අගෝස්තු 31 වැනිදා සිකුරු රජ ගෙදරට | සිළුමිණ

අගෝස්තු 31 වැනිදා සිකුරු රජ ගෙදරට

2022 අගෝස්තු මස 31 වැනි බදාදා සවස 4:19 ට ග්‍රහලොව ක්ෂුද්‍ර කාලී හෙවත් සිකුරු සිංහ රාශියට ප්‍රවිශ්ට වේ. මෙය ලේලි, මාමණ්ඩිගේ ගෙදරට යෑමක් ලෙස ද හැඳින්විය හැකිය. ලේලිය මාමණ්ඩිගේ රැකවරණයට යන්නේ නැන්දම්මාගේ රැකවරණයේ සිටයි. එනම්, ලේලිය මේ මොහොතේ ක්‍රමිකව බලවත් වන බව පෙනී යයි.

කෙසේ වෙතත් ශාස්ත්‍රානුකූලව සිකුරුට කටක, සිංහ රාශි ඉතාම සතුරු වෙයි. සිකුරු සිංහ රාශිගතවන විට ලංකා කේන්ද්‍රයේ හත්වැන්නේ රාජ්‍ය මාරුවක රජ ද සිටී. එනම්, රජු මැදුරේ සිටින විටම සිකුරු රජ ගෙදරට පැමිණීමකි. ඒ අනුව එය හත්වැන්න හෙවත් හවුල්කාර ස්ථානයයි. හවුල් ආණ්ඩු, මිශ්‍ර ආණ්ඩු වැනි ක්‍රමවේදයන් නිර්මාණය වීමේ ඉඩ කඩ ඉතා වැඩියි.

එමෙන්ම බලය බෙදා හැර බොහෝ පාර්ශ්ව සමඟ කටයුතු කරන කාලයක් ලෙස ද මෙම කාලය හැඳින්විය හැකිය. දේශපාලන පොර පිටිය වෙනස් හැඩතල, ගිවිසුම් ආදියෙන් වර්ණ ගැන්වෙන කාලයකි.

මේ අතර විවාහ කටයුතු සිදුවන, බොහෝ ප්‍රේම සබඳතා ආදියට කැමැත්ත හිමිවන කාලයකි. මානව සම්පත් කලමනාකරණ, තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රවල පිබිදීමක් සිදු වනු ඇත.

මේෂ - මේෂ ලග්නයෙන් උපන් අයට ප්‍රේම සබඳතා ශක්තිමත් කෙරේ. සමාජ සබඳතා ගොඩනැඟෙන අතර, තම අරමුණු කරා යන කාලයකි. අධ්‍යාපනික කටයුතු දරුවන්ගේ කටයුතු ආදියට වෙහෙස වෙයි.

වෘෂභ - නිවාස අලංකාර කරගනී. නව නිවෙස් ඉදිකිරීම් ආදියට ද ඉතා යෝග්‍යය. යානවාහන කටයුතු බහුල කරයි. ගෙදර දොර, ඥාතීන් සමග වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව උදාකරයි.

මිථුන - සහජ කුසලතා එළිදක්වන කාලයකි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු බහුල කරයි. සමාජ කටයුතු සඳහා ද වෙහෙස වන බව පෙනේ. ලිපි ලේඛන කටයුතුවලින් සාර්ථකත්වය ලබා ගනී.

කටක - තාර්කික ඥානය වැඩි වේ. සමාජයිය දැනුම, අත්දැකීම් බහුල කරයි. නීති ක්ෂේත්‍ර කටයුතුවලට ඉතා ශුභ කාලයකි. මානව සම්පත් කළමනාකරණ කටයුතුවලටද ඉතා ශුභයි.

සිංහ - රැකියා කටයුතු පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන කාලයකි. පිළිවෙලට, පිරිසුදුවට ඇඳ පැලඳ සිටීමට ද දැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. සමාජ විෂමතාවලට එරෙහිව තදින් පෙනී සිටී.

කන්‍යා- විදේශගත වීමේ වාසනාව පවතී. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ප්‍රීති වීමට යෑමෙන් හානි ද සිදු විය හැකිය. පාද ආශ්‍රිත රෝග ඉස්මතු කරයි. යාන වාහන අනතුරුවලින් පරෙස්සම් වන්න.

තුලා - ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමට ඉතා ශුභයි. වැඩිහිටි සබඳතා ගොඩ නැඟේ. කලාත්මක කටයුතුවලට ද ඉතා යෝග්‍යයි. හෘදය ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය.

වෘශ්චික - රැකියා කටයුතු දියුණු කරයි. සමාජ සබඳතා ශක්තිමත් වන කාලයකි. පිය පස ඥාතීන් සමඟ හෝ පියා සමඟ මත ගැටුම් ඇති විය හැකිය. විවාහ බාධක ද පෙන්නුම් කරයි.

ධනු - පෙර පින් ඉස්මතු කරගත හැකි කාලයකි. නව තාක්ෂණික දැනුම සහිත දේ ඉගෙනීමට ආශා කරයි. වෙහෙසකර කටයුතු ආදියෙන් ඈත්ව සැහැල්ලුවෙන් කටයුතු කිරීමට පෙළඹේ. කෙටි ධන මාර්ග සොයයි.

මකර - විවාහ සබඳතා පිළිබඳ පරෙස්සමෙන් කටයුතු කළ යුතු කාලයකි. ජාතික වැදගත්කම් සහිත කටයුතුවලින් ඈත්වීම ඉතා යෝග්‍යයි. අනිසි මානසික පීඩා උදාවිය හැකිය. හවුල් ව්‍යාපාරවලට ද පීඩාකාරි වේ.

කුම්භ - නව මිත්‍ර සබඳතා ගොඩ නැඟේ. නව පිරිසක් සමඟ කටයුතු කිරීමට සිදුවේ. සමාජයේ ස්ථාවර තත්ත්වයක් නිර්මාණය කෙරේ. බිරියගේ සැප පහසුව උදෙසා යම් යම් දේ සිදු කරයි. යුග ජීවිතයට සුබ කාලයකි.

මීන - සතුරු බලවේග මැඩගෙන ඉදිරියට යා හැකිය. කායික, මානසික පීඩා සුළු වශයෙන් ඇතිවේ. සේවක ප්‍රශ්න විසදෙයි. දුර බැහැර ගමන් බිමන් යෑමට සිදුවන කාලයකි. උදරගත රෝග සුවපත් වේ.

කුරුලු ජෝඩුවක් නිදහස් කිරීම, කරද පැළයකට ජලය වත් කිරීම, මෙත්තානිසංස සුත්‍රය නිතර මෙනෙහි කිරීම මෙම කාලයේ ඉතා ශුභදායකයි.

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී, ආචාර්ය කැලුම් ගුණතිලක

Comments