සතුටට කඳුළට දෙකටම භූමිතෙල්ය | සිළුමිණ

සතුටට කඳුළට දෙකටම භූමිතෙල්ය

දුප්පතාගේ ලෝකය එළිය කළ භූමිතෙල් මිල පසුගියදා අහසටම නැංගේය. ඒ, රු. 87ක් වූ ලීටරයේ මිල රු. 340ක් බවට පත්වෙමිනි. ඉන් උද්ගත වූ ප්‍රශ්න රැසක් ඇතත් විෂය භාර අමාත්‍යවරයා පවසා තිබුණේ, සංස්ථාව පාඩු ලබන බැවින් එසේ නොකර බැරි බවය.

භූමිතෙල් භාවිතයෙන් ජීවිකාව කරගන්නා සුළු පන්න ධීවරයන්, භූමිතෙල් ලිපේ උයා පිහා ගන්නා නාගරික පහළ මධ්‍යම පාන්තිකයන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් හා ඇඟලුම් කර්මාන්තයේ නිරත සේවිකාවෝ මෙසේ භූමිතෙල් මිල ඉහළ යෑමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 

කුප්පි ලාම්පු එළියෙන් රැය පහන් කරනා වතුකරයේ ලැයින් ගෙවල්වල වෙසෙන ජනතාව සහ විදුලිය තබා ගමට යන්නට පාරක්වත් නැති, ඈත ගම් දනව්වල දුගී දුප්පත් ජනතාවට මේ මිල ඉහළ දැමීම, හිස මතට පතිත වූ මහා කුළුගෙඩි පහරක් විය. පාඩුව පියවා ගන්නට යැයි පවසා මෙවැනි අසරණ පිරිස් මත බර පැටවූවද ඛනිජ තෙල් සංස්ථාවට පොලු තැබූ රාජ්‍ය සහ පුද්ගලික ආයතන බොහෝමයක ණය මේ වන විට පාලක පන්තිය ඇතුළු වගකිව යුත්තන් අමතක කර දමා ඇත.

මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලයත්, ලීටරය එක් ඩොලරයක් වූ මිලට Jet-A 1 ගුවන් යානා ඉන්ධන ලබා ගන්නා ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම සහ යුද, නාවික, ගුවන් යන ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවත්, තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන136කට ආසන්නය. මේ සියල්ල බිලියන ගණන් වූ පොලු ය. මේ 2019 වර්ෂය අවසාන වන විට තත්ත්වය බැවින් අද වන විට මේ ණය ප්‍රමාණය තවත් ඉහළ ගොස් තිබේ. එපමණක් නොවේ. පුද්ගලික තාප විදුලි බලාගාර ගණනාවක් ද, අද වන විට ඛනිජ තෙල් සංස්ථාවට මිලියන ගණනින් පොලු තබා ඇත. මේ කුඩා සමාගම් කිහිපයක් ද ඇතුළුව, මේ සියල්ලෝ සංස්ථාවට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 15.72කි.

කෙසේ වෙතත්, භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් ධීවර සහ වතු ආශ්‍රිත පිරිස්වලට භූමිතෙල් සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබේ.

නාගරික මහල් නිවාසවල සහ කොළඹ ආශ්‍රිත වතු නිවාසවල ජනයා, පසුගිය කාලයේ පැවති ගෑස් අර්බුදය නිසා, භූමිතෙල් භාවිතයට හුරු විය. ලක්ෂ තුනක් පමණ වන වතු නිවාසවලින් 10% කට පමණ, එනම් නිවාස 30,000කට පමණ විදුලිය නැත. අඩු ආදායම්ලාභී මේ වතු ජනතාවගේ බොහෝ විට දවස ගෙවෙන්නේ රොටියකිනි. හාමතේ සිටියද, අඳුරේ සිටිය නොහැකි බැවින්, ඔවුන්ට කුප්පි ලාම්පු පත්තු කරන්නටත් මාසයකට භූමිතෙල් තෙල් ලීටර 12 ක් පමණ වැය වේ. නව භූමිතෙල් මිල රු. 340ක් වුවද, වතු කම්කරුවකුගේ මාසික වැටුප රුපියල් 15,000 කි. දැන් එයින් රු.3,500කට වැඩි මුදලක් ඔවුන්ට භූමිතෙල් මිල දී ගැනීම සඳහා වැය කිරීමට සිදුව ඇත.

රජයේ විගණන දත්ත අනුව භූමිතෙල් සහනාධාරයෙන් සංස්ථාවට වසර 7ට රුපියල් මිලියන 35,129 ක පාඩුවක් ලබන බව පැවසූවද, ඉහත දැක්වූ දැවැන්ත සමාගම්වලින් සංස්ථාවට අය විය යුතු ණය පිළිබඳ කතා බහක් නැත.

භූමිතෙල් මිල ඉහළ යෑම, සමාජ ආර්ථිකයට සිදු කරන බලපෑම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පැවසුවේ මෙවැනි අදහසකි. 

"මේ මිල ඉහළ යාම සිදු කළේ, පිරිවැය මත පදනම් වී නම්, ඒ ගැන පුදුම වීමට කාරණයක් නැහැ. නමුත් සමාජ ස්ථරයන්ගේ ආදායම් මට්ටම සහ භාවිත කරන අයගේ සමාජ මට්ටම් දෙස බලා, භූමිතෙල් පාවිච්චි කරන්නේ ඇති හැකි අයද?නැති බැරි අයද?කියන කාරණය පිළිබඳ යම් සොයා බැලීමක් සිදු කොට, වැඩි කිරීමේ යම් සහනයක් එම පිරිසට රජය විසින් ලබා දිය යුතුයි. එය කෙසේ, කාට, කිසියම් ප්‍රමාණයකින් දිය යුතුද යන්න, ගණන් හිලව් සෑදීම විද්‍යාත්මක පදනමක් මත සිදු කළ යුතු දෙයක්. එහෙම නොකළොත් එතැන සිදු වන්නේ සමාජ අවභාවිතයට තුඩු දෙන කාරණයක්. යම් දෙයක මිල වැඩි නම්, ඊට ආදේශකයක් තිබෙනවා නම්, ජනතාව අනිවාර්යෙන් එයට පෙළැඹෙනවා. එය ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ, මිල මත ආදේශනය වීම යනුවෙන්. නමුත් අන්තිමේ සිදු වන්නේ වැඩි කළ බස් ගාස්තු අය කරන ගමන් අඩු මිලට තිබෙන භූමිතෙල්වලින් බස් එක දුවවනවා. මිල අතර තුලනයක් තිබුණේ නැති නම්, එවැනි අවභාවිතාවට තුඩු දෙන දේවල් සිද්ධ වනවා.හැබැයි අනෙක් අතට තෙල් සංස්ථාව පාඩු ලබනවා කියා භූමිතෙල් මිල වැඩි කළාට, අධිවේගී මාර්ගයේ යන වාහනවල ගාස්තුව වැඩි කරන්නට වගකිව යුත්තන්ට අමතක වෙලා. BMW එකේ,V8 එකේ අධි වේගයේ යන යන සුපිරි ධනවතුන්ට වැඩි වීමක් නැහැ. එතකොට මේ පාරවල් නඩත්තු කරන්නට මුදල් යොදවන මාර්ග සංවර්ධන අධිකාරිය පාඩු ලබන්නේ නැද්ද? ආණ්ඩුවේ තීන්දු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදවල සමාජ අසාධාරණ බවක් තිබෙන බව මෙවැනි දේ හරහා නිරූපණය වනවා..."

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන් ගේ සංගමයේ උප සභාපති,කුසුම් සන්දනායක පැවසූයේ මෙවැනි අදහසකි. 

" කිසිම රජයකට බැහැ, අනුන්ගෙන් ණය අරන් මිස, මේ විදියට සහන දෙන්න. අනික ධීවරයා, දුප්පතා, සල්ලිකාරයා කියා වෙන වෙනම ගණන්වලට ඉන්ධන අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ලෝකෙ කොහේවත් නැහැ. සමහරු කියනවා භූමිතෙල් මිල ඉහළ දමපු නිසා, ධීවරයා අමාරුවේ වැටෙනවලු. එහෙම කොහොමද වෙන්නේ. ඔවුන් එදා මිලට තෙල් ටික අරන්, මාළු අල්ලලා ඒ වියදමට තමයි, මාළු මිල කරන්නේ. මාළු ගණන් යයි. කරන්න දෙයක් නැහැ. සහන ලැබුණා කියලා, ධීවරයෝ කවුරුවත් සහන මිලකට මාළු දෙනවද?."

භුමිතෙල් මිල ඉහළ යෑම, ධීවර කර්මාන්තයට කර ඇති බලපෑම පිළිබඳ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක, රත්න ගමගේ මෙසේ පැවසීය.

" අපේ රටේ සුළු පන්න ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ භූමිතෙල් මත. බහුදින ධීවර යාත්‍රා හැරෙන්න, කර්මාන්තයේ යෙදෙන සුළු පන්න ධීවර යාත්‍රා 26,000කට ආසන්න ප්‍රමාණයක් භූමි තෙල් භාවිත කරනවා. පසුගිය මාස තුන පුරාම භූමිතෙල් නැතිකම නිසා ඔවුන් කිසි කෙනකුට මුහුදු යන්න අවස්ථාව ලැබුණේ නැහැ. සුළුපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන්, බෝට්ටු සහායකයින් ඇතුළු ලක්ෂ 10ක පමණ සාමාජිකයන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල ජනතාව පසුගිය මාස තුන පුරා එහෙම පිටින් ම ඇද වැටුණේ දැඩි ආර්ථික අහේනියකට. රටේ සාමාන්‍ය ජනතාවට මාළු කෑල්ලක් කන්න බැරි තරමට මාළු මිල ඉහළ ගියා. දරුවන් මන්දපෝෂණය වෙත තල්ලු වෙන්න ගත්තා. දැන් මේ රටේ 20%කට වඩා දරුවන්ට සහ ගැබිනි මවුවරුන්ට මන්දපෝෂණය. එක් සුළු පන්න ධීවර යාත්‍රාවකට සාමාන්‍යයෙන් දිනකට භූමිතෙල් ලීටර් 40- 60 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වනවා. රජය QR Code හඳුන්වා දුන්නාට, ධීවරයා ඒ ක්‍රමවේදයෙන් හළා දැමුවා. දිගින් දිගටම සුළුපන්න ධීවරයෝ ආණ්ඩුවෙන් භූමිතෙල් ඉල්ලා සිටියත්, මාස තුනකට පස්සේ භූමිතෙල් දුන්නේ අධික මිලකට. ණය වෙලා, දරු පවුල්වලට කන්න නැතිව සිටි ධීවර ප්‍රජාවට දැන් සිද්ධ වෙලා තිබෙන්නේ, 87 භූමිතෙල් ලීටරයට, රුපියල් 340ක් ගෙවන්න. මේ වගේ 290%ක මිල ඉහළ යාමක් කිසිම ආණ්ඩුවක් කිසිම දවසක සිද්ධ කළේ නැහැ.

මේ මිල අධික ලෙස ඉහළ යෑම නිසා, සුළු පන්න ධීවරයකුට සිද්ධ වෙනවා, දිනකට රු.14,000ක් වැනි අතිරේක මුදලක් දරන්න. ඊළඟට, ලිහිසි තෙල්වලටත් වැඩි මිලක් ගෙවන්නට සිද්ධ වනවා. මේ නිසා මාසයකට අමතර රුපියල් ලක්ෂ හතරක් පමණ වැඩිපුර ඉන්ධන සඳහා පමණක් දරන්න සිදු වනවා. දවසේ රස්සාව කරන ධීවරයාට එකවර මේ තරම් විශාල මුදලක් යට කරන්න හැකියාවක් නැහැ. ඊළඟට, ඔවුන් නෙළාගෙන එන මත්ස්‍ය අස්වැන්න වැඩි මුදලකට තක්සේරු කරන්න වෙනවා. අන්තිමේ ඒ බර යන්නෙත් පාරිභෝගිකයාට"

මේ සම්බන්ධයෙන් තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු, ආනන්ද පාලිත කියා සිටියේ මෙවැනි අදහසකි.

" 100%ක් රාජ්‍ය ආයතනයක් වූ ඛනිජ තෙල් සංස්ථාව අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස හදුන්වා දීමෙන් සිදුව ඇත්තේ වංචා දූෂණ සඳහා නීති ලිහිල් වීම පමණයි. විවිධ ව්‍යාපෘති සහ මිලදී ගැනීම් සඳහා දේශපාලන මැදිහත් වීම් කරගත හැකි වන පරිදි තීන්දු තීරණ ගැනීම සඳහා, මේ ලිහිල් බව භාවිත කරනවා. ටෙන්ඩර් මගඩි බොහොමයක් සිද්ධ වන්නේත් මේ නිසා. අඩුම මිලට මිලදී ගත හැකි, අපේ රටට වැඩිම ඵලදායිතාවක් ඇති බොරතෙල් වර්ගය තීරණය කිරීම සඳහා සංස්ථාවේ සුදුසුකම් ලත් වෘත්තීය ඉංජිනේරු මණ්ඩලයක් සිටිනවා. හැබැයි ඒ රාජකාරිය ඔවුන්ට කරන්න දෙන්නේ නැහැ.

අමාත්‍යවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ බොරතෙල් අලෙවි කරන සමාගම් එකතු වෙලා තමයි, දැන් ඉංජිනේරුවන්ගේ රාජකාරිය කරන්නේ. සංස්ථාවේ ඉංජිනේරුවන් 'ඌරල්' කියන බොර තෙල් වර්ගය මිලදී ගැනීමට විරුද්ධ වුණා. එය අපට ගැළපෙන්නේ නැති බව ඔවුන් පෙන්වා දුන්නා. නමුත් දේශපාලකයන් එය ගණන් ගත්තේ නැහැ.

භයානකම දේ තමයි ප්‍රීමියම් එක ගෙවන මුදල. ප්‍රීමියම් එක කියන්නේ, යම් සමාගමකින් බොරතෙල් මිලදී ගන්න තීරණය කළ විට, ඒ තොගය අපේ වරායට ගෙනැවිත් දෙනකල් අප ගෙවිය යුතු රක්ෂණ හා නැව් ගාස්තුව. ඒ වෙනුවෙන් එක බැරල් එකකට දැන් ඩොලර් 24ක් ගෙවනවා. එය අපේ තරගකාරී IOC සමාගම ගෙවනවාටත් වඩා තුන් ගුණයක ගාස්තුවක්. මෙහෙම ගෙවන්නේ සංස්ථා ඉතිහාසයේ විතරක් නෙවෙයි, ලංකා ඉතිහාසයේ ත් පළමු වතාවට. පසුගිය 15 වැනිදා මිල සූත්‍රය ක්‍රියාත්මක නොකළේ මේ දූෂිත ගනුදෙනුව ක්‍රියාත්මක කරන්න ඕනේ නිසා. හැබැයි මේ දේශපාලනික තීන්දුවට වඩා ඉහළින් සිටින කමිටුව අනුමත කරන්නේ, මර්බන් කියන මිලෙන් අඩු ඵලදායිතාවෙන් වැඩි බොරතෙල් වර්ගය. ඒ වුණත් බලධාරීන් මිල දී ගන්නේ ගාන වැඩි, ඵලදායිතාවෙන් අඩු ඌරල් කියන බොරතෙල්. මේ රටේ ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවෝ ඉන්න, සතා සර්පයාගෙන් බේරෙන්න කුප්පි ලාම්පුව පත්තු කරගෙන නිදිය ගන්න, හරිහමන් ආදායමක් නැති, දවසට එක වේලක්වත් කන්න නැති මිනිස්සු තිස් දහසකට වඩා ඈත ගම්වල සිටිනවා. මේ සේරම අද අන්ත අසරණ වෙලා. තෙල් සංස්ථාව මාසයකට බිලියනයක ණය ගෙවමින්, ඊටත් වඩා ආයතනික වියදම් සඳහා වැය කරනවා. සංස්ථාවේ 5,700 කගේ පඩි නඩි සහ පරිපාලනයේ සියලු වියදම් මීට ඇතුළත්. ඊළඟට සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ඇමති ඇතුළු මේ සේරම දෙනා පාවිච්චි කරන ඉන්ධන ලීටරයේ සිට ටොයිලට් පේපරය දක්වා සියලුම වියදමත් මේ භූමිතෙල් ලීටරයට එකතු කර තිබෙනවා. අනික, දැන් වැඩි මිලට ගන්නා ඌරල් කියන බොරතෙල් වර්ගයේ නිෂ්පාදන ධාරිතාව අඩු නිසා, පිටරට සමාගම්වලින් වැඩි මිලට ගුවන් යානා ඉන්ධනත් ගෙන්වන්නත් සිදු වනවා. 

මෙපමණ කලක් භූමිතෙල් මිල පාලනය කරගෙන සිටියේ, ගුවන් යානා ඉන්ධන විකිණීමෙන් එන ලාභයෙන්. නැව් තෙල් සඳහා ඉන්න ලබා දීමෙන්, කෘෂි රසායන අංශයෙන්, ලිහිසි තෙල්වලින් එන ලාභයෙන්. ඊට අමතරව 95 සහ super diesel වලට වැඩි මිලක් නියම කර, එයින් එන ලාභයෙන්. ඒවා විකිණුවේ, අකර්මණ්‍ය කළේ පාලකයන්. මේ අපරාධයට වගකිව යුත්තේ ඔවුන් මිස, භූමිතෙල් භාවිත කරන දුප්පත් ජනතාව නෙවෙයි.

තෙල් සංස්ථාවේ තිබෙන හොරකම්, දූෂණ සහ වංචා නැවැත්තුවොත් දේශීයව නිෂ්පාදනය කරන භූමිතෙල් රු. 50ටත් දෙන්න පුළුවන්. පාලකයන් ගේ කපටි වැඩ නිසා, මේ අවුරුද්දට විතරක් ඩොලර් මිලියන එක්ලක්ෂ විසි දාහක් අපි වැඩිපුර ගෙවා තිබෙනවා. දින විස්සක් තිස්සේ අද දක්වාම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරල් එක ඩොලර් 87 ටත් වඩා පහළින් තිබෙන්නේ.

එහෙම තිබියදී තමයි, අපේ පාලකයින් ඩොලර් 114 - 130 දක්වා මිලකට, ඒ කියන්නේ ලෝකයේ සම්මත මිළ හෙවත් Flat Rate එකටත් එපිටින් ගිහින් ඌරල් මිලදී ගන්නේ. අනික මේ ඌරල් මිලදී ගැනීම, ටෙන්ඩර් ක්‍රියා පටිපාටියකට අනුව කෙරෙන ගනුදෙනුවක් නෙවෙයි. කතා කර ගත්තු ගනුදෙනුවක්. මේවා තමයි, භූමිතෙල් මිල ඉහළ දමපු වංචනික කාරණා..."

බොරතෙල්වල ගුණාත්මක භාවය සහ භූමිතෙල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රාමාණිකයකු වන, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරු සංගමයේ ලේකම්, සනුක අබේසූරිය ඒ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.

" පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන සහ දැවිතෙල් යන මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ බොර තෙල්වලින්. පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් නිෂ්පාදනවලට අදාළ හයිඩ්‍රොකාබන සංයුතීන් අන්තර්ගත වී තිබෙන්නේ ඔය බොර තෙල් එක ඇතුළේ. මේවා අපට අවශ්‍ය පෙට්‍රල් ලෙස හෝ ඩීසල් ලෙස හෝ භූමිතෙල් ලෙස හෝ වෙන්කර ගැනීම අවශ්‍යයයි. ඒ සඳහා අප භාවිත කරන්නේ භාගික ආසවන කුලුනක්. එය පොළොවේ සිට ඉහළට එසැවුණු සිලින්ඩරාකාර කුලුනක්. තාපාංකණයට ලක් වන බොරතෙල්වල දෙවැනි අවස්ථාව ලෙසයි, kerosine හෙවත් භූමිතෙල් වෙන් කර ගන්නේ. 

කලෙක නිල් පැහැයෙන් තිබී, මේ වන විට රෝස පැහැයෙන් ඔබ දුටුවත් භූමිතෙල් අවර්ණයි. මිශ්‍ර වීම වළක්වාලීමට සහ හඳුනා ගැනීම පහසු වීමටයි, එයට රෝස පැහැ වර්ණක යොදන්නේ. භූමි තෙල්වලින්ම තමයි, Jet- A1කියන ගුවන්යානා ඉන්ධන නිෂ්පාදනය කරන්නේ. ගෘහස්ථ පරිභෝජනය සඳහා සෘජුවම භාවිත කළාට, ගුවන් යානා සඳහා ඒ භූමිතෙල් කෙලින්ම ගන්නේ නැහැ. තත්ත්වය වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියකට ලක් කොට තමයි ගුවන් යානා පංකා තෙල් නිෂ්පාදනය කරන්නේ.

දළ වශයෙන් ලංකාවේ දෛනික භූමිතෙල් සහ Jet- A1 ගුවන් යානා ඉන්ධන ඉල්ලුම මෙට්‍රික් ටොන් 2000ක් පමණ වනවා. ඒ නිසා ඉල්ලුම වැඩි වන විට භූමිතෙල් පිටරටින් ගෙන්වන්නට සිදු වනවා. එවිට අපට ලෝක වෙළෙඳපොළෙන් මිල දී ගන්නට සිදු වන්නේ, වැඩි දියුණු කළ Jet- A1කියන ගුවන් යානා ඉන්ධනයි. ඒවා ලීටරයක ආනයනික මිල රුපියල් 421ක් පමණ වනවා.

සමහර අවස්ථාවල භුමිතෙල් ලෙස ලංකාවේ ජනතාවට ලබා දෙන්නේ එම ආනයනික Jet- A1 කියන මිල අධික kerosin වර්ගයයි. දවාලන භූමිතෙල්වලට එය පාවිච්චි කිරීම නාස්තියක්;පාඩුවක් .

කුලුනෙන් ලබා ගන්නා තුන්වැනි කොටස තමයි, ඩීසල්. ඒවාත් ගුණාත්මක භාවය වැඩිකොට, Auto Diesel නිෂ්පාදනය කෙරෙනවා. කුලුනේ පහළම කොටසේ ඉතිරි වන්නේ, ෆර්නස් ඔයිල් හෙවත් දැවිතෙල්.

අපි කලින් භාවිත කළ අබුඩාබියේ නිෂ්පාදිත මර්බන් කියන බොරතෙල් බැරල් එකකින් 20% ක ප්‍රමාණයක් kerosene හෙවත් භූමිතෙල් වෙන් කර ගැනීමට පුළුවන්.

ඊළඟට භාවිත කළ රුසියාවේ නිෂ්පාදිත සයිබීරියන් ලයිට් කියන බොරතෙල්වලිනුත් 15%ක් භූමිතෙල් වෙන් කර ගැනීමට පුළුවන් වුණා. දැන් භාවිත කරන රුසියානු ඌරල් බැරල් එකකින් වෙන් කර ගන්න පුළුවන් 14%යි..."

කෙසේ වෙතත් ඉංජිනේරු සංගමය පවසන්නේ දේශීයව නිෂ්පාදනය කරන භූමිතෙල් ලීටරයක් සඳහා නිෂ්පාදන පිරිවැය ලෙස රු.250.68ක් වැය වන බවයි.

Comments