කලාවක් තියෙනවා නම් මම නිරුවත් වෙනවා | සිළුමිණ

කලාවක් තියෙනවා නම් මම නිරුවත් වෙනවා

එයා ඒක කරන්න එපා කියද්දී මම කරලා ඉවරයි

හුස්මත් එක්ක නිරුවත් වුණු චමත්කා ලක්මිණි වැඩිහිටියන් ට පමණයි ලේබලය යටතේ චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙනවා. පුංචි පුතෙක් හිටියත් නිර්මාණයකට කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති චමත්කා සමඟයි අද කතාබහ.

 චමත්කාව රිදී තිරයෙන් විතරද දැක ගන්න ලැබෙන්නේ..?

කලාවට එද්දී ම හිතුවා මම සම්බන්ධ වෙන්නේ චිත්‍රපට සඳහා විතරයි කියලා. නමුත් පසුගියදා ‘බ්ලැක් පූල්‘ කියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක තමයි පළමු ටෙලි නාට්‍ය වෙන්නේ. ඒ වගේම ‘වර්ණ‘ චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. ඒ දෙකටත් සම්බන්ධ වෙනවා.

 හුස්ම චිත්‍රපටයෙන් පස්සේ ඒ වගේ චරිත සඳහා පමණක් ද ආරාධනා ලැබෙන්නේ..?

‘ගිණියම් රෑ‘ චිත්‍රපටයෙන් පස්සේ නම් මට ලැබුණේ ඒ වගේ චරිත තමයි. නමුත් ඒක වෙනස් වුණා හුස්ම නිසා. බොහෝ අධ්‍යක්ෂකවරුන් තේරුම් ගත්තා මගේ පරාසය කොහොමද කියලා. ඒ නිසා දැන් විවිධ චරිත ලැබෙනවා.

 පුතෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට හිතෙන්නේ නැද්ද ඔබ කැමරාව ඉදිරියේ වුවත් නිරුවත් වෙද්දී එය දරුවට සැමියට බලපානවා කියලා ..?

මගේ පුතා බියෝන් අග්‍ර, වයස දෙකහමාරක් වෙනවා. මගේ සැමියා මිථිල. එයා සීමන් කෙනෙක්. මම පවුල් ජීවිතේ හා කලා ජීවිතේ පටලවා ගන්නේ නැහැ. ඒක නිර්මාණයක් විතරයි කියලා මමත් දන්නවා. මගේ සැමියා හා පවුලේ අයත් දන්නවා. එහෙම බලපෑමක් ගැන මම හිතන්නේ නැහැ

 ඔබ කැමරාව ඉදිරියේ දෙතුන් වතාවක් නිරුවත් වෙද්දී සැමියා ඔබට එපා ඒ වගේ චරිත කරන්න කියලා චෝදනා කරන්නේ නැද්ද..?

මට චරිතයක් ලැබුණොත් හැමදාමත් කළේ මුලින්ම මම එය අධ්‍යයනය කරන එක. ඊට පස්සේ තමයි එයාට කියන්නේ. සමහර චරිත තිබ්බා එයාට නොකියා කරලා පස්සේ කියපු. එයා ඒක එපා කරන්න කියද්දි මම ඒක කරලා ඉවරයි. නමුත් මගේ තේරීම් අද වෙනකල් වැරදිලත් නැහැ. එයා ඒ පස්සේ යන්නෙත් නැහැ.

 නිරුවත නිසා පවුල් ජීවිතේ අවුල් වෙයි කියලා හිතන්නෙම නැද්ද..?

මම හිතන්නේ මාව හොදටම තේරුම් ගත්ත සැමියෙක් තමයි මට ඉන්නේ. එයා ගෙදර එන්නෙත් මාස ගානකට පස්සේ. නැවක වැඩ කරන නිසා. නමුත් අපි දෙන්නා නිතරම කතාබහ කරනවා. අපි අතර ප්‍රශ්න නැහැ

 ඇත්තටම රණ්ඩු වෙලාම නැද්ද ..?

අපි දෙන්නා අවුරුදු හයක් යාළුවෝ වගේ ආශ්‍රය කරලා අවුරුදු එක හමාරක් ලිවින්ටුගෙදර් ඉඳලා විවාහ වුණු දෙන්නෙක්. ඒ කාලෙම රණ්ඩු වෙලා ඉවර කරා. අපි රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් අපි අතර කතාබහ ඇති වෙනවා. ඒ මගේ චරිත ගැනවත් මගේ නිරුවත ගැනවත් නෙමෙයි. ආර්ථිකය ගැන, ඉදිරි සැලසුම් ගැන, බබාගේ අධ්‍යාපනය ගැන ආදි දේවල් ගැන විතරයි. මගේ වාසනාවට මට ගැළපෙන නිදහස දුන් සැමියෙක් ලැබුණා.

 චමත්කා කැමරාව ඉදිරියේ නිතරම නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැහැ නේද ..?

මම මුලින්ම බලන්නේ ඒ චරිතයට මම නිරුවත් වෙන්න ඕනද කියන කාරණාව ගැන. බොරුවට නිරුවත් දර්ශන රිංගවලා නම් අනවශ්‍ය එකක් කියලා හිතෙනවා නම් එය භාර ගන්න දෙපාරක් හිතනවා. නිර්මාණයට නිරුවත් වීමෙන් කලාවක් තියෙනවා නම් මම නිරුවත් වෙනවා. ඒ වගේම කැමරා ඈංගල් ගැන අවධානය යොමු කරනවා.

 කොහොමද පුතත් එක්ක ගෙවන ජීවිතේ..?

සුන්දරයි. බබා මට වඩා ළෙංගතු එකතු නැනීට. එයාව බලා ගන්න හොද නැනී කෙනෙක් ඉන්නවා. නිතරම ඉන්නේ එයා එක්ක තමයි.

 දරුවා ළඟ අම්මා කෙනෙක් ඉන්නම ඕන වයසක ඔහු ඉන්නේ..?

අම්මා පුතා ළඟින්ම ඉන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. බැදීම් මුල් කරගෙන මම වැඩ කරන්නේ නැහැ. බැදීම් කියන්නේ දුකක්. ඒ නිසා එයාගේ යුතුකම් කරලා සමාජයේ කොහොමද ඉන්න ඕන කියන එක මම පුතාට කියලා දෙනවා.

 

 

Comments