මම හදපු පාරේ ඇවිත් මගේ ගෙට ගැහුවා | Page 2 | සිළුමිණ

මම හදපු පාරේ ඇවිත් මගේ ගෙට ගැහුවා

- මගෙන් රස්සාව ගත්ත අයත් ඇවිත් ඒ විනාසෙ දැකලා සතුටු වුණා
- මම දේශපාලනයෙන් සමුගන්නේ නැහැ, නමුත් මම ආයෙමත් ඡන්දය ඉල්ලන්නෙත් නැහැ.
- 71 කැරැල්ලෙන් පටන් අරගෙන, 88-89 කාලයේ රට පුරාම වපුරපු භීෂණයේ අලුත්ම ජවනිකාව තමයි එදා රඟ දැක්වුණේ
- මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරී සිදුවීම් එක සිද්ධියක් විතරක් නෙවෙයි. එය කාලාන්තරයක් තිස්සේ මේ රටේ ගොඩනැඟී තිබූ සමාජ, ආගමික, සංස්කෘතික සහ දේශපාලන පිරිහීමේ ප්‍රතිඵලයක්

“මැයි 9 වැනිදා සිද්ධ වුණු ප්‍රචණ්ඩකාරී සිදුවීම් එක සිද්ධියක් විතරක් නෙවෙයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ කාලාන්තරයක් තිස්සේ මේ රටේ ගොඩනැඟී තිබූ සමාජ, ආගමික, සංස්කෘතික සහ දේශපාලන පිරිහීමේ ප්‍රතිඵලයයි. මැයි 9 වැනිදා ගෙවල් ගිනි තියමින්, දේපළ විනාශ කරමින් සිදුකළේ ගෝල්ෆේස් අරගලයට පහරදීම නිසාම සිදුවූවක් නෙවෙයි. ඒ සිදුවීම පිටුපස දේශපාලනය තිබුණා. ජාත්‍යන්තර පෙලඹවීම් තිබුණා. ඊටත් වඩා කාලයක් තිස්සේ අපි ඔල්වරසන් දුන් වෛරය, ක්‍රෝධය තිබුණා. පසුගිය දශක කිහිපය පුරාම මේ රටේ වර්ගවාදයට, පන්ති වාදයට වෛර කරන්න ඉගැන්වූ සමාජයක්. අපි මෙතෙක් කල් කළේ විරෝධාකල්පවලට අත්පොළසන් දීමයි. දහම් පාසලේ දරුවන්ට ධර්මය කියා දුන්නට බුද්ධාගමේ සැබෑ හරය හිත්වල පැළ කළේ නැහැ. ඒ සියල්ලම එකතු වෙලා නිර්මාණය වුණු පීඩනය තමයි මැයි 9 වැනිදා පිටවුණේ. 71 කැරැල්ලෙන් පටන් අරගෙන, 88-89 කාලයේ රට පුරාම වපුරපු භීෂණයේ අලුත්ම ජවනිකාව තමයි 9 වැනිදා රඟ දැක්වුණේ. එදා ඒ භීෂණය ඇතිකරපු අය අද සමාජවාදයේ නිවන් දැකපු අය වගේ කතා කළාට, හැසිරුණාට ඒ අතීතය කාටත් මතකයි. එදා ජවිපෙ කිහිප සැරයක් මාව මරන්න උත්සාහ කළා. මැයි 9 වැනිදා සිදුවීම ඒ ප්‍රචණ්ඩත්වයේ එක කොටසක් විතරයි”

මැයි 9 වැනිදා රටම තැතිගැන්මට ලක්කළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පෙළ පිළිබඳ එසේ මතක සිය මතක අවදි කළේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය සහ කැබිනට් අමාත්‍ය විමලවීර දිසානායක ය. මැයි 9 වැනිදා ප්‍රචණ්ඩාකාරී පිරිස් විසින් අම්පාරේ පිහිටි ඔහුගේ නිවෙසට ද බරපතළ හානි සිදුකර තිබූ අතර, නිවෙස ගිනි තැබීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී තිබුණේ පොලිසියේ මැදිහත්වීම නිසාය.

“ ඒ විනාශකාරී සිදුවීම්වලට මුල්වුණේ පොහොට්ටුවේ ඉන්න සේරම දේශපාලඥයෝ හොරු කියලා ජනතාව තුළ මතයක් ඇතිකරලා වෛරයක්, ක්‍රෝධයක් ඇතිකරපු නිසයි. ඔය විනාශ කරපු ගේ මට අයිති ගෙයක් නෙවෙයි. මට ඉන්න ගෙයක් තිබුණේ නැහැ. එදා විනාශ කළේ මීට අවුරුදු ගණනාවකට කලින් ඩී. එස්. සේනානායක මහත්මයා හදපු ගෙයක්. මම ඒ ගෙදරට එක ගඩොලක්වක් තියලා නැහැ. නමුත් විමලවීර හොරා කියලා සමාජය තුළ ප්‍රචාරය කරපු මිත්‍යාව නිසයි ඒ දේ සිදුවුණේ. මහජන විරෝධය, වෛරට විකුණගෙන කමින් ඒවා ප්‍රචාරය කළ මාධ්‍යත් මේවාට වගකිව යුතුයි. අවුරුදු 35කට වැඩි කාලයක් මම ජනතාව වෙනුවෙන් වැඩ කළා. අද මට ඉන්න ගෙයක් නැහැ. යන්න වාහනයක් නැහැ. ජීවත් වෙන්න වත්කමක් නැහැ. ඇත්තම කියනවා නම් හිඟන්නෙකුයි මමයි අතර තියෙන්නේ බොහොම පොඩි වෙනසක් විතරයි.

ඔය විනාශ කරපු ගේ මගේ පුතා ණය වෙලා හදපු ගේ. මම ඒකට රුපියලක්වත් වියදම් කරලා නැහැ. මගේ පුතාගේ තරුණ බිරිය මියගියාට පස්සේ පුතා ඔය ගේ හැදුවේ. පුතාට අවුරුදු දෙකක පුංචි දූ පැටියෙක් ඉන්නවා. මගෙ පුතයි ඒ නොදරුවයි ජීවත් වුණු ගේ තමයි ඔය විනාශ කළේ. ඇයි එහෙම කළේ? ඒ නොදරුවා ගියාද ගෝල්ෆේස් අරගලකරුවන්ට ගහන්න? මගේ පුතා ගියාද? හොරකම් කරපු සල්ලිවලින් හදපු ගෙයක් කියලා මැරුණු අහිංසක ලේලිටත් අවමන් කළා. එහෙම කරපු අය විමුක්තිදායකයන්ද?”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පැවසුවේ කම්පාවෙනි. මෙකී විනාශකාරී සිදුවීමට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, සමගිජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ ඇතැම් මහජන නියෝජිතයන් වගකිව යුතු බව ඔහුගේ අදහසයි.

“මැති ඇමතිවරු හොරු හොරු කියලා උදේ හවස ජනතාවට කටපාඩම් කරලා වෛරය සමාජගත කළා. නමුත් ඒ කිසිම හොරකමක් ඔප්පු කරලා නැහැ. ඒවා මිත්‍යා මත සහ අසත්‍ය ප්‍රචාර පමණයි. පොහොට්ටුවේ ඉන්න හැම දේශපාලඥයාම සිල්වත් කියලා මම කියන්නෙ නැහැ. නමුත් මීට පෙර මේ රටේ දේශපාලඥයන්ගෙන් වැරදි, හොරකම් සිදු වෙලා නැද්ද? මේ රටේ වැඩිපුරම හොරකම් සිද්ධ වුණේ 77-94 කාලයේ. අක්කර ගණන් ඉඩම් ඇමතිවරු කුණු කොල්ලෙට මංකොල්ල කාලා තියෙනවා. ඒ කිසිම හොරෙකුට ගල් ගැහුවද? ගෙවල් ගිනි තිබ්බද? මම දන්න විදිහට අඩුවෙන්ම හොරකම් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. නමුත් අන්තිමට ලොකුම හොරා බවට පත්කළේ එතුමාව. මේ සිද්ධ වෙන දේවල් ගැන කලකිරීමක්, වේදනාවක් දැනෙනවා. මොකද මම ජීවිතෙන් වැඩි කාලයක් කැපකළේ ජනතාවට සේවය කරන්නයි”

බොහෝ දෙනකු දන්නා පරිදි විමලවීර දිසානායක යනු පීඩිත පන්තියේ ජනතාව අතරින් උපන් දේශපාලඥයෙකි. කෑගල්ලේ මාදෙයියාව ගමේ දරුවන් සය දෙනකුගෙන් යුතු පවුලක සිවුවැනියා ලෙස ඔහු උපත ලබන්නේ දිළිඳුකම උපන් දායාදය කරගෙනය. පොඩි නෝනා සහ තිස්ස දිසානායක යන ඔහුගේ මවුපියන් සිය දරුවන් හයදෙනා පෝෂණය කරන්නට විඳි දුක්ගැහැට අපමණය. ඒ නිසාම 6 වැනි ශ්‍රේණියේදී සිය පාසල් ගමනට ආයුබෝවන් කියන්නට කුඩා විමලවීරට සිදුවිය. එතැන් සිට මවුපියන් සමඟ ජීවිත අරගලයට එකතු වූ මේ පොඩි එකා, හැකි පමණින් විවිධ වැඩවල යෙදෙමින් කීයක් හෝ උපයන්නට පුරුදු විය. කෑගල්ලෙන් දිසානායක පවුල අම්පාර ප්‍රදේශයට සංක්‍රමණය වන්නේ ඒ අතරය. හිඟුරාණ සීනි සමාගමේ වැඩට ගිය සිය මවත් සමඟ එහි ගිය කුඩා විමලවීර උක්ගස් අවට උදලු ගෑම ඇතුළු සුළු සුළු වැඩ කරමින් පවුලේ ආර්ථිකයට උරදෙන්නේ ඒ වයසේ දරුවකුට නොසෑහෙන තරම් දුක්පීඩා උහුලමිනි. එහි ප්‍රතිඵලය වන්නේ වයස අවුරුදු 16දී විමලවීර ද හිඟුරාණ සීනි සමාගමේ කම්කරුවකු ලෙස සේවයට එක්වීමෙනි. ඒ කම්කරුවා දේශපාලඥයකු වූ ආකාරය කෙනකුට විස්මය දනවන කතා පුවතක් විය හැකිය.

“ මගේ පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. දහසක් දුක්කම්කටොලු අතරින් ජීවිතය ගැටගහන්න මහපොළොව එක්ක ඔට්ටු වුණු මවුපියන්ගේ දරුවෙක් විදිහට මම පුංචි කාලේ ඉඳලම අත්වින්දේ දුක, වේදනාව. අවුරුදු 16දි කම්කරුවෙක් වුණ මම කැත්ත, උදැල්ල මහපොළොව එක්ක ඔට්ටු වුණු මිනිහෙක්. කහට උගුරක් බීලා රොටී කෑල්ලක් කාලා උදැල්ල කරේ තියාගෙන හැමදාම කිලෝ මීටර් 15ක් විතර ඇවිදගෙන රස්සාවට ගිය මිනිහෙක්. දුප්පත්කම, බඩගින්න, නැතිබැරිකම, අවමානය, නින්දා අපහාස විතරක් නෙවෙයි කම්කරුවන්ට වෙන අසාධාරණකම් සියල්ල මම අත්වින්දා. දුක් විඳින පන්තියේ මිනිස්සු ගැන ඒ හින්දම මට හොඳ කියවීමක් අවබෝධයක් තිබුණා. ඒ මිනිස්සුගේ ජීවිත සුවපත් කරන්නයි මම දේශපාලනයට ආවේ. අනිත් කාරණේ, පුංචි කාලේ ඉඳලම මම පොතපත කියවීමට පුදුමාකාර පිපාසයක් තිබුණු කෙනෙක්. අතට අහුවෙන හැම පොතක්ම මම කියෙව්වා. ඒ නිසාම මට හිතුණා සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඕන කියලා. විභාගෙට මාස තුනක් තියෙද්දි අවශ්‍ය පොතපත හොයාගෙන මම පාඩම් කළා. දවල්ට වැඩ කරලා මහ රෑ කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා විභාගෙන ලිව්ව මම සම්මාන හතරක් එක්ක විෂයන් හතක් සමත් වුණා. ඒත් අංක ගණිතය අසමත්. ඒත් ඊළඟ සැරේ මම සම්මාන සාමාර්ථයක් සහිතව ඒ විෂයත් සමත් වෙනවා. එහෙම විභාගේ පාස් වුණාට සුදුසු රස්සාවක් ලැබුණේ නැති නිසා මම උසස්පෙළ විභාගෙත් ලියනවා. ඒ විභාගෙටත් මාස තුනක් තියෙද්දි අවශ්‍ය පොත්පත් හොයාගෙන පාඩම් කරලා බොහොම මහන්සිවෙලා විභාගේ ලිවුවා.” 

ඒ අපරිමිත වෙහෙස ඵල දරන්නේ කිසිදු ගුරුවරයකුගේ සහායක් නොලබා තනිවම පාඩම් කර විෂය කරුණු ග්‍රහණය කරගෙන විභාගයට පෙනී සිටි මේ දිරිමත් තරුණයාට විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල හිමිකර දෙමිනි. කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලිපිය ලැබුණද ඒ සිහිනය බිඳ වැටෙන්නේ වසර පහක පාසල් තොරතුරු ඉල්ලා විශ්වවිද්‍යාලයෙන් එවූ ලිපිය නිසාය. එහෙත් එයින් ද සිය සිත දිරිය බිඳ නොගත් විමලවීර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සිය දුක්ගැනවිල්ල අභියාචනාවක් මඟින් දැනුම් දීමේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුවකු ලෙස ඇතුළත් වීමට වරම් ලැබීය. 1987 සිට 1990 දක්වා වසර තුනක්ම ශිෂ්‍ය අරගල හේතුවෙන් විශ්වවිද්‍යාලය වරින්වර වැසුණද විමලවීර විශ්වවිද්‍යාලය තුළ ද කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරමිනි. වසර 7කට පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියකු ලෙස පිටවන විමලවීර දිසානායක අම්පාර වීරගොඩ සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරවරයා ලෙස කලක් කටයුතු කළේය. 1993දී අම්පාර ඩී. එස්‌. සේනානායක ජාතික පාසලේ දේශපාලන විද්‍යා ගුරුවරයකු ලෙස පත්වීම් ලබන ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ 1994දී දමන ප්‍රාදේශීය සභාවට තරග කර එහි විපක්ෂනායකවරයා ලෙස පත්වෙමිනි. ඉන් අනතුරුව පළාත් සභාවත් පාර්ලිමේන්තුවත් නියෝජනය කරන විමලවීර දිසානායක, සිය දේශපාලන ජීවිතය තුළ නිතරම උත්සාහ කළේත් කැපවූයේත් ජනතා සේවය වෙනුවෙන් බව කීවේය.

“මම හොරෙක්, තක්කඩියෙක් කියලා චෝදනා කරන අයට මම මේ දක්වා කළ සේවය අමතක වීම ගැන දුකක්, කලකිරීමක් තියෙනවා. නැඟෙනහිර පළාතේ පළමුවැනි අධ්‍යාපන ඇමති විදිහට යුද්ධයෙන් විනාශ වූ නැඟෙනහිර පාසල් නැවත ගොඩනඟන්නට වගේම වැසී ගිය පාසල් නැවත ආරම්භ කරන්නත් මම කටයුතු කළා. පළාත් අතරින් අවසාන තැනට තිබුණ නැඟෙනහිර පළාත ඉදිරියට ගෙන එන්නට කටයුතු කළා. කවදාවත්ම බස්‌ රථයක්‌ ධාවනය නොවුණු අති දුෂ්කර ගම්මාන රැසකට පාරවල් තනාදී ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. විදුලිය ලබා දුන්නා. දවසකට පැය 18ක් විතර මම කැප කළේ ජනතා සේවය වෙනුවෙන්. දුප්පත් මිනිහෙකුට රස්සාවක් දුන්නා මිසක් මම රැකියා විකුණුවේ නැහැ. ඉඩම් ඇමැති වුණත් මට ඉඩම් අයිතිකර ගත්තෙ නැහැ. එහෙම කරපු මට තමයි මේ විදිහට සැලකුවේ.

මම ම හදපු පාරේ ඇවිත් මගේ ගෙට ගැහුවා. මගෙන් රස්සාව ගත්ත අය ඇවිත් ඒ විනාශය දැකලා සතුටු වුණා. එහෙම කළගුණ නොදන්න ජනතාවක් වෙනුවෙන් තවදුරටත් දේශපාලනය කළ යුතුද කියන ප්‍රශ්නය තිබෙනවා. මම දේශපාලනයෙන් සමුගන්නේ නැහැ. නමුත් මම ආයෙමත් මැතිවරණයකදි ඡන්දය ඉල්ලන්නෙ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මහා විශාල දීමනාවක් ලැබෙනවා කියලා කියන ජවිපෙ මන්ත්‍රීවරු ඒ දීමනා, විශ්‍රාම වැටුප් ගන්න ගමන් අනිත් අයට චෝදනා කරනවා. වාහන පර්මිට් එක ගන්නවා. පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා. ඒ සේරම කරන ගමන් ජනතාව ඉදිරියේ ශුද්ධවන්තයෝ වගේ හැසිරෙනවා.

නැවත අම්පාරේ පදිංචියට යන්නත් මගේ බලාපොරොත්තුවක් නැහැ. මැයි 9 වැනිදා විනාශ කරපු ගේ පුතා දැන් යන්තම් හදාගෙන තියෙනවා. මම මාදිවෙල ඉන්නේ. මට වෙන කිසිම වත්කමක්වත් ජනතාව වෙනුවෙන් දෙන්න දෙයක්වත් නැහැ. අවුරුදු 35කට වැඩි කාලයක් මම දේශපාලනය වෙනුවෙන් සියලු කැපකිරීම් කළා. අවසානයේ මම රෝගියෙක් වුණා. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය කළේ මගේ වාහනය විකුණලා. තවත් මේ ආණ්ඩුවේ හිටියා කියලා කරන්න දේකුත් නැහැ. ඉතිරි කාලෙත් මේ විදිහට ඉඳලා ගෙදර යනවා. මම දේශපාලනයෙන් සමුගන්නවා කියලා එයින් අදහස් කරන්නේ නැහැ. මම දේශපාලනය කළත් කරන්නේ පොදු ජන පෙරමුණ යටතේයි. ”

ඔහුගේ වදන්වල ඇත්තේ ආවේගයකි. ඒ ආවේගය උපදින්නේ මහපොළොවේ පය ගසා ජීවත් වූ තමා වැනි මිනිසකුට එල්ල කළ සාවද්‍ය චෝදනා සහ අපහාස උපහාස නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක කීවේය.

“දහම් පාසල්වල ගාථා කටපාඩම් කළාට, තරග තිබ්බට වැඩක් නැහැ බෞද්ධාගමේ හරය දරුවන්ට උගන්වන්නේ නැතුව. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගේ ඉඳන්ම මවුපියෝ දරුවන්ට පුරුදු කරන්නේ එකෙක් පරයා යන තරගය, වෛරය, කුහකකම. ඒ නිසා විභාග පාස් කළාට බිහිවෙන්නේ ජීවිතය අසමත් ‘දක්ෂ යක්ෂයෝ’ පිරිසක්. ආදරය, කරුණාව, මෛත්‍රිය, මනුස්සකම නැති හදවත මැරුණු පරපුරක් හැදීමේ ප්‍රතිඵල අපි අද අත්විඳිමින් සිටිනවා. ධනයට, බලයට, සැපසම්පත්වලට අත්පුඩි ගහන නරුමයන් මිසක් මනුස්සකමට, ගුණයහපත්කමට අත්පුඩි ගමන මිනිස්සු අද මේ රටේ බොහොම අඩුයි. ඔවුන්ටද විමුක්තිකාමීන්, අරගලකරුවන් කියන්නේ. මැයි 9 වැනිදා මුළු රටම මුහුණ දුන්නේ ඒ ඛේදවාචකයටයි. එදා සිද්ධ වුණේ හොරුන්ට එරෙහි හොරුන්ගේ අරගලයක්. එහෙමත් නැත්නම් හොරුන්ගේ මංකොල්ලයක්”

Comments