
- දේශීයත්වයට, ජාතිකත්වයට මම ලැදි වුණේ ආනන්දය නිසා
- ආදර්ශය කියන එක මගේ ජීවිතයෙන්ම පේන්න දුන්නා
- සමහර වෙලාවට අපි කම්කරුවන් කරන වැඩත් කළා
- ශ්රමයට සරිලන වැටුප හා වැටුපට සරිලන ශ්‍රමය දෙකම තියෙන්න ඕනෑ
- සුදු අඳින එක මට පුරුද්දකට ගියා
ඔහු නිරන්තර දේශීය නිෂ්පාදන ක්ෂේත්රය වර්ධනය කරන්නේ කෙසේද යන්න ගැන අවධාරණය කරන්නෙකි. ඒවා සඳහා විවිධ මාර්ග සොයන්නෙකි. සංයමයෙන් හා නායකත්වයෙන් යුතු ව සිය අරමුණු සාධනය සඳහා ගමන් කරන්නෙකි. නමින් සිතේන්ද්‍ර සේනාරත්න වෙන ඔහු මේ වනවිට සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂවරයා ය. DI නාමය කියූ සැණින් හඳුනන සන්නාමයක් වෙන්නේ ඔහුගේ වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙසිනි.
සමාගම් රැසක විධායක අධ්යක්ෂ ධූර හා සභාපති ධූර හෙබවූ ඔහු රබර් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සිය ජීවිත කාලයෙන් අඩක් ගත කෙරූවෙකි. කොළඹ ආනන්දයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ආනන්දයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාද වූයේය. පසුව ඔහු ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරය ද දැරුවේ ය.
සම්පූර්ණ නම- සිද්ධ ශ්‍රී සිතේන්ද්‍ර සේනාරත්න
හැදී වැඩුණු ගම්පළාත
මම උපදින්නේ කොළඹ. නමුත් මගේ ගම බෙන්තර
ඔබේ උපන්දිනය
1954 අප්‍රේල් 01 වැනිදා
අම්මා තාත්තා ගැන විස්තර කොහොමද
මගේ තාත්තා ඩග්ලස් ස්ටැන්ලි සේනාරත්න. අම්මාගෙ නම බ්‍රියට්‍රිස් විනීතා. තාත්තා රැකියාව වශයෙන් කළේ කාසන්ස් සමාගමේ බෙන්තර ගෘප් එකේ වතු කළමනාකාරවරකු ලෙස. මට සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා.
පාසල් යන්නේ
මූලිකවම අකුරු කියෙව්වෙ බෙන්තර වනවාසල පිරිවෙනේ. ඊට පස්සෙ මම බාලාංශ පන්තියෙ ඉඳන් උසස්පෙළ දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ.
පාසලේ බාහිර වැඩ කළාද?
පාසල් ජීවිතේ මම අධ්‍යාපන කටයුතුවලට වගේම විෂයය බාහිර කටයුතුවලටත් යොමු වුණා. මම අධීක්ෂක ශිෂ්‍ය විධායකවරයෙක්. ඒ වගේම විද්‍යා සමිතියේ, විවාද කණ්ඩායමේ, සාහිත්‍ය සංගමයේ කටයුතු කළා.
මේ සියලු වැඩ කරද්දි අධ්‍යාපන වැඩවලට බාධාවක් වුණේ නැද්ද
මම ඇත්තටම පාසලේ අතිදක්ෂ ශිෂ්‍යයෙක් නම් නොවෙයි. නමුත් සාමාන්‍ය ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගත්තා.
බෙන්තර ඉන්න ඔබ කොහොමද කොළඹ ආනන්දෙට එන්නෙ
මගේ පියාත්, පියාගේ පියා ඒ කියන්නෙ සීයාත් කොළඹ ආනන්දෙ. ඒ නිසා අපේ තාත්තට ලොකු උවමනාවක් තිබුණා මාව කොළඹ ආනන්දෙට යවන්න.
උසස්පෙළට කුමන විෂයය ක්ෂේත්රයෙන් ද පෙනී සිටියෙ
ගණිත අංශයෙන්. මට විශ්වවිද්‍යාලෙ යන්න සුදුසුකම් මදි වුණා
කොහොමද වෘත්තීය සුදුසුකම් හදා ගන්නෙ
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලෙ කටුබැද්ද ශාඛාවෙ කොළඹ මණ්ඩපයේ රබර් තාක්ෂණික විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවා
ඉංජිනේරුවරයෙක් වෙන්න සිහින දකින ඔබ කොහොමද මේ ක්ෂේත්රයට යොමු වෙන්නෙ
මගේ පියාත් රබර් වගාව සම්බන්ධ වතු කළමනාකරුවෙක්. මට පොඩි කාලෙ ඉඳලම රබර් ගැන විශේෂ කැමැත්තක් කෙසේ වෙතත් ඒ ගැන පොඩි උනන්දුවක් තිබුණා.
මම දැකලා තිබුණා ලංකාවේ අමු රබර් හදනවා. ඒවා අපනයනය කරනවා. ඒත් ඒ කාලෙ රබර් සම්බන්ධ නිෂ්පාදන අඩුයි. මම මේ කියන්නෙ 1970 වගේ කාලය ගැන. රබර් තාක්ෂණික අංශයෙන් මම ඉහළට ඉගෙන ගත්තොත් මොනවා හරි ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවා.
ඒ කියන්නෙ ඔබට අවශ්‍යතාව තිබුණා දේශීය කර්මාන්ත දියුණු කිරීම ගැන
පැහැදිලි ව ම ඔව්. මගේ පාසලේ නිතරම ඉගැන්වුවේ දේශීයත්වය හා ජාතිකත්වය ගැන.
මොකද්ද පළමු වෘත්තිය
ඩිප්ලෝමාව සම්පූර්ණ කළාට පස්සෙ සී. ඩබ්ලිව් මැකී සමාගමේ නුපුහුණු විධායක නිෂ්පාදකයකු ලෙස මම බැඳුණා. සී. ඩබ්ලිව් මැකී සමාගම කියන්නෙ ලංකාවේ ප්‍රධානම පොල් හා රබර් නිෂ්පාදන සම්ප්‍රදායි නොවන භාණ්ඩ අපනයන ජාතික සමාගමක්.
සී. ඩබ්ලිව් මැකී සමාගම ඒ කාලෙ විශාල ම කුට්ටි රබර් ශාලාව හදාගෙන යන කාලෙ. ඒකෙ තමයි මම මුලින් ම රස්සාවට ගියේ
මොනවද කරන්න සිදු වුණු කාර්යයන්
ඒ කාලෙ කර්මාන්ත ශාලාව හදාගෙන යන කාලෙ. කරු ජයසූරිය මහතාගේ යටතේ තමයි කර්මාන්ත ශාලාවෙ වැඩ කෙරුණෙ. එතුමා කළමනාකාර අධ්යක්ෂ වශයෙන් හිටියෙ. එයාට හැම දෙයක් ම වෙලාවට ඉක්මනින් කරන්න ඕන. ඉතින් එක පැත්තක කර්මාන්ත ශාලාව හදනවා; අනෙක් පැත්තෙ නිෂ්පාදන කටයුතු කරනවා. ඉතින් අපිට ලොකු පහසුකම් තිබුණෙ නෑ. ඒ වුණාට මේ වගේ තැනක වැඩ කරන එක ගැන ලොකු සන්තෝෂයක් තිබුණා. විදේශ විනිමය ලබාගැනීම සඳහානෙ මේ කර්මාන්ත ශාලාව හැදුවෙ. අපි ගොඩක් කැපවීමෙන් ඒ අරමුණට යන්න වැඩ කළා. පසුකාලීන ව දිනකට ටොන් අසූව වගේ අපනයන කරන්නත් පටන් ගත්තා.
පැවරෙන රාජකාරී සතුටෙන් ද කළේ.
අනිවාර්යයෙන්. සමහර වෙලාවට අපි කම්කරුවන් කරන වැඩත් කළා. ඒත් කිසි දවසක අපි ඒවා අඩුවෙන් තක්සේරු කළේ නෑ. හැම දෙයක් ම කළේ කණ්ඩායම් හැඟීමෙන් හා සතුටෙන්.
අපිට අපේ කළමනාකාර අධ්යක්ෂ කරු ජයසූරිය මහතා නිවැරදි මඟ පෙන්වීමක් කළා. වැඩ කරවන කෙනෙක් නොවෙයි; වැඩවලට නිවැරදිව යොමු කරන කෙනෙක් එතුමා. අපි හරි සතුටෙන් වැඩ කළේ.
නුපුහුණු විධායක නිෂ්පාදකගෙන් පස්සෙ කොහොමද ඔබ ඉදිරියට යන්නෙ.
මට දවසක් මූලස්ථානයෙන් පණිවිඩයක් ලැබුණා එන්න කියලා.
මාත් එක්ක අධ්යක්ෂතුමා හොඳින් කතා කරලා මාව කොළඹට මාරු කරන්න හිතන් ඉන්න බව කිව්වා. ඒ වගේම මම අවබෝධ කරගෙන ඉන්නවා නිෂ්පාදන අංශය වැදගත් වගේ ම අලෙවි කළමනාකාර අංශයේ ලංකාවේ අලෙවි ප්‍රවර්ධනය සම්බන්ධ අංශයට ඔබව යොමු කරන්න කියලත් කිව්වා. එතැන දක්ෂතා දක්වන්න පුළුවන්. ලබන මාසෙ මුල ඉඳල එතැනට යන්න කිව්වා.
ඒ අනුව මම එතැන අපනයන අංශයට සම්බන්ධ වුණා. අනතුරුව මම රබර් ගන්න නිලධාරියා බවට පත්වුණා. මම තමයි එතැන රබර් ගන්නා ළාබාලම නිලධාරියා. පසුව මම එතැන කළමනාකරු වුණා ටික කලකදී. සමාගමේ පාලන කටයුතු කළ සමාගමේ අධ්යක්ෂවරයෙක් දක්වා මට ටිකෙන් ටික උසස් වීම් ලැබුණා.
එතැනින් පටන් ගන්න ඔබ විවිධ ආයතනවලට සම්බන්ධ වෙනවා. වර්තමානයේ ඔබ පාවහන් සම්බන්ධ ආයතනයකටයි සම්බන්ධව කටයුතු කරන්නෙ
සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් සමාගමේ මම ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂ ලෙසයි කටයුතු කරන්නෙ. අපි මුලින් ම කළේ බ්‍රිතාන්‍යයට පාවහන් නිෂ්පාදනය කිරීම. එදා සිට අද දක්වා අපි හමුදාවලට සපත්තු ලබාදෙනවා.
සංග්‍රාමික සපත්තු, බෝම්බවලට ඔරොත්තු දෙන සපත්තු, වැඩිහිටියන්ට, දියවැඩියා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න සපත්තු, කුඩා දරුවන්ගේ සපත්තු ආදී විශේෂිත සපත්තු අපි හදනවා. අපි යොදා ගන්නෙ නියම සම්. උසස් තත්ත්වයේ නිෂ්පාදනයි අපි කරන්නෙ.
සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් සමාගම තමයි 1967 වසරේදී පළමුවෙන්ම පාවහන් තොගයක් අපනයනය කළේ. රුසියාවේ Razanoe Import Export සමාගමටයි ඒ පාවහන් තොගය යැව්වෙ. ඒ වගේම සෙරෙප්පු තොගයක් 1969 චෙකොස්ලෝවැකියාවටත් අපනයනය කළා.
ඔබ පාසලේ සමවාදී ශිෂ්‍ය සංගමේ පළමු ලේකම්වරයා. දිගටම දේශපාලන කටයුතු නොකළේ ඇයි?
මට පසුකාලීනව දේශපාලනය ගැන පැහැදීමක් තිබුණෙ නෑ. දැන් කෙරෙන නොයෙක් වැඩ දිහා බැලුවම මට මේක ගැළපෙන්නෙ නෑ කියන එක මට තේරුණා. ඊට වඩා රටේ නිෂ්පාදන ආර්ථිකයට වැඩක් කරන එක හොඳයි කියලා මට හිතුණා.
හැබැයි ඔබේ පාසල් මිත්‍රයන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවා.
රන්ජිත් මද්දුම බණ්ඩාර, ඉමිටියාස් බාකිර් මාකර් වගේ මගේ පාසල් මිත්‍රයන් එක්ක තාමත් මගේ සම්බන්ධය ඒ ආකාරයෙන් ම තියෙනවා. රාජිත සේනාරත්න, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර මේ අයත් මගේ පාසල් මිත්‍රයන්.
ඔබ අඳින්නෙ සුදු පැහැති ඇඳුම්. මොකද්ද විශේෂත්වය
මම ඉස්කෝලෙ යන කාලෙ විශේෂයෙන් ආනන්දෙ සුදු ම තමයි ඇන්දෙ. සී. ඩබ්ලිව්. මැකී සමාගම බහුජාතික සමාගමක්. ඒකෙ අනිවාර්යයෙන් සුදු අඳින්න ඕන. සුදු අඳින එක මට පුරුද්දකට ගියා.
ඔබ විවාහ වෙන්නෙ ලංකාවේ දේශපාලනය ගැන කතා කරද්දි අමතක කරන්න බැරි චරිතයක් වෙන ජිනදාස නියතපාලයන්ගෙ දියණිය සමඟ
ඔව්.
ඇය උසිත් නියතපාල. මගේ සාර්ථකත්වයේ රහස ඇය. ඇය මුළුමනින්ම ගෙදර වැඩවලින් මාව නිදහස් කළා. මට සහයෝගය දුන්නා.
මගේ පුතා සහ දියණිය හොඳට අධ්‍යාපන කටයුුතු නිමා කරලා මේ වෙනකොට විධායක ශ්‍රේණියේ රැකියාවල නිරත වෙනවා.
ඊට අමතරව මොනවද ඔබේ සාර්ථකත්වයේ රහස්
වෙලාවට වැඩකරන එක සහ කරන වැඩේ නිසියාකාරව කරන එක ගැන මම හරියට උනන්දු වෙනවා.
පළමු දේ තමන්ට තමන් අවංක වීම. තමන්ගෙ හෘදය සාක්ෂියට අවංක වෙන්න ඕන. අපි හැම දෙනෙක්ම අයිතිවාසිකම් ගැන කතා කළාට ගොඩක් වෙලාවට අපෙන් වෙන්න ඕන යුතුකම් ගැන කතාවක් නැහැ. ශ්රමයට සරිලන වැටුපක් සහ වැටුපට සරිලන ශ්‍රමයක් කියන දේ අපි හැමවිටම හිතන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන්න ඕන. මම මගේ සේවකයන්ට ආදර්ශයක් වුණා. එයාලට මම කියන දේවල් මගේ ජිවිතයෙන් පේන්න දුන්නා.
කොහොමද ජීවිතේ තව කෙනකුට තියෙන ආදර්ශ
මම ජීවත්වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන්. මේ මොහොතේ සතුට වැදගත්. මේ මොහොතේ සිහිය වැදගත්.
ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය මොනවාද?
ආනන්දයේ මගේ ජීවිතේ හැඩ ගැහෙන්න බලපෑ ප්‍රධාන ම තැන. දේශීයත්වයට, ජාතකත්වයට මම ලැදි වුණේ ඒ නිසා. සී. ඩබ්ලිව් මැකී සමාගමට සම්බන්ධ වීමත් ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.
හැරිලා බලද්දි ජීවිතේ පසුතැවෙන තැන් තියෙනවාද?
මගේ ජීවිතේ මම හැම දෙයක්ම ගන්නෙ අත්දැකීමක් විදියට. මට වැරදුණු හේතුව මම කොහොමද හදාගන්නෙ කියලා හිතනවා. ඒ නිසා මට පසුතැවීම් නෑ. වැරදුණු තැන් හදාගනිමින් තමයි මම ගමන යන්නෙ
තවමත් ආනන්දෙ වැඩවලට නිතර සහභාගී වෙනවා අපි දකිනවා.
ආනන්දෙ කියන්නෙ මගේ පවුල වගේ එකක්. මම හැම දෙයක්ම, හැම හැඩගැසීමක් ම ලබාගත්තෙ ආනන්දෙන්. අධ්‍යාපනය හා ආදර්ශය කියන දෙකම දුන්නා. මට පුළුවන් හැම වෙලාවටම ආදි ශිෂ්‍යයෙක් හැටියට පාසලේ වැඩවලට සම්බන්ධ වෙනවා. මම ආනන්දීයෙක් වීම ගැන ආඩම්බර වෙන කෙනෙක්. මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම මගේ පාසල වෙනුවෙන් කරනවා.
සාමාන්‍යයෙන් පොත් කියවනවද?
ඔව්. මම පොත් කියවන්න ඉතාමත් කැමතියි. නවකතා, කෙටිකතා, චරිත කතා, විෂයානුබද්ධ කතා මේ හැම දෙයක් ම මම කියවනවා. මට දවසේ පත්තර ටික කියෙව්වෙ නැත්නම් දවස සම්පූර්ණ නෑ වගේ. කියවන්න ගොඩක් ආසයි. මම පොත් මිලදී ගන්නවා නිතරම. මට මගේ ගෙදර විශාල පොත් එකතුවක් තියෙනවා.
චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරයත් කලක් හෙබවූවානෙ. කොහොමද චිත්‍රපට ගැන තියෙන උනන්දුව
මම පොඩි කාලෙ ඉඳලම චිත්‍රපට බලන්න ආසයි. ඒක දන්න නිසා තමයි රන්ජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා මාව චිත්‍රපට සංස්ථාවෙ සභාපති කළෙත්. නිතරම චිත්‍රපට බලන්න කැමැතියි. දැන් කියලත් වෙනසක් නැහැ.
විවේක වෙලාවට මොනවද කරන්නෙ
නිදහස මට හරි අඩුයි. පුළුවන් වෙලාවට මම කරන්නෙ පොතක් කියවන එක. සමහර වෙලාවට මම නිකම් ම නිස්කලංකව නිහඬ තැනකට වෙලා ඉන්නවා.
සංචාරය කරන්න කැමැති මොනවගේ පළාත්වලද?
මම කැමැතියි කන්ද උඩරටට. සීතල පසුබිම හා නැවුම් වාතාශ්‍රය නිසා.
බ්‍රෑන්ඩඩ් දේවල් ද පාවිච්චි කරන්නෙ.
ගොඩක් වෙලාවට දේශීය දේවල්. සමහර බ්‍රෑන්ඩඩ් දේවල් මට මගේ යාළුවො දීපුවා. ඒවත් මම පාවිච්චි කරනවා.
අනාගත පරම්පරාවට කියන්න තියෙන දෙයක් තියෙනවාද?
චෝදනා කර කර ඉන්නෙ නැතිව වැඩ කරන්න. අපි හැමෝම මහන්සි වෙලා වැඩ කරන්න ඕන. ඒක තමයි ඉදිරියට යන්න තියෙන හොඳම පාර. දේශීය නිෂ්පාදන හදන්න උත්සාහ කරන්න ඕන. යම් යම් දේවල් ලබාගන්න අපි මහන්සි වෙන්න ඕන. සුදුසුකම් හදාගන්න ඕන. මේ දේවල් කරනවා නම් අපිට දියුණු වෙන්න අපහසු නෑ.