පැතුම් නිශ්ශං­කට ‘හොර අවුට්’ දුන් ලංකාවේ ක්‍රිකට් ගැසූ ඉන්දීය විනි­සු­රු­වාගේ පැටි­කි­රිය | සිළුමිණ

පැතුම් නිශ්ශං­කට ‘හොර අවුට්’ දුන් ලංකාවේ ක්‍රිකට් ගැසූ ඉන්දීය විනි­සු­රු­වාගේ පැටි­කි­රිය

 

රග විනිසුරුවන්ගේ තීරණ සෑමවිටම නිවැරැදි වන්නේ නැත. වැරැදි තීරණ නිසා තරග උඩුයටිකුරුවන අවස්ථා එමටය. ආසියා කුසලාන තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලට සිදුවූයේ ද ඒ ටිකමය. එදා පැතුම් නිශ්ශංකට රූපවාහිනි විනිසුරුවා ලෙස කටයුතු කළ තුන්වැනි විනිසුරු ඉන්දීය ජාතික ජෙයරාමන් මදන්ගෝපල් දුන් වැරැදි තීරණය නොවන්නට තරගයේ තීරණය වෙනස් වන්නට තිබූ ඉඩකඩ වැඩි බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ අදහස වී තිබිණි. එහෙත් අවාසනාවට එය එසේ නොවීය. පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිලට අත් වූයේ කඩුලු 7ක පරාජයකි.

 

රූපවාහිනී පුනරූපන තිබියදීත් විනිසුරුවකු වැරදි තීරණයක් ගැනීම වූකලී මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග විනිසුරුවන්ගේ සුදුසුකම් නැවත වතාවක් නිරීක්ෂණයට ලක් කිරීමට අයිසීසීයට කළ අවවාදයකි. ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය හැම අතින්ම ඉහළ නැංවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිතැතින්ම අවධානය යොමු කරන අතර, විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය (DRS) කරළියට එක් වූයේ පිතිකරුවාට පමණක් නොව පන්දු යවන්නාටද උපරිම සාධරණය ඉටු කිරීමේ අපේක්ෂාවෙනි. ජෙයරාමන්ගේ මේ හිතුවක්කාර තීරණය ගනු ලැබුවේ නව තාක්ෂණය උපරිමයෙන් භාවිත කරමින් ක්‍රීඩාවේ උන්නතියට අයිසීසීය තව තවත් නව මානයන් සොයමින් සිටින අතරතුරදීය.

ජෙයරාමන් වරද්දවා ගත්තේ එවැනි අවස්ථාවකි. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විවේකාගාරය පමණක් නොව විස්තර විචාරකයන්ගේ කුටිය ද නොසන්සුන් කිරීමට සමත් වූ එකකි. පැතුම් නිශ්ශංක දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඇතුළු ක්‍රීඩකයන් එය අදහාගත නොහැකිව හිස් අහසට දෑත් විසි කරමින් තුෂ්නිම්භූතව සිය අප්‍රසාදය පළ කරද්දී විස්තර විචාරකයන්ගේ කුටියේ ඇතිවූයේ කලබලකාරී ස්වරූපයකි.

පන්දුව පිත්තේ දැවටුණේදැයි නිශ්චිතවම තහවුරු කරගැනීමේ දර්ශන පථය (UltraEdge) සෙලවීමක් හෝ දර්ශනය නොවීම පිතිකරුට අන්තිම සාධාරණය ඉටු වීමේ මෙවලමකි. පැතුම්ගේ පිත්තේ ගැටුණු බවට අනුමාන කරමින් කඩුලු රකින්නා පන්දුව ඩැහැ ගනිද්දී එය එසේ වූවාදැයි යන්න හරියටම දැනගත හැකිවන්නේ මේ දර්ශන පථය තුළිනි. පැතුම්ගේ පිත්ත පරයා පන්දුව කඩුලු රකින්නා අතට යද්දී එම දර්ශන පථය තිබුණේ නිරුපද්‍රිතවය. එහි සාමාන්‍ය හරස් රේඛාව හැරුණු විට තිරස් අතට එකදු ඉරක් හෝ සෙලවීමක් හෝ සටහන් නොවීය.

මෙවැනි දැවීයෑමක් දුටුවේ සිය විස්තර විචාරක ජීවිතයේ පළමුවතාවට බව ප්‍රකට විස්තර විචාරකයකු වන ඉන්දියාවේ හිටපු පිතිකරු සංජේ මන්ජ්‍රේකර් කියද්දී වැඩිදෙනකුගේ අදහස වූයේ විනිසුරු තීරණය විමසීමට පැතුම් නිශ්ශංක වැඩි වේලාවක් ගැනීම තුන්වැනි විනිසුරු මුලා කළ සිදුවීමක් වන්නට ඇති බවය. එහෙත් එවැනි නිගමනයක පිහිටා සිටිමින් වැරදි තීරණයකට යෑම විනිසුරුවරයකුට තරම් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එතරම් ප්‍රකට විනිසුරුවරයකු නොවූවත්, ක්‍රීඩාවේ නිරතව සිටි කාලයේදී වැඩි දස්කම් නොපෙන්වූවත් ඉන්දියාවේ තමිල්නාඩුවේ උපන් 47 හැවිරිදි මේ විනිසුරුවරයා අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් මීට වසර 7කට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොඳම සාමාජිකයන් 25 දෙනාගේ විනිසුරු ලැයිස්තුවට එක්වීමට වාසනාවන්ත විය.

ජෙයරාමන් මදන්ගෝපාල් නිතරම කියන්නේ ක්‍රීඩකයකු ලෙස කටයුතු කර තිබීම විනිසුරුවරයකුට කෙතරම් වැදගත්දැයි කියාය. ක්‍රීඩකයා සිරුරෙන් කියා පාන අදහස (body language) වඩා හොඳින් අවබෝධ කරගැනීමට එය මනා පිටුවහලක් වන බවය. දැන් පෙනෙන හැටියට සිදු වී ඇත්තේ ඔහු පැතුම් නිශ්ශංකගේ ‘ශාරිරික භාෂාව‘ ඕනෑවට වැඩියෙන් කියවන්නට යෑම බවය.

පැතුම්ගේ දැවීයෑම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ආන්දෝලනයකට තුඩු දුන්නේය. දෙස් විදෙස් පත්තර පිටු වැඩි හරියක්ම වෙන් කළේ ඔහුගේ දැවී යෑම කෙතරම් දුරට සාධාරණ අයුරින් සිදුවූයේදැයි කියාය. විද්‍යුත් මාධ්‍ය එම දැවී යෑමේ සිදුවීම යළි යළිත් වීඩියෝ පුනරූපන විකාශය කරමින් විනිසුරු ජෙයරාමන්ගේ පතුරු හැරියේය. ඔහුගේ වරද ගැන පුන පුනා කතාබහට ලක් වූ සමාජ මාධ්‍ය ජාලයේ වැඩිපුරම ප්‍රතිචාර ලැබූ පෝස්ටු බවට ද පත් විය.

එහෙත් මේ අයුක්ති සහගත තීරණය දුන් ජෙයරාමන්ගේ ක්‍රීඩා පැටිකිරිය ගැන කතාබහට ලක් වූයේ අල්ප වශයෙනි. සැබැවින්ම ඔහු ක්‍රීඩා කර ඇත්තේ පළමුපෙළ තරග 33කට සහ ‘ඒ‘ කාණ්ඩයේ තරග 37කට පමණි. ඔහු එම සමස්ත තරග 70දී ශතක 3ක් හැරෙන්නට අර්ධ ශතක 21ක් රැස් කර ඇති අතර, අවසන් වරට පළමුපෙළ තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2007දිය. 2004 වසරෙන් පසු ‘ඒ‘ කාණ්ඩයේ තරගයට ද ක්‍රීඩා කර නැත.

වැඩි අවධානය දිනාගන්නා කාරණාව වන්නේ පැතුම් නිශ්ශංකට වැරදි තීන්දුවක් දී ශ්‍රී ලාංකිකයන් අතර උදහසට ලක් වූ මේ විනිසුරුවරයා ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කර තිබීමය. වසර 2004-2005 මෙරට අන්තර් සමාජ ක්‍රිකට් තරගවාරයේදිත්, 2006-2007 තරගවාරයේදිත් ඔහු ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තරග බිමට එක් වූ අතර, ඔහුගේ අවසන් වරට පළමුපෙළ තරගයකට ක්‍රීඩා කිරීමත්, අවසන් වරට ‘ඒ‘ කාණ්ඩයේ තරගයකට ක්‍රීඩා කිරීමත් දෙකම සිදු වූයේ ශ්‍රී ලංකා භූමියේදී ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරමිනි.

මෙරට ක්‍රීඩා සමාජ තරග බිමේ සිය පළමු තරග වාරයේදී තරමක් දස්කම් අතට සිටි ජෙයරාමන් 2004 අගෝස්තුවේ එස්එස්සී පිලට එරෙහිව පැවැති එක්දින තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් පිලට අර්ධ ශතකයකින් දායකත්වය ලබාදීම කැපී පෙනේ. ද්‍රවිඩ සංගම් පිල එවර රංග ඩයස්ගේ නායකත්වයෙන් තරග වැදුණු අතර, එම තරගයේදී නොදැවී ලකුණු 74ක් රැස් කළ පරාජිත එස්එස්සී පිලේ නායකයා වූ හේමන්ත වික්‍රමරත්න මෙදා ජෙයරාමන් ඩුබායි පිටියේදී පැතුම් නිශ්ශංකට වැරදි දැවීයෑමක් දෙන විට ශ්‍රී ලංකා පිලේ තරග සංචාර තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ක්‍රීඩා විවේකාගාරයේ සිට එහි සාක්ෂිකරුවකු බවට පත්වීම දෛවයේ සරදමකි.

2007 තරග වාරයේදී ජෙයරාම්ගේ අවසන් පළමුපෙළ තරගය වන්නේ සීසීසී පිලට එරෙහිව සරා ඕවල් පිටියේ පැවැති තුන්දින තරගයයි. සීසීසී පිල කඩුලු 5ක ජය ලැබූ එම තරගයේ පළමු ඉනිමේදී ජෙයරාමන් මදන්ගෝපාල් රැස් කළේ එක් ලකුණක් පමණි. දෙවැනි ඉනිමේ දැවී ගියේ ලකුණක්වත් ගන්නට පෙරය. ඔහු සමග එම තරගයට ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩක ලංකා ද සිල්වා නම් කියන්නේ ජෙයරාමන් දඟපන්දුවට බය පිතිකරුවකු බවය. ඔහු නැවත චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ අසාර්ථක එම තරගවාරය නිමා වීමටත් පෙර බවත් වාර්තා වේ. ඒ වෙද්දී පැතුම් නිශ්ශංකට අවුරුදු 8කි.

 

Comments