හිර­බත් රස බැලූ රන්ජන් නිද­හස් | සිළුමිණ

හිර­බත් රස බැලූ රන්ජන් නිද­හස්

රන්ජන් 26 සිකු­රාදා පස්ව­රුවේ නිද­හස ලබා  පිටව ගිය අයුරු. සේයා­රූ දුෂ්මන්ත මායා­දුන්නෙ
රන්ජන් 26 සිකු­රාදා පස්ව­රුවේ නිද­හස ලබා පිටව ගිය අයුරු. සේයා­රූ දුෂ්මන්ත මායා­දුන්නෙ

 

‘‘අධිකරණය ලබා දෙන බලු තීන්දු අපි පිළිගන්නේ නැහැ‘‘ යනුවෙන් එස්. බී. දිසානායක කළ ප්‍රකාශයට එරෙහිව දකුණේ පුරවැසියන් දෙදෙනකු නඩුවක් ගොනු කෙළේය. ඒ අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමිනි. එස්. බී. වරදකරු විය. ඔහුට වසර දෙකකට බන්ධනාගාරගත වන්නට විණි. පසුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටද මේ ලෙසින් අධිකරණයට අපහාස කළ නිසා බන්ධනාගාරගත විය.

 

මෙලෙස අධිකරණයට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීම හා කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම් ගැන පැහැදිලි සිදුවීම් තිබුණද රන්ජන් රාමනායක නම් චරිතයට එය වැදගත් නොවීය. තමන් ඕනෑම දෙයක් විවෘතව ප්‍රකාශ කරන්නට නිර්භීත අයකු බව පෙන්වමින් ඔහු තැන නොතැන බලා කටයුතු කෙළේය.

‘වන්ෂොට්‘ චිත්‍රපටයේ විජයගේ චරිතය රඟ දැක්වූ රන්ජන් රාමනායක තමන්ට අසීමිත බලයක් ඇති බව සිතුවේය. ධාවනය වන දුම්රියට වඩා වේගයෙන් දිවගොස් බස් රථයක වීදුරු කඩා ඇතුළු වී කළ වීරකම් මෙන්ම අතුරේ ගමන් කරන අයකුගේ ලණුවට පිහියකින් දමා ගසා බිමට වැටෙන ඔහු නිරුපද්‍රිතව බේරා ගැනීම මෙන්ම අඟල් කිහිපයක දිගින් යුතු ඉදිකටුවකින් ඇග මසන විට නොදැනුණා සේ සිටීම සැබෑ ලෝකයේ නොසිදුවන ක්‍රියාදාමයන්ය.

රන්ජන් වැරැ­දි­ක­රු­වකු වීමෙන් පසු බන්ධ­නා­ගා­ර­යට
රැගෙන ගිය අව­ස්ථාව

චිත්‍රපට ලෝකය හා සැබෑ ලෝකයේ වෙනස රන්ජන් වටහා නොගත්තේය. රන්ජන් රාමනායකට වැරැදුණේද එතැනය. රන්ජන් රාමනායක ජනතාව වෙනුවෙන් හඬ නංවන ලදී. එය අගය කළ යුතුය. විශේෂයෙන්ම මැද පෙරදිග රැකියාවන්හි නිරත විගමණිකයන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. එහෙත් අපට යා හැකි දුරක් ඇත. රටක නීතියට ගරු කිරීමට රටවැසියන් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම මෙරට ජනතාවට නීති සම්පාදනය කරනු ලබන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් අනිවාර්යෙන්ම නීතිගරුක විය යුතුය.

රන්ජන් රාමනායකගේ භූමිකාව ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ මේ සියලු කරුණු කාරණා මුල්කර ගෙනය.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට පත්වී වැඩි කලක් යන්නට පෙරම ඔහු සීමාව ඉක්මවා යන ලකුණු පෙනෙන්නට විය. නළුවාගේ ලෝකය හා සැබෑ ලෝකයේ වෙනස ඔහුට නොවැටහුණි. වන්ෂොට්, මායා හා රන්ජා චිත්‍රපටවල මෙන් ඔහු නීතිය අතට ගන්නට තැත් කළ බව බොහෝ දෙනා ඔහුට චෝදනා කළහ. ඔහු වරෙක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකථනයෙන් තර්ජනය කළ නිසා ප්‍රාදේශීය ලේකම්වරු වර්ජනයක් කරා යන්නට විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද යනු අනුන් තලා පෙළා ප්‍රශ්න විසඳීමට ලැබෙන වරමක් නොවේ. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයන් තිබේ. ඒ සම්ප්‍රදායන්ම ඇතැම් විට නීතීන් බවට පත්ව තිබේ.

රන්ජන් බන්ධනාගාර ගත වන්නට පෙර පාර්ලිමේන්තුවේදී කථානායකවරයා අමතමින් පැවසුවේ ‘‘ආ... ලොක්කා‘‘ යනුවෙනි. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සහභාගී වන අවස්ථාවලදී ඔවුන් පවා කථානායකවරයා අමතන්නේ ‘ගරු කථානායකතුමනි‘ යනුවෙනි. එයින් පෙන්නුම් කරන්නේ අපේ නිරහංකාර බවයි

මහේස්ත්‍රාත්වරුන්ට ‘නඩුකාර හාමුදුරුවෝ‘ යැයි පවසන්නට තරම් අපේ ගැමියා වූයේ නිරහංකාර වූයේ එහෙයිනි.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායකට මේ නිරහංකාර බව නොමැති වීද? නැත්නම් ඔහුට ඒ ගැන දැනුම නැති වූවේද? එසේත් නැත්නම් ඔහු ජනතාව වෙනුවෙන් නඟන හඬට කවුරුන් හෝ වැරැදි උපදෙස් ලබා දුන්නේද?

රන්ජන් වැරැදිකරුවකු වූයේ ඇයි? ‍

රන්ජන්ට කතා කිරීමේදී පුද්ගලයා හෝ තැන නොතැන වැදගත් නොවීය. 2017 වසරේ අගෝස්තු මස 21 වැනි දා එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහයන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍යට අදහස් දැක්වූ රන්ජන් රාමනායක පවසා සිටියේ ‘මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන්‘ බවයි. රටේ සමස්ත විනිසුරුවරුන්ගෙන් 95%ක් පමණ දූෂිතයන් බවද ඔහු පැවසුවේය. එවිට රන්ජන් රාජ්‍ය ඇමැතිවරයෙකි. මේ රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ගොනු කරන ලදී.

අධි­ක­රණ කට­යුතු විවේ­ච­නය කළ අව­ස්ථා­වක්

එම පැමිණිලි අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට කළ දැනුම් දීමකින් පසු නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා පත්‍රයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේය.

ඒ වෙනුවෙන් කරුණු විමසීමට රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවීය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය. යළි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී පවා රන්ජන් රාමනායක තමන් පෙර කළ ප්‍රකාශය යළිත් අනුමත කර, යළිත් එම ප්‍රකාශයම කෙළේය.

ඒ 2017 වසරේම දෙසැම්බර් 14 වැනිදාය. ඔහු එහිදී පැවසුවේ ‘මෙරට විනිසුරුවරුන් හා නීතිඥයන් මුදලට හොරු හා කුඩු කාරයන් ආරක්ෂා කරනු ලබන‘ බවයි.

එයින්ද නොනැවතුණු ඔහු 2018 වසරේදී මාර්තු මස 23 වැනිදා යළිත් පැවසුවේ අධිකරණය මුදලට හොරුන් හා කුඩුකාරයන් ආරක්ෂා කරන බවත් ‘අධිකරණය තමන්ට සිර දඬුවම් දී ස්වයංවින්දනයක් ලබන්නට උත්සාහ කරනවා නම් තමන් ඒ වෙනුවෙන් සිරබත් කන්නට සූදානම්‘ බවයි.

එම වසරේදීම ජූනි 04 දින යළිත් එම ප්‍රකාශය තහවුරු කරමින් ඔහු පැවසුවේ තමන් හිරේ ගියත් ඇත්ත කියන බවයි.

‘අධිකරණය දූෂිත‘ බව ඔහු යළිත් පැවසුවේය. ඔහු මේ ප්‍රකාශයන් දෙකක්ම සිදු කෙළේ ඔහුට විරුද්ධ නඩුව විභාග වන අවස්ථාවේ අධිකරණයට කරුණු දක්වා එළියට පැමිණ මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අධිකරණ භූමියේදීමය.

තමාට නඩු 21ක් තිබෙන බවත් නඩු කොපමණ වැටුණත් තමන් ඇත්ත පවසන බව පවසමින් ඔහු අධිකරණය විවේචනයට ලක් කෙළේය. එහිදී ඇතැම් පුද්ගලයන් ඔහු තවත් දිරි ගැන්වීය.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කෙරුණු අතර සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් බැහැර නොකරන බවට වගඋත්තරකාර රන්ජන් රාමනායක විසින් අවස්ථා හතරක දී යළි යළිත් සපථ කර ඇතැයි දක්වා තිබුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් පසුව හතර වතාවක් වගඋත්තරකාර රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් ඉවත් කර නොගන්නා බවට අවධාරණය කර ඇතැයි ද අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා පෙන්වා දී තිබුණි

"මං කියපු ප්‍රකාශ ඉවත් කරගන්නේ නෑ".

"ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නෑ" රන්ජන් සිදු කළ එම ප්‍රකාශ තුළින් ඔහු පෙන්වා ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එයින් ඔහු සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇතැයි ද, පෙන්වා දුන්නේය.

ඊට අමතරව ඔහු සෑම නඩු වාරයක් අවසානයේදීම අධිකරණ පරිශ්‍රය තුළ ජනමාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශවලින් "අධිකරණය හොරු ධෛර්යවත් කරනවා.. අධිකරණය හොරු උත්තේජනය කරනවා...“ යනාදී වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මේ තුළින් ඔහු විනිසුරුවරු නිසා දූෂිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි යන මතයක් මහජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇතැයි චෝදනා කළේය.

රන්ජන්ට විරුද්ධව නඩු පැවරෙන්නේ ‘යහපාලන ‘ ආණ්ඩුව සමයේදීමය. එයට චෝදනා ගොනු කෙරෙන්නේ ද ඒ සමයේදීමය. වසර කිහිපයක් විභාග කළ නඩුවේ තීන්දුව දීම සිදු කෙරුණේ 2021 වසරේ ජනවාරි 12වැනිදාය.

තීන්දුව වූයේ රන්ජන් රාමනායක වසර 4කට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වීමය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසා රන්ජන්ට අභියාචනයක් පවා ඉදිරිපත් කළ නොහැකි විය. තීන්දුව ලබා දී පැය දෙකකට පමණ පසු රන්ජන් දැඩි ආරක්ෂක රැකවල් මැද බන්ධනාගාර ගත කිරීමට රැගෙන ගිය අවස්ථාවේදීද ඔහු පැවසුවේ ‘‘මම තිත්ත ඇත්ත කතා කළා, මම කියපු කිසි දෙයක් ඉල්ලා අස් කර ගන්නෙත් නැහැ, සමාව ගන්නෙත් නැහැ, මුං ඇත්තටම හොරු‘ යනුවෙනි. ඒ අතර බස් රථයට ඔහු නංවද්දී බන්ධනාගාර නිලධාරීන් පසෙකට තල්ලු කරමින් ‘‘පොඩ්ඩක් ඉදපං මචං‘‘ යනුවෙන් ඔවුන්ට පැවසුවේය. ‘තමාගේ මුහුණේ කිසිදු ආකාරයක බයක් නොමැති බවත් ‘ ඔහු කෑගසමින් පැවසුවේය.

නීතියේ පරිදි රන්ජන් රාමනායකගේ මන්ත්‍රී අසුනද අහිමි විය. එමෙන්ම රන්ජන්ගේ ප්‍රජා අයිතියද සිර දඬුවම නියම වූ පසුගිය 2021 ජනවාරි 12 වැනිදා සිට අහිමි විය. රන්ජන් රාමනායකගේ බන්ධනාගාරගත වීම මෙරට දේශලපාලන කරළියේද යම් කැලඹීමක් ඇති කෙළේය. ඔහු සැම විටම පැවසුවේ දේශපාලනයේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනාම හොරු බවයි. බලයේ සිටින අය විපක්ෂයේ අය ආරක්ෂා කරන බව පැවසූ රන්ජන් කියා සිටියේ “මුං ඔක්කොම යාළුවො මල්ලි‘‘ යනුවෙනි. ‘කවදාවත් නඩුදායි කියල බලාපොරොත්තු වෙන්න එපා‘ ඔහු නිතරම පැවසූ වදන් පෙළකි. රන්ජන්ගේ ප්‍රකාශයන්ගේ නිරවද්‍ය බව කෙසේ වෙතත් අප පෙර සඳහන් කළ පරිදි ඔහුට තැන නොතැන අමතක වීම මෙන්ම කළ යුතු ආකාරය අමතක වීම ඔහුට සිරගත වන්නට හේතු විය.

චිත්‍රපටවල මෙන් සැබෑ ලෝකයේ කටයුතු කළ නොහැකි බව ඔහුට අමතක වූ සැබෑවයි. තමන් අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත්ව ඇති බව පවසා ඔහු 2020 වසරේ උසස් පෙළ විභාගයට ලියන්නට යෑම පවා ‘ෂෝ‘ එකක් විය. තම දැනුම වැඩි කර ගැනීම හෝ තමාට නොමැති සුදුසුකම් සපුරා ගැනීම අගනා කටයුත්තක් වුවත් එය චිත්‍රපටයක් නොවිය යුතු බව ඔහුට අමතක විය.

රන්ජන්ට වැරදුණු විට ඔහු දිරිමත් කරන්නට උත්සාහ ගත් බොහෝ අය සිටියේ නැත.

එහෙත් ඔහු බන්ධනාගාර ගත වීමෙන් පසුව ඔහු වෙනුවෙන් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඔහු නිදහස් කර ගැනීම වෙනුවෙන් කතා කළහ. විශේෂයෙන්ම හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරු ඒ සම්බන්ධව දැඩි ලෙසින්ම හඬ නැඟූහ. ආචාර්ය විජයදාස රාජපක්ෂයෝද රන්ජන්ගේ නිදහස වෙනුවෙන් කතා කළහ.

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට නම් ඔහු විසින් අධිකරණයෙන් සමාව ගත යුතු විය. ආරම්භයේදී එය ඒ මේ අත දෝලනය වුවත් පසුගිය සතියේ රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව අයැද සිටියේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් එසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් විය.

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි සහගත බවත් එම ප්‍රකාශ හේතුවෙන් අගවිනිසුරුවරයා ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් විඳි හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පසුගිය 26 වෙනිදා පෙරවරුවේ අත්සන් තබන ලදී. ඒ අනුව එය බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයටත් එතැනින් පසුව නිදහස් කිරීමේ නියෝගය වැලිකඩ බන්ධනාගාරයටත් ලැබුණි. ඒ අනුව මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස සඳහන් කොන්දේසි සහිත සමාවක් ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත.

නිදහස ලැබූ රන්ජන් රාමනායක පසුගිය සිකුරාදා පස්වරුවේ බන්ධනාගාරයෙන් පිටව ගියේ බොහෝ දෙනාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු රැසක් එම අවස්ථාවට පැමිණ සිටියහ.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රන්ජන් රාමනායකයන් විගමණික ශ්‍රමිකයන්ගේ සන්නාම තානාපතිවරයා වශයෙන් පත් කර ඇති බවයි.

 

 

Comments