
මුවෝ වනාහි අහිංසකත්වයේ ප්රතිමූර්තියකි. වනය ඔවුන්ගේ රජදහනකි. එහෙත් අතුරුගිරිය, හෝමාගම, මොරටුවාහේන, පනාගොඩ ප්‍රදේශ කිහිපයක කාලාන්තරයක් තිස්සේ සැරිසරන මුවෝ රංචුවේ ජිවන රටාව ඊට හාත් පසින්ම වෙනස්ය. කැලෑවක් නැති ඔවුන් ජිවත් වූයේ ජනාකීර්ණවය. අනතුරුවලට ලක්වන වාර අනන්තය. මේ මුව රංචුවේ ආරම්භය මීට වසර ගණනක එහාට දිව යන්නේය. 1980 දශකයේ මැද වන විට මේ මුව රංචුව නගරාසන්න ප්‍රදේශයට කොටු වූයේ පනාගොඩ පිහිටි හමුදා කඳවුරෙන් බව වාර්තා වෙයි.
අදාළ අවසර මත එරාවූර් සිට පනාගොඩ කඳවුරට ගෙනා මේ මුවන් ආශ්රිත ඉඩමක හැඳි වැඩි ඇත. එපමණක් නොව සතුන්ට ප්‍රිය කරන මේ ප්‍රදේශයේම පවුලක්ද මුවකු දෙන්නෙකු හදාගෙන ඇත්තේ මේ කාලයේදිමය. ගම්මු පවසන පරිදි මේ මුවෝ කෙසේ හෝ අවට ගම්මානවලට පැනගොස් ඇති අතර අද වන විට විශාල මුව ගහණයක් පවතියි. අතුරුගිරිය අවට ගම්මානවල සැරිසරන මේ මුවන් පිළිබඳ මෙතෙක් අලුත් කතාවක් ගොඩ නැඟුනේ නැත. ඔවුන් වතුපිටි පාළු කළඳ ගම්මුන්ට මෙය සුන්දර අත්දැකීමකි. පසුගියදා එහි අසුන්දර අත්දැකීමක් වාර්තා වූයේ වනයේ ජිවත්විය යුතු, එහෙත් කිසිවෙකුගේත් අවධානයට යොමු නොවූ මේ මුවන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ ඇස් විවර කරමිනි.
ගමේ ඇතැම්හු පවසන්නේ මේ මුව රංචුව 1000-2000 ක පමණ පිරිසක් බවය. වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ එය 150-180 ක කණ්ඩායමක් බවය. නමුත් අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයක සැරි සැරූ අපට එහි පමණක් මුවෝ 150-200 ක රංචුවක් දැකගත හැකි විය. පසුගියදා මේ මුවෝ 25 කට ආසන්න සංඛ්‍යාවකගේ මරණ දකින්නට ලැබුණු අතර, සාමාන්‍ය මරණ සේ සැලකූ ගැමියෝ ඒවා වළ දමන්නට කටයුතු කළහ. එහෙත් හෝමාගම වෑකන්ද පාරේ එක් මුවකු කෙළ වගුරුවමින් දඟලා මිය යන දසුන දුටු ගැමියකු ඒ පිළිබඳ අදාළ පාර්ශ්ව දැනුම්වත් කරන්නට කටයුතු කළේ යම් සැකයක් එයින් මතුවූ බැවිනි. ඒ අනුව මුල් මරණ කෙසේ වෙතත් අවසානයට සැකයට බඳුන් වු මුව මළකුණු තුනක හිස් කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට මෙන්ම පේරාදෙණිය පශු විමර්ශන ආයතනයට යැවුණේ ඊට හේතුව සොයන්නටය. අවසානයේ සනාථ වූයේ මේ මුව මරණ සිදුවී ඇත්තේ ජලභීතිකා රෝගය වැළදීමෙන් බවය.
ජලභීතිකාව නිසා මේ මුව රංචුවේ ඉරණම පමණක් නොව අවට ගම්වාසීන්ගේ, අයාලයේ යන හා ඇතිකරන සුනඛ හරක් ආදි සත්ත්වයන්ටද මේ හේතුවෙන් මතුව ඇති අවදානම සුළුපටු නොවේ.
මේ මුව රංචු අවට ගම්වාසීන්ට බොහෝ සේ හීලෑය. බොහෝ මවුවරු ආහාර කවා ගන්නට පවා දරුවන්ට මුවන් අතපත ගාන්නට දෙති. ගම්වාසීන්ගේ ගොවිබිම් පාළු කරනවා හැරෙන්නට මේ අහිංසකයන්ගෙන් හිරිහැරයක්ද වූයේ නැත. නමුත් වනජීවි දෙපාර්තමේන්තුවෙන් මීට වසර 12 කට පමණ පෙර විශාල වෙහෙසක් දැරුවේ මේ මුව රංචුව අල්ලා වනයකට මුදා හරින්නටය. විශාල වපසරියක විහිදී සිටියද මොවුන් ඇල්ලීම පහසු වූයේ නැත. විශාල දැල් එලා අල්ලා ගත හැකි වූයේ මුවන් 48 දෙනෙකු පමණි. එදා මුවන් දෙදෙනෙකු මියගියේ වැටලීමේදීය. මේ නිසා ගම්මුන්ගේ දැඩි විරෝධය හමුවේ මේ මෙහෙයුම නතර විය. ඉන් වසර 5 කට පමණ පසුව යළිත් කණ්ඩායම් වශයෙන් මුවන් ඇල්ලීම ආරම්භ කළ අතර, එදා අල්ලාගත් මුවන් බෙල්ලන්විල අත්තිඩිය රක්ෂිතයේ තබා ගනිමින් පසුව විල්පත්තුවට මුදා හැර තිබිණි.
නමුත් මේ වන විට අදාළ ප්‍රදේශයන්හි ජලභීතිකා අවදානම මතුව ඇත්තේ මේ අයාලේ යන්නට ඉඩ හැරූ මුවන්ගෙනි. හෝමාගම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු විමර්ශන මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය නිලධාරී පුෂ්පකුමාර ගමගේ හා පශු විමර්ශන නිලධාරීනි වෛද්‍ය එස් කේ සමන්ති රත්නසිරි හරහා මුලින්ම ලැබුණු මුව හිස්කබලින් මේ කරුණ තහවුරු කර ගත්හ.
“කාලයක සිට හෝමාගම ඇතුරුගිරිය අවට දහස් ගණනින් රංචු වශයෙන් මේ මුවන් සැරිසරනවා. පොල්වතු ඉඩම් නිසා මේ සත්ත්ව ගහණය වේගවත් වුණා. කලින් මේ සත්තු විවිධ හේතුමත මැරුණා. නමුත් පසුගියදා අපේ පශු විමර්ෂණ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබුණා, ජලභීතිකා අවදානමක් ගැන. පසුව අපි අවසානයට මැරුණු මුවන් තිදෙනෙකුගේ හිස් ගෙනැවිත් විමර්ශනයට ලක්කර මුලින්ම එය තහවුරු කර ගත්තා. අපේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ මේ සතුන්ට ජලභීතිකාව වැලදුණු ආකාරය සෙවීමට. මෙහිදි අපි අනුමාන කළා, මේ ප්‍රදේශයේ ගැවසෙන හිවල්, නරි හෝ මුගටි, උගුඩු ආදි ක්ෂීරපායි සතුන්ගෙන් මුවන්ට වැලදෙන්නට ඇති කියා. නමුත් යම් හෝ සැනසීමකට පවතින්නේ මේ මුවන් හරහා රෝගය ව්‍යාප්ත වීම ඉතා අවම වීම.“ ඒ පශු වෛද්‍ය පුෂ්පකුමාර ගමගේය.
වනයේ ජීවත්විය යුතු මෙවැනි සතුන් නැවත හුරුපුරුදු වාසස්ථානවලට මුදා හැරිමේ වගකීම ඇත්තේ වනජිවි දෙපාර්තමේන්තුවටය. නමුත් මේ තත්ත්වය මත මොවුන් අල්ලා එවන් පරිසරවලට මුදා හැරීමට දැන් හැකිවේද? අදාළ බලධාරීන් මේ වන විට සිය වගකීම ඉටු කරන්නට සූදානම්ද?
“මෙවැනි රෝග ව්යාප්තියකදි මුල්ම වගකීම ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට. මේ වනවිට හෝමාගම අතුරුගිරිය අවට සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඒවා ස්ථිරවම ජලභීතිකා බව හඳුනා ගැනීමක් කළා. වනජීවි සංකල්ප අනුව මෙවැනි රෝගයක් ව්‍යාප්ත වීමේදී වැඩියෙන්ම ඊට ගොදුරු වන්නේ දුර්වල සතුන්. මේ සතුන් බෝ වූ පසු කැලය තුළදීම ඇදගෙන වැටෙනවා. සමහර විට මිනිස් වාසස්ථාන ආශ්‍රයට එන්නට ඔවුන්ට හැකියාව නැහැ. ඒවගේම මුවන් ශාක භක්ෂක නිසා ඔවුන් ක්‍රියාකාරි රෝග වාහකයන් නොවෙයි. මේ වන විට මැරුණු සතුන්ගේ ජාන පරික්ෂාවන් සිදු කෙරෙනවා. ඒ අනුව මේ සතුන්ට රෝගය බෝ වූයේ කෙසේදැයි නිගමනයකට පිවිසීමට හැකි වෙනවා. මේ රෝගය වැලදුණේ නරින් හිවලුන් ආදි සතුන්ගෙන් බවට නිගමනය වුවහොත් අපේ එන්නත්කරණ ආකාර වෙනස් වෙනවා. නරි කන මස්වර්ග හෝ විශේෂිත චොකලට් වර්ගයක් හරහා ඔවුන්ට එන්නත ලබා දීමක් සිදු කරනවා. නමුත් මේවායින් පසු අහිතකර විපත් ඇතිවිය හැකියි. මේ මුවන් වියළි කලාපයේ ජීවත් වන සතුන්. අනවශ්‍ය ලෙස විවිධ පිරිස් මේ සතුන් මුදා හැරීම නිසා බෝ වීම ඉක්මන් වුණා. අවස්ථා කිහිපයකදිම මේ සතුන් ඇල්ලීමට විවිධ උපක්‍රම දියත් කළා. කිහිප දෙනෙක් අල්ලා වනයට මුදා හැරියා. නමුත් ජනතාවගේ දැඩි විරෝධය මතුවුණා“ ඒ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද්ය.
වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ මුවන් නිදැල්ලේ නගරාශ්‍රිතව ජිවත් වීමේ සියලු වගකීම් වනජීවි දෙපාර්තමේන්තුවටම දැරිය නොහැකි බවය. ඒ මිනිසුන්ගේ පූර්ව ක්‍රියාකාරකම් නිසාය.
මේ වන විට 'one mile programme' වැඩසටහනින් ප්‍රදේශයේ ගැවසෙන අනිකුත් සතුන් එන්නත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත්තේ රෝගය පැතිරීම අවම කිරීමටය. සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වනජීවි බලධාරීන්ද පවසන්නේ මුව රංචු වශයෙන් ජලභිතිකාව වැලදුණු අවස්ථා ලොව ඉතා සීමිත බවයි. ලංකාවේද මෙවන් සිදුවීමක් වාර්තා වූයේ පළමු වතාවය. 2020 වසරේදී කළුතර ප්‍රදේශයේ ජලභීකාව වැළදුණු නරින් හපා කෑමට පෙලඹුණු අවස්ථා කිහිපයක්ම වාර්තා විය. මීට මසකට පමණ පෙර කොළඹ ආශ්‍රිතව ගවයන් කිහිප දෙනෙකුට ජලභිතිකාව වැලදුණු බවට වාර්තා විය.
“මේ මුවන් සිටින ප්‍රදේශයේ ජීවත් වන අයට රෝගය බෝ වීමේ අවදානම අඩුයි. එහෙම කියලා පරිස්සම් නොවී සිටිය යුතු නැහැ. රෝගි මුවකු ස්පර්ෂ කිරීම, අතගැමෙන් ඌගේ කෙළ තුවාලයක් හරහා ඇතුළුවීමෙන් රෝගය බෝවිය හැකියි. ඒ නිසා මේ මුව ගහණය ඇති මේ ප්‍රදේශවල අමතර වියදමක් දරා බල්ලන්ට විශේෂ එන්නත් කිරීමක් කළා. මෙය බල්ලන්ගෙන්, මුගටියන්ගෙන්, කොළ දිවියන්ගෙන්, කලවැද්දන්ගෙන් හෝ නරීන්ගෙන් බෝ වීමේ අවදානමක් පවතිනවා. අපිට තියෙන එකම ප්රශ්නය මේ සතුන්ට බෝ වුණේ කෙසේද යන්නයි. මේ සතුන් අල්ලා ගොස් ආරක්ෂිත පරිසරයකට මුදා හරින ලෙස අපි වනජිවි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම ජලභීතිකා පනත ඉතාම යල්පැන ගිය එකක්. මේ අවස්ථාවේදි කටයුතු කිරීමේදී නීතිමය තර්ක මතුවෙන්න පුළුවන්. පනතට අනුව මෙහි වැඩි වගකිමක් ඇත්තේ නගර හා ප්‍රාදේශීය සභාවට. එහෙම කියලා සියල්ලටම මේ වගකීමෙන් මිදෙන්න බැහැ...“ ඒ සෞඛ්‍ය අමාත්‍යාශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එල්. ඩී කිත්සිරිය.
ජලභිතිකාව වැළැක්වීමට එන්නත් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. නමුත් මුවන් වැනි සතුන්ට එන්නත් කිරීම ලෙහෙසි කරුණක් නොවේ.
“මේ මුවන්ගේ හීලෑ කණ්ඩායමක් ඉන්නවා. ඒ අය අල්ලන්න යන්න එපා. කෑම දෙන්න ළඟට යන්න එපා. ඔබ අවට එන්නත් නොකළ බල්ලන්ට පූසන්ට මේ රෝගය වැලඳිය හැකියි. අපි කලින් වතාවේ බල්ලන් 6000 කට එන්නත් කළා. මේ සිදුවීමක් සමඟ සතුන් 650 කට එන්නත් කර තියෙනවා. වනජිවි දෙපාර්තමේන්තුවෙන් මේ සතුන් ඉවත් කළ යුතු වෙනවා. ඊට විශාල වැටලීමක් කළ යුතුයි....“ ඒ අතුරුගිරිය ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සි.එස් ඉදිපොළගේය.
![]() |
අතුරුගිරිය මොරටුවාහේන පළාතේ සිටි 150 කට අධික මුව රංචුවක් |
නමුත් ප්‍රදේශවාසීන්ට අවදානමක් ගන්නට පෙර අවමානයෙන් සිටිය යුතු වුවද අනවශ්‍ය බියක්ද ඇති කර ගත යුතු නැත.
“අපි දැනට මුව හිස් තුනකින් පමණයි තහවුරු කළේ. කලින් මුවෝ මැරුණේ මේ නිසාද කියලා අපි දන්නේ නැහැ. හෝමාගම ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් මැරුණා. නමුත් නරි වැනි සත්තු මේ පළාතේ නැහැ. ඒ නිසා රෝගය බෝ වූ ආකාරය පිළිබඳ නිශ්චිත නිගමනයකට දැන්ම එන්න බැහැ. මේ රෝගය තව මුවන්ට තිබිය හැකි යැයි අපි අනුමාන කරනවා. විෂබීජ ශරීරගත වී රෝග ලක්ෂණ පෙන්වීමට සපා කෑ ස්ථානය, සපා කෑ ප්‍රමාණය බලපානවා. ඒ අනුව මොළයට විෂබීජය ගිහින් සති 2 සිට මාස 7 ක් දක්වා රෝග ලක්ෂණ මතුවිය හැකියි. දඩාවතේ යන බල්ලන්ගෙන් මෙන්ම බලු පැටවුන්ගෙන් පරිස්සම් වෙන්න. වනජීවි එකෙන් මේ සත්තු අල්ලන ලෙස අපි ඉල්ලීමක් කරනවා“ ඒ හෝමාගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරියය.
හෝමාගම, අතුරුගිරිය අවට ප්‍රදේශ කිහිපයක සැරිසරන මේ විශාල මුව රංචුව අනාරක්ෂිත කණ්ඩායමකි. ඔවුන් නිසා ප්‍රදේශවාසින්ද, නුහුරු පරිසර තත්ත්වයක් නිසා මේ මුවන්ද දැඩි සේ අනාරක්ෂිත වී ඇත්තේය. ජලභිතිකාවට පමණක් නොව ගෘහාශ්‍රිතව ඇතිකරන සතුන්ට වැලදෙන විවිධ රෝගාබාධයන්හිදී මේ මුව රංචුව රෝග වාහකයින් විය නොහැකිද? වනජිවි දෙපාර්තමේන්තුව කුමක් පැවසුවද ඊට ඇවැසි ක්‍රියාමාර්ග ගැනීම ඔවුන්ගේ වගකීමකි. කලින් වතාවේ ජනතාව මේ මුවන් ඇල්ලීමේදි විරුද්ධ වී ඇත්තේ යම් යම් අඩුපාඩු දුටු නිසා බව වාර්තා වෙයි. අප මේ සංචාරයේදී දුටු හා ඒ අනුව අපගේ දැනුමේ පමණින් පැවැසිය හැක්කේ යම් සූදානමක් ඇතිව මේ වැටලීම කළ හැකිනම් විශාල මුවෝ ප්‍රමාණයක් කොටුකර ගත හැකි බවකි. මන්ද මේ වන විට මේ මුවන් විශාල වශයෙන් ගැවසෙන නිශ්චිත ස්ථාන හදුනාගෙන ඇති බැවිනි. මෙවැනි සතුන් කොටුකර ගැනීමේ ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කිරීම, ජාත්‍යන්තර සත්ත්ව සෞඛ්‍ය සංවිධානයෙන් (OIE) හෝ උපදෙස් ගැනීම වනජීවි දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේය.
සේයාරු - දුෂ්මන්ත මායාදුන්න