පාර්ලිමේන්තුවට ජවිපෙ බෝම්බ ගසා අගෝස්තු 18 ට වසර 35 යි | සිළුමිණ

පාර්ලිමේන්තුවට ජවිපෙ බෝම්බ ගසා අගෝස්තු 18 ට වසර 35 යි

- මාතර දිසා ඇමැති ඇතුළු දෙදෙනෙක් මරුට
- ප්‍රධාන සැකකරු අජිත් කුමාර පසුව ජවිපෙන් පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙයි

න්දු ලංකා ගිවිසුම 1987 ජූලි 29වැනිදා අත්සන් කිරීමෙන් පසු රටේ පැවති ව්‍යාකුල තත්ත්වය තවත් උග්‍ර විය. එජාප තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 ජුලි 31වැනිදා වෙඩිතබා ඝාතනය කරන ලදී. රට පුරා කැරලි කෝලාහල ඇතිවිය. ජන විරෝධයට ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය. ඇඳිරි නීතිය සහ පමණක් නොව පුවත්පත් පාලනයක්ද ඇති කළේය. විරෝධතා නතර කිරීමට ආණ්ඩුවට හැකි වූයේ සෑම තැනකදීම පාහේ ගිවිසුම් විරෝධී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙනි. පෙළපාළිකරුවෝ සිය ගණනක් මිය ගියහ. දහස් ගණනක් තුවාල ලැබීය. 

ජවිපෙ විරෝධතා ව්‍යාපාරය මෙහෙය වූවද ඒ සා විශාල ජන විරෝධයක් මතුවන්නේ යැයි විශ්වාස කළේ නැත. ජනතාව එජාප ආණ්ඩුව ගැන ඒ වනවිට ප්‍රබලව කලකිරී තිබූ බැවින් ජනතාව පෙරට ඇදී ආවේ නොසිතූ පරිදිය. විරෝධය සාංසිද්ධිකව පැන නැඟුණද ඉන් ලැබූ ප්‍රචාරක ව්‍යාපාරය ජවිපෙට මහත් වාසියක් විය. ගිවිසුමෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සිය කටයුතු වඩ වඩාත් වේගවත් කළේය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව 1987 අගෝස්තු 18වැනිදා දක්වා කල් දැමීමට එජාපය තීරණය කළේය. ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂය මඟින් කල් තැබීමේ යෝජනාවක් 1987 ජුලි 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 74ක්ද විපක්ෂව ඡන්ද 9ක්ද ලැබිණි. ගිවිසුමට පෙර කල් තැබූ පාර්ලිමේන්තුව යළි රැස්වීමට තිබුණේ අගෝස්තු 18වැනිදාය. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවටත් දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබිණි. දිවයින පුවත්පතින් පාර්ලිමේන්තුව වාර්තා කිරීමට එදින ගියේ දයා ලංකාපුර සහ මේ ලේඛකයාය. දි අයිලන්ඩ් පුවත්පතින් අජිත් සමරනායක, ප්‍රසාද් ගුණවර්ධන සහ සුරේෂ් පෙරේරාය. රියදුරු වූයේ සෝමසිරිය. එවිට වේලාව උදෑසන 9 පසු වූවා පමණි. පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව පාලම අසලදී උපාලි පුවත්පත් වාහනය නැවැත්වූ අතර තුවාලකරුවන් ගෙන යනු දක්නට ලැබිණි. පාර්ලිමේන්තු වාර්තාකරුවන් අතරින් එහි ඇතුළේ සිටියේ කලින්ම පැමිණෙන දවස පුවත්පතේ මාධ්‍යවේදී ජේ. ටී සිල්වා පමණි.

පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම ආණ්ඩු පක්ෂයේ රැස්වීම පැවැත්විණි. එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් ඒ ශාලාවේදීය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව එහි සිටියේ 5දෙනෙකි. ඒ අතර පාර්ලිමේන්තුවේ ලඝු ලේඛක නෝබට් සේනාධීර, රැස්වීමේ වාර්තාව සකස් කරන අගමැති ප්‍රවෘත්ති නිලධාරිවරයකු වන පුවත්පත් කලාවේදී ඇන්තනි ප්‍රනාන්දු ද විය. ඔහුගේ ප්‍රධානියා වූයේ අගමැති මාධ්‍ය ලේකම් එවන්ස් කුරේය. මුලසුන හෙබවූවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. ප්‍රධාන මේසයේ අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ සභානායක වින්සන්ට් පෙරේරාද විය. ලලිත් ඇතුළත්මුදලි ඇතුළු මැති ඇමතිවරුන්ද, කීර්ති අබේවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන්ද ආණ්ඩු පක්ෂයේ රැස්වීමට පැමිණ සිටියහ. 

ආණ්ඩු පක්ෂයේ රැස්වීම ඇරඹුණේ 1987 අගෝස්තු 18වැනිදා උදෑසන 8.40ටය. න්‍යාය පත්‍රයෙ මුලින්ම තිබුණේ ආගමික වතාවත් සිහිකිරීමය. අනතුරුව ඝාතනයට ලක්වූ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ සහ සභානායක කාර්යාලයේ ලේකම් අභාවප්‍රාප්ත ක්‍රිස්ටි කුරේ පිළිබඳව විනාඩි දෙකක ශෝකය පළකරන ලදී. අගමැති ප්‍රේමදාස විසින් එම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කිහිපයක් ගැන විස්තර කළේය.

රට තුළ පවතින විරෝධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීම ගිනියම් වූයේ අනතුරුවය. හම්බන්තොට දිසා ඇමති සහකාර වෛද්‍ය පී. එම්. බී සිරිල් දකුණේ තත්ත්වය විග්‍රහ කළේය. තමා වසර 20ක් තිස්සේ උපයා ගත් සියලු දේපළ කැරලිකරුවන් ගිනි තබා විනාශ කළ බව හෙතෙම කියා සිටියේය. වවුනියාව දිසා ඇමති සහ කැකිරාව මන්ත්‍රී ජී. ඩී මහින්දසෝම කියා සිටියේ කැලණි පාලම අසලදී කැරලිකරුවන්ගෙන් තමා දිවි බේරාගත් අන්දමය. අතතුරුව අදහස් දැක්වූවේ මැදිරිගිරය මන්ත්‍රී ඒකනායකය.

ඒ අතරතුරදී රබර් බෝලයක් මෙන් යමක් ප්‍රධාන මේසයට වැටුණු අතර එය බිම පෙරළී පුපුරා ගියේය. ඒ අසලම සිටියේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලි සහ මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමය. දොරක් අතරින් ආරක්ෂක නිලධාරියකු අදින සුදු අත්දිග කමිසයයක අතක් එළියට පැමිණි අතර දෙවන බෝම්බය ඉන් දමා ගැසීය. එය පෙරළී ගොස් කළු දුමක් පැතිරිණි. වෙඩි තබනවා යැයි කියූ මන්ත්‍රීවරුන් බිම වැතිර ආරක්ෂාව සලසා ගත්හ.

පුටුවකින් ගසා ඇමතිවරයකු කමිටු ශාලාවේ වීදුරුවක් කැඩූ අතර අනතුරුව එළියේ බොහෝ දෙනා සිට ගත්හ. ප්‍රධාන දොරටුවෙන් එළියට යාමට කිසිදු මන්ත්‍රීවරයකු උත්සාහ නොකළේ ප්‍රහාරකයන් එහි සිටින බවට කවුදෝ කිවූ බැවිනි. ඇමති ලලිත් සහ මන්ත්‍රී අබේවික්‍රම සහ තවත් දෙදෙනෙක් ඔසවා ගෙන යනු දක්නට ලැබිණි. ඇතුළත ලේ විසිරී තිබූ අතර ඇමතිවරුන් වන මොන්ටේගු ජයවික්‍රම, පර්සි සමරවීය, ඊ.එල්.බී හුරුල්ලේ යන අයට තුවාල සිදුවී තිබිණි.

බෝම්බ ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුවේ ලඝු ලේඛක පතිරගේ නෝබට් සේනාධීර එතනම මිය ගියේය. මන්ත්‍රී කීර්ති අබේවික්‍රම රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගියේය. ඇතුළත්මුදලි ශල්‍යකර්මයකට ලක්කරන ලදී. එහෙත් බෝම්බකරුගේ ප්‍රධාන ඉලක්කය වූ ජනාධිපති ජයවර්ධන හෝ අගමැති ප්‍රේමදාසට කිසිම හානියක් වූයේ නැත. එය එසේ සිදුවූයේ නම් රට පුරා හදිසි ක්‍රියාමාර්ගයකට යෑමට ජවිපෙ තීරණය කර තිබිණි. 

වසර 1935 දෙසැම්බර් 20 උපන් කීර්තිසේන චන්ද්‍රදාස අබේවික්‍රම හෙවත් කීර්ති අබේවික්‍රම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ අතර මොරවක් කෝරලේ තේ වවන්නන්ගේ සමූපකාර සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් වසර 1962 සිට 1974 දක්වා කටයුතු කළේය. ඔහු එජාපය සමඟ 1960 සිට කටයුතු කළේය. දෙනියාය මන්ත්‍රීවරයා වශයෙන් 1977දී වැඩි ඡන්ද 5,333කින් පත්වූ අතර ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ අවසාන පඬිකාර මුහන්දිරම්වරයාය. ඔහු වෙනුවෙන් පසුව මොරවක මහ විද්‍යාලය කීර්ති අබේවික්‍රම ජාතික පාසල නමින් අධ්‍යාපන ඇමති ලලිත් ඇතුළත්මුදලි විසින් 1990 දෙසැම්බර් 1වැනිදා නම් කරන ලදි. මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රමගෙන් හිස්වූ දෙනියාය මන්ත්‍රී ධූරයේ චිට් මන්ත්‍රීකම හිමිවූයේ ඔහුගේම පවුලේ අයකු වූ ලතා අබේවික්‍රමටය. ජිනදාස වීරසිංහගෙන් හිස්වූ තංගල්ල මන්ත්‍රී ධූරයේ චිට් මන්ත්‍රීකම හිමිවුයේ ඔහුගේ පුතා වූ දේවක වීරසිංහටය. දිවයින එවකට ප්‍රධාන උප කර්තෘ මෙරිල් පෙරේරා එය පුවත්පතේ පළ කළේ “තංගල්ලට පුතා - දෙනියායට ලතා” යන හෙඩිමක් සහිතවය.

බෝම්බ ප්‍රහාරය එල්ලකර පැය කිහිපයකට පසු එහි වගකීම ජවිපෙ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බාර ගන්නා ලදී. ඒ පිළිබදව නිල පුවත්පත් නිවේදනයක් නිකුත්කර තිබූ අතර එහි ශීර්ෂය වූයේ “ද්‍රෝහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යන්නය. ජනාධිපති ජේ.ආර්.ට සහ රජයට එරෙහිව චෝදනා රැසක් එමගින් ඉදිරිපත් කර තිබිණි. ජීවත්වීමට ආශ කරන සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන වලින් ඉල්ලා අස්වනු ලෙසට එමගින් නියෝග කර තිබිණි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට බෝම්බය පිපිරීමෙන් පසු එදින ඉන් පිටවීමට ඉඩ නොදුන් අතර ඔවුන් සියලු දෙනාම පෝලින් ගස්සා ඇඟිලි සලකුණු ලබාගන්නා ලදී. එය නිම වූයේ රාත්‍රී 9ටය. ඔවුන්ට ආහාරද නොමැතිව සිටීමට සිදුවිය.

බෝම්බ සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ දැඩි කෙරිණි. පාර්ලිමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත පිරිසිදු කිරීමට නිරතවන ආයතනයක පිරිසිදු කරන්නා වූ අයකු තෙදිනක් ගතවුවද සේවයට වාර්තා නොකළ බව සොයාගනු ලැබීය. නොයන බව කිසිම දැන්වීමක්ද නොවීය. පොලිසිය ඔහු සොයා දැනුම්දී ඇති ලිපිනයට ගියේය. ඔහු බිරිය සහ දරුවා දෙදිනක සිට එම නිවසට පැමිණ නැති බව සොයා ගත්තේය. ඔහු නමින් අජිත් කුමාරය. විසි අට හැවිරිදිය. ඔහු කැලණිය සරසවියේ ශිෂ්‍යයකුව සිටි අයෙකි. පොලිසිය ඔහු සොයා දෙන කෙනකුට දස ලක්ෂයක් දෙන බව නිවේදනය කළේය.

අජිත් කුමා‍රගේ සම්පූර්ණ නම රණසිංහ රන්දුව මුදියන්සෙලාගේ අජිත් කුමාරය. කැලණි සරසවියේ උපාධි අපේක්ෂකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජවිපෙට එක්විය. අජිත්ගේ මව මෙරායා සමරවික්‍රමය. සැමියා ජීවතුන් අතර නැත. ඇය පුතුන් දෙදෙනෙකු සහ දියණියන් සිව් දෙනෙකුගේ මවකි. පදිංචිය ගනේමුල්ලේය. 

අජිත් කුමාර අත්අඩංගුවට ගත්තේ 1998 අප්‍රේල් 8වැනිදාය. ඒ අහඹු සිදුවීමක් ලෙසිනි. ලේඛකයා වහ වහා රාජ්‍ය ඇමති පී. බී. කවිරත්නගේ පුත්‍රයා වූ ලේක්හවුසියේ මාධ්‍යවේදී සංජීව කවිරත්න සමඟ එදින රාත්‍රියේදීම රත්තොට බලා පිටත් විය. මාතලේදී එම නඩයට තවත් කිහිප දෙනෙකු අයත් විය. ඒ මාතලේ මාධ්‍යවේදීන් වූ ඩිලන්ත හෙට්ටිගේ, කයිකාවල හේවාපි කරුණාරත්න, හිල්ටන් බෙරෙන්ජ, සීතා ස්ටුඩියෝහි මංජුල කරුණාරත්න ඒ අතර වූහ. ලග්ගල ආසනයේ බෝවතැන්න ජලාශ්‍රයේ එහා කෙරවලක වැවි තාවුල්ලක කටු මැටි ගසන ලද ගෙයක අජිත් කුමාර සැඟවී සිටි ස්ථානය විය. ඔහු සමඟ බිරිය සහ දරුවාද සිටියේය. එය පිහිටා තිබුණේ නාවුල අකරහැටිය ප්‍රදේශයේය. පොලිස් බල ප්‍රදේශය නාවුලය. අප එහි ගියේ හබල් ගසමින් ඔරුවලය.

අජිත් කුමාරගේ කුස්සියේ දර්ශනීය ලෙස සකස් කළ මැස්සක් විය. දරුවාට සකස් කරන ලද ඔන්චිල්ලාවක් ද දක්නට ලැබිණි. දුම් මැස්සේ බත් මුට්ටියක්ද පසෙක නිමවෙමින් පවත්නා ඔරු කඳක්ද තිබිණි. සුනඛ පැටියකු සහ කූඩුවක ගිරවකුද සිටියේය. අකරහැටිය කසිප්පු පෙරන්නන්ගේ තෝතැන්නකි. සූට් කේසයක් රැගෙන යමින් සිටි අජිත් කුමාර පොලිසියට කොටු වූයේ ඔහු ගමනක් යන අතරතුරය. අනිකුත් කසිප්පු පෙරන්නන් සමඟ ඔහුද අත්අඩංගුවට ගත්තේය. නාවුල පොලිසියට ඔහු ගෙන ගියේය.

පසුව ජිප් රථයේ දමාගෙන මාතලේ උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන ගියේය. ඒ කසිප්පු පෙරන්නෙක් වශයෙනි. නාලන්ද උඩුදෙනියේ ජිප් රථය නතර කළ අවස්ථාවකදී අජිත් කුමාර පැන ගියේය. පොලිසිය ඔහු අල්ලා ගත්තේය. පහර දෙනු ලැබිය. තමා පාර්ලිමේන්තුවේ බෝම්බ සිද්ධියට සැක අජිත් කුමාර බව ඔහු කී බව නාවුල පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියකු මාධ්‍යවේදියෙකුට පැවසීය. පොලිස් නිලධාරින්ට දස ලක්ෂයේ තෑගි මුදල සිහිපත් විය. එවකට නාවුල පොලිස් පරික්ෂක වුයේ වික්‍රමරත්නය. පසුව පොලිස් නිලධාරින් විගස අජිත් කුමාර නාවුල පොලිසියට රැගෙන ආවේය. 

පාර්ලිමේන්තු බෝම්බ සැකකරු ඔත්තුකරුවෙකුගේ මඟ පෙන්වීම යටතේ නාවුලදී බලවත් පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගත් බවත් ඔහු පොලිස් භාරයෙහි රඳවා ගෙන සිටින බවත් කොළඹට දැන්වූහ. එහෙත් සත්‍ය තත්ත්වය මාතලේ මාධ්‍යවේදීන් රටට වාර්තා කළහ. එබැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂක ලකී ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කතාව සාවද්‍ය බැවින් දශලක්ෂයේ තෑගි මුදල පොලිසියේ කිසිවකුට නොලැබිණි. අත්අඩංගුවට පත් අජිත් කුමාර කොළඹට රැගෙන ආ අතර නිවසේ සිටි බිරිය සේපාලිකා සහ දරුවා අතුරුදහන් වී තිබිණි. අජිත්ගේ බිරිඳ පසුව ඝාතනයට ලක්වූ බව කියන අතර දරුවාද පසු කලෙක එම ඉරණමටම ගොදුරුවූ බව කියති.

අජිත් කුමාර පසුව පාර්ලිමේන්තුවට ආරක්ෂක අංශ මගින් රැගෙන එන ලදී. සියල්ල සිදුවූ ආකාරය ඔහුගෙන් පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයක් ගන්නා ලදී. ඒ අවස්ථාවේදී රහස් පොලිසියට අමතරව එහි සිටි අය අතර ප්‍රධාන චේත්‍රධාරි රොනී අබේසිංහ, නියෝජ්‍ය චේත්‍රධාරි පල්ලියගුරු සහ ආරච්චිල වන ප්‍රේමදාසද විය.

එහිදී ඔහු කියා සිටියේ බෝම්බ දෙක දින දෙකකදී ප්‍රහාරයට කලින් බෑගයක දමා ගෙන දිනපතා පුවත්පතක්ද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවය. පුවත්පත රාජකාරි නිලධාරියාට බැලීමට දී බෝම්බය ලාච්චුවේ තැබූ බවය. පසුව පිරිසිදු කරන නිල ඇඳුමින් සැරසී අතුගාන අවස්ථාවේ කුණු බාල්දියේ දමාගෙන බෝම්බය රැගෙන සැඟවූ බවය. දින දෙකම එම ක්‍රියාමාර්ගය තමා අනුගමනය කළ අතර තමා ගෙන ආ බෝම්බ දෙක තැබූ ස්ථානයෙන් ජවිපෙ තවත් අයකු ඒවා රැගෙන එල්ලකර ඇති බවය. තමාට කීමට ඇත්තේ එපමණක් බවද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිමේ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව් සේනානායක ඇතුළු විනිසුරුවන් ඉදිරියේ 1990 ඔක්තෝබර් 12වැනිදා විභාග කිරීම ඇරඹිණි. එහි විත්තිකරුවන් 5දෙනා වූයේ අජිත් කුමාර, හේවගේ කුමාරතිස්ස, කිත්සිරි කොළඹආරච්චි, පියසිරි වික්‍රමආරච්චි සහ මුදුන්කොටුවගේ පියසිරි ගුණවර්ධන හෙවත් ජයන්ත යන අය වේ. විත්තිකරුවන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්දිරයේදී පීඩාකාරි ආයුධයක් වූ අත්බෝම්බ වලින් දමා ගැසීම, එහිදී ජනාධිපති ජයවර්ධනගේ සහ ජාතික ආරක්ෂක ඇමති ඇතුළත්මුදලිගේ මරණයන් සිදුකිරීමට තැත් කිරීම, දෙනියාය මන්ත්‍රි අබේවික්‍රම සහ පාර්ලිමේන්තු සේවක සේනාධීරගේ මරණය සිදුකිරීම යන චෝදනා ත්‍රස්තවාදය මැඬලීමේ පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ නඟා තිබිණි. නඩු භාණ්ඩ 32ක් ඉදිරිපත්කර ඇති බවද අධි චෝදනා පත්‍රයේ සඳහන් විය. 

විත්තිකරු වෙනුවෙන් මංගල මුණසිංහ ඇතුළු නීතිඥයන් කිහිප දෙනෙක්ම පෙනී සිටියහ. නඩු විභාගයේදී අජිත් කුමාර කියා සිටියේ පාර්ලිමේන්තුවට රැගෙන යාමේදී තමන් එහිදී එවන් ප්‍රකාශයක් නොකළ බවය. බලෙන් එවැනි ප්‍රකාශයකට අත්සන් ගත් බවය. ඔහුගේ සාක්ෂි දුන් අවස්ථාවේ එහි සිටි පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනා සාක්ෂිකරුවන් වශයෙන් කැඳවීමට කටයුතු කළ ද අධිකරණය එය ඉවත දැමීය.

නඩු විභාගය අතරතුරදී යළිත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට රැගෙන ඇවිත් එම නිලධාරීන් ඉදිරියේ කට උත්තරයක් ලබාගැනීමට කටයුතු කළේය. ඒ සඳහා කාර්යාලයේ රහසිගත අන්දමින් නොපෙනෙන පරිදි විඩියෝ කැමරා සවිකර තිබුණේ එය විඩියෝ සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කිරීමටය. එහෙත් වෙනදාට වඩා කාමරයේ ආලෝකය තිබූ බැවින් මෙය වීඩියෝ කිරීමට කළ සැලසුමක් යැයි එහිදී කියා සිටි අජිත් කුමාර කට උත්තරයක් දීම ප්‍රතික්ෂේප කළේය.

අවසානයේදී ඔහු 1993 අගෝස්තු 06වැනිදා නිදොස් කොට නිදහස් කරන ලදී. එයට හේතු වූයේ බෝම්බ දැමූ පුද්ගලයා අත්දිග කමිසයකින් සැරසී බෝම්බය එල්ල කළ බවට ඇමති ලලිත් සහ තවත් කිහිප දෙනෙකු සාක්ෂි දී තිබීමය. එහෙත් පාර්ලිමේන්තුවේ පිරිසිදු කරන්නකු වූ අජිත් කුමාර ඇතුළු වූ පසු සැරසී සිටින්නේ ඔහුට නියමිත නිල ඇඳුමකි. එබැවින් නිදොස් වීමට ප්‍රධාන එක් හේතුවක් විය.

නිදහස් විමෙන් පසු ජවිපෙ දේශපාලනයට පූර්ණකාලීනව එක් වූ අජිත් කුමාර තංගල්ලේදී 1995 මැයි 15 පැවැති ජවිපෙ විශේෂ නියෝජිත සමුළුවේදී පත්කර ගත් නිලධාරීන් අතර ජවිපෙ අධ්‍යාපන ලේකම් විය. පදිංචිව සිටියේ කුණ්ඩසාලේ නත්තරම්පොතය. සබරගමු පළාත් සභාවේ මහ ඇමති තනතුරට ජවිපෙන් 1999 තරගකර පරාජය වූවද සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්විය. පසුව ජවිපෙ දේශපාලනයෙන් සමුගැනීමට සිදුවිය.

නැවත නව දිවියක් ඇරඹු අජිත් කුමාර වසර 2022 වන විට සිය බිරිය වසන්තා සහ දරු දෙදෙනා සමඟ පදිංචිව සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. අජිත් කුමා‍ර ලංකාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ 2018 දීය.


පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ බිරිය වන සේපාලි ඝාතනය වුණේ මෙහෙමයි

කන්නන්ගරගේ සන්ධ්‍යා සේපාලි හෙවත් රේණුකා යනු පාර්ලිමේන්තුවේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ අජිත් කුමාරගේ බිරියයි. මෙම ලේඛකයා සේපාලිගේ පවුලේ අයද හමුවිය. මේ එහිදී නිරාවරණය වූ කරුණුය.

ඇය 80 දශකයේ ප්‍රබල ජවිපෙ ක්‍රියාකාරිනියකි. වසර 1961 දෙසැම්බර් 20 වැනි දින කිරිබත්ගොඩදී උපන් ඇය ඇඹරලුව කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගම්පහ රත්නාවලී බාලිකාවෙන් උසස් පෙළ සමත් වූවාය.

ඇයගේ පියා වන මැයිසිංඤෝ සිව්රලමුල්ලේ උපන් අයෙකි. නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නියැළුණු ඔහුගේ බිරිය වූවේ ඇඹරලුවේ උපන් සුසිලින් වනසිංහය.

පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් සහ ගැහැනු දරුවන් පස්දෙනෙකුගෙන් යුත් ඔවුන්ගේ පවුලේ ගැහැනු දරුවන්ගෙන් තෙවැන්නා සේපාලිය. ජවිපෙ 1983 දෙසැම්බර් 03 වැනිදා ක්‍රියාකාරිකයකු වූ රණසිංහ රන්දූව මුදියන්සේලාගේ අජිත් කුමාර සමඟ විවාහ වීමෙන් පසු නැදුන්ගහහේන ඇඹරලුවේ පිහිටි පවුලේම නිවසක පදිංචිට පැමිණි සේපාලි ද ජවිපෙ ක්‍රියාකාරිනියක වූවාය.

1984 නොවැම්බර් මස 14 වැනි දින උපන් රොෂාන් සංජීව මධුසංඛ යනු අජිත් කුමාරගේ සහ සේපාලිකාගේ එකම දරුවා විය. 1987 අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවකු බවට පත් වූ අජිත් තම බිරිය සහ දරුවා සමඟ පලාගොස් ලග්ගල බෝවතැන්න ජලාශයේ වැව් තාවුල්ලේ කුඩා නිවසක ජීවත් විය.

1988 අප්‍රේල් 8 වැනිදා අජිත් කුමාර අත්අඩංගුවට පත්වූ අතර සේපාලි තම දරුවා සමඟ සැඟවී සිටියාය. පසුව ඇය ජවිපෙ 2වැනි කැරැල්ලේ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළද 1989 නොවැම්බර් 12 වැනිදා අලුයම කොට්ටාව හංදිය අසල නිවසකදී මත්තේගොඩ කඳවුරේ ලුතිනන් රාජ් විජේසිරි ඇතුළු පිරිසකගේ ප්‍රශ්න කිරීම් හමුවේ වුවද අත්අඩංගුවට පත් නොවූවාය.පසුව 1990 අප්‍රේල් 6 වැනිදා මීරිගම පල්ලේවෙලදී අත්අඩංගුවට ගැනුණු සේපාලි ගම්පහ චිත්‍රා පාරේ පොලිස් බැරැක්ක වධකාගාරයේ දී ඝාතනයට ලක්වූවේ 1990 මැයි 14 වැනිදාය.

ඉන් අනතුරුව ආරක්ෂක අංශ විසින් සේපාලිගේ දරුවා වූ රොෂාන් මධුසංඛ ගම්පහ නිවාස සංකීර්ණයකට ගෙන ඒමෙන් පසුව මාස ගණනාවක් එහි ජීවත් වූ බවට තොරතුරු ලැබුණ ද ඉන්පසුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොැත.

Comments