නිහාල් කරුණාතිලක මැදිවියේ පසුවන ව්‍යාපාරිකයෙකි. ඔහුට පිය උරුමයෙන් හිමි වූ සැලකිය යුතු දේපොළක් ද තිබිණි. එහෙත් ඔහු අවිවාහකයෙකි. ජීවිතයේ සෑම අවස්ථාවක් දෙසම තර්කවාදීව බලන්නට පුරුදු වී සිටි ඔහු හේතුවාදී සංගමයේ සාමාජිකයකු ලෙස ද ප්‍රකටව සිටියේය. සිය දෛනික කටයුතුවලින් බැහැරව විවේක සුවයෙන් පසුවන සෑම අවස්ථාවකම මිථ්‍යාවට එරෙහිව තර්ක ඉදිරිපත් කිරීම නිහාල් කරුණාතිලකගේ පුරුද්ද විය. යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර යන සියල්ලටම බැණ වැදුණු ඔහු හැකි නම්, හූනියමකින් තමා විනාශ කරන්නැ'යි යකැදුරන්ට අභියෝග කළේය.
මේ අතර ඔහු ජීවත් වූ ප්‍රදේශයේ පවුලක් අලුත් දේවාලයක් පිහිටුවා ගත්හ. නිහාල් කරුණාතිලක ඊට තදින්ම විරුද්ධ වූ අතර දේවාලයට එරෙහිව විවේචන ඉදිරිපත් කළේය. මිථ්‍යාවට එරෙහි වන්නැ'යි ඔහු ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ගැමියන්ගෙන් වැඩි දෙනා එය පිළිගත්තේ නැත. විශේෂයෙන් ගමේ ගැහැනු වැල නොකැඩී දේවාලයට යන්නට පටන් ගත්හ. එම ගැහැනුන්ගෙන් දේවාලය ගැන අසා දැනගත් අවට ගම්වාසීහු ද දේවාලයට එන්නට පටන් ගත්හ. ආරංචි මාර්ග ඔස්සේ දුර බැහැර මිනිස්සු ද දේවාලය කරා එන්නට පටන් ගත්හ. බදාදාට හා සෙනසුරාදාට දේවාලය ඉදිරිපිට මහ සෙනඟක් දක්නට ලැබිණි.
නිහාල් කරුණාතිලක දේවාලයට විරුද්ධව හේතුවාදී සංවිධානයේ රැස්වීමක් සංවිධාන කළ අතර, එහි තේමාව වූයේ මිථ්‍යාවට එරෙහි වෙමු යන්න ය. එහෙත් රැස්වීම සාර්ථක වූයේ නැත. ඉතා සුළු පිරිසක් එතැනට රැස්වූ අතර දේශකයන්ගේ බර සාර කතා නිසා ඒ පිරිසත් නැඟිට ගියහ. දේශකයෝ නොයෙක් තර්ක - විතර්ක දක්වා පෙරළා යන්නට ගියහ. නිහාල් කරුණාතිලක දැඩි ලෙස කෝපයට පත් වී සිටියේය. ඔහු දේවාලය ඉදිරිපිටට ගොස් කපුවාට බැණ වැදුණේය. එය ගැටුමක් දක්වා වර්ධනය වූ අතර පසුදා පොලීසියේ පෙනී සිටින්නට සිදු විය. එහිදී ඔහුට දැඩි ලෙස අවවාද කැරිණි.
"මහත්තයා බොරුව වුණත් ඇත්ත වුණත් විවිධ ලබ්ධීන් ඇදහීමට මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒක අවහිර කරන්ඩ කාටවත් බෑ! "මෝඩ මිනිස්සු මුළාවක ඉන්නෙ!"
"වෙන්ඩ පුළුවන්! ඒත් දේවාලයට බාධා කරන්ඩ මහත්තයට බෑ!"
"මං කරන්නෙ ඇත්ත පහදල දෙන එක විතරයි!"
"කොහොම වුණත් මහත්තයා දේවාලෙට බාධා කරන්න එපා! නැවත එහෙම කළොත් උසාවියට දානවා!"
නිහාල් කරුණාතිලක පෙරළා නිවෙසට පැමිණියේ බලවත් කලකිරීමකින් යුතුවය. මානවයා බියෙන් තැතිගෙන මිථ්‍යාව දෙසට ඇදී යන්නේ යැයි ඔහු පළමුව කල්පනා කළේය. කරුණු හරි හැටි නොදැනීම නිසා මෝඩ මිනිසා දේවාල ගණනේ යන්නේ යැයි ඔහු දෙවැනුව කල්පනා කළේය. අවසන් ලෙස ඔහුගේ යටි සිත කියා සිටියේ නීතිය පවා මිථ්‍යා සංකල්පවල පැවැත්මට අනුබලයක් ලබා දෙන බවය.
නොයෙක් ලෙඩ රෝග, අපල උපද්‍රව, පවුල් ආරවුල්, ව්‍යාපාරවල පාඩු, විභාග සමත්වීම සඳහා පමණක් නොව, දරුවන් ලබා ගැනීම උදෙසා ද මහ පිරිස් දේවාලය කරා ඇදී ආහ. පුදුමයකට මෙන් බොහෝ දෙනාගේ රෝග සුවපත් විය. අපල උපද්‍රව දුරු විය. දරුවෝ විභාග සමත් වූහ. දරුවන් නැති වඳ ගැහැනු දරුවන් ලැබූහ. දේවාලයේ කීර්ති නාමය තවදුරටත් පැතිර ගිය අතර කපුවා සාදු යන ගෞරවනීය නාමයෙන් හැඳින්විණි. කපුවාගේ බිරිය මෑණියෝ යන ගෞරවනීය නාමයෙන් හැඳින්විණි. දේවාලයේ කීර්තිය වැඩි වන්නට වූ අතර නිහාල් කරුණාතිලකගේ කෝපය උත්සන්න විය.
නිහාල් කරුණාතිලක දිනපතාම මත්පැන් පානය කරමින් මිථ්‍යාවට එරෙහි ව සටන් වදින උපාය මාර්ග සෙව්වේය. ඔහු ඇතැම් දිනෙක උදෑසන සිටම මත්පැන් පානය කළේය. නොයෙක් විකාර කළේය. මේ අතර ව්‍යාපාරික කටයුතු කෙමෙන් අවුල් විය. ඔහුගේ හොඳම මිතුරා පවා දේවාලයට යනු නිහාල් කරුණාතිලක දුටුවේය.
"මචං නිහාල් එතැන හරි හාස්කම් තියෙනවා බං!"
"උඹල ඉන්ද්‍රජාලවලට රැවටෙනවා! හරිම මෝඩයි!"
"නෑ බං අපේ නෝනගෙ කොන්දෙ අමාරුවක් තිබුණා. කොච්චර බේත්
කළාද? හරි ගියෙ නෑ! මෑණියො සතියයි කොන්ද අතගෑවෙ. දැන් හොඳටම සනීපයි!"
නිහාල් කරුණාතිලක මහා හයියෙන් සිනාසුණා මිස කිසිදු උත්තරයක් ලබා දුන්නේ නැත. ඒ හිනාවත් සමඟ තදබල හිසේ ඇම්මක් පැතිර යනු ඔහුට දැනිණි. නිහාල් දෑතින්ම හිස මිරිකා ගත්තේය. පසුව බෙහෙත් පෙති බීවේය. හරි ගියේ නැත. ඔහු පසුදා විශේෂඥ වෛද්‍යවරයකු මුණ ගැසුණේය. නිදිමැරීම, කල්පනා කිරීම, මොළය වෙහෙසීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බව වෛද්‍යවරයා නිගමනය කළේය. ඒ අනුව විවේකයෙන් හා සැහැල්ලුවෙන් සිටීමට උපදෙස් ලැබිණි. විටමින් වර්ග කිහිපයක් ද දිනපතාම ගත යුතු විය. එහෙත් හිසේ කැක්කුම දිගින් දිගටම වැඩි විය. බොහෝ දෙනකුගේ උපදේශනය වූයේ දේවාලයට ගොස් මෑණියන් හමුවීම හොඳම උත්තරය බවය.
යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගැන විශ්වාසයක් නැතත් මෑණියන් පරීක්ෂා කර බැලීමේ සිතක් නිහාල් කරුණාතුලක තුළ මෝරා වැඩෙන්නට විය. ඔහු නොයෙක් තර්ක විතර්කවලට මුහුණ දී අවසන් ලෙස මෑණියන් වෙත පණිවිඩයක් යැවීමට තීරණය කළේය.
මෑණියෝ කිසිදු චකිතයකින් තොරව ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ ආතුරයා සුවපහසු ලෙස පුටුවක වාඩි කෙරෙව්වාය. ඉනික්බිති මන්ත්‍ර ගණනාවක් ද, බුදු ගුණ ගාථා ගණනාවක් ද කියා මායම් වූහ. ඉණෙහි රඳවා තිබූ තෙල් කුප්පියක් ද රැගෙන නිහාල් වෙත ළංවූ මෑණියෝ ඉතා මෘදු ලෙස ඔහුගේ හිස පිරිමදින්නට වූහ. මායම් වී සිටි මෑණියෝ සිය ආතුරයා තමන්ගේ වතට තදකර ගැනීමට ද සෙමෙන් ඔහුගේ ශරීරය පුරා තම අතැඟිලි ගෙන යෑමට ද සමත් වූහ. තර්කවාදියකු වූ නිහාල් කරුණාතිලක නින්ද හා නොනින්ද අතරේ මෑණියන්ගේ ඔක්ක වෙත තව තවත් නැඹුරු විය. ඔහු පියවි සිහියට එන විට හිසේ ඇම්ම පහව ගොස් තිබිණි.
මෑණියන්ගේ උපදේශනයට අනුව සෑම කෙම්මුර දවසකම සන්ධ්‍යාව ඉක්ම යන්නට පෙර එකී ශාන්ති කර්මය කළ යුතු විය. මෑණියන් නිහාල් කරුණාතිලකට ආමන්ත්‍රණය කළේ “මාගේ පින්වත් දරුව” යන ලෙසින්ය. ඔහු එම යෙදුමට බෙහෙවින් ආශා කළේය.
සෑම කෙම්මුර දවසකම හයවන විට නිහාල් කරුණාතිලක අපේක්ෂා දල්වාගෙන බලා සිටියේය. ඒ මෑණියන් සිය තෙල් කුප්පිය ද රැගෙනවිත් මායම් වී තම ශරීරයට ඇතුළු වන තෙක්ය. මේ ශාන්ති කර්මයෙන් පසු තවත් අපූරු දෙයක් සිදු විය. එනම්, කපුවා හා මෑණියන් දබර වී දෙන්නා දෙපැත්තකට වීම ය. ඉන්පසු දේවාල දෙකක් දක්නට ලැබිණි. මෑණියන්ගේ දේවාලය පිහිටියේ නිහාල් කරුණාතිලකගේ විශාල නිවෙස තුළය.