ධීවර ජීවිතයේ මෙතෙක් කතා නොකළ කතාවක් ගෙන එන මාරියා මොස්කව් සිනමා උලෙළට | Page 2 | සිළුමිණ

ධීවර ජීවිතයේ මෙතෙක් කතා නොකළ කතාවක් ගෙන එන මාරියා මොස්කව් සිනමා උලෙළට

මාරියාව ධීවරයන්ගේ ජීවිතවල කුණාටුවක් බවට පත්වෙනවා. ඒ අදහස ඇතිවයි සිනමා පටයට ‘මාරියා’ කියලා නම දැම්මේ

 

අධ්‍යක්ෂ - අරුණ ජයවර්ධන

වසර 39කට පසුව ශ්‍රී ලාංකේය අභිමානය නැවතත් ලොවට ප්‍රදර්ශනය කිරීමට අරුණ ජයවර්ධනයන්ගේ මාරියා සමත් වෙයි. මාරියා සිනමා පටය 44 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ තරගකාරී වටය නියෝජනය සඳහා සුදුසුකම් ලබා තිබීම මෙවන් දුෂ්කර වාතාවරණයක දී අපේ සිනමා කර්මාන්තය ලද වාසනාවකි. මින් පෙර ද ඔහුගේම අධ්‍යක්ෂණයක් වූ ‘නිකිණි වැස්ස’ මෙම සිනමා උළෙල නියෝජනය කර තිබීම ද විශේෂත්වයකි. නිකිණි වැස්ස, ප්‍රංශයේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් අතර ඩුබායි හිදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.‍

මාරියා සිනමා පටය නිර්මාණය වීම අහඹු සිදුවීමක ප්‍රතිඵලයකි. නිර්මාණකරුවකුට ක්ෂණිකව අහන, දකින දෙයක් හරහා ඇතිවන සිතුවිල්ලක් ඔස්සේ නිර්මාණයක් කිරීමට හැකියාව ඇත්නම් ඔහු සැබෑම දක්ෂයෙකි. මාරියා එලෙස බිහිවූ නිර්මාණයකි. මෙම සිනමා පටයේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනයන් තම නිර්මාණය ගැන දැක්වූ අෙහස්ය මේ.

“මේ චිත්‍රපටයේ අන්තර්ගතය අහඹු සිදුවීමක්. මේ සඳහා පාදක වුණේ මීට අවුරුදු තුනකට විතර කලින් ප්‍රවෘත්ති විකාශයේ දී කියැවුණු සිදුවීමක්. ඇත්තටම මෙය ඉන්දුනීසියානූ ධීවරයන් කණ්ඩායමක් ලද සත්‍ය අත්දැකීමක්. ඔවුන් මාළු අල්ලමින් ඉන්නකොට දියේ පාවෙමින් තිබුණු මාරියාවක් ඔවුන්ට හමුවෙනවා. පිරිපුන් අංගයන්ගෙන් යුත් කාන්තා ලාලිත්‍යය මුසුවූ බෝනික්කෙක්. සමහර විට මේක නැවකින් විසි කළ එකක් වෙන්නත් ඇති. කොහොමහරි මෙයාලා මේක තමන්ගේ බෝට්ටුවට දා ගන්නව. මෙන්න මේ සිදුවීම තමයි ප්‍රවෘත්ති විකාශය තුළින් පෙන්නන්නේ. ඒක දැකපු ගමන් මට සිතුවිල්ලක් ආවා මේක මරු අයිඩියා එකක්නෙ කියලා. ඒ ඔස්සේ තමයි මාරියා නිර්මාණය වෙන්නේ‍. මේ මාරියාව ධීවරයන්ගේ ජීවිතවල කුණාටුවක් බවට පත්වෙනවා. ඒ අදහස ඇතිවයි සිනමා පටයට ‘මාරියා’ කියලා නම දැම්මේ.

කාන්තාවකගේ දර්ශනයක්වත් ඇස නොගැටී මාස ගණන් මුහුද මැද ඉන්න ධීවරයන්ට මේ වගේ දෙයක් හමුවීම අරුමයක්. මේ වගේ පරිසරයක මෙවන් දෙයක් හමුවීම මොවුන්ට කුතුහලයක්. මුලින්ම කවුරුත් බයවෙනවා. පස්සෙ මේකට ඇඳුම් අන්දලා බෝට්ටුවේ තියා ගන්නවා. මාස ගාණක් මුහුදෙම ඉන්න මොවුන්ට ලිංගික ජීවිතයක් නොතිබුණු නිසාම මේ මාරියා දැක්කම නියම මිනිස් ස්වභාවය ඉස්මතු වෙනවා. කාන්තාවක් නොවුණත් මෙය කාන්තා සංකේතයක්. යටපත් වී තිබුණු ඔවුන්ගේ ලිංගික හැඟීම් ඉස්මතු වීමට මෙය හේතු වුණා. ඊට පස්සේ මේක එකිනෙකාට අයිති කරගැනීමේ සටනක් නිර්මාණය වුණා.

මෙතෙක් කල් සහයෝගයෙන්, ආදරයෙන් හිටිය ඔවුන් මාරියාව හමුවීමත් එක්ක සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න පටන් ගත්තා. සහෝදරයෝ වගේ හිටිය මොවුන්ට මේ සිදුවීම නිසා ජාති, කුලමල භේද පේන්න පටන් ගත්තා. ඔවුන් තුළ තිබුණු යහගුණ විනාශ වෙන්න පටන් ගත්තා. අවසානයේ මාරියාව නිසා ඔවුන්ගේ ජීවිත විනාශ වුණා.

චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූ ගත කළේ ගොඩබිම නොපෙනෙන තරම් ඈත මුහුදේ. අපේ කණ්ඩායමට එය විශාල අභියෝගයක් වුණා. දවස් 22ක් ගියා සම්පූර්ණ කරන්න. මුලින්ම අපි ප්ලෑන් කළේ දවස් 15කින් ඉවර කරන්න. වැස්ස, කුණාටු වැනි මුහුදෙ තත්ත්වයන් එක්ක අපට සතියක් විතර කල් ගන්න වුණා. දවස් 10 ක් මුහුදෙම හිටියා. අනිත් දවස්වල උදේ යනවා රෑට එනවා. මේකට සම්බන්ධ වුණු හැමෝම අභියෝගයක් ගත්තා. ජීවිත ආරක්ෂකයන් වගේම බෝට්ටු දෙකක් අපේ ආරක්ෂාවට යොදා ගෙන තිබුණත් ජීවිත අවදානමක් එක්කයි අපි මේ වැඩේ කළේ.

විශේෂයෙන් ම මෙහිදී මතක් කරන්න ඕන නිෂ්පාදක ඉන්ද්‍රජිත් පෙරේරාව. මොකද අවුරුදු කීපයක් මං එක එක නිෂ්පාදකවරුන්ට කතා කළා. කවුරුත් කැමති වුණේ නෑ මේ අවදානම ගන්න. ඒ වගේම කැමරාකරණය කළ චන්න දේශප්‍රියටත් ලොකු වගකීමක් වගේම අවදානමක් තිබුණා. රංගනයෙන් දායක වුණු හැමෝමත් ජීවිත අවදානමක් අරගෙනයි මේ වැඩේට සම්බන්ධ වුණේ. හේමාල් ගිලෙන්න ගිය අවස්ථාත් තිබුණා. ගොඩක්ම තිබුණේ ගැඹුරු මුහුදේ පීනන, මුහුදට පනින දර්ශන. ඔහුත් ලොකු කැපකිරීමක් කළා. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මරාජා, දසුන් පතිරණ, ප්‍රියන්තසිරි කුමාර, අශාන් ඩයස් සහ සුරන් දසනායක රංගනයෙන් දායක වුණා. අවසානයේ සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන් වුණා කියන සතුට මට තියෙනවා..”‍

 

මේ මස 26 වැනිදා සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වෙන මොස්කව් සිනමා උලෙළේ දී මාරියා චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වේ

Comments