කිංකර භාර්යා! | සිළුමිණ

කිංකර භාර්යා!

කිංකර

භාර්යා!

 

 

 

මරදාස ජෝර්දානයේ අම්මාන් නුවර සිට හදිසියේම ගෙදර එන්නට තීන්දු කළේ හේතු කාරණා දෙකක් මත පිහිටාය. පළමු කාරණය නම්, ඔහු සේවය කළ විශාල ෆැක්ටේරියේ විදුලි පද්ධතියේ හදිසි අලුත්වැඩියාවක් නිසා සියලු කාර්ය මණ්ඩලවලට පඩි සහිත දින දහයක නිවාඩු අනුමත වී තිබීමය. දෙවැනි කාරණය නම්, පසුගිය සති කිහිපය පුරාවට රංජනී ලෙඩ ගානේ පසුවීමය. වෙහෙසකර බවක්, තෙහෙට්ටු ගතියක් හා එපාවුණු ස්වභාවයක් ඇගේ ස්වරයේ ගැබ් වී තිබිණි. සිය බිරියගේ හුස්ම වැටීමේ රිද්මය පවා අමරදාසට මතකය.

පළමුව ඇය කියා සිටියේ අධි රුධිර පීඩනය විය හැකි බවය. දෙවැනුව ඇය සැක කළේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වන්නට ඇත කියාය. රංජනීගේ අම්මා පෙන්වා දුන්නේ අසල්වැසි ඉරිසියාකාරයන් කොඩිවිනයක් කරන්නට ඇති බවය. අමරදාසගේ රට රැකියාව නිසා නිවෙස අලුත්වැඩියා කැරිණි. ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් ද මිලට ගැනිණි. එම වත්තේ නැඟී එන පවුලක් හැටියට අමරදාසගේ පවුල කැපී පෙනෙන්නට විය. ඔහුට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගැන විශ්වාසයක් නැතත් නැන්දම්මාගේ සැකය දිගේ තවදුරටත් සිතන්නට යමක් තිබිණි.

"රංජනී බල බලා ඉන්ඩ එපා! හොඳම දොස්තර කෙනකුට පෙන්නන්ඩ! සල්ලි කොච්චර ගියත් කමක් නෑ!"

"සල්ලි තියෙනවා!"

"ඔයා නිවාඩු දාල විවේකයෙන් ඉන්ඩ!"

"මගෙ නිවාඩු ඉවරයි!"

“අමාරු නම් රස්සාවෙන් අයින් වෙන්ඩ!"

"බලමුකෝ!"

රංජනී දුක්ගැනවිලි කියමින් තාවර වන ගැහැනියක නොවේ. හැබෑවටම ඇය කඩිසරය. නැටුම් ගුරුවරියක ලෙස සේවය කළ ඇයට නිරෝගී හැඩකාර සිරුරක් ද තිබිණි. වයස අවුරුදු තිස්අටක් වූ රංජනී එක්දරු මවකි. ඇය ස්වාමි භක්තියට හා දාරක ස්නේහයට මුල් තැන දෙන යහපත් හා විශ්වාසවන්ත භාර්යාවකි. අමරදාස ඇඟලුම් ක්ෂේත්‍රයේ කළමනාකරුවකු ලෙස ජෝර්දානයට එන්නේ බිරිය කෙරෙහි තැබූ විශ්වාසය මතය. ඔහුට වසර දෙකක් යනතුරු නිවාඩු නැත. වසර දෙක පිරීමට තවත් මාස දෙකක් ඇත. ගෙවී ගිය කාලය පුරාවට සෑම රාත්‍රියකදීම රංජනීගේ සුවඳ ඔහුට දැනිණි. එවිට ඔහු කරන්නේ වහාම ඇමතුමක් ගෙන ඇය හා කතා කිරීමය. එහෙත් මාසයක පමණ කාලයක සිට සිය බිරියගේ ප්‍රතිචාර ඒතරම් සතුටුදායක නැත. අමරදාසට මහත් බියක් හා ශෝකයක් දැනෙන්නට විය. ඇගේ කටහඬ වෙනස්ය. උත්තර ද වෙනස්ය. අවසන් වරට ඇය කියා සිටියේ ගර්භාෂයේ කුමක් හෝ ලෙඩක් විය හැකි බවය.

ගැබ්ගෙල පිළිකා, පියවුරු පිළිකා, මුඛ පිළිකා, උගුරේ පිළිකා ආදී ලෙසින් පිළිකා වර්ග ඔහුගේ සිහියට නැඟිණි. අමරදාසගේ පියා මිය ගියේ උගුරේ පිළිකාවකිනි. පියා මහරගම රෝහලේ ප්‍රතිකාර ලබන විට ඔහුගේ ශරීරය මුළුමනින්ම විකෘති විය. සිය බිරියට එවැන්නක් සිදු නොවේවා'යි අමරදාස ප්‍රාර්ථනා කළේය. මේ මොහොතේ ඇය ළඟින් සිට දිරිය දිය යුතු වුව ඔහු රටේත් නැත. තමන් යුතුකම් හා වගකීම් පැහැර හැර ඇති අසත්පුරුෂයකු යැයි ඔහුට දුකක් දැනිණි.

ගුවන් යානයේ අසුන්ගත් මොහොතේ සිටම අතීතය සිනමා කෘතියක් සේ මනසේ දිග හැරෙන්නට විය. ඔහු දෑස පියාගෙන මහත් ආශාවෙන් එම සිනමාව නැරඹුවේය. පෝරුවට නඟින මොහොතේ ඇය පැත්තකට ඇලවී වැටෙන්නට ගියාය. අමරදාස වහාම ඇය අල්ලා ගත්තේය. මනාලියගේ අඩි උස සෙරෙප්පුවල යම් දෝෂයක් තිබිණි. මනමාලයා වහා බිමට නැමී එය සකස් කළේය. දැන් ඇය ඔහුගේය. ඇය සතු සකලවිධ දේවල් ඔහු පරෙස්සම් කළ යුතුය.

"පෝරුවෙදි වැටෙන්ඩ ගියහම බය වුණාද?"

"අපෝ නෑ! ඔයා ඉන්නවනෙ!"

"නෑ මං කිව්වෙ වෙනින් දෙයක්!"

"ආ! ඒක ඔයාට තව ටිකකින් බලාගන්ඩ පුළුවන්!"

ඒ අතීතය මිහිරිය. ඔවුහු එකිනෙකාට මනාව ගැළපුණහ. හැම අතින්ම ගැළපුණහ. ඔවුන් මෙතෙක් ජීවිත කාලය පුරාවට කිසි දිනෙක රණ්ඩු වී නැත. එකිනෙකාගේ හැඟීම් දැනීම් ඔවුනොවුන් හොඳින් වටහාගෙන තිබිණි. හරි අපූරු ජෝඩුව යැයි බොහෝ දෙනා කීහ. දෙදෙනා සෑම සති අන්තයකම පොළට ගියහ. රංජනී බඩු තෝරන අතර අමරදාස මල්ල අල්ලාගෙන සිටී. එය බලන්නට හිතෙන දර්ශනයකි. රංජනී මවක් වෙන්නට යන වග කියූ හැටි ඔහුට තවම මතකය.

"මේ, ඒයි!වැඩේ හරි වාගෙ!"

"මොකක්ද අප්ප!?"

"ඇයි අනේ තේරෙන්නෙ නැද්ද?"

"මොකක්ද? කියන්ඩ! කියන්ඩ!"

"ඔයා තාත්ත කෙනෙක් වෙන්ඩයි යන්නෙ!"

"අප්පට සිරි!"

එම උදෑසන රංජනී ඔසොවාගත් ඔහු ගේ වටා දිව්වේය. රංජනී තියන්ඩ! තියන්ඩ! යැයි කෑගැසුව ද ඔහු ඇය බිමින් තැබුවේ නැත. ඉනික්බිති හාදු වැස්සකින් ඇගේ සර්වාංගය හිරිවැටී ගියේය. අතීතය ලස්සනය. වර්තමානය ද එසේ විය යුතු යැයි අමරදාසට සිතිණි.

කටුනායක ගුවන්තොටින් බැසගත් අමරදාස එහෙන් මෙහෙන් බඩු ස්වල්පයක් මිලට ගත්තේය. ඔහුගේ අපේක්ෂාව වූයේ හැකි විගස ගෙදර යෑමය. මෙතැන් සිට උඩුගම්පොළට යෑමට පැයක් ගත වන්නේ නැත. ඔහු කුලී රියක් වෙත ගියේය.

හරියටම දහවල් එකයි තිස්පහට ඔහු සිය නිවෙසට පැමිණියේය. නිවසෙහි දර්ශනය ඒ හැටි සුබදායක වූයේ නැත. නැන්දම්මා ඉස්තෝප්පුවේ හාන්සු පුටුවට වී ඈත බලාගෙන කල්පනා කරමින් සිටියාය.

"මොකද අම්මෙ වුණේ!කෝ රංජනී!?"

"ඊයේ ඉස්පිරිතාලෙ නැවැත්තුවා! ටිකක් අමාරුයි වාගෙ!"

"මොකක්ද ලෙඩේ!?ඇයි මට කිව්වෙ නැත්තෙ?"

"අනේ, මට තේරුමක් නෑ පුතේ! අර ගම්පහ ටීචර් තමයි උදවු කරන්නෙ"

අමරදාස වහාම ගම්පහ ටීචර්ගේ නිවස වෙත ගියේය. මහත්තයා සිටිය ද නෝනා ගෙදර නැත. ඔහු කියා සිටියේ චම්පා ලෙඩා ළඟ නැවතී සිටින බවය. රංජනී ඇතුළත් කර තිබුණේ රාගම පෞද්ගලික රෝහලකටය.

අමරදාස ඉහින් කනින් දාඩිය පෙරාගෙන ලෙඩාගේ කාමරයට පිවිසියේය. රංජනී උඩුකුරුව වැතිරී සිටි අතර ඇයට සේලයින් ලබා දී තිබිණි. ලෙඩාට කතා කරන්න එපා යැයි හෙදියක කියා සිටියාය. ඔහු සෙමෙන් ඇය වෙත සමීප වී ඉතා මෘදු ලෙස ඇයගේ අතක් අල්ලා ගත්තේය. රංජනීගේ දෑසින් කඳුළු ගලා යනු ඔහු දුටුවේය. ඒ අතර ලෙඩාගේ අයිතිකාරයාට දොස්තර මහතා කතා කළේය. අමරදාස ඔහු පසුපසින් කාමරයට ගියේය.

"ඔයා හස්බන්ඩ් ද?"

"ඔව් ඩොක්ටර්!"

"ඇයි මෙහෙම අවදානම් වැඩ කරන්නෙ? අනික ඇබෝෂන් කියන්නෙ තහනම් දෙයක්!"

අමරදාස රෝහලෙන් පිටතට පැමිණ පිස්සුවෙන් මෙන් රේල්පාර දිගේ ඇවිදින්නට පටන් ගත්තේය. කිසිදු ප්‍රශ්නයකට කිසිදු පිළිතුරක් ඔහු ළඟ තිබුණේ නැත.

Comments