ජන සහන රැසක් සමඟ කරළියට ආ අතුරු අය­-වැය | සිළුමිණ

ජන සහන රැසක් සමඟ කරළියට ආ අතුරු අය­-වැය

 ලංකා ආර්ථිකයේ දරුණුම කඩා වැටීමක් සිදු වූ කාල පරිච්ඡේදයක් අප ගෙවමින් සිටියි. එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සුබදායී ප්‍රවේශයකට අවතීර්ණ වී සිටියි. මේ වන විට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිතය. ඒ සමඟම ආර්ථික ප්‍රවීණයින්ගේ අදහස් සැලකිල්ලට ගත් 2022 අතුරු අය-වැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

2022 වසරට අදාළව පසුගිය වසරේ ඉදිරිපත් කෙරුණු අය-වැය යෝජනා මෙම අතුරු අය-වැය මඟින් සංශෝධනයට ලක් කෙරුණු අතර, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිදුකළ යුතුම වූ ප්‍රතිසංස්කරණයන් බොහෝමයක් පැවැති බව විචාරකයන්ගේද මතයය. මෙම සංශෝධිත අය-වැය යෝජනා මඟින් රාජ්‍ය බදු ආදායම සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට පියවර ගනිද්දී ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත් වූ විවිධ ක්ෂේත්‍ර හා පාර්ශ්ව හඳුනා ගෙන එම අය සඳහා සහන ලබා දීමටද කටයුතු කර තිබීම විශේෂත්වයකි.

මෙම ආර්ථික අර්බුදයට බලපෑ එක් ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබුණේ 2020 වසරේ සිට ක්‍රියාත්මක වූ විවිධ බදු සහනයන්ය. එම බදු සහන නිසා වැට් බද්ද ලෙස හඳුන්වන එකතු කළ අගය මත බද්ද 2020 වසරේදී 8% දක්වා අඩු කරන ලදී. මෙම බදු අඩු කිරීමත් සමඟම එතෙක් රජයට ලැබුණු අති විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වී ගිය අතර රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වන්නට එය ප්‍රධාන හේතුවක් විය. මේ නිසා පසුගිය වසරේදී එම වැට් බද්ද නැවතත් 12%ක් දක්වා ඉහළ නැංවුණු අතර මෙවර ඉදිරිපත් කෙරුණු අතුරු අය-වැය යෝජනා මඟින් සැප්තැම්බර් මස පළමු වැනිදා සිට වැට් බද්ද 15%ක් දක්වා ඉහළ නංවා තිබේ. මෙලෙස වැට් බදු ඉහළ නැංවීම මඟින් රජය බලාපොරොත්තු වන්නේ 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2%‍ සිට 15%‍ දක්වා වැඩි කිරීමය. එසේම එලෙස රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම මඟින් 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ට වඩා වැඩි ප්‍රාථමික අය- වැය අතිරික්තයක් ළගා කර ගැනීමටද අපේක්ෂිතය. කෙසේ වුවත් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින ගැටලු සමීපව අධ්‍යයනය කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීමටද යෝජනා වී ඇති අතර, එය සාධනීය පියවරක් වනු ඇතැයි විශ්ලේෂකයෝ සඳහන් කරති.

මෙරට බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අතුරු අය-වැයෙන් ඉදිරිපත් වූ තවත් එක් සුවිශේෂ යෝජනාවක් වන්නේ වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු පුරවැසියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාවයය. මෙම යෝජනාව ක්‍රියාත්මක වූ විට කිසිදු භේදයකින් තොරව රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වන්නට සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවස්ථාව හිමි වනු ඇත.

දිගින් දිගටම පාඩු ලබමින් රටේ ජනතාවට බර පටවන රාජ්‍ය ආයතන හා රාජ්‍ය ව්‍යවසායන් තවදුරටත් ජනතාවට බරක් නොවන සේ ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද මෙම අතුරු අය-වැයේ තවත් සුබදායී යෝජනාවක් බවට කිසිදු සැකයක් නැත. එසේම ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීමට කටයුතු කිරීම මඟින් එම රාජ්‍ය බැංකුවල සුරක්ෂිතභාවයද තවදුරටත් තහවුරු වනු ඇත.

එපමණක් නොව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමටද මෙවර අය-වැය යෝජනා මඟින් තීරණය කෙරුණු අතර ඊට අනුව වයස අවුරුදු 60ට වැඩි සියලු සේවකයින් 2022 දෙසැම්බර් මස 31 වැනි දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීමටද බලාපොරොත්තු වේ. මෙම යෝජනාව ක්‍රියාත්මක වීමත් සමඟ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවාවන්හී නිරත බොහෝ තරුණ පිරිසකට සිය වෘත්තීන් හී ඉහළ තනතුරුවලට ඒමට හැකියාව උදා වන අතර එය රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කෙරෙන ඉතා සුබදායී පියවරකි. මේ හැර මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පහසු කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහාත් අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහාත් රාජ්‍ය ආයතන මඟින් මාර්ගගත සේවා පහසුකම් (Online) හඳුන්වා දීමද මෙම අතුරු අය-වැය යෝජනාවන් හී සඳහන් වන තවත් සුවිශේෂී කාරණාවකි.

කඩා වැටුණු ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා මෙරට කෘෂිකර්මාන්තය ඉහළට ඔසවා තබමින්, ඉදිරියේදී කිසිදු ආහාර හිඟයක් හෝ සාගතයක් ඇති නොවන තැනට වැඩ කරන්නටද මෙම අතුරු අය-වැය මඟින් යෝජනා ඉදිරිපත් වී තිබීම අගය කළ යුතු කාරණාවකි. ඒ අනුව විවිධ අපහසුතා, දුෂ්කරතා, අභියෝග මැද කෘෂිකර්මාන්තයේ නිරත වී සිටින ගොවි ජනතාවට සහන සලසමින් එම ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොලිය හැර) කපා හැරීමටද සැලසුම් සකස් වී තිබේ. මෙම සැලසුම් ක්‍රියාත්මක වූ පසු ගොවීන් 28,000කට පමණ සහන සැලසෙනු ඇත.

අතුරු අය-වැය යෝජනා මඟින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමටද යෝජනා වී ඇති අතර රජයේ ඉඩම් ඵලදායීව භාවිත කිරීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කළ යුතු බව සදහන් කර ඇත. එපමණක් නොව ඉන්ධන වියදම් ඉහළ යාම හා ප්‍රවාහන දුෂ්කරතා හමුවේ අසීරුතාවයට පත්ව සිටින උඩරට ගොවි ජනතාවට සහනයක් ලබා දෙමින් හාලිඇළ සිට කොළඹ දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ අතුරු අය-වැය මඟින් යෝජනා වී තිබේ. එම දුම්රිය ආරම්භ වූ පසු එළවළු, පලතුරු, මල් සහ තේ වගාවන් හී නිරත ගොවි ජනතාවට තම නිෂ්පාදන හා අස්වැන්න ඉතාම සාධාරණ මුදලකට අලෙවි කිරීමට හැකි වනු ඇත. මේ හැර දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ යෝජනා කීපයක්ද මෙම අතුරු අය-වැය යෝජනාවන් හී සඳහන් වන අතර ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමට යෝජනා කර ඇත. ඉදිරියේදි රජයේ ආයතන සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වාහන පමණක් මිලදි ගැනීමටත්, පොසිල ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන භාවිතය අත්හිටුවීමටත් යෝජනා කර තිබේ.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී අවධාරණය කරන ලද්දේ මෙම සියළු ක්‍රියාමාර්ගයන් හී අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරීම බවයි.

කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවීම සදහා මෙලෙස ඉතා දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරත්දී අර්බුදයෙන් පීඩාවට පත් ක්ෂේත්‍ර හා පාර්ශ්ව හඳුනාගෙන සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් කීපයක්ම හඳුන්වා දීමද මෙම අතුරු අය-වැයහී දක්නට ලැබෙන සාධනීය ලක්ෂණය. ඒ අනුව ආර්ථික අර්බුදය හමුවේ අතිශය පීඩාවට පත් සහන සැලසිය යුතු පවුල් 61,000 ක් සඳහා මසකට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට, ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබා දෙන රුපියල් 20,000/- වාර්ෂික පෝෂණ මලු සහනාධාරයට අමතරව රුපියල් 2500/= ක තවත් අතුරු දීමනාවක් ලබා දීමටද පියවර ගනු ඇත. මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 – 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීමටද තීරණය වී ඇති අතර සමෘද්ධි ආධාර ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයන් 726,000 පිරිසට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබාදීමටද මේ වන විටත් පියවර ගෙන තිබේ. තවද වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව මසකට රුපියල් 5000/- සිට රුපියල් 7500/- අතර ප්‍රමාණයකින් වැඩිකිරීමටත් එම දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට රුපියල් 5000/-ක තාවකාලික දීමනාවක් ලබාදීමටත් පියවර ගෙන ඇත.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක්, තොරතුරු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව මුල් කර ගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයන් හී ශාඛා මෙරට තුළ ස්ථාපිත කිරීමද මෙම අයවැය හරහා අපේක්ෂිතය. 2023 නව අයවැය දෙසැම්බර්යේදී ගෙන ඒමට අපේක්ෂිත අතර ඊට අලුත් බදු ප්‍රතිපත්ති ඇතුළත් විය හැකි බවට බව මේ අය වැයෙන් යම් සංඥාවක් සපයයි.

 

Comments