
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (SLTC) හි ආරම්භක සභාපති,
ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී
රන්ජිත් රූබසිංහ
බොස් කියන විදියට වැඩේ කළාම ඇති කියලා ගොඩක් අය කියනවා. හැබැයි මම ඊට වෙනස්
හම්බන්තොට බැදිගම සිට කොළඹ විත් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් හදන්නට පුරෝගාමී මෙහෙවර කරන ඔහු, තමන් සේවය කරන ආයතනය කුමක් වුව ද එහි වෙනසක් හා දියුණුවක් වෙනුවෙන් නිතර කැප වෙන්නෙකි. ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ ආයතනයක සමාරම්භක සභාපතිවරයා වුව ද ඉන්ධන නැතැයි මැසිවිලි නොනඟා පාපැදියෙන් සිය රාජකාරී ස්ථානයට එන්නෙකි. රන්ජිත් රූබසිංහ නමින් ප්‍රකට හේ, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (SLTC) හි ආරම්භක සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වේ. ශ්‍රී ලංකා ටෙලිකොම්හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයක් ද වන ඔහු TRACE ආයතනයේ ආරම්භක අධ්යක්ෂවරයකු වන අතර, තවත් ආයතන කිහිපයක ම අධ්යක්ෂ ධුර දරයි. විවෘත විශ්වවිද්‍යාලයේ උපදේශකවරයකු ද වන ඔහු බහුවිධ කාර්යයන් හි අනලස් ව නිරතවන්නේ අභියෝගවලට අභියෝග කරමිනි.
සම්පූර්ණ නම
රන්ජිත් ගංගානාත් රූබසිංහ. හැබැයි භාවිත වෙන්නේ රන්ජිත් ජී. රූබසිංහ කියලා
කොහේද ගම් පළාත
මම හම්බන්තොට බැදිගම.
උපන්දිනය
1970 අප්‍රේල් 21
අම්මා, තාත්තා සහ සහෝදර සහෝදරියන්ගෙ නම් මොනවද?
අම්මා චන්ද්‍රා යාපා පතිරණ. තාත්තා පියසේන රූබසිංහ, ඔහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ කෘෂි විද්‍යා උපදේශක කෙනෙක්. අම්මා නම් ගෘහනියක්. ඒ දෙන්නා 2013 දි නැති වුණා හදිසි රිය අනතුරකින්. මට ඉන්නෙ සහෝදරියන් දෙන්නෙක්.
කොහේද ඔබ පාසල් යන්නෙ
මම පාසල් හතරකට යනවා. වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය, තංගල්ල ප්‍රාථමික විද්‍යාලය, ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලය හා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයට.
පාසල් කාලෙ ඔබ පොතපතට ම නැඹුරු වුණු කෙනෙක්ද; නැත්නම් බාහිර වැඩ කළා ද?
මම ඇත්තටම බාහිර වැඩ ගොඩක් කළා. මම ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කළා. ඒ වගේම ක්‍රීඩා කළා. සමිති සමාගම්වල කටයුතු කළා
ඔබ උසස්පෙළ හදාරද්දි ජවිපෙ තරුණ නැගිටීම් සමය. කොහොමද ඒක අධ්‍යාපනයට බලපෑවෙ
මම උසස්පෙළ කරද්දි තමයි ජේවීපී තරුණ කැරැල්ලෙ උච්චතම අවස්ථාව. විභාගෙ තිබුණෙ පරක්කු වෙලා. මේ නිසා සම්පූර්ණ පාසල් ජීවිතයක් ගෙවන්න අපට අවස්ථාවක් උදා වුණේ නෑ. අවුරුදු තුනක් විතර ඒක නිසා මට නැති වුණා. 87 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවෙ ඉඳන් මේ ප්‍රශ්නෙට අපි මූණ දුන්නා. බිහිසුණු අත්දැකීම්වලට ලක්වුණා. අපේ යාළුවො පාර අයිනෙ මරලා දාලා තිබුණා. ඒක නිසා පාසල් කාලය සුන්දරයි කියලා කියන්න බෑ.
කොහොමද මේ දේවල් සම්බන්ධයෙන් ඔබේ මැදිහත්වීම හෝ ක්‍රියාත්මක වීම
ඇත්තටම මැදිහත් වීමක් තිබුණා. ඒකාලෙ යොවුන් ළමයි විදියට අපි මේවට සංවේදී වුණා. මම දේශපාලනික ව සවිඥානික වුණාට ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන ආස්ථානයේ නම් නැහැ. නිවැරදි දේ ලබාගන්න නම් අරගල කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා.
මොනවද උසස්පෙළට හැදෑරුවෙ
භෞතික විද්‍යා අංශය තමයි මම තෝරා ගත්තෙ. මම ගණිතයට ආසයි. මට හොඳට ලකුණුත් තිබුණා. මම විශ්වවිද්‍යාලයට පළමුවරම සුදුසුකම් ලබනවා. ඒ කාලෙ තිබුණු තත්ත්වත් එක්ක මට පන්ති යන්න එහෙම බැරි වුණා. හම්බන්තොට ගොඩක් කලබල තිබුණු නිසා ගෙදරින් මාව ගෙනත් දානවා, කොළඹ මගේ බාප්පාගේ ගෙදරට. කොළඹදි මම ගුරුවරු කිහිපදෙනෙක්ගෙන් ඉගෙන ගත්තා
ඔබ මොරටුව විශ්වවිද්‍යාලයට නොගිහින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තෝරා ගන්නවා. මොකද්ද හේතුව
මම පේරාදෙණියට යන්නෙ ඉල්ලලා. මම දකින හා විශ්වාස කරන දෙයක් තමයි, විශ්වවිද්‍යාලය කියන්නෙ දැනුම ලබා ගන්න තියෙන තැනක් ම නොවෙයි කියන දේ. එතැනදි විශ්වීය දැනුමක් එකතු වෙනවා. මේ සියල්ල ම එක්තැන් වුණු තැනක් තමයි පේරාදෙණිය. පේරාදෙණිය ලස්සනයි, සුන්දරයි, හැම ෆැකල්ටියෙම අය ඉන්නවා. ඉතින් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කැමැත්තෙන්මයි ගියේ.
විශ්වවිද්‍යාලෙදි ඔබ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්.
මම විශ්වවිද්‍යාලෙ මහා ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා. මගේ විශ්වවිද්‍යාල ජීවිතෙ වැඩි හරියක් කැප කළේ ඒ වෙනුවෙන්. විභාගත් කර ගත්තා. නමුත් වැඩි කාලයක් ඒ වෙනුවෙන් කැප කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනස් දේශපාලන සංස්කෘතියකට ගෙනියන්න මට හැකි වුණා කියලා මම හිතනවා.
දේශපාලනයට යන්න ඔබේ බලාපොරොත්තුවක් තියෙනවද?
මට ගොඩක් අවස්ථා තිබුණා දේශපාලනයට යන්න. ආරාධනාත් තිබුණා. මගේ ගෙදර අය කැමැති නැහැ මම දේශපාලනය කරනවට. දෙවැනි එක දේශපාලනය කරන්න ඕනතරම් කට්ටිය ඉන්නවා; මගේ අත්දැකීම් එක්ක මට ඊට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්; කරලත් තියෙනවා. අනික දේශපාලනය කරන්න වයසක් නෑනෙ
ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තියෙනවා
තාම නෑ. හැබැයි එහෙම වෙන්න බැරිත් නෑ
වෘත්තීය ජිවිතේ පටන් ගන්නෙ කොතැනින් ද?
මම විශ්වවිද්‍යාලෙ ඉද්දි ම ෆෙන්ටන්ස් එකට බැඳෙනවා පද්ධති ඉංජිනේරුවරයෙක් විදියට.
ඒක පුහුණු කාලයක්ද?
මම පුහුණු වෙන්නෙ ජාතික රූපවාහිනී සංස්ථාවෙ. ජනතාවට බලපෑමක් කළ හැකි තැනක් විදියටයි මම රූපවාහිනිය දැක්කෙ. මගේ විෂය ඉලෙක්ට්‍රොනික්. මට හිතුණා මගේ විෂයයත් එක්ක රූපවාහිනිය මට ගැළපෙනවා කියලා. පුහුණු කාලයෙන් පස්සෙ මම රූපවාහිනියේ කලක් රැකියාවත් කළා.
ෆෙන්ටන්ස් ආයතනය එක අතකට ඔබට ජීවන සරසවියක්...
මගේ පළමු රැකියාව මම ගොඩක් කැමැත්තෙන් කළේ. ඒකාලෙ තමයි ලංකාවේ රාජ්‍ය ආයතනවලට පරිගණක මුලින් ම හඳුන්වා දෙන්නෙ. ෆෙන්ටන්ස් තමයි ලංකාවෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පරිගණක හයි කරලා, පුහුණු කරන වැඩේ කළේ. මම යාපනේ ඉඳන් හම්බන්තොට දක්වා රටේ හැම තැනකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට තනියම පරිගණකය අරන් ගිහින් හයි කරලා, අදාළ දේවල් ඉන්ස්ටෝල් කරලා, පාවිච්චි කරන හැටි කියලා දීලා එනවා. මම ඉංජිනේරුවරයෙක් කියන එකට ගොඩක් පහළින් තමයි වැඩේ පටන් ගත්තෙ. වාහනය ඩ්‍රයිව් කරන් ගිහින්, පරිගණක පෙට්ටිය උස්සන් ගිහින්, ඒක හයි කරලා, උගන්නලා එනකොට මම ඉංජිනේරුවකුට වැඩිය ගොඩක් ලොකු වපසරියක වැඩ කරලා තියෙනවා. ඒක මට විශාල අත්දැකීම් ප්‍රමාණයක් එකතු කළා. මගේ වැටුපත් සමකාලීනයන්ට වඩා ගොඩක් අඩුයි. යාළුවොත් විහිළු කළා ඇයි මෙහෙම වැඩ කරන්නෙ කියලා.
එතැනින් එහාට කොහොමද ඔබේ වෘත්තිය ජිවිතේ ගොඩනැඟෙන්නෙ
මට ආරාධනාවක් ලැබුණා රූපවාහිනී සංස්ථාවෙන්. රූපවාහිනියේ තොරතුරු පද්ධති තාක්ෂණ ආයතනයක් පටන් ගත්තා, ඒකට එන්න කියලා තමයි ආරාධනාව ලැබුණෙ. මට එතැනත් අලුත් දේවල් කරන්න ලැබුණා. මම වෙනස්කම් කළා. ඕනම තැනකට ගියාම අලුත් දෙයක් කරන්න පුළුවන් කියන මානසික තත්ත්වය මට ඇති වුණා. ඒකට වයස බලපාන්නෙ නෑ; අවශ්‍ය වෙන්නෙ තමාට තියෙන වුවමනාව සහ හැකියාව පමණයි. රූපවාහිනියෙ ඉද්දි මට අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් යන්න. ඒ කාලෙ ඒක කළමනකාරණය කළේ එමිරේට්ස්ලා. මට වුවමනා වුණා, විදේශීය කළමනාකාරීත්වයක් යටතේ වැඩ කරලා ඒ අත්දැකීම ගන්න. මගේ මාසික වේතනයත් හතර ගුණයකින් වගේ වැඩි වුණා, එහෙට යද්දි. මට ගොඩක් විශාල අත්දැකීම් පරාසයක් ලැබුණා.
කොහොමද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට එන්නෙ
මම ටෙලිකොම් එකට එන්නෙ පද්ධති කළමනාකරණ ඉංජිනේරුවෙක් විදියට. මට ලැබුණු රාජකාරිය වුණේ දුරකතන නාමාවලියේ දත්ත පද්ධතිය නඩත්තු කිරීම. ඒකාලෙ දුරකතන නාමාවලිය පළ කළේ යෙලෝ ජේජස් කියන ආයතනයෙන්. යෙලෝ පේජස් ආයතනය මේක පළ කිරීම නැවැත්තුවාම ටෙලිකොම් ආයතනයට ප්‍රශ්නයක් වුණා, අපි කොහොමද මේක කරන්නෙ කියලා. ඒ කාලෙ ටෙලිකොම් ආයතනයේ හිටියා ක්‍රිස්ටි අල්විස් කියලා ප්‍රධාන නිලධාරී මහත්මයෙක්. එතුමා තමයි මේ අංශය බාරව හිටියෙ. පස්සෙ අපි හැමෝම කතා කරලා තීරණයක් ගත්තා අපි මේක පළ කරමු කියලා. ඒකට නමක් විදියට අපි යෝජනා කළා රේන්බෝ ජේජස් කියන නම. එහෙම තමයි ලංකාවට රේන්බෝ පේජස් ආවෙ. එහි පළමු ප්‍රධානියා විදියට පත් වුණේ මම. රේන්බෝ පේජස් නිර්මාණය කරලා, ඒකෙ සියලු දේවල් කළේ මම. ඒක මට ආඩම්බරයක්. අපි රේන්බෝ පේජස් පළ කරලා යෙලෝ පේජස් වෙෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කළා. ලෝකයේ යෙලෝ පේජස් නැති එක රටක් තමයි ලංකාව.
එතැනින් එහාට ඔබ ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරී ස්ථරවලට පත්වෙනවා.
ඔව්, ටෙලිකොම් එකට ඕන වුණා මෑන් පවර් කම්පැනියක් හදන්න. ඒකෙ ප්‍රධානියා වෙන්නෙත් මම. ඒක මුළුමනින් ම දියුණු කරන්නෙ මම. ඒ අතරෙ මට ලැබෙනවා, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර. මට හීනයක් තිබුණා, අධ්‍යාපනය සම්බන්ධ ආයතනයක් පටන් ගන්න. මම දැක්කා මගේ වෘත්තීය කාලය අතරතුර උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය අඩු වේගෙන යන හැටි. අපේ අත්දැකීම් එහෙමත් එකතු කරලා ඒ වෙනුවෙන් දෙයක් කරන්න මට වුවමනාව තිබුණා. ඒ කාලෙ ටෙලිකොම් එකේ අදහසක් තිබුණා, එහි ව්‍යාපාර විවිධ අංශවලට අරන් යන්න ඕන කියලා. මම ඒකට ප්‍රොපෝසල් එකක් දැම්මා විශ්වවිද්‍යාලයක් පටන් ගැනීම ගැන. ටෙලිකොම් ආයතනය කැමැති වුණා, ඒකට ආයෝජනය කරන්න. එහෙම තමයි SLTC Research University එක ආරම්භ වුණේ.
ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය මොනවාද?
මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න ගත් තීරණය එක් හැරවුම් ලක්ෂ්‍යයක්. මගේ විශේෂත්වය තියෙන්නෙ මම වෙනස් විදියට හිතන කෙනෙක් වීම. ඒක මට ආවෙ විශ්වවිද්‍යාලයේදී මම දුන්නු නායකත්වය නිසා. එයින් ලබපු අත්දැකීම් නිසා.
අනෙක් හැරවුම් ලක්ෂ්‍යය මම ටෙලිකොම් ආයතනයට සම්බන්ධ වීමට තීරණය කිරීම. ඒකෙන් මගේ තියෙන අදහස් ක්‍රියාත්මක කරන්න මට පාරක් විවර වුණා. ඒක මට හොඳ වේදිකාවක්. අද මම ටෙලිකොම් ආයතනයේ අධ්යක්ෂවරයෙක්. ඉංජිනේරුවරයෙක් විදියට ටෙලිකොම් ආයතනයට ගිය මම අද එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් දක්වා සියලු ම අත්දැකීම් ලබලා තියෙනවා.
තමන්ගෙ යටතේ ඉන්න පිරිස එක්ක ගනුදෙනු කරන්නෙ මොන විදියට ද?
මම ඇත්තටම ගොඩක් වෙලාවට විශ්වාස කරන්නෙ ඕනෑ ම කෙනකුගේ උපරිමය එන්නෙ ඔහුට හෝ ඇයට ඒ සම්බන්ධ ව සම්පූර්ණ නිදහස දුන්නහම කියලා. හොඳ නරක දෙකම තමන් ම අවබෝධ කරගන්න පුළුවන් වුණා ම ප්‍රතිඵලය සාර්ථකයි කියලයි මට හිතෙන්නෙ. මම හැම තිස්සෙම මගේ යටතේ වැඩ කරන අය ඒ වෙනුවෙන් බල ගන්වනවා. ලංකාවෙ අය මේක හරියට ගන්නෙ නැහැ. ඒක අධ්‍යාපන ක්රමයේ වැරැද්දක්. එයාලා හැම තිස්සෙම හිතනවා, මම වැඩ කරන්න ඕන කාගෙ හරි උපදෙසකට කියලා.
නිදහස් චින්තනය අඩුයි කියලද කියන්නෙ
අනිවාර්යයෙන්. බොස් කියන විදියට වැඩේ කළාම ඇති කියලා ගොඩක් අය හිතනවා. මම උත්සාහ කරනවා, තමන් විසින් ම තමන් බල ගැන්වීම කියන දේ කරන්න. ඒක ග්‍රහණය කරගත්ත අය ගොඩක් ඉදිරියට යනවා. තමන්ගෙ දියුණුව හදා ගන්නවා. මගේ සාර්ථකත්වයට හේතුවත් ඒක.
කාලයක් ඔබ ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළා. ඒක වෙනස් ක්ෂේත්රයක්; වෙනස් අභියෝගයක්
බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගේ ඉල්ලීමක් අනුවයි මම ඒ තනතුර බාර ගත්තේ. ඒක මට වැදගත් සහ හොඳ අවස්ථාවක්. අවුරුදු ගාණක් පාඩු ලබපු සතොස මම ලාබ ලබන තැනක් බවට පත් කළා. ගොඩක් ව්‍යුහාත්මක වෙනස්කම් කළා. මට තේරුණා ලංකාවේ පාඩු ලබන රජයේ ආයතන ලාබ ලබන ආයතන බවට පත් කරන්න පුළුවන් කියලා.
වෘත්තීය ජිවිතේ අභියෝග විදියට දකින්නෙ මොනවද?
වෘත්තිය ජිවිතේ මට ගොඩක් අභියෝග තිබිලා තියෙනවා. මම විශ්වාස කරන දේ මම ගොඩක් වෙලාවට ක්‍රියාවට නඟනවා. සමාජය ඒක දිහා මොන විදියට ද බලන්නෙ, ඒ් අය මොනවා කියයිද වගේ ඒවා මම හිතන්නෙ නැහැ.
ජීවිතේ අනුගමනය කරන මූලධර්ම මොනවා හරි තියෙනවාද?
මගේ ජීවිතේ එක මූලධර්මයක් තමයි, කවුරුහරි කෙනෙක් තමන් විශ්වාසදායී කෙනෙක් නොවෙයි කියලා ඔප්පු කරනකම් මම හැම මනුස්සයාම විශ්වාස කරනවා. මගේ ජීවිතේ පොලිසි එක ඒක. එහෙම ජීවත් වෙන එක හරි ලේසියි.
දෙවැන්න තමයි අවස්ථා පිළිගැනීම. මම මට ලැබෙන අවස්ථා අභියෝග විදියට සලකලා ඒ අභියෝගවලට අභියෝග කරනවා. එහෙම අවස්ථා මට ගොඩක් තියෙනවා.
මේ වගේ ක්‍රියා කරද්දි විවේචකයන්ගෙන් ඔබට අඩුවක් නැතිව ඇති
ඔව්. මාව විවේචනය කරන්නන් වැඩියි. ඒක දරාගෙන ඉන්න එක අභියෝගයක්. ඒක මට විතරක් නොවෙයි මගේ සමීපතමයන්ටත් බලපානවා. මට ඕන දේ කරන්න මට තියෙන හයිය මගේ විශේෂත්වයක්. ඒ වගේම විවේචන දිහා මැදහත් ව බලන්න පුළුවන් එකත් මගේ විශේෂත්වයක්. මම උත්සාහ කරන්නෙ ඒ මොහොතේ සතුටෙන් ඉන්න. මම දිගට ම වැඩ කරලා තියෙන්නෙ එහෙම.
කොහොමද ඔබේ විවාහය සිදුවෙන්නෙ.
මගේ බිරිය අජිතා. ඇය මට හමු වෙන්නෙ මම පහේ පන්තියෙදි. පස්සෙ අපි අතර ආදර සම්බන්ධයක් ඇති වුණා. ඇය වෛද්‍යවරියක්.
දරුවන් ගැන කතා කළොත්
මට ඉන්නෙ දුවලා තුන්දෙනෙක්. ලොකු දුව මන්දුලී වෛද්‍යවරියක්. දෙවැනියා රන්දුලී උසස්පෙළ කරනවා. බාල දූ චන්දුලී සාමාන්‍ය පෙළ කරනවා.
විවේක වෙලාවට මොකද කරන්නෙ
මම හැමදාම මගේ බිරියත් එක්ක ලංකාවේ ටෙලිනාට්‍යයක් බලනවා. ඒක පුරුද්දක් විදියට කරන දෙයක්. ගොඩක් සමිති සමාගම්වල මම වැඩ කරනවා. ඒවට මගේ කාලය ගත කරනවා. මගේ අම්මගෙ පාර්ශ්වයෙන් මට හම්බුණු පොඩි ගෙයක් තියෙනවා ගමේ. නිවාඩු වෙලාවට මම එහේ ගිහිනුත් ඉන්නවා.
සාමාන්‍යයෙන් පොත් කියවනවද?
මම ඇබ්බැහි වුණු පොත් කියවන්නෙක් නොවෙයි. හැබැයි හොඳ පොතක් හම්බු වුණොත් කියවනවා. මේ දවස්වල මම සාපියන් කියලා පොතක් කියවනවා. ගොඩක් වෙලාවට මම කියවන්න කැමති කළමනාකරණ විෂයයට අදාළ පොත්.
චිත්‍රපට බලනවද?
මම ලංකාවෙ එන චිත්‍රපට විශේෂයෙන් බලනවා. අන්තිමට බැලුවෙ ද නිව්ස්පේපර්.
සංචාරය කරන්න කැමැති කොහේද?
මම පොළොන්නරුවට හරි කැමතියි. අපේ ඉතිහාසය කොයිතරම් දියුණු තත්ත්වයක තිබුණ ද කියන එක මේ නටබුන්වලින් පේනවා. ඊට අමතරව මම කැමැතියි නැෙඟනහිර වෙරළට.
දිනපතා ශාරීරික ව්‍යායාම කරනවද?
මේ දිනවල කොළඹ ඇතුළත සියලු ගමන් බිමන් මම යන්නේ පාපැදියෙන්. මම රැකියාවට එන්නෙත් පාපැදියෙන්. ඒක මට හොඳ ව්‍යායාමයක්. නැත්නම් මම සතියට දවස් තුනක් ඇවිදිනවා.
පාවිච්චි කරන්නෙ බ්‍රෑන්ඩඩ් දේවල් ද?
එහෙම ම නෑ. බ්‍රෑන්ඩඩ් දේවල් ගන්නවා. ඒ මිලදී ගැනීමේ පහසුව නිසා. හොයාගෙන ගිහින් නම් ගන්නෙ නෑ. මගේ බ්‍රෑන්ඩ් එක තව කෙනෙක් ගෙ බ්‍රෑන්ඩ් එකක් මත ගොඩනඟන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මම ගොඩක් වෙලාවට කැෂුවල් අදින්න කැමැති. බොහොම රිලැක්ස් විදියට ඉන්නවා. ඇඳුමෙන් මට සලකන්න අවශ්‍ය නෑ කියන එකයි මගේ විශ්වාසය.
නව පරම්පරාවට යෝජනා කරන්නෙ මොනවද?
තමන් තමන් වෙන්න කියන එක. අනුකරණය, සන්සන්දනය කියන දෙයින් එහාට ගිහින් තමන් තමන් විදියට ගොඩනැඟෙන්න කියන එක තමයි මගේ එක ම යෝජනාව.
ඡායාරූප- සමන්ත වීරසිරි