![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/08/20/10-9.jpg?itok=xhapel0k)
- අනුශූරතාව සාන්ත ජෝසප්වරුන්ට
- 12 වතාවක් තරගාවලියක කිසිදු තරගයක් පරාජය වී නොමැති වීම ද විශේෂත්වයකි
- රාජකීය විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 21-15ක ජයක්
- තරගයේ පළමු අර්ධයේදී කරට කර සටනක්
අන්තර් පාසල් ලීග් රග්බි කුසලානයට අමතරව රාජකීය - ඉසිපතන විද්‍යාල අතර වාර්ෂිකව හුවමාරු වන මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය ද ඉසිපතන විදුහල හැව්ලොක් පිටියේ දී හිමිකර ගත්තේ මෙවර ලීග් තරගාවලියේ අවසානය දක්වා සිය අපරාජිතභාවය රැක ගනිමිනි.
රාජකීය විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 21-15ක ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල වසර හයකට පසු අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත් විය.ඉසිපතන විදුහල් කණ්ඩායම අවසන් වරට 2016 දී කුෂාන් ඉඳුනිල් සිල්වාගේ නායකත්වය යටතේ අන්තර් පාසල් ලීග් රග්බි කුසලානය දිනා ගෙන තිබේ. මෙවර ජයග්‍රහණයත් සමඟ ඔවුන් අන්තර් පාසල් ලීග් රග්බි කුසලානය 16 වතාවක් දිනා ගෙන තිබෙන අතර, ඉන් 12 වතාවක් තරගාවලියක කිසිදු තරගයක් පරාජය වී නොමැති වීම ද විශේෂත්වයකි.
මෙකී තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 10-6ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය කණ්ඩායම සමත් වුවද, දෙවැනි භාගයේදී රාජකීයන් ඇද බැඳ තබා ගත් ඉසිපතන ක්‍රීඩකයෝ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් මේ ජයග්‍රහණයට මඟ පාදා ගත්හ.
හැව්ලොක් ක්‍රීඩාංගණය උණුසුම් කරමින් පැවැති තරගයේදී ජයග්‍රාහී ඉසිපතන කණ්ඩායම ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කළ අතර, රාජකීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.
රාජකීය විද්‍යාලය වෙනස්කම් 3ක් හා ඉසිපතන විද්‍යාලය වෙනස්කම් 2ක් සමඟ තරගාවලියේ තීරණාත්මකම අවසන් තරගයට මුහුණ දුන්හ.
“කොවිඩ් වසංගතය නිසා 2020 සහ 21ලිග් තරගාවලිය හරියාකාරව පවත්වන්න බැරි වුණා. අපි ටීම් එකක් විදියට ගත්තත් විශාල ශරීරවලින් සමන්විත කණ්ඩායමක් නෙවෙයි. පොඩි ක්‍රීඩකයෝ තමයි අපිට හිටියේ. ක්‍රීඩාශීලීත්වය, කණ්ඩායම් හැඟිම, හිතේ හයිය තමයි මේ ජයග්‍රහණයේ මුලික රහස” යැයි ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා බාර ආචාර්ය සුමේධ චානක අප හා පැවසුවේය.
රාජකීය විද්‍යාලයේ පසිඳු හේෂාන් ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් මැද පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූ අතර, නබිල් යහියා විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. ඉසිපතනය ද දඬුවම් පහරක් මඟින් ලකුණු වාර්තා කිරීම ආරම්භ කළේය.
කරට කර නිමා වූ පළමු අර්ධයත් සමඟ කණ්ඩායම් දෙකම දෙවැනි අර්ධය සඳහා පිවිසියේ ශූරතාවන් සිය පාසලට රැගෙන යෑමේ දැඩි අදිටනින් යුතුවය.තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් ඉසිපතන කණ්ඩායම ලකුණු පුවරුව 9ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූයේ රාජකීය විද්‍යාලයට වඩා එක් ලකුණක් පසුපසින් පසු වූයේ තරගය අවසන් වීමට තවත් විනාඩි 30කට වැඩි කාලයක් ඉතිරිව තිබියදීය.
අහඹු අවස්ථාවකින් ප්‍රයෝජනය ගත් ඉසිපතන ක්‍රීඩක කණිෂ්ක රාජකීය විද්‍යාලයේ රැකවල් මධ්‍යයෙන් දිවගොස් අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ඉසිපතන ප්‍රේක්ෂකාගාරයේ හඬ දෙගුණ තෙගුණ කරන්නට ද සමත් විය.
තරගයේ හොඳම උත්සාහක දිනුම ලෙස නිර්දේශ වීමට හැකියාවක් තිබු බව පෙන්වමින් ඉසිපතන කණ්ඩායමේ ස්ටෙෆාන් ජයකාන්ත් විසින්, බොතේජුගේ සහායෙන් ඉතා අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර, බොතේජු විසින් ප්‍රවර්තනය සාර්ථක කරගන්නට අසමත් වුව ද, ඉසිපතනය අවසානයේ තරගය අවසන් කරන්නට සමත් වුයේ අන්තර් පාසල් රග්බි කිරුළ හා මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන සඳහා හිමිකම් කියමිනි. තරගයේ වීරයා සම්මානය ඉසිපතන කණ්ඩායමේ තරිඳු වේවැල්පන්ඩිත ට හිමිවිය.
“අපි මෙවර තරගාවලියේ හැම තරගයක් ම අමාරු තරග විදියට තමයි සැලකුවේ. අපි ටීම් එකක් විදියට ගත්තත් තරගයෙන් තරගය ඉදිරියට ගියා මිසක් සම්පුර්ණ තරගාවලිය ම ඔළුවෙ තියාගෙන ගියේ නෑ. කොළඹින් පිට අපි තරග කළේ නිත්තවෙල තිබුණු විද්‍යාර්ථ තරගය” යැයි ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා බාර ආචාර්ය සුමේධ චානක වැඩිදුරටත් පැවසීය.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර අන්තර් පාසල් වයස අවුරුදු 20 න් පහළ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරගාවලියේ තරගයෙන් පසුව ඉසිපතන ක්‍රීඩකයන්ට පහරදීමක් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ විධායක කමිටුව තීරණය කර එහි අවසන් වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී තිබේ. සත්කාරක කණ්ඩායමක් ලෙස ක්‍රීඩකයන්ගේ සහ පැමිණෙන කණ්ඩායම් නරඹන්නන්ගේ ආරක්ෂාව ආරක්ෂා කිරීමේ වගකීම සත්කාරක කණ්ඩායම වන විද්‍යාර්ථ සතුය.එහෙත් මෙකී නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් සනාථ වුයේ විද්‍යාර්ථ කණ්ඩායමට උපන් බිම වන මහනුවරදී කුමන හෝ මිලක් ගෙවා ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන බවයි.
ඉසිපතන කණ්ඩායමේ නායකත්වය පළපුරුදු ඉදිරිපෙළ ක්‍රීඩක දැහැන් නිතින වික්‍රමාරච්චි දැරු අතර, පුහුණුකරු ලෙස සාලිය කුමාර සහ ධනුෂ්ක බොතේජු සහාය පුහුණුකරු ලෙස කටයුතු කළහ.
මේ අතර සාන්ත ජෝසප් විද්‍යාලීය කණ්ඩායම විසින් රාජකීයයන් අබිබවා මෙවර පාසල් රග්බි ලීගයේ අනුශූරතාව දිනා ගන්නට සමත් විය.
ඒ හැව්ලොක්දී පැවති තරගයෙන් ලකුණු 26-11ක් ලෙස වෙස්ලි විද්‍යාලය පරාජය කරමිනි. කණ්ඩායම් දෙකම ප්‍රබල වෙනස්කම් රැසක් සමඟ තරගයට පිවිසියේ මෙවර ලීගයේ තම හොඳම තරගය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙනි. වෙස්ලි ක්‍රීඩකයන් පළමුවෙන් ලකුණු රැස් කළේ සාර්ථක කර ගත් දඬුවම් පහරකින්ය.