ආගමන නීතිවලට කෙළිය කෙලී | සිළුමිණ

ආගමන නීතිවලට කෙළිය කෙලී

කෙලී ෆ්‍රෙසර් නමැති ස්කොට් ජාතික තරුණිය දැන් පිටුවහල්ය. පසුගිය 15 වැනිදායින් පසු ඇයගේ වීසා අවලංගු කෙරිණි. ඒ අවලංගු කිරීම සිදුවන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිකුත් කරන සෞඛ්‍ය වීසා යටතේ ලංකාවේ රැඳී සිටි කෙලී ෆ්‍රෙසර් පසුගිය වකවානුවේ ගෝල්ෆේස් ජන අරලයට එක්වීම, අරගලයේ සිදුවීම් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීම නිසා ඇයගේ වීසා කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි යන නෛතික පදනම මතය.

ෆ්‍රෙසර්ගේ වීසා අවලංගුවීම ලෝක අවධානයට ලක්වීමට හේතු වූ සිදුවීමක් විය. එනම් වත්මන් ජනාධිපතිවරයා අගමැතිව සිටි පසුගිය මැයි 19 දා බ්‍රිතාන්‍යයේ ස්කයි පුවත් සේවය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී කළ ප්‍රකාශයකි.

එහිදී ප්‍රකාශ වූයේ මේ අවස්ථාවේදී රටට පැමිණෙන සංචාරකයන් විෂයෙහි වෙනස් ආකාරයේ අත්දැකීම් ලබා ගත හැකි බවය. ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයා වූ තමන්ටත් ගෙදර යන බව කියමින් අවශ්‍ය නාම පුවරු ඔසවාගෙන විරෝධතා දැක්වීමේ අත්දැකීම විදේශික සංචාරකයින්ට ලබා ගත හැකි බව ඔහු කීවේය. බී.බි.සී, ඩේලි මේල්, වොෂින්ටන් පෝස්ට් වැනි අන්තර්ජාතික මාධ්‍ය කෙලී ෆ්‍රෙස්ර් ගේ වීසා තහනම ගැන කතා කළේ මේ සම්මුඛ සාකච්ඡාවේ කරුණුත් පදනම් කරගනිමිනි. කෙසේ වෙතත් රටකට ඇතුළු වූ විදේශිකයෙක් ලෙස ඇයගේ හැසිරීම සම්බන්ධ බරපතළ ප්‍රශ්නකාරී යථාර්ථයක් නිර්මාණය කළේය.

පසුගිය 02දා වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම මත ඇගේ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. දින 07ක් ඇතුළත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ පරීක්ෂණයකට මුහුණ දෙන මෙන් නියෝග කෙරිණි.

අගෝස්තු 04 දා ශ්‍රී ලංකාවේ දී මෙම සිද්ධියට මුහුණ පෑ ස්කොට්ලන්ත ජාතික තරුණිය වෙනුවෙන් පෙනී සිටින ලෙස දන්වමින් ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජික ෆොයොසෝල් චව්ද්‍රි විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන්ට ලිපියක් යොමු කළේය. මේ සිද්ධිය පිළිබඳ ජාත්‍යාන්තර අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු නියෝජිතයා දන්වා තිබිණි. කෙසේ වෙතත් විමර්ශනයෙන් අනතුරුව පසුගිය 10 වැනිදා ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ MED/002918 අංක දරන වීසා බලපත්‍රය අවලංගු කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කළේය. වීසා අවලංගු වූයේ පසුගිය 15 වැනිදා සිටය.

තමාව ශ්‍රී ලංකාවෙන් පිටිවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා අගෝස්තු 12 වැනිදා කේලි ෆ්‍රේසර් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කළාය. අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ පසුගිය 16 වැනිදා පෙත්සම කැඳවනු ලැබිණ. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ නාගාහනන්ද කොඩිතුවක්කු හා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ අමසරා ගජධීර පෙනී සිටියාය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි. පෙත්සම්කාරිය පෙන්වා දී තිබුණේ, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි. කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධීයැයි තීන්දුකොට, එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමසරා ගජධීර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණි.

එහිදී හේතුවක් නොදක්වා වුව ද වීසා අවලංගු කිරීමට හෝ අවසන් කිරීමට අභිමතානුසාරී බලයක් ආගමන හා විගමන පාලකවරයාට ඇති බවට ‍ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් තහවුරු කර ඇති බව විනිසුරුවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

දැන් ඇය රටින් පිටවී යා යුතුය. අගෝස්තු 15දා ඉකුත් වීමෙන් පසු ඇයට රට තුළ රැඳී සිටිය නොහැකිය. පසුගිය බදාදා ඇය ආගිය අතක් නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වාර්තා කළේය. මේ ලියන මොහොත වනවිට ඇයව සොයා මෙහෙයුම් පැවැත්වෙන්නේය. ඇයව සොයා ගැනීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් කඳවුර වෙත යොමු කෙරෙනු ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර පවසා තිබුණාය.

සිදුවීම සංකීර්ණ වෙමින් ඇත. වීසා අවලංගු වූ පසුගිය 15 වැනිදා සමාජ මාධ්‍යයට වීඩියෝවක් නිකුත් කරන කෙලී ෆ්‍රෙසර් ඇයට මුහුණපෑමට සිදුවූ ලිංගික අතවරයක් ගැන ලෝකයට කීවාය. එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස පොලිසියෙන් කළ බලපෑම් ගැන පැවසුවාය. මේ සිද්ධිය සම්බන්ධව පුළුල්ව සංවාදයක් ඇති කරගනු රිසිව සිද්ධිය පිළිබඳ පැහැදිලි කරගත හැකි විදග්ධ වෘත්තිකයින් කිහිප දෙනෙක් හා සංවාදයට එක්වුණෙමු. මුලින්ම අප හා අදහස් බෙදා ගන්නේ ජ්‍යෙෂ්ඨ නීතිවේදී කළ්‍යානන්ද තිරාණගමය.

“කොයි රටකට හරි විදේශිකයෙක් යනකොට ඒ පුද්ගලයාට වීසා දෙන්නෙ යම් කොන්දේසිවලට යටත්ව. අපි ඒ රටේ නීති රීතිවලට ගරු කරන්න ඕන. සම්ප්‍රදායන්ට ගරු කරන්න ඕන. ඒවට පටහැනිව කටයුතු කරන්න බෑ. වෙන රටකට ගිහින් ඒ රටේ ආණ්ඩුවට විරුද්ධව දේශපාලන කටයුතු කරන්න මොන රටක්වත් ඒකට ඉඩ දෙන්නෙ නෑ. එහෙම අය පිටුවල් කරන්න පුළුවන් බලය වීසා කොන්දේසි කඩකිරීම උඩ ආගමන විගමන නිලධාරීන්ට තියනවා.“

“එයින් ඇගේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නෙ නෑ. එයා ඇවිත් තියෙන්නෙ ඖෂධ ප්‍රතිකාර ගන්න. ඒ ප්‍රතිකාර ගන්න ඉඩ දුන්නෙ නැතිනම් එයාට කියන්න පුළුවන් මට නීත්‍යානුකූල අවසරයක් තියනවා ඖෂධ ප්‍රතිකාර ගන්න. නමුත් ඊට ඉඩ දුන්නෙ නෑ කියලා. එහෙම දෙයක් වෙලා නෑ. ඖෂධ ප්‍රතිකාර ගන්න ඇවිත් එම ප්‍රතිකාර ගැනීම පසෙක තබා ආණ්ඩු විරෝධී කටයුතුවලට මැදිහත් වෙන්න අයිතියක් ඇයට නෑ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මගේ මතය නම් මේ ක්‍රියාත්මක වුණු නීතිය හරි. කොයි රටකවත් විදේශිකයින්ට ඒ රටේ නීතිවලට පටහැනිව කටයුතු කරන්න උද්ඝෝෂණ කරන්න අයිතයක් නෑ. එය දිය යුතුත් නෑ. ඒක ඒ රටේ පුරවැසියන්ට තියන අයිතියක්.“

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. විචාරකයෙකි. සිදුවීම පිළිබඳ ඔහුගේ විග්‍රහය ඉතාම පැහැදිලිය.

“ප්‍රශ්න ගත තරුණිය ලංකාවට එන්නේ ප්‍රතිකාර ගැනීමේ වීසා යටතේ. ඒ යටතේ පැමිණි කෙනෙක් අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් ආගමන විගමන නීතිය යටතේ සැපිරිය යුතුයි. ඇය එසේ පැමිණ එම වීසා යටතේ අවසර නැති කාර්යයක් සඳහා පෙනී සිට තියනවා. එයයි වැරැද්ද.‍ යම් පුද්ගලයෙක් රටකට ගිහින් ඒ දකින දේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම නොවෙයි මෙතන තියන වැරැද්ද. ඇය සක්‍රීයව දේශපාලනික කටයුතුවලට මැදිහත් වෙමින් වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමයි. එම කාන්තාව පළ කළ බොහෝ තොරතුරු අසත්‍ය බවට සාක්ෂි තියනවා. තුන්වන රටකට ඇතුළුවෙලා වෙනත් වීසා ඛාණ්ඩයක් යටතේ එම වීසා නීති උල්ලංඝනය කරමින් ඒ රටේ අභ්‍යන්තර කරුණක් පිළිබඳ වැරදි තොරතුරු ප්‍රකාශය කර තිබීමයි ඇය කළ දෙවැනි වැරැද්ද.“

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල් බන්දුල හරිශ්චන්ද්‍රය. මේ සිදුවීම පිළිබඳ ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

“ආගමන විගමන පනත අනුවයි අපි වීසා නිකුත් කරන්නේ. විදේශිකයකුට වීසා නිකුත් කරනකොට විධිමත් ගමන් බලපත්‍රයකින් මෙහෙට එන කෙනෙක් වෙන්න ඕන. වීසා වර්ග ගොඩක් තියනවා.

ඒ වීසා වර්ගයට අදාළ කොන්දේසි තියනවා. ඒ කොන්දේසි පිළිගනිමින් යමෙක් ලංකාවට ආවට පස්සේ නියමිත කාලය ඇතුළෙදි ඒ තැනැත්තා ලංකාවෙන් පිටවෙලා යන්න ඕන. ඒ කොන්දේසි පිළි අරන් රටට එන පුද්ගලයෙකුට ඒ කොන්දේසි කඩන්න බෑ. එම කොන්දේසි කැඩුවොත් ආගමන විගමන පාලකවරයාට පුළුවන් එම කොන්දේසි කැඩූ විදේශිකයා වෙනුවෙන් තීරණයක් ගන්න. මේ කාන්තාව එන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වූ වීසා වලින්. ඇය සාමාන්‍ය සංචාරකයෙක්. ඇය ලංකාවට එන්නේ ලංකාවේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ සඳහා නිකුත් කරනු ලැබූ විසා යටතෙ තමයි ඇය රට තුළ හිටියේ. සෞඛ්‍ය ප්‍රතිකාර ගන්න ආවා නම් ඇය සෞඛ්‍ය ප්‍රතිකාර ගත යුතුයි. එහෙම ඇවිත් සෞඛ්‍ය ප්‍රතිකාර නොගන ඉන්න බෑ. ඒ වගේම ඒ වීසා ඛාණ්ඩය යටතේ ඇති කොන්දේසි උල්ලංඝනය කරන්නත් බෑ. ඇයට සිදුවන ප්‍රශ්නය දැන් ඔබට පැහැදිලි විය යුතුයි.“ අතිරේක ආගමන විගමන පාලක ජනරාල්වරයා කීවේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලන (තොරතුරු හා තාක්ෂණ) පියුමි බණ්ඩාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරිය ය.

“වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආවොත් ඇයට කරන්න පුළුවන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම විතරයි. ඇයට ගොනුවුණේ අරගලයේ සිදුවීම් වාර්තා කිරීම සම්බන්ධ ප්‍රශ්නයනෙ. එය තමයි මතුවුණේ. එහෙත් ඇයට ඊට අමතරව වෙනත් චෝදනා ගොනු වෙලා තිබුණා. ඇයට වෛද්‍ය වීසා වලින් රට තුළට ඇතුළුවෙලා ව්‍යාපාර කරන්න බෑ. නමුත් ඇය අර්ධකාලීනව යම් යම් වෙළෙඳාම් කරලා තිබුණා. ප්‍රසිද්ධ වුණු කාරණාව තමයි අරගලය වෙනුවෙන් අදහස් දැක්වීම.“

නමුත් වෘත්තිකයින්ගේ පොදු අදහස වන්නේ කෙලී ෆ්‍රෙසර්ට අනවශ්‍ය වටිනාකමක් ලබා දී ඇති බවය. එහෙත් ඇය දැන් අන්තර්ජාතික තලයේ සංවාදයකට ලක් වුණ චරිතයකි. එමෙන්ම ඇය රටේ නීතිය නොතකා සැඟවී යෑම කුහුල දනවන්නකි.

Comments