ආසියානු කුසලානයේ අභිමානයට අභියෝග කරන ක්‍රිකට් පාතාලයේ මහ මොළකරු | සිළුමිණ

ආසියානු කුසලානයේ අභිමානයට අභියෝග කරන ක්‍රිකට් පාතාලයේ මහ මොළකරු

- එක්සත් අරාබි එමීරය ක්‍රිකට් බුකිකරුවන්ගේ පාරාදීසයක්
- දාවුඩ් ඉබ්‍රාහිම්ව ලොව අංක එකේ බුද්ධි සේවාවටවත් හොයාගන්න බෑ
- දාවුඩ්ගේ දුව බැන්දේ ජාවෙඩ් මියැන්ඩාඩ්ගේ පුතා
- බොරු නම් සියල්ලටම පාස්පෝට් හදන්නෙත් ඔහුගේම කොම්පැණියක්

සියා කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ දින 10කටත් වඩා අඩු කාලයකි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ මැදපෙරදිග කලාපයේ සුන්දරතම රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. අරාබි රටවල් අතුරින් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිම ජනප්‍රියත්වය ඇත්තේ ද එමිරේට්ස් දේශයේය. දශක ගණනාවක් පුරා ඉන්දියාව සහ පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් තරග පැවැත්වෙන මේ ධනවත් රාජධානියේ ශ්‍රී ලංකා කණ්ඩායමත් අවස්ථා ගණනාවකදී ක්‍රීඩා කර ඇත. එහෙත් එමිරේට්ස් ක්‍රීඩාංගණවල තරග පැවැත්වෙද්දී ඒ යටින් දිවෙන අබිරහස් සිදුවීම්, නාඳුනන ඇතැම් පුද්ගලයන්ගේ ගුප්ත හැසිරීම් තුළින් පසක් වන්නේ ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය යම්කිසි ක්‍රියාදාමයක් එහි සිදුවන බවය; එය සැබෑය.

ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවිරෝධී ඔට්ටු තබන බුකීකරුවන්ට පාරාදීසයක් බව කියන එමිරේට්ස් දේශයේ ඕනෑම ක්‍රිකට් තරගාවලියකදී ඒවා යහමින් සිදුවන බව සාක්ෂි අපමණය. එරට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ අසූව දශකයේ සිට අද දක්වාම මේ නීතිවිරෝධී ඔට්ටු තැබීමේ අඛණ්ඩව හා බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව ලැබී ඇති අතර, ඇතැම් ඔට්ටු තැබීම් සිදුවන්නේ ප්‍රසිද්ධියේය. ඊට හේතු කිහිපයකි. එමිරේට්ස් යනු ඉන්දීය සහ පාකිස්තාන ජාතිකයන් බහුලව රැකියාවේ නිරතව සිටින රටකි. එමිරේට්ස් ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ දෙරටේම අතිබහුතර ජනතාවගෙන් විශාල දායකත්වයක් ලැබේ. ඇරත් රාජතාන්ත්‍රිකව ඔවුන්ට ඉන්දියාව සහ පාකිස්තානය සමඟ ඇත්තේ සමීප සබඳතාවකි. එබැවින් එරට රජයේ යාන්ත්‍රණයට බලපෑම් කිරීමේ හැකියාවද ඔවුන් සතුය. අනිත් අතට ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවිරෝධී ඔට්ටු තැබීම් බහුලව සිදුවන්නේ ද මේ දෙරටේය. එබැවින් එමිරේට්ස් දේශයේ පැවැත්වෙන ඕනෑම ක්‍රිකට් තරගාවලියකදී යහමින් සිදුවන නීතිවිරෝධී ඔට්ටු තැබීමේ ක්‍රියාදාමය ඉන්දීය මෙන්ම පාකිස්තාන බුකීකරුවෝ ද ජයටම කරගෙන යන බවට සාධක ඇති තරම්ය.

මේ කියන්නේ එමිරේට්ස් දේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවෙත් නීතිවිරෝධී ඔට්ටු තබන බුකීකරුවන්ගේ ඔටුනු නොපලන් රජු ගැනය. ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය ආධිපත්‍ය මේ රටවල් ත්‍රිත්වයේම පතුරුවාලමින් සිටින ලොව දරුණුතම පාතාල නායකයකු වන දාවුඩ් ඉබ්‍රාහිම් ගැනය.

ලෝක මත්ද්‍රව්‍ය මාෆියාවේද නොම්මර එකේ රජකු වන මේ පාතාල නායකයා ක්‍රිකට් ඔට්ටු තැබීමේ ව්‍යාපාරයේ මහමොළකරුය. හෙතෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ දකුණු ආසියාතික බලවතාය. මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉලක්කගත මනුෂ්‍ය ඝාතන, ත්‍රස්තවාදය සහ තවත් නීතිවිරෝධී කටයුතු රැසක් සම්බන්ධව ඉන්දියාවට සහ අමෙරිකාවට වඩාත්ම අත්‍යවශ්‍ය පුද්ගලයෙකි. 1993 වසරේදී මුම්බායි (එවකට බොම්බේ) නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අත්‍යවශ්‍යව සිටින දාවුඩ් ඉබ්‍රාහිම්ගේ හිස ගෙනැවිත් දෙන ඕනෑම අයකුට අමෙරිකා ඩොලර් මිලියන විසිපහක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඉන්දියාව මෙන්ම අමෙරිකාවද ප්‍රකාශ කර ඇත්තේ මීට දශක කිහිපයකට පෙර සිටය. එහෙත් අදටත් ඔහු සිටින ස්ථානයක් හෝ ගැවසෙන ස්ථානයක් සොයා ගැනීමට මේ දෙරටේහිම බුද්ධි අංශ සමත් වී නැත. ඉන් කියැවෙන්නේ ලොව නොම්මර එකේ බුද්ධි සේවාව ලෙස සැලකෙන සීඅයිඒ මෙන්ම එෆ්බීඅයි සංවිධානයටත්, ඉන්දියාවේ රෝ ඔත්තු සේවයටත් වඩා ඔහු පියවරක් ඉදිරියෙන් සිටින බවය.

අමෙරිකාවේ එෆ්බීඅයි සංවිධානය වසර 2011දී ඔහු ලොව වඩාත්ම අත්‍යවශ්‍ය පුද්ගලයන් දසදෙනාගේ ලැයිස්තුවේ තුන්වැනි තැනට නම් කර තිබිණි. මෑතකදී පාකිස්තානය ද ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයන් 87 දෙනකුගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි වාර්තා වූවද, ඉන්දියාව නම් කියන්නේ දාවුඩ් ඉබ්‍රාහිම් පාකිස්තාන භූමියේ ආරක්ෂා සහිතව ජීවත්වන බවය. ඇතැම් වාර්තාවලට අනුව ඔහු කරච්චි නුවර සැඟවී සිටින බවට තොරතුරු පළවුවත් පාකිස්තානය එම වාර්තාව තරයේම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියාවේ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ පොලිස් කොස්තාපල්වරයකුට දාව උපන් දාවුඩ් ඉබ්‍රාහිම් දැන් පසුවන්නේ 66 හැවිරිදි වියේය. ඔහු පාතාල ලෝකයට පිවිසියේ නවයොවුන් වියෙහි පසුවෙද්දීමය. මුල් කාලයේදීම සොරකම්, මංකොල්ලකෑම් සිය ජීවිතයේ කොටසක් බවට පත්කරගත් මේ මිනිසා සිය අරමුණ කරා යෑමේ ගමන් මඟ විවර කරගනු ලැබුවේ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රාදේශීය බාෂු දාදා නමැති පාතාල නායකයකුගේ මැර කල්ලියේ සාමාජිකයකු වීමෙන් පසුවය. අනතුරුව 70 දශකයේ අග භාගයේදී සිය වැඩිමල් සොයුරා වන ශබීර් ඉබ්‍රාහිම් සමඟ එක්ව ඔහුගේම පාතාල කණ්ඩායමක් බිහිකර ගත්තේය. වැඩිකල් නොගොසින් සොයුරු ශබීර් තවත් පාතාල කණ්ඩායමකින් ඝාතනයට ලක්වීමෙන් පසු සිය කණ්ඩායමේ නායකයා බවට පත්වූ දාවුඩ් ඉබ්‍රාහිම් D-Company නමින් සිය පාතාල සංවිධානය ප්‍රතිනිර්මාණය කළේය. එකල ඔහු ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබුවේ රත්රන්, දේපළ ජාවාරම් සහ කප්පම් ගැනීමේ කටයුතුය. පසුකාලීනව ජාත්‍යන්තර වශයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම කරළියට පැමිණීමත් සමඟ ඔහු ඊට ද අත ගැසුවේය. එය ඔහුගේ සංවිධානයට කෝටි ගණනින් මුදල් ඉපැයීමට කදිම ජාවාරමක් බවට පත් විය. 1993 මුම්බායි ප්‍රහාරයේ මහමොළකරුවකු ලෙස ඉන්දීය රජය ඔහු නම් කිරීමෙන් පසු ඩුබායි නුවරට පලා ගිය දාවුඩ් ඉබ්‍රාහිම් එහි ඉතා නිරුපද්‍රිතව ජීවත්වෙමින් සිය සංවිධානය ආර්ථික වශයෙන් ශක්තිමත් කරගත් අතර, ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමේ දකුණු ආසියාතික බලවතා ලෙසට ද නැඟී සිටියේය. ඉන් නොනැවති ඔහු අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමගත් සම්බන්ධතා පවත්වමින් නීතිවිරෝධි ආයුධ ජාවාරමෙන් අතිවිශාල ධනස්කන්දයක් උපයා ගත් බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව එමිරේට්ස් දේශයේ ජීවත්ව සිටි කාලයේදී ඔහු මහපරිමාණයෙන් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමේ කොටස්කරුවකු බවට ද පත්වී ඇත. 2008 වසරේ මුම්බායි ප්‍රහාරය සිදු කිරීමට පාකිස්තාන ත්‍රස්තවාදයට සහය දුන් බවටත් චෝදනා ලබා සිටින දාවුඩ් ඉබ්‍රාහිම් එක් අතකින් සිය මව්බිමේ ද්‍රෝහියෙකි. කරාච්චි, ඩුබායි සහ ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක විවිධ සමාගම් සඳහා කෝටි ගණන් මුදල් ආයෝජනය කරමින් ත්‍රස්තවාදී සංවිධානවලට අරමුදල් සපයමින් ද ඔහු විසින් ක්‍රම ක්‍රමයෙන් සිය ව්‍යපාර වපසරියේ නිම්වළලු පුළුල් කරගත්තේය.

දාවුඩ් ඉබ්‍රාහිම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දු වූයේ පසුකාලීනවය. ඒ වන විටත් ධනකුවේරයකු බවට පත්ව සිටි මේ පාතාල නායකයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් උපයා ගත් මුදල ඔහු ඊට පෙර සිය ජීවිත කාලයේදී උපයා ගත් මුදල මෙන් දෙගුණයකට වඩා අධිකය. නීතිවිරෝධී ඔට්ටු තැබීමේ බුකී ව්‍යාපාර ජාලය සම්පූර්ණයෙන්ම පවතින්නේ ඔහුගේ අණසක මත බවත්, මේ බුකීකරුවන්ගේ ජාලය ඉන්දියාවේ, පාකිස්තානයේ සහ එමිරේට්ස් රටවල්වල පමණක් නොව ඉන් ඔබ්බට ද විහිදී ගිය බවත් ඇතැම් වාර්තා මඟින් සඳහන් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔට්ටු තැබීමේ මාෆියාවේ මහ මොළකරු බවට පත් වූ දාවුඩ් ඉබ්‍රාහිම්ගෙන් යැපුණු පකිස්තාන ක්‍රීඩකයන් අපමණය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවැති පකිස්තානය තරග වැදුණු සියලු තරගවල ඉබ්‍රාහිම්ගේ ඔට්ටු තැබීමේ මාෆියා සෙවණැල්ල වැටී තිබිණි. එවකට මුදලට තරග පාවාදීම පිළිබඳ සොයා බැලීමට පකිස්තාන රජය විසින් මහේස්ත්‍රාත් කයියුම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාව එරට ක්‍රිකට් ක්‍රීඩාව හා දාවුද් ඉබ්‍රාහිම් අතර ඇති සම්බන්ධතාව මැනවින් පැහැදිලි විය. මේ සම්බන්ධතාව වැඩි දියුණු වූයේ ඔහුගේ වැඩිමල් දියණිය මහ්රූක් පකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ජාවේඩ් මියැන්ඩාඩ්ගේ වැඩිමල් පුතු වන ජුනෙයිඩ් සමඟ විවාහ වී සිටීම බව ඇතැමුන් කීවද, සැබැවින්ම දාවුඩ් සිය දියණිය මියැන්ඩාඩ්ගේ පුතුට විවාහ කරදීමට තීරණය කර ඇත්තේ එරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිය ආධිපත්‍ය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිවය. මේ විවාහය හේතුවෙන් මියැන්ඩාඩ් පවා අපහසුතාවට පත් වූ අවස්ථාවන්ද තිබිණි. කුමන ආකාරයෙන් මුදල් උපයා ගනු ලැබුවත්, ඔහු සිය දරුවන් තිදෙනාම කීර්තිමත් හා ධනවත් පවුල්වලට විවාහ කරදීමට තරම් තීක්ෂණ බුද්ධියෙන් යුතු අයෙකි. ඔහුගේ තවත් දියණියක වූ මෙහ්රින් අමෙරිකාවේ පදිංචි පාකිස්තාන තරුණයකු සමඟ විවාහ වූ අතර, එකම පුතු මොයින් විවාහ වූයේ එංගලන්තයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ දියණිය සමඟිනි.

මුදලට තරග පාවාදීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා ක්‍රීඩාවෙන් නෙරපනු ලැබූ දකුණු අප්‍රිකාවේ හිටපු නායක හැන්සි ක්‍රොන්යේ පසුකලෙක අභිරහස් ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමත්, 2007 කොදෙව් දේශයේ පැවැති ලෝක කුසලාන තරගාවලිය අතරතුර පාකිස්තාන පිලේ පුහුණුකරු දකුණු අප්‍රිකා ජාතික බොබ් වූල්මර් අභිරහස් ලෙස මරණයට පත්වීමත් පසුපස පාතාලයේ අදිසි හස්තයක් ඇතැයි පසුකාලීනව දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වූ ක්ලයිව් රයිස් අනාවරණය කර තිබිණි. මේ කියන්නේ අන් කිසිවකු හෝ ගැන නොව දාවුඩ් ඉබ්‍රාහිම් ගැන බව ප්‍රසිද්ධ රහසක් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ ඔට්ටු තැබීමේ මාෆීයාව පසුපස සිටින දාවුඩ් ඉබ්‍රාහිම්ගේ මුදලට වහල්වී ක්‍රීඩාවටත්, මවුබිමේ කීර්තියත් පාවා දුන් ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අපමණ වෙති. ඉන් ඇතැම් ක්‍රීඩකයන් මේ වන විට විශ්‍රාම ගොසිනි. තවත් ක්‍රීඩකයෝ පිරිසක් පසුකාලීනව තරග තහනම අවසන් වීමෙන් පසු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණියහ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව බොලිවුඩ් සිනමාවට ද දාවුඩ්ගේ සෙවණැල්ල වැටී ඇත. බොලිවුඩ් සිනමාවේ චිත්‍රපට රැසක් නිෂ්පාදනය කිරීමට ඔහුගෙන් මුදල් ගත් නිෂ්පාදකයෝ අපමණ වෙති. එපමණක් නොව ඔහුගේ කළු සල්ලි මත යැපෙන නළුනිළියන් ද බොලිවුඩ් සිනමාවේ අඩුවක් නැති බවටද තොරතුරු වාර්තා වී තිබිණි. මීට දශක දෙකකට පමණ පෙර එවකට බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම නිළියන් රැසක් දාවුඩ් ඉබ්‍රාහිම් සමඟ යහන්ගත වූ බවට ද තොරතුරු පළ වී තිබිණි. වරක් ජාත්‍යන්තර පොලිසිය ද රතු නිවේදනයක් නිකුත් කරමින් සෙසු රටවලට දාවුඩ්ගේ දුරකතන අංක සහ ඔහුගේ පාකිස්තාන ගුවන් ගමන් බලපත්‍ර අංකය ලබා දී තිබුණත් වසර ගණනාවක් තිස්සේ ඔහු නිරුපද්‍රිතව ඩුබායි නුවර වාසය කළේය. දාවුඩ් ඉබ්‍රාහිම් මෙතරම් කාලයක් සැඟව සිටීමට ප්‍රධානතම සාධකය වී ඇත්තේ ඔහු සතු ව්‍යාජ නම් තොගයයි. ඒවා කොපමණ තිබේදැයි ඔහු පවා නොදනී. එම කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ ඔහුගේ D-Company සමාගමේ ලක්ෂ ගණනින් වැටුප් ලබන ඉහළ නිලධාරින් විසිනි. ඔහුගේ සෑම ව්‍යාජ නමකමටම වෙන වෙනම ගුවන් ගමන් බලපත් ද සකස් කර තිබේ.

ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාරයක හිමිකරුවකු ලෙසත්, රත්රන් ජාවාරම්, සූදු ව්‍යාපාර, දියමන්ති වෙළෙඳාම, හොර මුදල් නෝට්ටු මුද්‍රණය, මුදල් පැහැර ගැනීම් හා කුලියට මිනී මැරුම හා චිත්‍රපට නිෂ්පාදනය තුළින් දාවුඩ් ඉබ්‍රාහිම් උපයන අතිවිශාල ‘කළු සල්ලි’ ඔහු විසින් විවිධ රටවල ව්‍යාපාර සඳහා ආයෝජනය කරනු ලබන බවටත් තොරතුරු වාර්තා වේ. එහෙත් එවැනි තොරතුරු තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් ඉතිරි නොකිරීමට තරම් මේ පාතාල නායකයා බුද්ධිමත්ය.

වසර 2020 සහ 2021 පිට පිට වසර දෙකකදිම අයිපීඑල් තරගාවලිය එමිරේට්ස් හි පැවති අතර, මේ දෙවතාවේදීම ක්‍රීඩකයන් කිහිපදෙනකු තරග පාවාදීමේ චෝදනාවට හසු වී තිබිණි. එමෙන්ම සැක කටයුතු බුකීකරුවන් පිළිබඳව ද තොරතුරු පළ වී තිබිණි. ඉන් කියැවෙන්නේ ලොව වැඩිම මුදල් ප්‍රමාණයක් සංසරණය වන අයිපීඑල් තරගාවලියත් දාවුඩ් ඉබ්‍රාහිම්ගේ මාෆියාවේ තෝතැන්නක් බවට පත් වී ඇති බවය. එවැනි පසුබිමක් තුළ ලබන සතියේ එමිරේට්ස් දේශයේ දී ආරම්භ වන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියටද දාවුඩ් සහ ඔහුගේ D-Company සමාගමේ සෙවණැල්ල නොවැටෙනු ඇතැයි උපකල්පනය කළ නොහැකිය.

මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන බැවින් මේ සම්බන්ධව උකුසු ඇස යොමු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියා ක්‍රිකට් සංගමය කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය බේරා ගෙන තරගාවලිය සාර්ථකව නිමා කිරීමට තීරණාත්මක සාධකයක් වනු ඇත.

Comments