
ලංකා ආර්ථිකයට අභ්‍යන්තරිකව සහ බාහිර වශයෙන් අභියෝගාත්මක හා අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි. එමඟින් අපේ රටේ පවතින ආර්ථික අර්බුදයට පැතිකඩ කිහිපයකින් සුබවාදී පිළිතුරක් සැපැයීමට අවකාශය උදාවෙයි. පවතින අර්බුද විසඳීමට තරම් මේ ලැබීමට නියමිත ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් නොවුවත්; IMF එකඟාවයන් හරහා මෙරටට වක්‍රාකාරයෙන් වෙනත් වැදගත් ප්‍රතිඵල රැසක් හිමිවෙයි. රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳ නිර්දේශයන් මෙන්ම මනා විනයක් සහිතව ආර්ථික හැසිරවීමේ ඉඩකඩ මෙමඟින් හිමිවෙයි. එසේම මේ මුදල එක්වරම නොවූණත් අදියර කිහිපයක් යටතේ හිමිවෙයි. එහිදී අපේ රටේ ආර්ථික කළමනාකරණය මැනවින් සිදුනොවුවහොත් මේ ණය ඉදිරියේදී ලබාදීම් අත්හිටුවීමට ඉඩ ඇත. ඒ සම්බන්ධව අපි මනාකළමනාකරණයක් ඇති කර ගැනීමට වග බලාගත යුතුය.
වත්මන් අර්බුදකාරී තත්ත්වය මෙතෙක් පැවතියේ කිනම් තැනකින් විසදීමට උත්සහා කළද එය සෑම අතින්ම පාහේ එකිනෙකට බද්ධව පවතී. එක් අර්බුදයක් විසඳා ගැනීමේදී එය තවත් තැනකට අයහපත් ලෙස බලපෑම් කරයි. උදාහරණයක් ලෙස, ආනයන සීමා කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ක්‍රියා කරන විට, එය දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය සහ සේවා අංශය සඳහා අයහපත් ලෙස බලපායි. සමහර විට අපනයනයට මෙන්ම, විදේශවල අධ්‍යාපනය ලබන සිසුන්ට ද අයපත් ලෙස බලපායි.
අපේ රටට නිදහස ලැබීමෙන් පසුව වර්තමානයට නොගැලපෙන යල්පැනගිය හෝ දෘෂ්ටිමය මතවාද පදනම් කරගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් බිහි කිරීම, අධික සේවක පිරිසක් බඳවාගැනීම, ඉතා සාර්ථක පුද්ගල ව්‍යාපාර ජනසතු කිරීම විදේශ ආයෝජන පලවා හැරීම, අධි සුබසාධන ප්‍රතිපත්ති, නියමිත කාර්යභාරයක් නැති රාජ්‍ය නිලධාරීන් පත්කිරීම, නාස්තිය, දුෂණය ආර්ථිකයකට ඔරොත්තු නොදුණි. වර්තමානයේ මෙරට මුහුණ දී ඇත්තේ මෙකී නොකී කාර්යයන්හි අයහ පත් ප්‍රතිවිපාකය. මෙකී දුෂ්කර පරිසරයක් නිර්මාණය වීම පිළිබඳ සියලු දෙනා අඩු-වැඩි වශයෙන් වග කිව යුතුය.
පසුගියදා මේ වාතාවරණය මැද රජය අතුරු අයවැයක් ඉදිරිපත් කළේය. එය පවතින ආර්ථික දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමේ හාස්කමක් නොවේ. අතුරු අය වැයේ සාර්ව මූල්‍ය රාමුව යටතේ යටතේ මධ්‍ය කාලීනව රාජ්‍ය අදායම ඉහළ නැංවීමටත්, රාජ්‍ය වියදම් අඩුකිරීමටත් බලාපොරොත්තු වෙයි. එසේම රාජ්‍ය අංශයේ ණයද මීට සමගාමිව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 නොඉක්මවන මට්ටමකට අඩු කිරීමටත්, උද්ධමනය ඉලක්ක මට්ටමට යළි ගෙන ඒමටත් අපේක්ෂා කරයි. පොලී අනුපාත ද ක්‍රමයෙන් මධ්‍යස්ථ මට්ටමකට ගෙන ඒමට අපේක්ෂා කරයි. එසේම සාර්ව ආර්ථීක විශ්වාසය යළි ස්ථාපිත වූ පසු සහ විදේශ මූල්‍යකරණය හරහා විදේශ විනිමය සංචිත නැවත පිරවීමෙන් පසු විනිමය අනුපාතිකය මත ඇති වන අහිතකර පීඩනය ද අඩු කිරීමට බලාපොරොත්තු වෙයි. ආර්ථික වර්ධනය සියයට 5 දක්වා නැවත ගෙන ඒමටද අපේක්ෂා කරයි.
සමහර බදු වැඩි කිරීම, ආදායම ඉහළ නැංවීම සඳහා බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සහ බදු වළක්වා ගැනීම වැළැක්වීම සඳහා බදු පරිපාලනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතුය. වයස අවුරුදු 18 ට වැඩි සියලුම පදිංචිකරුවන් සඳහා ඔවුන්ගේ වාර්ෂික ආදායම සහ බදු රහිත සීමාවන් සැලකිල්ලට නොගෙන අනිවාර්ය බදු ලියාපදිංචිය හඳුන්වා දීම ද අයවැයේ අපේක්ෂාවකි.
මෙවැනි යෝජනා බොහොමයක් පසුගිය කාලයේ නැවත නැවතත් අයවැය කතාවල අවධාරණය කර ඇත. බොහෝ අය වැය යෝජනා පසුගිය කාලයේ ලියකියවිලිවලට පමණක් සීමාවිය. ඇමරිකාවේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් වකවානුවේ ක්‍රියාත්මක කළ දින සියයේ වැඩසටහන වැනි කාල රාමුවක් රටට අවශ්‍යයි. යහපාලනය යටතේ රූස්වෙල්ට් අනුකරණයට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. එය පාඩමක් ලෙස සලකා මනා කාල රාමුවක් සකසා ක්‍රියා කළ යුතුය. වක්‍ර බදු අවධාරණය කරනවාට වඩා රටේ සෘජු බදු ප්‍රශ්න විසඳීමට නිසි යාන්ත්‍රණයක් අවශ්‍යයි. එසේ නැතිනම් බදු බර දුප්පතුන් මත පතිත වෙයි. අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට අනිවාර්ය බදු ලියාපදිංචිය හඳුන්වා දීම කාලෝචිත පියවරකි.
මේ වන විට ප්‍රධාන අභියෝගයක් වන්නේ එක්වරම රජයේ ආදායම වැඩි කර ගැනීම සිදු කරන්නේ කෙසේ ද යන්නයි. ඒ සමඟම රජයේ වියදම් සීමා කරමින් පාලනය කර ගැනීමේ අසීරුතාව මතු වී ඇත. එසේ නම් වසරින් වසර අඩු වෙමින් පැවැති රජයේ ආදායම් නැවත ඉහළ නංවා ගැනීමට බදු ප්‍රතිපත්ති, බදු අනුපාත ඉහළ දැමීමක් සිදු කළ යුතුයි. එමෙන්ම බදු අය කිරීමේ ක්‍රමවේදය පවතින අඩුපාඩු මකා දමා, මනා කළමනාකාරිත්වයක් සහ පාලනයක් සහිතව බදු අය කිරීම සිදු කිරීමට පියවර ගත යුතුයි. මෙහිදී රජයට ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වෙයි.
රාජ්‍ය වියදම් අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම සඳහා එක්සත් ජනපදයේ මෙන් පරීක්ෂක ජනරාල්වරෙයකු පත්කිරීමට යෝජනා කරයි. ඔහු රාජ්‍ය ආයතනවල වංචා, නාස්තිය සහ අපයෝජනයන් හඳුනාගෙන ඒවා වළක්වාලමින් රජයේ අවංකභාවය ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව නිරත වනු ඇතැයි බලාපොරත්තු වෙයි.
අයවැයෙන් දක්වන ප්‍රතිසංස්කරණවල තවත් එක් තීරණාත්මක යෝජනාවක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ප්‍රතිසංස්කරණයයි. බොහෝ රාජ්‍ය ව්‍යවසායන් දේශපාලකයන්, පරිපාලන නිලධාරීන්, හා සේවකයන්ද නිසාද රට පරිහානියට පත්විය. ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් ප්‍රමාද වැඩිය
නව මහ බැංකු පනතක් මඟින් රටේ මුදල් අංශය ශක්තිමත් කිරීමට බලාපොරොතු වෙයි. මීට පෙරද මෙවැනි උත්සහයක් දරා ඇත. මේ යෝජනාව අවසානයක් දක්වා ගෙන යායුතුය.
අය-වැයෙන් දක්වන මාසික සමෘද්ධි දීමනාව වැඩිකිරීම, ගැබිණි මවුවරුන් සඳහා දීමනාව, ආහාර අනාරක්ෂිත පවුල් සඳහා සහනයක් දීම වැනි සහනාධාර වැදගත් යෝජනා වෙයි. සමහර සහනාධාරවල අවසාන ඉලක්කයක් නැත. මේනිසා යැපුම් මානසිකත්වය දිගින් දිගටම වර්ධනය වෙයි. මෙවැනි දේ කළ යුත්තේ තර්කානුකූල පදනමක් මත සුදුස්සන්ට පමණකි. එමෙන් ඉලක්ක සහගතව යම් කාලසීමාවකට යටත්ව මේ සුබසාධනය ලබාදිය යුතුයි.
ලෝකය හතර වැනි කාර්මික විප්ලවය හරහා දැනට ගමන් කරයි. අපේ රටේ නිදහසින් පසුව තීන්දු කරගැනීම මන්දගාමී විය. අනුරාධපුර පොළොන්නරු යුගවල මෙන් වී වගාවෙන් කෘෂිකර්මාන්තයෙන් පමණක් රට දියුණු කළ හැකියැයි සීතීම මිත්‍යාවකි. මෙහිදී අදහස් කරන්නේ කෘෂිකර්මය අතුගා දැමිය යුතුයි යන්න නොවෙයි. කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන අතරතුර වැඩි අවධානයක් යොමු කළ යුත්තේ කර්මාන්ත සහ ජාත්‍යන්තර සේවා අංශවලටයි; බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට යටත් විජිතයක් බවට පත් කර ගැනීමේදී කුළුබඩු ඇත් දළ ආශ්‍රිතව විදෙස් විනිමය ලැබිණි. මේ දේවල්වලින් පමණක් රට දියුණු කළ නොහැකි බව බ්‍රිතාන්‍යයන් වටහා ගත් පසු කෝපි වගාව ආරම්භ කිරීම සිදුවිය. 1870දී ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම ඒක පුද්ගල ආදායම ලැබූ රට බවට පත්විය. ඉන් අනතුරුව තේ වගාව, මහා පරිමාණ පොල් වගාව හා රබර් වගාව ආරම්භ විය. 1920 ගණන් වනවිට යටත් විජිත පරිපාලන වාර්තා අනුව ලංකාව කාර්මිකරණය දෙසට ගමන් කළේය. 1929 දි විශාල ආර්ථික අවපාතයක් ලෝකයේම ඇති විය. පසුකාලීනව කාර්මිකරණයට අපි ප්‍රමාණවත් අවධානයක් යොමු කළ බවක් නොපෙනෙයි. ආනයන ආදේශන ලෙසින් පාඩු ලබන කර්මාන්ත ආරම්භ කිරීමෙන් ආර්ථිකය තවතවත් කඩාවැටීමට ලක්විය.
1977 පසුව ආරම්භ කළ රෙදි පිළිකර්මාන්ත ආශ්‍රිත අපනයනයන් මඟින් විදෙස් විනිමය ලැබිණි. එසේ ම විදේශ රැකියා හා සංචාරක කර්මාන්තය හරහා මුදලක් අපිට හිමිවිය. එසේ අය කර ගැනීමට නම් නිෂ්පාදන අංශ පුළුල් විය යුතුයි.
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මතුවි ඇත. ආර්ථික වර්ධන වේගයද අඩාළය. එයට හේතුව මේ අර්බුදය එකිනෙකට බැඳී පැවතීමයි. මෙය ඉතාම සූක්ෂමව ආමන්ත්‍රණය කළයුතු සංකීර්ණ ගැටලු සහගත තත්ත්වයකි. මේ සඳහා රාජ්‍ය පාලකයන්ගේ සිට මහජනතාව දක්වා වගකිව යුතුය. මූලික වශයෙන් රටක් ලෙස මේ අවස්ථාවේදී දැවෙන ප්‍රශ්න නිවා ගැනීමට කටයුතු කළ යුතුයි; අධික උද්ධමනය සමාජ, ආර්ථික විෂමතා මතු කිරීමට හේතු විය. අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය ඇති වීමට විශාල රුකුලක් විය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වගකීමෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා දැනටමත් පියවර ගණනාවක් ගෙන ඇත. එහි ප්‍රතිඵල ලැබෙන ප්‍රමාණයේ වේගය අනුව උද්ධමනය අඩුවීම සිදුවිය හැකියි. අයවැයෙන් උද්ධමනය පාලනය කිරීමට, ආර්ථික ක්‍රියාකාරකම් බලගැන්වීමට යෝජනා ඉදිරිපත් කිරීම යහපත් ක්‍රියාමාර්ගයකි. ආර්ථික අර්බුදය සමඟ ස්වයං රැකියා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බිඳවැටී ඇත. මධ්‍ය හා මහා පරිමාණ ආයතන පවත්වාගෙන යන්නේ විවිධ දුෂ්කරතා මධ්‍යයේය. මේ නිසා විරැකියා නිර්මාණය වී තිබිණි.
රජයට සහය වීම සඳහා අලුතින් උපායමාර්ගික වැඩපිළිවෙළක් යෝජනා කළ යුතුයි. මෙහිදී ජාත්‍යන්තර ආයතන වන එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතන, ද්විපාර්ශ්වීය මූලාශ්‍රය මඟින්, අවශ්‍ය සම්පත් සංචලණය කර ගැනීම සඳහා ඵලදායි සාකච්ඡාවක් පැවැත්විය යුතුයි. මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම හරහා අපිට ආධාර ලබාගත හැකි ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අනෙකුත් ද්වීපාර්ශ්වීය ආයතනවලින් තව ආධාර සහ අවකාශ හිමිවීමට ඉඩ ඇත. ඒ සමඟම ජාතික සහ අන්තර්ජාතික ව්‍යාපාර මෙරටේ ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය ඉහළ යයි. විදෙස් ආයෝජන විදේශ ඍජු ආයෝජන ගලා ඒමේ අවකාශයද ඇතිවිය හැකියි. ජාත්‍යන්තර තලයේ ශ්‍රේණිගත කිරීම්වලදී ඉදිරියේදී යහපත් ලෙස බලපෑම් කළ හැකියි. එසේම රුපියලේ අගය අඩුවීම ඉහළ නැංවීමට මෙමගින් අවකාශය හිමිවෙයි.
අපට ඉතිහාසයෙන් පාඩම් රැසක් උගත හැකිය. ඒවා අතර ස්වයං පෝෂිත ආර්ථිකය යන්න අතීතයට අයත් වුවකි. ආණ්ඩුවට ව්‍යාපාර කළ නොහැකිය. රටට විශාල රාජ්‍ය සේවකයින් පිරිසක් නඩත්තු කළ නොහැකිය, රටේ සියල්ලන්ට සුබසාධන සහන දිය නොහැකිය, නාස්තිය, වංචා හා දුෂණ ආර්ථිකයට ඔරොත්තු නොදෙයි, මුදල් මුද්‍රණයෙන් උද්ධමනයක් ඇතිවෙයි, පෙරමෙන් විදේශ පරිත්‍යාග දැන් ලැබෙන්නේ නැත, විදේශ ණය ගත හැකි සීමාවක් ද ඇත. ආණ්ඩුවට බදු අදායම් ලැබෙන්නේ පුද්ගලික අංශයෙනි, වක්‍ර බදුවලට සීමාවක් ඇත, විදේශ ආයෝජන අත්‍යවශ්‍ය වෙයි, වෙළඳ පොළ මිලට වඩා අඩුවෙන් භාණ්ඩ හා සේවා මිළ තබා ගැනීම ආර්ථිකයට අහිතකරය. වෘත්තිකයන් හා සුදුසුකම් ඇති අය රජයේ තනතුරුවලට පත් කළ යුතුය, ආනයන සිමාවන් දිගට තබා ගත නොහැක, ආණ්ඩුවට ණය ගත හැකි සීමාවක් ඇත, මේ සියල්ල වටහාගෙන සියලු දෙනා රට ගොඩනැඟීමට වෙහෙස වී වැඩකළ යුතුය.