
ඉතා හොඳ ප්‍රතිඵල ලැබිය හැක්කේ කැපූ පලතුරුවලට වඩා පලතුරු ගෙඩි වශයෙන් පූජා කිරීමෙනි
සමස්තයක් වශයෙන් බොහෝ අය ඕනෑම දෙවොලක තමන්ට පිහිටක්, සරණක් බලාපොරොත්තුවෙන් සිදු කරනු ලබන්නේ පලතුරු පූජාවකි. එහෙත් ඒ සම්බන්ධයෙන් දැනගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම පලතුරු පූජාව සකස්කර ගත යුත්තේ තමන්ට හෝ වෙළෙඳසැලකට අවශ්‍ය ආකාරයට නොව දෙවියන්ට ඒ පිළිබඳ ප්‍රියතාවක්, සංවේදී භාවයක් ඇතිවන පරිදිය.
පූජාවක් සිදු කරන විට බොහෝ අය කැපූ පලතුරු යොදාගෙන සිදු කරනු ලැබුවද එම පලතුරු ගෙඩි වශයෙන් සූදානම් කර පිළිගන්වන්නේ නම් ඉන් ඉමහත් ප්‍රතිඵල ලබාගත හැකිය.
පලතුරු පූජාවක් සිදු කරන විට අප විසින් එම සිද්ධස්ථානය අසල ඇති වෙළෙඳ සැලකින් “අපට පලතුරු පූජාවක් හදලා දෙන්න” යැයි ඉල්ලා සිටිය විට ප්‍රථමයෙන්ම ඔවුන් ඔබගෙන් විමසනුයේ “ කීයක විතර පූජාවක්ද ඕනෑ" කියාය. ඇත්ත වශයෙන්ම එහිදී සිදුවන්නේ ඔවුන්ට වුවමනා කරන අයුරු පූජාවක් සුදානම් කිරීම මිස ඔබගේ විශ්වාසයට අවශ්‍ය පූජාවක් නොවේ. එයින්ද ඔබ දෙවියන්ගෙන් ලබන ආශිර්වාදය අඩුවීමක් සිදු වනවා ඇත.
එහෙත් ඔබ විසින්ම මෙම පලතුරු සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සුදානම් කරගෙන පලතුරු පූජාව සිදු කරන්නේ නම් එයින් මහත් ආනිසංස ඔබට ලබාගත හැකිය. ඔබගේ ගෙවත්තේ පලතුරු ඇත්නම් (ගස්ලබු හැර) අන්නාසි, අඹ, කෙසෙල්, අලි පේර, දෙළුම්, උක්ගස් ආදියත් පූජා වට්ටිය පතුල ආවරණයට බුලත් කොළ ද අවශ්‍ය මල් වර්ග ආදිය ද මේ සඳහා ඔබට භාවිත කළ හැකි නම් ඉතා යෝග්‍ය වන්නේය. පලතුරු පූජාවක අදහස වන්නේ ඒවායේ මිහිරි සුගන්ධය දෙවියන්ට ආඝ්‍රාණය කිරීමට සැලසීමයි. මෙහිදී පිරිසුදුව තමන් විසින්ම සපයා ගන්නා ලද පලතුරු භාවිත කිරීම යෝග්‍ය වන්නේ ඒවා තැළුණු, පරණ වූ, සතුන් හානි කළ ඒවා දැයි ඔබටම නිරීක්ෂණය කර පිරිසුදු පලතුරු පමණක් තෝරා ගැනීමට හැකිවන නිසාය. වෙළෙඳ සැලකින් ලබාගන්නා පූජා වට්ටියක ඇති පලතුරු ගැන ඔබට විශ්වාසයක් තැබීමට අසීරු වන අතර ඒ ගැන ප්‍රශ්න කිරීමට යෑමේදි තවත් ප්‍රශ්න ඇති විය හැකිය.
මෙම පූජාව සඳහා හොඳ පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක් ද ඔබට පූජා කළ හැකිය. පොල් ගෙඩිය බොහෝවිට හඳුන්වනුයේ කිරිපොල් මාලාවක් ලෙසය. එහි ඇති ජලය ඉතාමත් පිරිසුදු බව විශේෂයෙන් කිව යුතු නැත. ඔබ පූජා කරන තැඹිලි ගෙඩිය පූජාවෙන් පසු ඔබට ලැබුණේ නම් එය කිසියම් රෝගී තත්ත්වයෙන් පෙළෙන අයකුට පානය සඳහා දෙන්න. එයින් ඔහුට සහනයක් ලැබෙනු ඇති බව මම විශ්වාස කරමි.
පූජා කරන පොල් ගෙඩිය නැවත ඔබට ලැබුණේ නම්, නැත්නම් පූජාව බාර කරන විට එය නැවත ඔබට දෙන ලෙස ඉල්ලා සිටීමට පුළුවන. එසේ ලැබුණු පොල් ගෙඩිය මත කපුරු දල්වා තමාගේ සියලුම දෝෂ දුරු වී බලාපොරොත්තු සියල්ල සඵල වේවා, “ඔබ වහන්සේට මෙම කිරිපොල් මාලාව පූජා වේවා” යැයි ප්‍රාර්ථනය කර පොල් ගැසීමට ඇති තැන ගසන්න. කිසිම දවසක යම් අයකුට අහිතක් සිතා පොල් ගැසීමෙන් වළකින්න. කිරි පොල් මාලාව කැප කරන්නාවු දෙවියන් විසින් ඔබව ඒ සියලුම කරදරවලින් ආරක්ෂා කරගන්නවා ඇත. ඔබගේ අපල උපද්‍රවලට පොල් ගැසීමට අවශ්‍ය නම් එය වෙනත් ආකාරකට සිදු කළ යුතුය. එසේම ඔබ පොල්ගෙඩියක් කැප කරන්නේ නම් එහි ඇස් තුනම වැසෙන ලෙස මුඩ්ඩ ඇත්දැයි හොඳින් බලන්න. මෙම පොල් ගෙඩිය ද තමන් විසින්ම සූදානම් කරන්නේ නම් මැනවි. මෙම පොල් ද පලතුරුද වට්ටියට තබන බුලත් ද සියල්ලම කහ දියරයෙන් සෝදා පිරිසුදු කරගත යුතු බව මතක තබා ගන්න.
ඔබට පලතුරු ගෙඩි පූජාවක් වශයෙන් සූදානම් කර පූජා කිරීමේදී අපගේ පූජාව දෙවියන් පිළිගනීද යන්න මෙහිදී විමසා බැලිය යුතුය.
මෙම පිරිසුදු පලතුරු පූජා කළ විට එම පලතුරු දෙවියන් ඉදිරිපිට ඇති පූජාසනය මත තබා කපනු ලැබේ. එවිට ඉන් නික්මෙන ප්‍රණීත සුගන්ධය දෙවියන් ආඝ්‍රාණය කරන බව හින්දු දේවපුරාණයේ සඳහන්ව ඇත. එබැවින් සෑම අවස්ථාවකදීම පිරිසුදු පලතුරු භාවිත කර පුජාව සිදු කිරීම සුබදායකය. එයින් අපිරිසුදු ගන්ධයක් ඇති වුවහොත් ඔබගේ ප්‍රාර්ථනාවට එය ද බලපානු ඇත. පලතුරු පූජාවකදී පලතුරු සමඟ මල්, කපුරු, හඳුන්කූරු සමඟ කැවිලි ද පූජාවට තබනු ලැබේ. ඇතැම් දෙවි දේවතාවන් සඳහා තබන පූජාවන්වලදී ඊට අමතරව දියගොඩ මාංශ පුළුටු ද, ඇටඇටාටි, බැදුම් වැනි දේ ද, දෙහි, උළුදු වඩේ වැනි දේ ද පූජා වට්ටියට එක් කරනු ඇත. එයට හේතුව ඇතැම් දෙවිවරු එම ගන්ධයන්ට ද සංවේදී බවක් දක්වන නිසාය.
මේ සියල්ල සමඟ ඒ ඒ දේවතාවන්ට නිසි අයුරින් භාවිත කරන වර්ණයන්ට අනුව සේලයන් ද පූජා කරනු ඇත. ඒ සමඟම බොහෝ අවස්ථාවලදී මල් මාලාවක් ද පූජාවට එක් කරනු ඔබ දැක ඇත. එහෙත් මෙම මල් මාලාව ස්වාභාවික මල්වලින් සාදන ලද එකක් විය යුතුය. එයට හේතුව දෙවියන්ට කැප කළ පසුව එය පරවී යා යුතුය. එය නියමයකි.
සමස්තයක් ලෙස පූජාවට පලතුරු ජාති 7ක්, කැවිලි ජාති 7ක්, එම දෙවියන්ට ආවේණික වර්ණයෙන් මල්, සේලයක්, කපුරු, හඳුන්කූරු ද පූජාව සකසා අවසන් වු පසු ඉසීමට පිනි දියර ද ඔබට සූදානම් කරගත යුතුය.
මේ පූජාව සමඟ ඔබ තමාගේ ප්‍රාර්ථනාවක් බලාපොරොත්තු ඉටු වේවා, එසේ ඉටුවුණු පසු නැවත පැමිණ මෙලෙස පුද පූජා පවත්වා පින් අනුමෝදන් කරන බවට රිදී කාසියක් කහ වතුරෙන් සෝදා පිරිසුදු රෙදි කඩක ගැටගසා දෙවියන්ගේ පිළිරුව දෙස බලා එහි දෙනුවන් මත තමාගේ ඇස් යොමා ගැටය තදකර කපු මහතාට බාර දෙන්න. නැතහොත් පඬුර ගැට ගැසීමට ඇති ස්ථානයේ ගැටගසන්න.
එසේම එම ස්ථානයේදී තමන් විසින් වූ බාරය ද ඒ අයුරින්ම ඔප්පු කිරීමට ද වගබලා ගත යුතුය. නැවත ඔබට යම් උපද්‍රවයක් සිදු වුණු විට පැමිණ බාරවීමට ඉඩ සලසා ගත යුතුය. දෙවි දේවතාවන් උදෙසා විශේෂිත පුජාවක් පිළිබඳ ඉදිරියේදී ඔබ දැනුවත් කරමි.