අධිවේගයෙන් යන්න ගිහින් ඇල්ලූ ලොරියෙන් හෙළි වුණු හොර හරක් ජාවාරම | සිළුමිණ

අධිවේගයෙන් යන්න ගිහින් ඇල්ලූ ලොරියෙන් හෙළි වුණු හොර හරක් ජාවාරම

වීරකැටිය මෙරට පිහිටා ඇති එක් සුවිශේෂි පොලිස් ස්ථානයකි. ප්‍රභූවරුන් රාශියකට වාසභූමිය වී ඇති මෙහි රාජකාරී කිරීම පොලීසියට එතරම් ලෙහෙසි පහසු නැත. නිරන්තරයෙන් මෙම ප්‍රභූවරුන් මෙම ප්‍රදේශයේ සංචාරයේ යෙදෙති. එම ඉහළම ප්‍රභූවරුන් බැහැදැකීම සඳහා පැමිණෙන සුවිශේෂි පුද්ගලයන්ගෙන්ද අඩුවක් නැත.මෙහි සේවය කරන ස්ථානාධිපතිවරයාට පැවරී ඇත්තේ ඉතා බාරදූර වගකීම් රාශියකි. මහජනතාවගේ දෛනික රාජකාරී ඉටුකීරිම අධිකරණ කටයුතු, හදිසි මරණ, සොරකම්,මිනිමැරුම්, මංකොල්ලකෑම් වැනී අනේකවිධ රාජකාරී අතර ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කළ යුතුය.

බුද්ධි නිලධාරීන් යොදවා ලබාගන්නා තොරතුරු සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු විශ්ලේෂණය කරමින් ආරක්ෂක කටයුතු මෙහෙයවිය යුතුවේ.වත්මන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ. එච්. කැළුම් සංගීත් විරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරනුයේ වසර කිහිපයක සිටය. ඒ නිසාම බලප්‍රදේශයේ තොරතුරු සියල්ල හොඳින් දනී. කූට ජාවාරම්කරුවන් මෙම කාල වකවානුවේ සිය ජාවාරම් රිසි සේ කරන්නට හැකි යයි සිතා සූක්ෂම උපක්‍රම යොදා ගනිමින් ඒවා කරගෙන යන්නට උත්සාහ දරන බව පොලිස් පරීක්ෂක සංගීත් හොඳින් දනී. ඔහු කලක් අගනුවර කුඩු ජාවාරුම්කරුවන් සමඟ ගැටී ඒවා මැඬලන්නට සක්‍රියව දායකත්වය ලබාදී තරුණ පරපුර මත් රකුසාගෙන් බේරාගන්නට කටයුතු කළ දක්ෂ නිලධාරියෙකි. ඒ නිසාම පොලිස් දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්වූ නිලධාරියෙකි.

පසුගිය දිනක පස්වරුවේ පොලිස් පරික්ෂක සංගීත් අපාරධ විමර්ශන අංශයේ නිලධාරීන් කැඳවා ආරක්ෂක තොරතුරු සාකච්ඡා කර රාත්‍රි කාලයේ වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගයේ බැදිගම මාරගස් හන්දිය අසල ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන සහ පුද්ගලයන් පරික්ෂා කිරීමට සැලසුම් කලේය. උප පොලිස් පරික්ෂක ජයසුන්දර, උපපොලිස් පරික්ෂක කුමාර, සැරයන් (12677) දයාරත්න, සැරයන් (8458) නීල් , සැරයන් (40655) ෂෙල්ටන්, සැරයන් (40643) චමින්ද, කොස්තාපල් (70223) රසික සහ පොලිස් රියදුරු(75518) කළුආරච්චි මෙම කණ්ඩායමට එක්විය.

රාත්‍රි දහයට පමණ මාර්ග බාධකය ස්ථානගත කළ නිලධාරීන් ගිනිඅවි සහ විදුලි පන්දම් සූදානම් කරගෙන සිටියේ මාර්ගයේ පැමිණෙන රථවාහන පරීක්ෂාව සඳහාය. රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මෙන්ම ඉන්ධන අර්බුදය නිසාද මාර්ගයේ වාහනයක් ගමන් කළේ ඉඳහිටය. අලුයම දෙකට ආසන්න වෙද්දී වීරකැටිය දෙසින් අධික වේගයෙන් වාහනයක් පැමිණෙන අයුරු මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ට දිස්විය. උප පොලිස් පරික්ෂක ජයසුන්දර එය නතර කරන්නට සංඥා කරන ලෙස සිය නිලධාරීන්ට පවසා විමසිල්ලෙන් ඒ දෙස බලා සිටියේ මේ අලුයම පිඹගෙන එන වාහනය කිසියම් සැක කටයුතු එකක් විය හැකිය යන සිතුවිල්ලද ඇතිවය.

පොලිස් නිලධාරීන් විදුලි පන්දම් එළි දල්වමින් වාහනය නතර කරන ලෙස සංඥා කළද එහි වේගය මඳක් හෝ අඩු නොකර එම ස්ථානය පසු කර එය ධාවනය විය. මාර්ගයෙන් ඉවතට පැනගත් පොලිස් නිලධාරීන් සිය යතුරුපැදිවල නැගී සුදු පැහැති ලොරි රථයක් වූ එම වාහනය පසුපස ලුහුබඳින්නට විය. කිලෝමීටර් දෙකක් පමණ ලුහුබැඳ ගොස් බෝපැළේ හන්දියේදී ලොරි රථයට ඉස්සරකොට ගිනිඅවි පෙන්වා ලොරි රථය නතර කරගත් පොලිස් නිලධාරීන් එහි සිටි රියදුරුට බිමට බසින ලෙස දැන්වීය. රියදුරා ඉන් බසින අවස්ථාවේම අනෙත්පස සිටි පුද්ගලයෙක්ද ලොරි රථයෙන් බැස පොලිස් නිලධාරීන් අසලට පැමිණියේ වරදක් නොකළ අයකු මෙන්ය.

"සර් අපි මේ ඉක්මණට ආවේ මාතරට යන්න. මේකෙ මොනවත් නැහැ සර්. සර්ල නවත්තන්න කියනව දැක්කෙ නැහැ සර්. අපිට යන්න දෙන්න. මෙතනින් හයිවේ එකට දාල යන්න ආවේ.“ රියදුරු සහ අනෙක් පුද්ගලයා කීවේ එකම කතාවකි.

“ඒවා පස්සෙ බලමු ලොරියෙ පිටිපස්සෙන් දොර ඇරල පෙන්නනවා.“ සැරයන් පැවසුවේ රියදුරු දෙස බලමිනි.

වැඩේ වැරදුණු බව දෙදෙනොටම දැනුණද කළ හැකි දෙයක් නැති බැවින් ලොරිය පිටුපසට ගිය රියදුරු දොරට දමා තිබූ ඉබියතුරු ඉවත්කර දොර විවෘත කෙළේය. සැරයන් සිය විදුලි පන්දම ලොරියේ ඇතුළතට එල්ල කළේ විමසිල්ලෙනි. ලොරි රථයේ බිම රතු පැහැති ලේ දහරා ගලා යන මස් ගොඩක් දක්නට ලැබිණ. මීට විනාඩි කිහිපයක පෙර පණපිටින් සිටි අහිංසක කිරි හරකුන් කිහිප දෙනෙකුගේ මස් එහි විය. තවත් විපරම් කරද්දී ප්ලාස්ටික් බැරලයක තිබී ඩීසල් තොගයක්ද සොයා ගැනිණි.

උප පරීක්ෂක ජයසුන්දර දුරකථනයෙන් සැණින් මෙකී සිද්ධිය වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංගීත්ට දැන්වීය.

ස්ථානාධිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව ලොරිය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් උප පරීක්ෂක ජයසුන්දර ලොරිය ආරක්ෂා සහිතව වීරකැටිය පොලිස් ස්ථානය වෙත රැගෙන එන ලදි. පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී යක්ගස්මුල්ල ප්‍රදේශයේ නිවසක තවත් ගවයන් කිහිප දෙනෙකු මරා දැමීමට සූදානම් කර ඇති බවට තොරතුරු ලද සැණින් එම ස්ථානයට පොලීසිය කඩා වැදුණේ අසරණ සතෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට විනාඩියත් වටිනා බැවිනි. ඒ වනවිටත් කිලෝ එකසිය හතළිහක් පමණ බරැති ගවයකු මරා මස්කර තිබූ අතර තවත් ගැබ්බර එළදෙනක් මරා දැමීම සඳහා කකුල් එක්කර ගැටගසා ගෙළ සිරකර කණුවක ගැටගසා තිබිණ. වහා එළදෙන මුදාගත් පොලිස් නිලධාරීන් මරා දමා තිබු ගවයාගේ සිරුරද ලොරි රථයටම පටවාගෙන යළි පොලීසියට පැමිණෙන ලදි. උදෑසනම ලොරිය පරීක්ෂා කරන අවස්ථාවෙ එහි මරා දමන ලද ගවයන් හතරදෙනෙකුගේ හිස් කුර සමඟ ගව මස් කිලෝ පන්සිය පනහක් තිබූ අතර යක්ගස්මුල්ලෙන් සොයාගත් මරා දමන ලද ගවයාගේ මස්වල බරද සමඟ මස් කිලෝ හයසිය අනූවක් තිබිණ. පොරවක්, පිහි කිහිපයක්ද, කඹ ඇතුළු උපකරණද එහි තිබී සොයාගන්නා ලදි. ප්ලාස්ටික් කෑන් කිහිපයක පුරවා තිබූ ඩීසල් ලීටර් පනහක්ද සොයා ගන්නා ලදි. වාහනයද ගවයන් ප්‍රවාහනයට ගැළපෙන අයුරින් වෙනස් කර සකසා තිබිණ. වහලය කපා අලෝකය සහ වාතය ලැබෙන පරිදි සකසා තිබූ අතර එය පිටතට නොපෙනේ. එමෙන්ම ඇතුළත යකඩ බට සවිකර ගවයන් බැඳීමට හැකි අයුරින්ද සකසා තිබිණි. වාහනය මෙසේ සකසා ඇත්තේ හරක් ජාවාරම සඳහා බවත් දිගු කලක සිට සැකකරුවන් හරක් ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බවට නිගමනය කළ හැකි සාධක එයින් හඳුනා ගැනිණි.

පසුව සැකකරුවන් දෙදෙනා සහ උපකරණ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට නැවත 26 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදි. මෙම මෙහෙයුමේදී අල්ලා ගන්නා ලද එළදෙන සමඟ තවත් ගවයන් දහතුනක් පමණ ඇසළ පුන් පොහෝ දින රැකබලාගෙන ඇති දැඩි කිරීම සඳහා ආගමික වතාවත් ඉටුකර බැදිගම පදිංචිකරුවෙකු වෙත බාර දෙන ලදි.

 

Comments