
සහන සලසන අයවැයක්
නිශාන්ත සම්පත් කුමාර (36) තුල්හිරිය
- වරලත් ගණකාධිකාරී
මේ රට ගොඩනැඟීම සඳහා රාජ්‍ය මුල්‍ය උපක්‍රම සහිතව ඉදිරිපත් කළ මේ අතුරු අය වැය හුඟක් හොඳ මට්ටමක තියනවා. විදේශ විනිමය පිටරටට ගලායාම වැළැක්වීම සඳහා මෙහි යෝජනා ක්‍රම ඇතුළත් ඒ වගේම පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ අරමුණින් සකසලා කියන බවක් පේනවා. සමාජයේ සෑම අංශයකම අය කෙරෙහි අවධානය යොමු කරලා
තියන බවක් ගම්‍ය වෙනවා.
2025 වන විට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 15% දක්වා ඉහළට ගේන්න සැලසුම් කර තිබීම වැදගත්. 2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරන්න ඉලක්කයක් වෙනුවෙන් සැලසුම් කළ අයවැයක්.
රටවැසියන් දෙස සාධනීයව බැලීමක්
යමුනා කුමාරි සමරකෝන් (56) මහනුවර-
කලමණාකරණ සේවා නිලධාරී
රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය වගේම, අඩු ආදායම්ලාභීන්ටත් සහන සලසන අතුරු අයවැයක් ලෙස හඳුන්වන්න හැකියි. ගොවීන් 28 දාහකගේ පමණ ණය කපලා සහන දීලා. ගැබිණි මවුවරුන්ට රුපියල් 25000 දක්වා ලබාදීමෙන් අනාගත පරපුර ගැන සුබවාදී ආකල්පයකින් සෙත සලසා ඇති බව පේනවා. ඒ වගේම වකුගඩු , ආබාධිත, වැඩිහිටි දීමනා වැඩි කරලා මෙතෙක් කලක් පැවැති ගෑස් අර්බුදය මඟහරවා ගන්න රුපියල් කෝටි 2500 වෙන් කරලා. පළාත් පාලන ආයතනවලට සියලුම ආදායම් ලබා ගැනීමට මාර්ගගත ක්‍රමයක් සකසලා. මේ අනුව බලද්දි රටේ සමස්ත රටවැසියන් දෙසම සාධනීය ලෙස සලකා බැලීමක් ලෙස ගත හැකිය.
වගා සංග්‍රාමයට අතහිත
මාන්තිකා කුමාරි (42) පානදුර
සහකාර කොමසාරිස්
ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය හොඳ මට්ටමක තියෙනවා. ආහාර සුරක්ෂිතතාවයක් නැති පවුල් 61000 සඳහා මසකට රුපියල් දසදහසක් වෙන් කරලා. හිඟ ගොවි ණය රුපියල් මිලියන 688 කපලා රාජ්‍ය බැංකු දෙකක අයිතියෙන් 20% ක් තැන්පත්කරුවන්ට හා ඒවායේ සේවකයන්ට ලබාදීමට සැලසුම් කරලා. ඒ අතර වැට් බද්ද 15% දක්වා වැඩි කරලා. තරුණ කණ්ඩායම් වැවීමට දිරි ගන්වන්න අක්කර 20ක් ලබාදීලා තියෙනවා. එය වගා සංග්‍රාමයට අත හිත දීමක් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමට හේතුවක් වෙයි.
අතුරු අයවැයේ වරදක් නැහැ
රසිකා මුණසිංහ (52)
නාවින්න - බදු නිලධාරී
මෙවර අතුරු අයවැයේ යම් යම් අඩු පාඩු තිබුණ වුණත් අති බහුතරයකට සෙත සැලසෙනවා. රජයේ ආදායම් - වියදම් කළමනාකරණය කරලා ආර්ථික සංවර්ධනයට නව ක්‍රියාමාර්ග දියත් කරලා තියනවා. ආදායම් යෝජනා බදු පරිපාලනය, බදු නොවන ආදායම් හා සියලු වියදම් කළමනාකරණය කරමින් තමයි අතුරු අයවැය සකසලා තියෙන්නේ.
රාජ්‍ය අංශයේ පැතිකඩ කීපයක් ප්‍රතිසංස්කරණය කරලා ජාතික ආරක්ෂාව තර කරලා. රාජ්‍ය මුල්‍ය නීතිමය අධීක්ෂණ රාමුවක් යටතේ රාජ්‍ය ආදායම් - වියදම් තුළනය කර ගැනීම වැදගත් වුවත් කෙටි කාලීන අතුරු අයවැයක් නිසා ආර්ථිකයේ අනිකුත් සියලුම අංශ කෙරෙහි අවධානය යොමු කිරීම දුෂ්කර කටයුත්තක් තමයි.
සුළු අඩුපාඩු තිබුණත් අතුරු අය වැය සාර්ථකයි
ඉන්දික හේවගේ (48) බොරැල්ල - කළමනාකරණ සහකාර
ණය කළමනාකරණ ආයතනයත් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවා තියෙනවා. දේශීය නිෂ්පාදකයින් දිරි ගන්වනු පිණිස විදුලි පාපැදි සඳහා බදු සහන ලබාදී තියෙනවා.
සමෘද්ධිය ලබාගැනීමට පොරොත්තු ලේඛනයේ සිටි පවුල් 726000 මසකට රුපියල් 5000 බැගින් තාවකාලික දීමනාවක් ලබාදෙනවා. මේ වෙලාවෙ හැටියට ඒකත් වටිනවනේ. ඒ වගේම රාජ්‍ය අංශය විධිමත් කිරීම හොඳ ප්‍රවණතාවයක්.
සමහර අංශ මඟ හැරිලා
ආර්. එම්. රත්නායක (55) වාරියපොළ
ආරක්ෂක නිලධාරී
ස්වයං රැකියාකරුවන්ට අතහිත දීමෙන් හොඳ ව්‍යවසායකයින් බිහි කිරීමට අතහිත දීමක් වෙනවා. ඒ වගේම දේශීය ඇසුරුම් නිපැයුම ප්‍රවර්ධනය, දේශගුණික අරමුදලින් පහසුකම් ලබාදීම ආදී විවිධ අංශ ක්‍රියාත්මකයි. මේ අතර තවත් අංශ කීපයක් මඟ හැරිලා තියෙනවා. හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ තම තමන්ගේ ක්ෂේත්‍රයන්ට අදාළව ලබාදෙන සහනවල ප්‍රතිලාභ ලබන්නටයි.