කර තිබූ අතර මන්ත්‍රීවරු රැසක් අය - වැය කතාවෙන් පසුව කමිටු ශාලාවට පැමිණ අසුන්ගෙන සිටියහ.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද ඊට සහභාගී වී සිටියහ.
මේ අතර මරික්කාර් හා මයන්ත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන ශාලාවට ඇතුළුවීමට පැමිණි අතර ශාලාවට ඇතුළුවන විටම ඔවුන්ට තමන්ට වැරදීමක් සිදුවී ඇති බව අවබෝධ කරගත හැකිවිය. බොහෝ දෙනෙක් නවතින ලෙස ඉල්ලීම් කළ ද ඔවුහු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන ශාලාව සොයා ගමන් කළහ.
රෝහිත මනූෂව අගයයි
මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද කැඳවා තිබුණි. ඒ අයවැය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමටය.
විදේශ ගතවන පිරිස වැඩිවුවත් පෙර මෙන් රටට විදේශීය ප්‍රේෂණ නොලැබීම පිළිබඳව මන්ත්‍රීවරුන් මෙහිදී විමසූහ.
එයට පිළිතුරු දුන්නේ ඇමති මනූෂය.
“ දන් රටේ කර්මාන්ත නැවතිලා. ඒ නිසා විදේශගත මිනිස්සු සල්ලි එන්නේ එදිනෙදා වියදමට විතරයි. ගෙවල් හදන්න, වාහන ගන්න මිනිස්සු සල්ලි එවන්නේ නෑ. ඒ නිසා තමයි විදුලියෙන් ධාවනය වන වාහන ආනයනයට අවසර දුන්නේ ඒ අරමුණින්. එයට මුදල් අමාත්‍යංශයේ අවසරය ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.”
“ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට හා විදේශ ප්‍රේෂණ ලබාගැනීමට මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළ හොඳයි” මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මනූෂගේ වැඩ පිළිවෙළ අගයමින් කතා කළේය.
වක්කුඹුරගෙන් බන්දුලට තල්ලුවක්
මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ලිපියක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන්ට පැවසුවේ අලුත්වැඩියා කටයුතු අතරමඟ නතරවූ මාර්ග සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි.
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ “ ඇමැතිතුමා අලුතින් පාරවල් හදන්න කලින් පාරවල් හදපු කොන්ත්‍රාත්කාරයන්ට සල්ලි ටික ගෙවල ඉන්න. අපිට පාරේ බැහැල යන්න බෑ”
“ මම කිව්වෙ අලුත් පාරවල් ගැන නෙමෙයි. වැඩ අතරමඟ නැවතුන පාරවල් ගැන තොරතුරු දෙන්න කියලයි.” ඇමැති බන්දුල කීවේය.
“ අලුතින් තොරතුරු මොකටද? ඔබතුමාගේ අමාත්‍යංශයේ නිලධාරීන් ඒ ගැන තොරතුරු දන්නවනේ.” රෝහිත යළි පැවසීය.
“ ඔබතුමා මම කිව්ව කාරණය හරියට තේරුම් ගෙන නෑ”
බන්දුල යළි කීවේය.
“අපිට පාරවල් ඕන නෑ.. හදපු ටිකට සල්ලි ගෙවන්න”
තිස්ස කුට්ටිආරච්චි, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පැවසීය. නමුත් ජානක වක්කුඹුර කීවේ බාගෙට හදපු පාරවල් හේතුවෙන් ජනතාව අසරණ වී සිටින නිසා එවැනි පාරවල් සකස් කර දෙන ලෙසයි.
මෙම කතාව දිගින් දිගටම ඇදී යනවිට එයට ජනාධිපතිවරයාද මැදිහත් විය.
“ පාරවල් හදපු කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. නොපියවූ බිල්පත් බිලියන 200 ක් විතර තියෙනවා” යැයි ජනාධිපතිවරයා කීවේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දෙස බලමිනි.
“අපිට ලැබෙන රාජ්‍ය ආදායමෙන් ප්‍රමුඛතාව දෙන්නේ පොලී හා ණය ගෙවන්න, අත්‍යවශ්‍ය ආහාර හා බේත් ගෙන්නවන්නයි. ඒ අතරදි අනෙකුත් වියදම් සඳහාත් ලැබෙන පරිදි මුදල් වෙන් කරනවා.” මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.
“මට කොහොම හරි මේ මුදල් ටික වෙන්කරල දෙන්න”
ඇමැති බන්දුල මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට කීවේය.
“ දැන් මිනිස්සු අතේ ඩොලර් තියෙනවා. නමුත් ඒවා නිසි මාර්ගයේ යන්නේ නෑ. ගමේ ඉන්න ත්‍රීවිල් රියදුරත් ඩොලර් මාරු කරන තත්ත්වයක් දැන් තියෙන්නේ. බලපත්‍ර ක්‍රමය හඳුන්වා දුන්නට හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ ඩොලර් ටික එකතු කරගන්න නීතියක් ගේන්න ඕන.” යැයි රෝහිත මන්ත්‍රීවරයා යළි පැවසීය.
අනතුරුව රෝහිත මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.
චාමරගෙන් ජනපතිට පැමිණිල්ලක්
“ රටට වැඩියෙන්ම ආදායම් උපද්දවන්නේ රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව. නමුත් මේවයින් රජයට නියමිත පරිදි ආදායම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අරගලකරුවන්ට කරපු දේම මේ ආයතනවලටත් කරන්න.”
මේ අතර සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා කතාකළේ වැඩිහිටි දීමනාව සම්බන්ධ ප්‍රශ්නයකි.
“දැන් වැඩිහිටි දීමනාව ගන්න වෙලා තියෙන්නේ සමෘද්ධි බැංකුවෙන්. ඒ නිසා වැඩිහිටියන්ට මේ දීමනාව ගන්න ටවුමට යන්න වෙලා. දැන් ත්‍රීවිල් ගාස්තුත් වැඩියි.”
“මේක වැරදි වැඩක්. ජනාධිපතිතුමනි වහාම මේක නවත්තන්න” චාමර සම්පත් මන්ත්‍රීවරයා මඳක් උස් හඩින් කීවේය.
“ මම මේ ගැන හොයල බලන්නම්” ජනාධිපතිවරයා කීවේය.
ඩයනා ගමගේ මන්ත්‍රීවරියද ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිසාවෙන් උතුරු මැද පළාතේ කාන්තාවන්ට විඳින්නට සිදුවන දුක්ගැහැට පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය.
“ අපි මේක කැදෙව්වේ අය වැය ගැන කතා කරන්න. ඒ නිසා ඒ ගැන කතා කරමු” ජනාධිපතිවරයා කීවේය.
“කෙටිකාලීනව හා දිගුකාලීනව ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම ගැන මේ අයවැය මඟින් කතා කරනවා. ආර්ථික වර්ධන වේගය දශම පහකින් වැඩිකරගන්න අපිට අවුරුදු දෙකක් ගතවෙනවා. අපි ලොකු අමාරු තත්ත්වයක ඉන්නේ. දැන් IMF එකත් එක්ක කතා කරගෙන යනවා. ඒ අය අවසර දුන්නට පස්සේ ජපානය ඇතුළු ආධාර දෙන රටවල් එක්ක සාකච්ඡා පටන් ගන්නවා. රටේ ඩොලර් හිඟයක් තිබුණත් අපි මෙවර අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කළා. දැනට තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල කළමනාකරණය කරගන්න ගමන්ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රටට ගේන්න ඕන. මොකද රටේ තියෙන සල්ලි රට ඇතුළෙම තියාගන්න ඕන. ඒ වැඩපිළිවෙළේ පළමුවැන්න විදියට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල පටන් ගන්න අපි තීරණය කළායි ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා අයවැය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කළේය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා රැස්විය.
දෙපැත්තෙන්ම කැපෙන 13 දෙනා
විවාදවලදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කාලය වෙන්කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා ලක්විය.
" ආණ්ඩුවෙන් කණ්ඩායම් කීපයක් විපක්ෂයට ඇවිල්ලා. ඒ අයටත් කතා කරන්න වෙලාව දෙන්න" විපක්ෂ නායක සජිත් කීවේය.
"ඔය කණ්ඩායම මාස දෙක තුනක් තිස්සේ හිටියෙ ස්වාධීන වෙලා. නමුත් අපි වෙලාව දුන්නා. දැන් එයාල නිල වශයෙන් විපක්ෂයට ගිහිල්ලා. ඉතින් කොහොමද ආණ්ඩුවේ වෙලාව දෙන්නෙ"
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කීවේය.
ඩලස්ලා, ෂුවර් නැති බව කිරිඇල්ල කියයි.
"එයාල විපක්ෂයට ආවට අපිට ෂුවර් නෑනේ"
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල පැවසුවේ ඔලොක්කුවට මෙනි.
" ඉතින් ඒකනේ ඔබතුමාලටත් ෂුවර් නෑනෙ. අපි විපක්ෂයට යනවයි කියන්නත් එයාලට වෙලාව දුන්නේ අපියි. දැන් එයාල කරන්නේ ඔය පැත්තෙ ඉඳගෙන අපිට බණින එකනේ. "
" විපක්ෂෙ ඉඳල ආණ්ඩුවට අපු මනූෂට, හරීන්ට අපි වෙලාව දෙනවා. ජී.එල් ඇමැතිතුමාගේ කටිටිය දැන් විපක්ෂනෙ. ඔබතුමාලම එයාලට වෙලාව දෙන්න"
ප්‍රසන්න යළි ඇඟට පතට නොදැනී කීවේය.
" වෙලාව දෙන්න කලින් එයාලගෙ හැසිරීම බලන්න ඕන. එතකම් එයාලට පරිවාස කලයක් දෙන්න ඕන" ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලය.
ප්‍රසන්නගේ කතාවට සජිත් කලබල වෙයි
" එයාලගෙ හැසිරීම නම් අන්තිමයි"
මෙතෙක් වෙලා නිහඬව සිටි ජොන්සන්ටන් ප්‍රනාන්දු කී කතාවට කතානායකතුමාටත් හිනාය.
" ඔබතුමා පරිවාස කාලයක් දෙනකොට විපක්ෂ නායකතුමාගේ තනතුරට තට්ටු වෙලා තියේවි"
ප්‍රසන්නගේ කතාවට විපක්ෂ නායක සජිත් කලබල විය.
" මම සිරිසඟබෝ රජ්ජුරුවෝ වගෙ බෙල්ල දෙන්න ලෑස්තියි. ජනතාවට සේවය කරන්න මට තනතුරු වැඩක් නෑ" සජිත් කීවේය.
" කවුරු විපක්ෂෙට ආවත් අපි තමයි ඔරිජිනල් විපක්ෂෙ. ඒක නිසා කවුරු විපක්ෂෙට ආවත් වැඩක් නෑ" කිරිඇල්ල පැවසීය.
" වෙනම හිටියට අපිත් විපක්ෂේ තමයි' දිගුවෙලාවක් නිහඬව සිටි සුමන්තිරන් පැවසීය.
" ආණ්ඩු පක්ෂෙ ඔක්කොටම එකම විදියට සලකන්න. අපි තමයි විපක්ෂෙ දෙවැනියට විශාලතම පක්ෂය. අපිට තුනට යන්න පුළුවන් හැබැයි හයට යන්න බෑ"
ඔහු කී කතාවට සියල්ලෝම සිනාසිනි.
"දැන් එතකොට මේකට මොකද කරන්නේ " පක්ෂ නායකයෝ විමසූහ.
" මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙන්නෙ ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන්ගෙ කැමැත්තෙන්. ඒක නිසා මට තීන්දු ගන්නකොට පක්ෂයේ මන්ත්‍රීවරුන්‍ට ඇහුම්කන් දෙන්න වෙනවා. විපක්ෂයට ගිය මන්ත්‍රීවරුන්ට වෙලාව දෙනවට අපේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් තියෙනවා. මට පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙ ඉල්ලීම අහක දාන්න බෑ. "
ප්‍රසන්න ඇත්තම කීවේය.
පාර්ලිමේන්තු ප්‍රධානතම කමිටු වන කෝප් කමිටුවේ හා කෝපා කමිටුවේ සභාපතිකම විපක්ෂයට දීම ගැන සාගර කාරියවසම් මෙහිදී විරෝධය පළ කළේය.
" අපි ස්ථාවර නියෝග අනුව වැඩ කරමු. "ඔහු කීවේය.
" මම ඒ ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ක කතාකරල තීරණය කියන්නම්' කතානායකවරයා පැවසීය.
විපක්ෂ මන්ත්‍රීවරු ජනපති වටකර ගනිති
අය වැය විවාද කාලය වූ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදිනම ජනාධිපතිවරයා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළය. එයිනුත් ඔහු වැඩි කාලයක් රැඳී සිටියේ ඔහුගේ නිල කාමරයේ නොව පාර්ලිමේන්තුවේ විපක්ෂ ආලින්දයේ ය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වඩා ජනාධිපතිවරයා සමීපව සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට බැවින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. පැරණි කතා මෙන්ම රස කතා රැසක් එහි දි හුවමාරු වූවේය.
“ජනාධිපතිවරු මේ වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්නේ නැහැනේ. කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි අපිට ජනාධිපතිවරු පාර්ලිමේන්තුවේදී දකින්නට ලැබුණේ.“ ජනාධිපතිවරයා වට කරගෙන සිටි විපක්ෂ මන්ත්‍රීවරයකු කී විට සෙසු පිරිස කොක් හැඩලූහ.
“හැබැයි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා එහෙම කළේ නෑ. එතුමා නිතරම පාර්ලිමේන්තුවත් එක්ක සම්බන්ධය තියා ගත්තා. නිතර ආවා ගියා.“ ජනාධිපති රනිල් කීවේය.
රනිල්ට දොස් කියූ හකීම් රනිල් සොයාගෙන එයි
“ජනාධිපතිතුමා කියන කතාව හරි. ජනාධිපතිවරුයි පාර්ලිමේන්තුවයි ඈත් වෙන්න හේතුව ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට නොපැමිණීම තමයි.“ එතනට පැමිණි වජිර අබේවර්ධන කතාව සම්පූර්ණ කළේ එසේය.
ජනාධිපති රනිල් නිල කාමරයට ගොස් රූපවාහිනිය දෙස බලද්දී දුටුවේ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඔහුව විවේචනය කරන ආකාරයය. සිනාසෙමින් එය නැරඹූ ජනාධිපතිවරයාට සුළු මොහොතකින් සේවකයකු රැගෙන ආ පණිවුඩයෙන් කියැවුණේ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා තමා මුණ ගැසීමට පැමිණ සිටින බවටය.
බ්‍රහස්පතින්දා ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගියේ පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාව අවසන් කිරීමෙන් පසුවය. ලංකාවට රුපියල් බිලියන 2.9 විස්තීර්ණ ණය පහසුකමක් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වූ අතර ඒ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවයට පැමිණීමට හැකියාව උදා විණි.
රනිල්, දිනේෂ්ට කියූ සතුටුදායක පුවත
එම විශේෂ පණිවුඩයත් රැගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණි අතර ලැබුණු එම සතුටුදායක ආරංචි පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයා අගමැති දිනේෂ් ගුණවර්ධනට කීවේ සිය නිල මැදිරියේදී ය.
ඉන්පසුව ජනාධිපතිවරයා යළිත් මන්ත්‍රීවරුන් රැඳී සිටින ආලින්දය වෙත ගියේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සුහද පිළිසඳරකටය.
“ජනාධිපතිතුමා අද සතුටින් වගේ“ විපක්ෂ මන්ත්‍රීවරයකු විමසූවේ IMF ප්‍රතිඵලය සම්බන්ධයෙනි.
“ඇත්තටම මේක ලොකු ජයග්‍රහණයක්. අපි බංකොළොත් රාජ්‍යයක් හැටියට හංවඩු ගැහිලා හිටියේ. මේ නිසා අපිට ඉස්සරහට එන්න පුළුවන්. සාගල රත්නායක, සමන් ඒකනායක, ආචාර්ය සමරතුංග, මුදල් ලේකම් සිරිවර්ධන වගේම මහබැංකු අධිපතිතුමාත් ගොඩක් මහන්සි වුණා මේ තත්ත්වයට එන්න.“ ජනාධිපති කීවේ සිනහවෙමිනි.
“මෙතනින් පස්සේ රට ස්ථාවර වෙනවාද?“ ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ පැනයකි.
“අපිට රට ඉදිරියට ගෙන යන්න ආරම්භයක් මේකෙන් ගන්න පුළුවන්. රාජ්‍ය තාන්ත්‍රිකව වගේම පෞද්ගලික ආයතන සමඟත් අපිට කතා කරන්න පුළුවන් අලුත් ණය ගැනීම් පිළිබඳව. IMF සහතිකය නැතුව කිසිම රටක් ණය දෙන්නේ නෑ. ජුලි මාසේ රට තුළ අර්බුදයක් මතු වුණේ නැතිනම් අගෝස්තු මුල සතිය වෙන කොට අපිට මේ එකඟතාවයට එන්න තිබුණා.“ ජනාධිපති කීවේ නළල රැලි ගන්වමිනි.
“කොහොමවුණත් අවසානයේ වෙන්නේ හැමදාම අපි ණය කාරයෝ වෙන එකනේ.“ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විමසීය.
“මම IMF එකේ සාකච්ඡාවේදී ණය ගැන කිව්වෙත් බුදු වදනක් ගැන හා ඩී.එස් සේනානායක මැතිතුමා කිව්ව කතාවක් උදාහරණයට අරගෙනයි. ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි කියලා තමයි බුදු වදනේ කියන්නේ. ඩී.එස් සේනානායක මැතිතුමා කියලා තිබුණෙත් එයයි. ණය ගන්නවා වගේම ණය ගෙවන්නත් අපි වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ.“ ජනාධිපතිවරයා කතාව අවසන් කළේ එලෙසිනි.
මහින්ද පොහොට්ටුවේ මූලස්ථානයට
මහින්ද රාජපකෂ හිටපු අග්‍රාමාත්‍යවරයා බත්තරමුල්ලේ නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) පවර මූලස්ථානයට පසුගිය දිනවල පැමිණීම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී තිබුණි.
පොහොට්ටුවේ ඉදිරි සම්මේලනය පිළිබඳව, මූලික කෙරුණු සාකච්ජා පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.
ඊට අමතරව දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතු ද දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වුණු අතර පොහොට්ටුවේ ප්‍රබලයන් රැසකට මෙම සාකච්ජාවලට එක්ව සිටීම විශේෂත්වයකි.
පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ සිට මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ පසු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට පැමිණ සිටියහ.
අතේ කචල්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය පසුගිය 02 වැනි සිකුරාදාට යෙදී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විශේෂ සාකච්ජාවක් පසුගිය 01 වැනිදා රාත්‍රී ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ඒමට සූදානම් වන සංශෝධන සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙහිදී දැඩි විරෝධයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් සංඛ්‍යාව 4 සිට 7 දක්වා වැඩිකිරීම ඇතුළු කරුණු ගණනාවක් ගැන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් දැඩි විරෝධය එල්ල කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා අස්වැසීමට හෙක්ටර් බෙත්මගේ දැඩි උත්සාහයක් ගත්තද නිමල් සිරිපාල ද සිල්වා ඔහුට ද දොස් පවරා ඇත.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයකු වන ජගත් පුෂ්පකුමාර කියා සිටියේ තමන්ගේ දරුවන් ඉදිරියට ගෙන ඒම සඳහා පක්ෂයට සිදුකරන සංශෝධනවලට තමා විරුද්ධ වන බවයි.
සජබ මන්ත්‍රී රැස්වීමට මහාචාර්යවරු කණ්ඩායමක්
සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.
එහිදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණේ ජනාධිපති වරයාගේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවය.
ආර්ථිකය පිළිබඳව විශාල ප්‍රාමාණික දැනුමක් ඇති මහාචාර්යවරුන් කිහිප දෙනෙක්ම එම අවස්ථාවට කැඳවීමට සජිත් පියවර ගෙන තිබුණේය.
"අයවැය තත්ත්වය පිළිබඳව ඔබතුමන්ල ඇත්ත පැහැදිලි කරන්න"
සජිත් ඉල්ලා සිටියේය.
අයවැය පවතින අඩුපාඩු, එහි බරපතළ දෝෂ, පිළිබඳව ඔවුන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
"අයවැය යෝජනාවලියේ සමහර කරුණු හොඳයි. අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු කීපයකුත් එතන තියෙනවා. හැබැයි මේවා ප්‍රායෝගික තලයට ගෙන එන්න එතුමට කිසිසේත්ම පුළුවන් වෙන්නේ නැහැ." සජිත් කීවේය.
"අපිට බැහැ අයවැයේදී කිසිම විදිහකට ආණ්ඩුවට සුදු හුණු ගාන්න. මොකද ජනාධිපතිවරයා සම්පූර්ණම පොහොට්ටුවේ වහලෙක්. එතුමා හදලා තියෙන්නේ අපේ ආණ්ඩුවක් නෙමේ. එතුමා හදලා තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක්. ඊළඟ මැතිවරණයේ දී එතුමාලා ඉදිරිපත් වෙන්නේ ඒකට. ඒ කියන්නේ ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවයි යූඑන්පී එකයි එකට තමයි තරග කරන්නේ."
රෝහණ බණ්ඩාර කීවේය.
"ඔව්, අයවැයේදී අපිට ආණ්ඩුව හුරතල් කරන්න බෑ. සර්වපාක්ෂික කතාවලට ආරාධනා කරන ගමන් ආණ්ඩුව කරන්නේ දේශපාලන මර්දනය. එහෙව් මර්දනයක් මර්දනයක් කරන ආණ්ඩුවකට එහෙයි කියන්න අපි ලෑස්ති නෑ." මුජිබර් රහුමාන් කීවේය.
"කකුල් දෙපැත්තේ තියාගෙන අනුන්ගෙන් යැපෙන දේශපාලනයක් කරන්න අපිට බැහැ. එක එක්කෙනාට ඕන විදිහට සමගි ජනබලවේගයේ පාවිච්චි කරන්නත් බැහැ. අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය. ඒ විතරක් නෙමේ ඊළඟට ආණ්ඩු බලය ගන්න ඉන්න පක්ෂය. ඒ නිසා කාගෙවත් දේවල්වලින් අපි යැපෙන්න ඕනේ නැහැ. අපි අපේ මතයේ ඉමු. මේ වෙලාවේ පොහොට්ටුවක් එකත් එකයි යූඑන් පී එකත් එකයි. ඒක රටට කියන්න බය වෙන්න දෙයක් නෑ." කිරිඇල්ල කීවේය.
විමල්ලාගේ පවුර
මේ අතර ජී.එල්.පීරිස්, ඩලස්ලාට පෙර ස්වාධීන වූ විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු අනෙක් කණ්ඩායම 04 වැනිදා (අද) දින ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමේ මහා පවුරක් ගොඩනැංවීමට සූදානම් වේ.
ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනගනු ලබන්නේ රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට ප්‍රශ්නාවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන උත්තර සභාගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තම හිතවාදීන් කිහිපදෙනෙකුට ප්‍රකාශ කොට තිබුණි.
වජිරට ගීතාගේ හිත යයි
මහජනයගේ හිතේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රට බංකොළොත් කළා කියලා. නෑ ඔවුන් එහෙම කළේ නෑ. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණයක් සිදුවෙලා තිබෙනවා.
අපි කල්පනා කරන්න ඕන ජල සම්පාදන මණ්ඩලය වගේද මුදල් අමාත්‍යංශය කියලා. ප්‍රෙටෝලියම් එක වගේද මහ බැංකුව කියලා. කවුරු හරි හිතනවා නම් ඒ ආයතනවල ඉන්න අය අපි තමයි පාලකයෝ කියලා මං හිතනවා එය බරපතළ වැරැද්දක්.
ෆෙඩරල් රිසව් පද්ධතිය පිළිබඳ විශ්ලේෂණය. ෆෙඩරල් රිසව් පද්ධතිය මගින් මහජන සුබ සිද්ධිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමටත් ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහාත් ප්‍රධාන කාර්යයන් 5 ක් ඉටු කරනවා. මේ ඇමරිකාව කරන රාජකාරිය.
ෆෙඩරල් රිසව් පද්ධතිය යනු ඇමරිකානු මහ බැංකුවයි. එය ඇමරිකානු ආර්ථිකයේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමටත්, මහජන සුබ සිද්ධිය උදෙසාත් ප්‍රධාන කාර්යයන් 5 ක් ඉටු කරනවා. යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
වජිරගේ කතාවට ඊට පිටුපස අසුනේ සිට ඉතා ඕනෑකමින් ඇහුම්කන් දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහයයි.
ගීතා කෙතරම් වජිරගේ කතාබහට වශී වී සිටියාද කියනවා නම් ඇය සමඟ යමෙක් කතා කිරීමට පැමිණිය ද ගීතා එවිට කියා සිටියේ වජිර මන්ත්‍රීතුමාගේ කතාව ඇසිය යුතු බවයි.