ඉන්ධන නැතිව විදු­ලි­යෙන් දුවන ත්‍රීවීල් හදන සිද්ධ­මුල්ලේ විශ්ව­ක­ර්මයා | සිළුමිණ

ඉන්ධන නැතිව විදු­ලි­යෙන් දුවන ත්‍රීවීල් හදන සිද්ධ­මුල්ලේ විශ්ව­ක­ර්මයා

 

කැමිලස් පෙරේරා වඩාත් ජනප්‍රිය 'ගජමෑන්' කාටුනය නිර්මාණ ශිල්පියා ලෙසය. එහෙත් එහෙව් කැමිලස් හේතුවෙන් මෙරට පෙට්‍රල් අර්බුදයට විසඳුමකට මග පෑදුන බව කිවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. පසුගිය කාලයේ ඇතිවූ ඉන්ධන අර්බුදයේ ප්‍රධාන විත්තිකරුවන් වූයේ ත්‍රිවිල් රියදුරන්ය. තෙල් පෝලිම්වල ඉන්න තරමක් සිටියේ ත්‍රිවිල්ය. අප මේ කියන්නට යන ලංකාවේ ත්‍රිරෝද රථ 'විදුලියෙන් ක්‍රියා කරන' ඉලෙක්ට්‍රිකල් ත්‍රිවිල් අන්දරය මෙසේ දිගහැරුන විට අප මේ කියන්නට යන කාරණය වැටහී යනු ඇත.

 

එච්. බී. මිල්ටන්ගේ උපන් ගම වූයේ මාතර හක්මනය. එච් බී කිව්වේ හේවා බ්‍රාලගේ නම් වූ පෙළපත් නාමයයි. මිල්ටන් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල මල්ලිලා සහ නංගිලා තුන බැගින් හිටියේ පසුකලෙක ත්‍රිරෝද රථ රියැදුරන් පසුපස අඳින රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත කියමන සිහිගන්වමිනි. මිල්ටන්ගේ තාත්තා එච්. බී. ප්‍රැන්සිස් මෙන්ම මව මාලනී රූපසිංහ ය.

1986 සිට 1989 දක්වා පැවති භීෂණ සමය වන විට මිල්ටන් හක්මන රදාවෙල කණිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් දිවියට සමුදුන්නේ තමන්ගේ නංගිලා මල්ලිලා හයදෙනාට ඉගෙනීමට මුදල් අවශ්‍ය වූ නිසාය. රැකියාවකට කොළඹ යෑම පාසල් දිවියෙන් සමුගත් මිල්ටන්ගේ අරමුණ විය. කොළඹ යන්නට සල්ලි නැති නිසා මිල්ටන් කළේ තමන් නිවසේ සුරතලයට ඇති කළ රටහාවුන් 45ක් රුපියල බැගින් විකිණීමය.

මිල්ටන්ගේ මහප්පා වූයේ එච්. බී. සිරිවර්ධනය. ඔහුගේ කොළඹ නවාතැන වූයේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු වූ ගාමිණි මෙන්ඩිස්ගේ හෝමාගම නියඳගල නිවසය. මිල්ටන් මුලින්ම කොළඹ ආවේ තම මහප්පා සමඟ අලුතින් හදන ගාමිණී මහත්තයාගේ ගෙදර මේසන් වැඩට අත් උදව් දීමටය.

මිල්ටන්ගේ මහප්පා වැඩ කළේ කැමිලස් පෙරේරාගේ 'කැමිලස් පබ්ලිකේෂන්' ආයතනයේය. දිනක් මිල්ටන් ද තම මහප්පා සමඟ දෙමටගොඩ කැමිලස් පබ්ලිකේෂන් ආයතනයට ගියේ තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය ඒ වේයයි සිතා නොවේ. කැමිලස්ගේ මස්සිනා වූ ප්‍රේමසිරිගේ බිරිය වූ ප්‍රියා මිස් වැඩ කළේ හයිඩ්පාක් කෝනර් පිහිටි රිචඩ් පීරිස් කොම්පැනියේය. ඔය කියන සන්දියේ බජාජ් ත්‍රිවිල් ලංකාවට ගෙනාවේ ඔවුන්ය. ප්‍රියා මිස් 'මිල්ටන්ට' බජාජ් කොම්පැනියේ කම්කරු රැකියාවක් ලබා දුන්නේ 1987 දීය. බජාජ් කොම්පැනියේ කම්කරු රැකියාව කරන ගමන් බජාජ් රිය අලුත්වැඩියා කරන මිකැනික්ලාට අත්උදව් දෙමින් මිල්ටන් ත්‍රිවිල් මිකැනික් සාස්තරය ටිකෙන් ටික අල්ල ගත්තේය.

ත්‍රීරෝද රථයක බක්කියක් සකසමින්

"ඒ කාලේ ත්‍රීවිල් 18ක් කන්ටේනරයක එනවා. එදාට සේවකයෝ 70ක් ඒවා බාන්න නවත්ත ගන්නවා. ඒ කාලෙ ෆැක්ටරියේ ලොක්කෝ වුණේ විජේරත්න මහත්තයයි, මොල්ලිගොඩ මහත්තයයි. මං ඇහුවා මේක 70 දෙනෙක් නැතුව බාලා දෙන්නද කියලා. ලොක්කෝ කිව්වා ලබන සැරේ බලමු කියලා."

ඊළඟට රිය සහිත කන්ටේනර් අංගනයට ගෙනාවිට මිල්ටන් ෆොක්ලිෆ්ට් එකට දෙපස කඹ දෙකක් සවිකොට ත්‍රිවිල් 18ක් බෑවේ ආයතනයේ ප්‍රධානීන් බලාසිටිත්දි 'බබා' මෙනි.

"මූට මොලේ තියෙන එකෙක්, මිකැනික් හෙල්පර් ජොබ් එකකට ට්‍රාන්සර් කරන්න."

මිල්ටන් බජාජ් කොම්පැනියේ මිකැනික් ජොබ් එක බාර ගනිද්දි කොම්පැනියේ නම ඩේවිඩ් පීරිස් මෝටර් කොම්පැනි ලෙස වෙනස් වී තිබුණි. එවකට හයිඩ්පාක්හි පිහිටි ඩේවිඩ් පීරිස් කොම්පැනියට යාමට මිල්ටන් නවාතැන් ගත්තේ ජනප්‍රිය නිළියක වූ පුෂ්පරානි ආරියරත්නගේ ඩාලිපාරේ පිහිටි නිවසේ කාමරයකය.

"ඒ කාලේ කන්න බොන්න දී නවාතැන් ගාස්තුව රු. 750/- ගෙවා ගත්තේ බොහොම අමාරුවෙන්" මිල්ටන් තම දුෂ්කර අතීතය අපට කියද්දි මේ වනවිට තම කර්මාන්ත ශාලාවේ නවත්වා තිබූ කෝටි 10කට වඩා වටිනා V8 ජීප් රථ දෙකක් අප දෙස බලා සිටියේ ඔලොක්කුවට මෙනි.

ඉන්දියාවෙන් ගෙනා ත්‍රිරෝද රථවලට ඉන්දියාවෙදිවත් අලුත්වැඩියා කර ගත නොහැකි ලෙඩ 'මිල්ටන්' හොඳ කළේ ඉන්දියන් ඉංජිනේරුවන් ද මවිතයට පත් කරමිනි. අන්තිමේදි මිල්ටන්ගේ දක්ෂතා දුටු බජාජ් කොම්පැනිය ඔහුට ෆෝමන් තනතුරක් පිරිනමන ලදී.

ත්‍රීරෝද රථයේ බැටරියේ  දත්ත පෙන්වන මීටර්

1987දී රු. 50/-ක පඩියට බජාජ් කොම්පැනියට සේවයට ගිය මිල්ටන්ව ෆෝමන් තනතුරත් සමඟ රු. 10,500/-ක වැටුප් තලයකට ඔසවා තැබුණේ වසර 2000දී ය.

"ඒත් මං 2000දි ජොබ් එකෙන් අයින් වුණා. මට ඉංගිරිසි බෑ. ඒ ෆෝමන් ජොබ් එකට ඉංගිරිසි ඕනමයි. ඉංගිරිසි පන්ති කීපයකටම ගියා. ඒත් අල්ල ගන්න බැරිවුණා."

බජාජ් කොම්පැනියෙන් අස්වුණාට පසු මිල්ටන් තම මිතුරකු සමඟ මත්තේගොඩ ත්‍රිවිල් රෙපයාර් ව්‍යාපාරයක් පටන්ගත්තේ PA මෝටර්ස් නමිනි. වැඩේ සරුවුණු පසු මිතුරා මිල්ටන්ට කීවේ ව්‍යාපාරයෙන් ඉවත්වන ලෙසය. ඉන්පසු මිල්ටන් කළේ තමන් භාවිත කළ වෑන් එක රුපියල් ලක්ෂ 8කට විකුණා තවත් ලක්ෂ 7ක් 8% පොළියට ගෙන පිළියන්දල සිද්ධමුල්ලේ ඉඩමක් ගෙන වැඩපළක් ආරම්භ කිරීමය.

සිද්ධමුල්ලේ වැඩපළේ වැඩ කර ගන්න එන රියදුරන් රැය පහන් කරන්නේ එතැනය. මිල්ටන් වැඩ බාර ගන්නේ උදේ 3 දක්වා පමණි. ඔය කියන කාලේ ත්‍රිවිල්වල ඉන්දියාවේවත් රෙපයාර් කළ නොහැකි පෝක් එකේ රෙපයාර් බහුල විය. මේ දෝෂය රෙපයාර් කරන්නට මිල්ටන් තමන් විසින්ම මැෂිමක් නිපද වූයේය. බජාජ් කොම්පැනිය රෙපයාර් කළ නොහැකි රිය රථ 100ක් දිනපතා මිල්ටන්ගේ වැඩපළට බාරදෙන ලදී.

ත්‍රීරෝද රථයේ එන්ජිම වෙනුවට සවි කළ විදුලි මෝටරය

"ඒ කාලේ ත්‍රීවිල් එකක් ගන්න මාස 6ක් වේටින් ලිස්ට් එකක් තිබ්බා. මගේ මැෂිම බලන්න ඉන්දියාවෙන් ආවා. මං මැෂිම හයිඩ්‍රොලික් දාල පෙන්නුවේ නෑ. මැනුවල් පෙන්නුවේ. ඉන්දියාව මැෂිම බලන් ගිහිල්ල ඒක හදල ලංකාවටම බෙදුවා."

ඉන්දියාව මිල්ටන්ගේ මැෂිම හයිඩ්‍රොලික් මඟින් ක්‍රියකරන බව දැන සිටියේ නැත.

"ඉස්සර ත්‍රීවිල්වල ඉස්සරහ රෝදේ පින් එක ගහන්න පට්ටලකට අරන් ගිහින් ලොකු වියදමක් කළා. මම කලල්ගොඩ ජනහිත එක ලව්වා මේකට මැෂිමක් හැදුවා. මං කිව්වේ මේක විකුණගන්න කියලා. දැනට ජනහිත එකෙන් මේ මැෂිම 1000කට වැඩිය ලක්ෂය ගානේ විකුණල තියෙනවා."

ත්‍රීවිල් පිටිපස්සෙන් උස්සන හයිඩ්‍රොලික් ජැක් එක නිපදවා ඇත්තේ මිල්ටන් විසිනි. 2010දී බජාජ් නියෝජිත ධුරයෙන් ඉවත්වූ මිල්ටන් 'මිල්ටන් මෝටර්ස්' ආයතනය ආරම්භ කරන ලදී.

2014 දී ඩේවිඩ් පීරිස් සමාගමේ ටැංසානියා ශාඛාව වසා දමන ලදී. ටැංසානියාවේ සිටියේ මිල්ටන් සමඟ සිටි සමකාලීනයන් පිරිසකි. ඔවුන්ගේ ආරාධනයෙන් ටැංසානියාවට යන මිල්ටන් එරට 'ලෙයියා' නම් වූ ව්‍යාපාරිකයා සමඟ එක්වී ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ටැංසානියාවට ඉන්දියාවෙන් ආනයනය කරන බජාජ් අමතර කොටස් මුහුදු සුළඟ නිසා ඉක්මණින් මලකා දිරාපත් විය. මිල්ටන් බජාජ් ත්‍රීවිලරයේ එන්ජිම හැර බොහෝ කොටස් මල නොකන ලෝහයෙන් නිෂ්පාදනය කිරීමට අත ගැසුවේය. මේ සඳහා අවශ්‍ය සින්ක් කෝටඩ් තහඩු 'මිල්ටන්' මිලදී ගත්තේ ජපානයෙනි. ඒ අතර ලංකාවේ මිල්ටන්ගේ ව්‍යාපාර බලාකියා ගත්තේ මිල්ටන්ගේ බිරිය විසිනි. නමුත් කෝටි සිය ගණනක අලාභයක් සිදුවෙමින් ටැන්සානියානු ව්‍යාපාරයේ අයිතිය 'මිල්ටන්ගෙන්' ගිලිහෙන්නට විය. ඒත් පසුබෑවේ මිල්ටන් නොවේ. ඔහු තවත් වැඩකට අත ගැසුවේය.

වර්තමානයේ මිල්ටන්ගේ කර්මාන්ත ශාලාව පිහිටි පොල්ගස්ඕවිට ෆැක්ටරිය පටන්ගත්තේ කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැතුව ලක්ෂ 700ක බැංකු ණයකිනි. එහි දැන් ඇති යන්ත්‍රෝපකරණවල වටිනාකම කෝටි 25කට අධිකය. බැංකු ණය සඳහා ලංකා බැංකුව, පෑන්ඒෂියා සහ වැලිබල් ෆිනෑන්ස් මිල්ටන්ට මුල්‍ය අනුග්‍රහය දක්වන ලදී. මිල්ටන් පවසන්නේ ත්‍රිරෝද රථයක කිසිදු ''බොඩිපාට් එකක්' ඉම්පෝට් කිරීම අනවශ්‍ය බවය.

දැන් එතකොට මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් හදන්න පටන් ගන්නේ කොහොමද?

"තෙල් අර්බුදයක් තියෙන කොට ඇණමුරිච්චියක් ගේන්න යවන්න බයිසිකලයකටවත් තෙල් නැති වුණා. මම රට යන එක්කෙනකුට කියලා හෑන්ඩ් ලෝඩ් (ගුවන් යානයේ අතින් ගේන) ගෙන්න ගත්තා මෝටර් සයිකල් ඉලෙක්ට්‍රික් මෝටරයක්."

මිල්ටන් ගෙන්වා ගත් මෝටර් සයිකලේ ඉලෙක්ට්‍රික් මෝටරය කිලෝ 13ක් බරවූ අතර ඉන්පසු ගෙන්වා ගත් ත්‍රිවිල් ඉලෙක්ට්‍රික් මෝටරය කිලෝ තිහක් බරකින් යුතුවිය. බයික් මෝටරය රුපියල් 180,000ක් වූ අතර ත්‍රිවිල් මෝටරය රුපියල් 260,000ක් මිල විය.

මුලින්ම මෝටර් සයිකලයට සවි කළ ඉලෙක්ට්‍රික් මෝටරය සාර්ථක විය. ඊළඟ පියවර වූයේ ත්‍රිරෝද රථයකට ඉලෙක්ට්‍රික් මෝටරයක් සවි කිරීමය. මිල්ටන්ගේ පළමු ඉලෙක්ට්‍රික් මෝටරය සවි කළේ ලංකාවට ආනයනය කළ පළමු බජාජ් ඩීසල් ත්‍රිරෝද රථයටය. ත්‍රිවිලයට ඉලෙක්ට්‍රික් මෝටරය සවි කළත් ඊට එහා තාක්ෂණයක් දැන ගැනීමට 'මිල්ටන්ට' අවශ්‍ය විය. ඔහු තම අවශ්‍යතාව මොරටුවේ සිටින වෙල්ඩින් වැඩ කරන තම මිතුරු තුෂාරට පැවසීය.

"මට මොරටුව යුනිවර්සිටි එකේ ඩොක්ටර් චතුර අල්විස්ව අඳුන්වලා දුන්නේ තුෂාර. චතුර සර්ලගේ ගෙදරට ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ඇදගෙන තමයි ගියේ.

ත්‍රීරෝද රථයක  මුහුණත සකසමින්

දවස් තුනකින් ආචාර්ය චතුර අල්විස් මිල්ටන්ව තම නිවසට කැඳවා ත්‍රිරෝද රථය ස්ටාට් කර පෙන්වන ලදී. මේ ත්‍රිවිලරයට සවිකොට තිබුණේ වොට් 72ක ඇම්පියර් 80ක බැටරියක්. විනාඩි 30ක් චාජ්කළ විට කිලෝමීටර් 80ක් මෙම ත්‍රීවිලරයේ ගමන් කළ හැකිය. මිල්ටන්ගේ මීළඟ අරමුණ කිලෝමීටර් 200ක් ධාවනය කළ හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීවිලරයක් නිපදවීමය.

"ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක චතුර සර් ස්ටාට් කළේ මැයි 13 වැනිදා. සත පහක් ගත්තේ නැහැ. තෙල් පෝලිම්වල මිනිස්සු දුක් විඳිනවා. මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක හදල මිනිස්සුන්ට සහනයක් දෙන්න කිව්වා."

මිල්ටන් ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක් නිපදවන බව වරක් RDB බැංකුවේ කළමනාකාරවරියක් දැනගෙන තිබුණි. ඒ වන විට RDB බැංකුවෙන් ත්‍රීරෝද බොඩි පාට්ස් හදන්න ලක්ෂ 50ක ණයක් නිකුත්කොට තිබුණි. කළමනාකාරිනිය එම ත්‍රිරෝද රථ බලන්නට ආසාවෙන් සිටි නිසා මිල්ටන් මුලින්ම කළේ ඉංගිරියට ගොස් කළමනාකාරවරියට අලුතින් හැදූ ඉලෙක්ට්‍රික් ත්‍රීවිලය පෙන්වීමය. පසුව මිල්ටන්ට දැකගත හැකි වූයේ මරදාන ඇල්බා සමාගම ආනයනය කළ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් රථ 100ක් ධාවනය කළ නොහැකිව ඇති බවය. මිල්ටන් යන විටත් එම ත්‍රීරෝද රථවල බොඩියේ බොහෝ කොටස් විකුණා හමාරය. මිල්ටන් එම ත්‍රීරෝද රථ 100ම මිලදී ගත්තේ ය. පෙට්‍රල් ත්‍රීවිල් එකකට ඉලෙක්ට්‍රික් මෝටරයක් සවි කළත් අලුතින්ම ඉලෙක්ට්‍රික් ත්‍රීවිලරයක් නිපදවූවත් ප්‍රධාන ප්‍රශ්නය වූයේ ඒවා මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නොහැකි වීමය.

"ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක ලියාපදිංචි කරන්න ගියාම, දුම් වාර්තාව ඉල්ලුවා. මට ඉතින් ගෙදර ලිපේ දුම තමයි පෙන්නන්න වෙන්නේ."

මිල්ටන් ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් ලියාපදිංචි කරන අන්දම සිතන විට දිනක් ඇමතුමක් ලැබුණේ ඔහුට ඉතා හිතවත් හත්බෝධි විහාරාධිපති ගලගම ස්වාමීණ් වහන්සේගෙන්ය. මිල්ටන් තම ගැටලුව ගලගම හිමියන්ට පැවසුවේය.

"මිල්ටන්ගේ ෆැක්ටරිය තියෙන හෝමාගම ආසනේ බන්දුල ගුණවර්ධන මහත්තයා තමයි දැන් ප්‍රවාහන ඇමති. මේ ගැන මං දැන්ම ඇමතිතුමාට කියනවා."

පසුදිනම ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන හා ව්‍යාපාරික නලින් වෙල්ගම මිල්ටන්ගේ ත්‍රිවිල් නිෂ්පාදනාගාරයට පැමිණ රජයෙන් අවශ්‍ය උපකාරය කුමක්දැයි විමසන ලදී. කර්මාන්තශාලාවේ නිෂ්පාදන දැක දෙදෙනාම මවිතයට පත්වී සිටියේය.

ත්‍රීරෝද රථයක ඉදිරිපස තට්ටුව සකසමින්

මිල්ටන්ට ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් ලියාපදිංචිය ගැන ඇති ගැටලු අසා සිටි බන්දුල ඇමතිවරයා පසුදිනම ඒ ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලදී. ලංකාවේ නිපදවන ඉලෙක්ට්‍රික් වාහන ලියාපදිංචියට මෙන්ම පෙට්‍රල් ත්‍රිවිල් විදුලියෙන් ක්‍රියා කරන ත්‍රීරෝද බවට පරිවර්තනයට අවශ්‍ය පනත සඳහා වන අනුමැතිය ලබාගත්තේ ඒ ආකාරයෙනි.

මේ ගැන ගත් කඩිනම් පියවර ගැන ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනටත්, ව්‍යාපාරික නලින් වෙල්ගමට මෙන්ම පූජ්‍ය ගලගම ස්වාමීන් වහන්සේටත් මිල්ටන් තම කෘතඥතාව පුදකර සිටී. එමෙන්ම මිල්ටන් කියන්නේ බන්දුල ඇමතිවරයා මෙන් අනිත් ඇමතිවරුත් තම විෂය පථයට අදාළ ප්‍රශ්න ගැන මෙවැනි කඩිනම් පියවර ගන්නේ නම් අපේ රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට එය මහත් පිටිවහලක් වන බවය.

ලංකාව මුහුණ දීලා තියෙන ඩොලර් අර්බුදයෙන් ගොඩ එන්න අයිඩියල් මෝටර්ස් එකේ නලින් වෙල්ගම එක්ක ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවා. ඒ ත්‍රිවිල් අපනයනය කරන්නේ අප්‍රිකානු රටවලට. ලංකාවේ ආණ්ඩුව සහයෝගය දෙනවා නම් ලංකාවේ තියෙන පෙට්‍රල් ත්‍රිවිල් ලක්ෂ 15ම ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් බවට පත් කරන්න පුළුවන්." වෙළඳපලේ ඉන්දියන් ත්‍රීවිල් මඩ්ගාඩ් 2ක් රුපියල් 5000කි. මිල්ටන්ගේ නිෂ්පාදනය රුපියල් 500/-කි. ඉම්පෝට් බක්කියක් රුපියල් 180,000කි. මිල්ටන් ගාව 80,0000කි. මේ වගේ මුළු ත්‍රීවිලයකම බොඩි කොටස් මිල්ටන්ගේ කර්මාන්ත ශාලාවෙන් ලබාගත හැකිය.

දැන් මිල්ටන් හයිබ්‍රිඩ් වර්ගයේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිලරයක් ද නිපදවා ඇත. එම අංගෝපාංගය සවිකර ඇත්තේ ඉදිරිපස රෝදයටය. දුම් වාර්තාවට එය පිළියමකි. පිටුපස රෝද කැරකෙන්නේ පෙට්‍රල්වලින් බැවින් දුම් වාර්තාව ද ලබා ගැනීමට එය ද තාවකාලික පියවරකි.

කර්මාන්ත ශාලාවේ ඇතුළත දිස්වන අයුරු

මිල්ටන් පවසන්නේ රටට විදේශ විනිමය ඉතුරු කර ගැනීමට ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් රථයක් ලංකාවේ නිපදවීමට යන වියදම රුපියල් ලක්ෂ දාසයක් බවකි. පෙට්‍රල් ත්‍රීරෝද රථයක් ඉලෙක්ට්‍රික් රථයක් බවට පත් කිරීමට යන වියදම කිලෝමීටර් 80ක් ධාවනය කළ හැකි බැටරියක් සවි කළොත් ලක්ෂ 8කි. එය විනාඩි 30ක් චාජ් කළ යුතුය. කිලෝමීටර් 100 ධාවනය කළ හැකි බැටරියක් සවි කළොත් රුපියල් ලක්ෂ 12ක් වැයවන අතර එය විනාඩි 45ක් චාර්ජ් කළ යුතුය. මෙම බැටරි සඳහා වගකීමේ කාලය වසර 2ක් වුවත් නිසි නඩත්තුවෙන් අඛණ්ඩව වසර 12ක් භාවිත කළ හැකිය. මිල්ටන් කියන්නේ පෙට්‍රල් ත්‍රිරෝද රථයක් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් බවට පරිවර්තනයට යන මුදල මාස 6කින් පියවාගත හැකි බවය. කිලෝ මීටරයකට යන වියදම රුපියල්. 30/-කටත් වඩා අඩුය.

මිල්ටන් අපිට අවසන් වශයෙන් කියා සිටියේ ඩොලර් නැති කමෙන් තහඩුවල මිල දරාගත නොහැකි බවය. ඔහු කියන්නේ ලංකාවේ සියලු ත්‍රීවිල් සහ මෝටර් සයිකල් ඉලෙක්ට්‍රික් කිරීමට තමන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට ජනාධිපතිවරයා අවධානය යොමු කළොත් මෙරට ඩොලර් දුෂ්කරතාවෙන් මුදාලිය හැකි බවය. එමෙන්ම මෙරටට කිසිදු ත්‍රීවිල් බොඩිපාට් එකක් ආනයනය කළ යුතු නැති බව ද ඔහු කියා සිටී.

 

ඡායාරූප - සුලෝචන ගමගේ

 

Comments