අපි අවුරුදු හයක් ආදරේ කළා | Page 2 | සිළුමිණ

අපි අවුරුදු හයක් ආදරේ කළා

 

සදනි පතිරගේ කියන්නේ ප්‍රථම ටෙලි නාට්‍යයෙන්ම ජනතාවගේ ආදරය හිමි කරගත් නිළියක්. තූර්යා නාට්‍ය නිසා ජනප්‍රිය වුණු ඈ පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. අලුත් ජීවිතයේ තොරතුරු ගැන කියන්න රසඳුන එක්ක කතාබහ ට එකතු වුණේ මෙහෙමයි.

 

 යුවතියක් විවාහ දිවියට ඇතුළත් වෙනවා කියන්නේ ජීවිතයට අලුත් වගකීම් ගොන්නක් එකතු කරගන්නවා කියන එකයි..?

ඒක නම් එහෙම තමයි. තනියම ජීවත් වෙද්දී තියෙන නිදහස, වගකීමකින් තොර බව විවාහ වුණාට පස්සේ වෙනස් වෙනවා. මම විවාහ වෙලා තවම සති කිහිපයයි. පුංචි වෙනසක් වුණාට තවම ලොකු වගකීමක් මට දැනුණේ නැහැ. කොහොම නමුත් සියල්ල සමබර කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා.

 දෙමාපියන්ගෙන් වෙන් වෙලා අලුත් ජීවිතයකට හුරුවීම පහසු වුණා ද..?

මගේ සැමියා තුෂාන් වික්‍රමසිංහ එයා අයි. ටී ඉංජිනේරුවරයෙක්.මම මෙච්චර කාලයක් මගේ දෙමාපියන් එක්ක ජීවත් වෙලා එකපාරටම වෙන ගෙදරක ජීවත් වෙනවා කියන්නේ ටිකක් අපහසු කටයුත්තක් තමයි. හස්බන්ඩ්ට ඉන්නේ අක්කයි අයියයි. ඒ දෙන්නා විදෙස් ගත වෙලා ඉන්නේ. ගෙදර ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා එක්ක හොදින් ජීවත් වෙන්න පුළුවන් වෙයි. මට තවම නම් වෙනසක් වෙලා නැහැ. එහෙම වෙයි කියලා හිතන්නේත් නැහැ.

 ඔබ ගුරුවරියක් විදිහට කටයුතු කරන්නේ, උයන්න පිහන්න පුළුවන් ද. ඇතැම් අය කියන්නේ ජනප්‍රිය අයට ගෙදර වැඩ බැහැ කියලයි ..?

මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ ගෙදර ඉන්නකොටත් මම ගෙදර වැඩ කළා. රසට උයන්න පුළුවන්. හස්බන්ඩ්ගේ ගෙදර ආවා කියලා ඒවා නොකර ඉන්නේ නැහැ. මමත් සාමාන්‍ය ගෘහණියක්. ගුරුවරියක් විදිහටත් කටයුතු කරනවා. ඒක මගේ රැකියාව නේ.

 විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධයකින්ද..?

ඔව්. අපි විවාහ වුණේ ආදරේ කරලා. අවුරුදු හයක් ආදරේ කළා. ඊට පස්සේ තමයි විවාහ වුණේ. අපි ආදරේ කරන්න පටන් ගද්දී එයා හිටියේ විදෙස් ගත වෙලා. එයා දන්නෙත් නැහැ මම නිළියක් කියලා. කතාබහ කරද්දී තමයි එයා දැන ගත්තේ. නමුත් ඒකට මොකුත් කිව්වේ නැහැ. මගේ නාට්‍යය එයා යුටියුබ් එකෙන් බලලා තිබුණා.

 විවාහයෙන් පස්සේ අයිතිය වැඩියිනේ, දැන් කියන්නේ නැද්ද රගපාන්න එපා කියලා ..?

මම ගුරුවරියක් විදිහට වැඩ කරද්දී ඒකයි රගපෑමයි සමබරව කරන්න බැහැ. අමාරුයි. ෂූටින් යද්දී නිවාඩු ගන්න ඕන. දවස් ගණන් කැප කරන්න ඕන. ඒ හේතුව නිසා මම හිතුවා විවාහයෙන් පස්සේ රඟපාන්නේ නැහැ කියලා, ගුරුවරියක් විදිහට විතරක් කටයුතු කරනවා කියලා. මට ආරාධනා එද්දී එයා කියලා තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. සමහර වෙලාවට පුෂ් කරනවා. නමුත් මම කැමති නැහැ ආයේ රඟපාන්න..

 එහෙම නැත්නම් ආරාධනා ලැබෙන්නේ නැද්ද..?

ආරාධනා නම් ලැබෙනවා. එහෙම ලැබුණු නාට්‍යයක් තමයි චලෝ කියන්නේ. ඒ නාට්‍ය තමයි අන්තිමට කළේ. මම මුලින්ම සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය තූර්යා. ඒ චරිතය බොහෝ ජනතාව වැළඳ ගත්තා. අදටත් ඒ ගැන කතා කරන රසිකයින් ඉන්නවා. එය රූපගත කළේ 2009 අවුරුද්දේ.

 පාසලේ ළමුන්ගෙන් ඔබේ රගපෑමට ප්‍රතිචාර ලැබෙනවා ද..?

මම උගන්වන්නේ පොඩි පංතිවලට. ඒ දරුවන්ට ඒ තරම් අවබෝධයක් නැහැ. මම උගන්වන්නේ ජාත්‍යන්තර පාසලක. දැන් ඉන්න දරුවෝ ඒ තරම් නාට්‍ය බලන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති පාසලේ ගුරුවරියක් විදිහට විතරක් ඔවුන් මා ගැන දන්නේ.

 

 

Comments