
අලංකාර ස්වභාවික හා කෘත්‍රිම මල් ක්‍රමවත්ව තබා මුව සේදුම් බඳුන්, මුහුණ බලන කණ්ණාඩි, අත් වේළන උපකරණ ඇතුළත් කර, බිම් ගඩොල්, බිත්ති ගඩොල් හා කාපට් අතුරා මනාව නිම කරන ලද මේ කුටිය දකින අයකුට මෙය තරු පහේ හෝටලයක නාන කාමර සහිත සුපිරි පන්නයේ වැසිකිළියක් (wash room) එකක් බව සිතේවි. එහෙත් මෙය පොදු වැසිකිළියක් බව කීවොත් ඔබට පුදුම සිතේවි. මේ, පිටකොටුවේ චාමාස් කාර් පාක් එක අසල නැත්නම් මල්වත්ත පාරේ කෙළවරේ ඔරලෝසු කණුව ඔබ්බට වම් පැත්තට වෙන්නට තිබෙන කොළඹ මහ නගර සභාව මඟින් පාලනය කරන පිරිමි පොදු වැසිකිළියයි.
මීට වසර 8කට පෙර කොළඹ නගරාලංකරණ හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙය ඉදිකරනු ලැබුවේ කොළඹ නගර සභාවෙනි. අනිකුත් වැසිකිළි මෙන් මේ සඳහාත් පාලනය, පිරිසුදු කිරීම් හා මුදල් එකතු කිරීමට සේවකයන් යොදවා තිබුණත් වෙනත් වැසිකිළිවලට වඩා වෙනසක් එහි නොවීය. මීට මාස හයකට පමණ පෙර මේ වැසිකිළිය භාවිත කරන්නන්ගෙන් මුදල් එකතු කරමින් සිටි පුද්ගලයා නිවාඩු ගිය අවස්ථාවේ ඒ වෙනුවට තාවකාලිකව සේවයට පැමිණියේ මොහොමඩ් සෆ්රාන් (30) නැමැති තරුණයෙකි. මන්නාරමේ උපන් මොහොමඩ් රැකියාව කරමින් සිටියේ පෙට්ටි කඩේක කුඩා ළමුන්ගේ ඩිසයින් රූලර් (ළමා චිත්‍ර) අලෙවිකරුවෙක් විදිහටයි. ඊට පෙර සෆ්රාන් කොටුවේ හෝටලයක වේටර් කෙනකු ලෙස සේවය කර ඇත.
දින දෙකකට චාමස් පාක් එක ළඟ වැසිකිළියේ මුදල් එකතු කරන්නට ගිය සෆ්රාන්ට දිගටම එතන වැඩ කිරීමට සිදු වුණේ කලින් වැඩ කළ සේවකයා නැවත නොපැමිණීම නිසයි. උදේ 5.00 සිට රාත්‍රි 7.00 දක්වා වැසිකිළිය විවෘත කර තිබෙන අතර, දිනක වැටුප රු. 1200කි. වරක් වැසිකිළිය භාවිත කරන කිරීමට අය කරන ගාස්තුව රුපියල් දහයකි.
“මෙහි වැඩ කරන්න ගත්තට පස්සේ පැය විසිහතරම මම මෙතැන ඉන්න නිසාත් එන අයට ප්‍රසන්න ලෙස ලස්සනට, පිරිසිදුව තබා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා මම ලස්සන මල් වාස්, සැරසිලිවලින් වැසිකිළිය හැඩ කළා. විවිධ වර්ගයේ පැළෑටි මල් පෝච්චිවල හිටවලා ගෙනත් තිබ්බා. කාපට් කීපයක් අරන් තවත් හැඩකළා. ”
එසේ කිරීමෙන් පසු මාස 6ක් ඇතුළත තරු පහේ නාන කාමරයක් සිරිගන්වන්නට සෆ්රාන් හැකිවුවත් විශේෂත්වය වන්නේ ඔහු කවදාවත් තරු පහේ හෝටලයක වැසිකිළියකට ගොස් නොතිබීමයි. අඩුමතරමින් අන්තර්ජාලය හරහා නවීන නාන කාමරයක පින්තූරයක්වත් දැක නොතිබුණි. මේ වැසිකිළිය මුළුමනින්ම සෆ්රාන්ගේ සිතේ මැවුණු අපූරු සංකල්පයකි. පිවිසුම් මාර්ගයේ මල් හා පැළෑටි වවා තැඹිලි පාට තීන්ත ආලේප කර ඇති මේ වැසිකිළියට ඇතුළුවද්දී දැනෙන්නේ අපූරු මින්ට් සුවඳකි. "දුම්බීම තහනම්" "සෞඛ්‍ය හේතූන් මත මුඛ ආවරණ පලඳින්න" "මීටරයක පරතරය තබාගන්න" "මෙය ඔබගේය. පිරිසිදුව තබා ගන්න" ආදී වදන් තැනින් තැන සටහන් කර ඇත. නිතරම සින්දු ඇහෙන කැසට්, රේඩියෝවකුත් එහි වන අතර, හෑන්ඩ් වොෂ්, ගාබේජ් බින්, ටිෂු පේපර් ආදී තරු පහේ නාන කාමරයක තියන සියල්ලම ඊට අන්තර්ගතය.
මොහොමඩ් සෆ්රාන් සිළුමිණට කතා කළේ මෙලෙසිනි.
"මම මෙතැන ලස්සනට තියා ගනිද්දි දින කීපයකින් මම සේවය කරන එස්.එස්. එන්ටප්‍රයිසස් ආයතනයෙන් ස්ථිර කළා. මල් බඳුන් හා අලංකරණ උපකරණ ගන්නේ මෙයින් ලැබෙන අමතර මුදලින්. අපේ ආයතනයෙන් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය සියල්ලම ලබා දෙනවා. වැසිකිළිය පාවිච්චි කරනවාට අය කරන්නේ රුපියල් 10 වුණත් සමහර අය රු 20, 30, 50, 100, 200 පවා දීලා යනවා සතුටින්. ඒ මුදලින් තමයි සැරසිලි කරන්නේ, සුවඳ විලවුන් ගන්නේ. මේ සියල්ල මම තනියම කරන්නේ. දවසකට රු. 2,000ක් විතර ලැබෙනවා ගනුදෙනුකරුවන්ගෙන්. සමහරුන් මුදල් නොදිත් යන අවස්ථා තියනවා. මම මේ නාන කාමරයට යාබද කොටසේ තමයි රෑට නිදා ගන්නේ. රාත්‍රි 7.00 වැහුවට පස්සෙත් සමහරු එනවා. රෑට වහන නිසා වැඩිපුර මුදල් යන්නේ ජල බිලට පමණයි. අඩි 15 පළල අඩි 30 පමණ වපසරියක මේ වැසිකිළි පද්ධතියේ නාන කාමරයක්, කොමඩ් එකක් හා සාමාන්‍ය වැසිකිළි 4ක් මෙන්ම ආබාධිත වැසිකිළියකුත් තියනවා. සමහරු වැඩි මුදලක් දීලා හරි ඒ වැසිකිළිය පාවිච්චි කරන්න ඉල්ලුවත් එහෙම දෙන්නෙ නෑ. වරායේ, රේගුවේ, මේ අවට රජයේ හා පෞද්ගලික ආයතනවල වගේම පාරේ ගමන් කරන අය 500 දෙනෙක් විතර දිනකට මෙය පාවිච්චි කරනවා. මේ විසිතුරු ලයිට් ආයතනයෙන් හා නගර සභාවෙන් දාලා දුන්නේ. වතුර ටැංකියක් තියන නිසා නිතරම වතුර තියෙනවා. ටැංකියෙත් වතුර නැතුව වතුරත් කැපුවොත් නම් වැසිකිළිය තාවකාලිකව වහනවා. දින 3, 4 වරක් ගෙදර බිරියට හා පුතාට මුදල් යවනවා. මාසෙකට දින දෙකක් ලැබෙන නිවාඩු අරන් තමයි ගමේ යන්නේ.
මෙහි නානවා නම් රු.500ක් අය කරනවා. සෙනසුරාදට 300 දෙනෙක් හා ඉරිදට 200 දෙනෙක් මේක පාවිච්චි කරනවා. දැනට L.E.D. ලයිට් එකයි තියෙන්නේ. ඉදිරියේදී තවත් L.E.D. ලයිට් දාලා, විසිතුරු මාළු ටැංකියක්, විසිතුරු තිරරෙදි, කාපට් හා විසිතුරු මල් පැළෑටි වලින් ලස්සන කරන්න මගේ අදහසක් තියෙනවා”
පානදුර ටී. මුබාරක් (රොෂාන්) අපට පැවසුවේ, "මේක හෝටල් කාමරයක් වගේ මෙයා තියාගන්නවා. කොළඹ වෙන ටොයිලට් කිට්ටුවෙන් යන්න බෑ ගඳයි. මෙයාගේ සුපවයිසර් දවසකට දෙපාරක් බලන්න එනවා. ඒ කවුරුන්ගෙනුත් සෆ්රාන්ට ලොකු සැලකිල්ලක්, ගරු කිරීමක් තියනවා සෆ්රාන් තමන්ගේ රස්සාව කැපවීමෙන් කරන නිසා.”කියාය.
වේයන්ගොඩ සිට පැමිණි ඉංජිනේරු කලණ මුණසිංහ (28) කියා සිටියේ ලංකාවේ කිසිම තැනක මේ අයුරින් මනාව පවත්වාගෙන යන වැසිකිළි හා නාන කාමරයක් නොමැති බවයි. වරක් මෙහි පැමිණි අයෙක් කොළඹට ආවොත් මෙතන වැසිකිළිය හොයාගෙන එන බවත්ය. සෆ්රාන්ගේ විසිතුරු වැසිකිළියේ ඔරලෝසුවක්, බ්‍රිතාන්‍ය රැජිනගේ පින්තූරයක්, කැලැන්ඩරයක්, පෑන් රඳවනයක් ආදී විචිත්රාංග රැසකි. තවත් ඉදිරියට එක්කිරීමට නියමිත නවමු අංග රැසකි.
මෙම පොදු වැසිකිළිය නිරන්තර භාවිත කරන ඒ.සී.එම්. ජලාල් (47) මෙසේ කීය.
"මීට අවුරුදු පහකට කලින් මේකේ දොරවල් කැඩිලා යන්තම් දොර වහගත්තේ අමාරුවෙන්. සෆ්රාන් ආවට පස්සේ මේක හොටෙල් එකක් වගේ වුණා. දවසකට 10 පාරක් විතර සෝදනවා. වෙන තැන්වල ටොයිලට්වලට යන්න හිතෙන් නෑ අපිරිසිදුයි. මෙතෙන්ට නිකන් හරි ඇවිත් යන්න හිතෙනවා."
කොටිකාවත්තේ සිට පැමිණි ව්‍යාපාරික කටයුතු කරන බන්දුල විජේසිංහ (65) කීවේද මෙවැනි සුන්දර වැසිකිළියක් වෙන කිසිම තැනක නුදුටු බවයි.
දෙහිවල සිට පැමිණි ඉම්රාන් මොහොමඩ් පැවසුයේ සෆ්රාන් මෙම පොදු වැසිකිළිය ඉතා මැනවින් පවත්වාගෙන යන්නා සේම මෙය භාවිත කරන අයත් එය ආරක්ෂා කර ගැනීමට හා අපිරිසුදු නොකිරීමට වග බලාගත යුතු බවයි.
මීට යාබදව ඇති කාන්තා වැසිකිළිය භාරව කටයුතු කරන්නේ එම්. රාණිය (රාගම) ඇය ද වැසිකිළිය පිරිසුදුව තබාගන්නා මුත්, සෆ්රාන්ගේ වැසිකිළිය මෙන් සැරසීමට ඇයට ශක්තියක් නොමැත. එහෙත් පිවිසුම් මාර්ගයේ මල් පෝච්චි කීපයක් තබා තිබුණි.
අද අපේ රටට අවශ්‍ය වනුයේ මොහොමඩ් සෆ්රාන් වැනි තම රැකියාවට කැපවී ක්‍රියා කරන පිරිසකි. එසේ වුවහොත් ලස්සන ශ්‍රී ලංකාව තවත් ලස්සන කළ හැකි වනු නොඅනුමානය.