ගත් වහරද? කට වහරද? | සිළුමිණ

ගත් වහරද? කට වහරද?

හෙළ හවුලේ අනු නයු අ. ආ. ගුණතිලක සහ මහාචාර්ය ජේ. බී. දිසානායකගේ භාෂා මත එකම වේදිකාවක ගැටෙයි

 

ලේඛන ව්‍යාකරණය ගැන කතා කිරීම නූතන වාග් විද්‍යාඥයාගේ කාර්යය නොවෙයි

හෙළ හවුලේ අනු නයු අ. ආ. ගුණතිලක

අ. ආ. ගුණතිලක තවමත් ඉන්නෙ කුමාරතුංග එදා හිටිය තැන. යල් පැනලා

මහාචාර්ය ජේ. බී. දිසානායක

 

භාෂාව පිළිබඳ නිරන්තර වාද විවාද මතිමතාන්දර ඇති වෙයි. ඇතැමෙක් භාෂාව වෙනස් විය යුතු නැතැයි කියද්දී තවත් අයෙක් කියන්නේ පරිණාමය භාෂාවට ද අත්‍යන්තයෙන් ම අදාළ බවෙකි. මේ පිළිබඳ ව දීර්ඝ ලෙස වාද විවාද පැවැති අතර මේවා සඳහා බොහෝදුරට වේදිකාව වූයේ පුවත්පත් ය.

භාෂා ගැටලු සම්බන්ධ වාදවලදී විවාදයට ගැනෙන ප්‍රධාන ධාරා දෙකකි. ඒ හෙළ හවුලේ මතවාදය හා නූතන වාග් විද්‍යාඥයන්ගේ මතවාදයයි. හෙළ හවුල ඇරඹෙන්නේ අග්‍රගණ්‍ය වියතකු ලෙස සම්භාවනාවට පාත්‍ර වූ කුමාරතුංග මුනිදාසයන් විසින් සිංහල භාෂාව නිරවුල් කරලීම සඳහා පිහිටුවන ලද සංවිධානයක් වශයෙනි. නූතන වාග් විද්‍යාවේ ලංකාවේ පියා ලෙස සැලකෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ ම. ව. සුගතපාල ද සිල්වා ය.

කුමාරතුංගයන් ප්‍රමුඛ වූ හෙළ හවුලේ හෙළ බස පිළිබඳ වියත්හු සෑම වදනෙක ම සැබෑ ස්වරූපය දැක්වූයේ ශබ්ද විද්‍යාවට අනුව සසඳා බලා නීතියකට එකඟ ව වෙති. වාග්විද්‍යාඥයන් මේ කරුණ කරනුයේ වාග් විද්‍යාත්මක රීතිවලට අනුකූලව ය.

හෙළ හවුලේ උප නයුවකු ලෙස කලක් තිස්සේ කටයුතු කරන අ. ආ. ගුණතිලක හෙළ බසෙහි නිරවද්‍යතාව ගැන නිරන්තර අවධානයෙන් හා පරීක්ෂාවෙන් සිටිමින් ඒවා වෙනස්කම්වලට ලක් කෙරෙන අවස්ථාවන්හි නිර්භය ව ඉදිරිපත් ව ඊට වාද විවාද කරන්නෙකි.

ආ. ආ. ගුණතිලක සඳහන් කරන්නේ නූතන වාග් විද්‍යාඥයන් නිසා බසට යම් යම් හානි සිදු වෙන බවෙකි. ඔහු සඳහන් කරන ආකාරයට නූතන වාග් විද්‍යාව කියා විෂයයක් තිබුණාට කම් නැත. නූතන වාග් විද්‍යාඥයන් පවසන්නේ වාග් විද්‍යාව යනු කටවහර ගැන අවධානය යොමු කරන විෂයයක් බව ය. ලේඛන හෙවත් ලිඛිත ව්‍යාකරණය පිළිබඳ කතා කිරීම ඔවුන්ගේ කාර්යයක් නොවන බව අ. ආ. ගුණතිලක අවධාරණය කරයි. මේ ගැන නූතන වාග් විද්‍යාඥයකු වන මහාචාර්ය ජේ. බී. දිසානායකගේ පොත්වලත් ඇති බව සඳහන් කරන අ. ආ. ගුණතිලක එසේ සඳහන් වුවත් ඔවුන් ලිඛිත ව්‍යාකරණයට අත ගසන බව පවසයි.

‘ම. ව. සුගතපාල ද සිල්වාගේ භාෂා විෂයක ලිපි කියන පොතේ ව්‍යාකරණයට විරුද්ධ ප්‍රකාශ තියෙනවා. සංවරව ලිවීමට නම් ලියන භාෂාවට ව්‍යාකරණයක් අවශ්‍යයි. නමුත් ඒක විශාල මුළාවක්. ලියන භාෂාවේ ව්‍යාකරණය නමින් අප ව්‍යාකරණයක් රැකගෙන එන්නෙ මහත් මුළාවකින්. විශ්වවිද්‍යාල උපාධි ගත් අය ව්‍යාකරණයට අවඥාව දක්වන්නේ ඔවුන් මොලේ ඇති අය නිසයි. මේ වැනි මතවාද බොහොමයක් මේ කෘතියේ සඳහන්. එතකොට ම. ව. සුගතපාල ද සිල්වා තමයි නූතන වාග් විද්‍යාවේ පියා. එයාගෙ ගෝලයෝ තමයි මේ ජේ. බී. දිසානායක ඇතුළු අනෙක් අය. මෙයාලගෙ ආකල්පය ව්‍යාකරණය කියන්නෙ ලේඛන භාෂාවට අයිති දෙයක්; ඒක රැක ගැන්මේ අවශ්‍යතාවක් නැහැ; ඒක බොරුවක් කියන එක. එයාලා කියන කතාව ඔවුන්ට අනුව හරි. වාග් විද්‍යාවෙ කතා කරන්නෙ කටවහර ගැනනේ. කටවහර වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට ඉඩ දෙන්න ඕන‘

මේ වැනි මතවාද නිසා කලක් තිස්සේ හෙළ හවුල හා නූතන වාග් විද්‍යාඥයන් අතර ගැටුමක් පැවතිණි.

අ. ආ. ගුණතිලකගේ මේ මතවාදය පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ජේ. බී. දිසානායක පවසන්නේ මෙවැන්නකි.

‘වාග් විද්‍යාවෙ කියන්නෙ ව්‍යවහාරානුසාරයෙන් ගන්න කියලනෙ. භාෂාවේ රීති හොයන්නෙ ව්‍යවහාරයෙන්නෙ. මම නෙවෙයි සිදත් සඟරාව කියන්නෙත් ඒක. “අනු රූ සේ පියෝනන් වහරනු සෙරෙන් සපයා” කියලනෙ දැක්වෙන්නෙ. ඒ අයත් ඒක අනුගමනය කරනවා නම් අපි කළා ම මොකද? මම කළේ ව්‍යවහාරය ජනගත කිරීම. ඔන්න මම භාෂාව හැදුවා නම් වැරදියි. කුමාරතුංග වගේ මම එහෙම දෙයක් කළේ නෑ. මම කළේ තියෙන භාෂාව ම ජනගත කිරීම. වාග් විද්‍යාඥයෙක් විදියට මගේ වැඩි අවධානය යොමු වුණා කටවහර සම්බන්ධයෙන්. ඒ අය කටවහර ගණන් ගන්නෙ නෑනෙ. දැන් මම කියන්නෙ මං යනවා හරි, මම යනවා හරි කියලනෙ. බල්ලො බුරනවා කියලනෙ අපි කියන්නෙ. ඒ අය කියන්නෙ මා යනවා, බල්ලන් බුරනවා කියලා. එයාලා කියන්නෙ ගැහැනියක එනවා කියලා. කවුද එහෙම කතා කරන්නෙ. ඒ අයගෙ ස්ථාවරය තමයි ලියන සිංහලය කටවහරටත් රැගෙන ඒම.

මේ අනුව සිංහලයේ ව්‍යාකරණ ක්‍රම දෙකක් අපට ඇති බව මහාචාර්ය ජේ. බී දිසානායක පවසයි. ඒ ලේඛන ව්‍යාකරණ රටාව හා කතා කරන ව්‍යාකරණ රටාව වශයෙනි.

‘ඒ අය කටවහර ගණන් ගන්නෙ නෑ. එයාලට ඕන කටවහර ගත්වහරට පුළුවන් තරම් සමාන කරන්න. අපි ඉතින් කටවහර වෙනස් කරන්නෙ නෑ. කටවහර වෙනමත්, ලියන වහර වෙනමත් අපි භාවිත කරනවා. ඔන්න ඔච්චරයි වෙනස‘

ජේ. බී. දිසානායක මහාචාර්යවරයාට අ. ආ. ගුණතිලක නිතර හමු වෙන්නේ නැත. අ. ආ. ගුණතිලක වාසය කරන්නේ කොළඹින් බැහැර ව ය. ඉතා හදිසියේ හමු වුණත් කිට්ටු සමීප ඇසුරක් පැවැත නැති බව මහාචාර්ය ජේ. බී පවසයි.

එහෙත් නිරන්තර වාද විවාද ඔස්සේ ඔවුහු සම්මුඛ වූහ. “මම ඉන්නේ මැද - මට අන්තවාදී වෙන්න බෑ” යන සිරස්තලයෙන් යුතු ව සිළුමිණ පුවත්පතෙහි මහාචාර්ය ජේ. බී. සමඟ මේ ලියුම්කරු කළ සාකච්ඡාවක් වරක් පළ විණි. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් අ. ආ. ගුණතිලක නොපමාව සිළුමිණ පුවත්පතට යොමු කළේ ය. එහි සිරස වූයේ මහැදුරු ජේබී ට මැද සිටින්න බැහැ කියා ය. මේ වාදය දිගට පළ විණි. මේ ගැටුම එදා සිට අද දක්වා ම සක්‍රිය ය.

මෑතකදී අ. ආ. ගුණතිලක සමඟ මහාචාර්ය ජේ. බී. දිසානායක පොතක් එළිදැක්වූ අවස්ථාවක ගත් සේයාරුවක් සමඟ රන්ජිත් කෝරළගේ සහෘදයා තැබූ සටහනක් මුහුණු පොත ඔස්සේ ජනප්‍රියත්වයට පත් ව තිබිණි. එහි ශීර්ෂය වූයේ පොඩි මිනිසෙක් හා ලොකු මිනිසෙක් කියා ය. එහි සඳහන් වූයේ පොඩි මිනිසා ලෙස අ. ආ. ගුණතිලකත්, ලොකු මිනිසා ලෙස මහාචාර්ය ජේ. බී. දිසානයකත් ය. ලොකු මිනිසා ගැන බොහෝ දෙනා දනිතත් පොඩි මිනිසා ගැන බොහෝ අය නොදන්නා බව එහි උත්ප්‍රාසාත්මක එළැඹුමකින් සඳහන් කර තිබිණි. ඇත්තට ම පොඩි මිනිසා ගැන දන්නේ නැද්ද? ඒ පැනය සිත නැඟුණු නිසා ම සිළුමිණ අපි ඔහු ගැන තොරතුරු පාඨක ඔබ හමුවේ තබන්නට සිතුවෙමු.

අ. ආ. ගුණතිලක නාමය හෙළ හවුල ගැන සවිඥානික බොහෝ දෙනාට නුපුරුදු නාමයක් නොවේ. හේ එහි අනු නයුවෙකි. ආ. ආ. ගුණතිලක උපදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නක්කාවත්තේදී 1927 ඔක්තෝබර් 28 වැනිදා ය. ඔහුගේ පියා ඒ. මේනුහාමි වන අතර, මව එල්. කිරිමැණිකේ ය. සහෝදරියන් දෙදෙනෙක්ගේ හා සහෝදරයන් දෙදෙනකුගේ ආදරය විඳිමින් වැඩෙන ගුණතිලක අධ්‍යාපනය ලබන්නේ නක්කාවත්ත මහා විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසු ගිරාගම ගුරු විදුහලට ඇතුළත් වෙන ගුණතිලක ගුරු විද්‍යාලයෙන් නික්මෙන්නේ පුහුණු ගුරුවරයකු වශයෙන් තමා උගත් පාසල වන නක්කාවත්ත පාසලට පත්වීමක් ලබමිනි.

‘මම නක්කාවත්ත පාසලේ ඉන්න කාලෙ පාසලට ආවා ඒ යුගයේ හෙළ හවුලේ නයුවකු වුණු ආ. දො. චන්ද්‍රසේකර. මම ඔහු සමඟ නිරන්තර ඇසුරට වැටුණා. ඒ නිසා මට භාෂාව ගැන විශේෂ ඇල්මක්, ආකල්පයක් ඇති වුණා. භාෂාව රැක ගන්න මොකද්ද කළ යුත්තේ කියලා දැඩි ආකල්පයක් ඇති වුණා.

මීට දශක තුනකට පමණ කලින් අ. ආ. ගුණතිලක හෙළ හවුලට සම්බන්ධ වෙයි. ඒ ඔහු ලියන ලිපි මාලාවක් හේතුවෙනි.

මේ කාලෙ විශ්වවිද්‍යාලෙ උගන්නපු නූතන භාෂා විශේෂඥයන්ගේ සමහර මතවාදවලට නිවැරැදි පිළිතුරක් දීමේ අවශ්‍යතාවක් තිබුණා. නූතන වාග්විද්‍යාව විෂයයක් විදියට තිබුණට අපට කමක් නෑ. නමුත් ඒ අය කියනවා, මේක තනිකරම කටවහර මුල් කරගත් විෂයයක් කියලා. ලේඛන ව්‍යාකරණය ගැන කතා කිරීම නූතන වාග් විද්‍යාඥයාගේ කාර්ය නොවෙයි‘

මහාචාර්ය ජේ. බී. ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මේ වැනි ය.

‘වාග් විද්‍යාඥයන් එනකම් වැඩියෙන් කතා වුණේ ලියන රටාව ගැන. කුමාරතුංග මහත්තයා ව්‍යාකරණ විවරණය ලිව්වෙ ඒ අනුවයි. ඒ පොතේ තියෙන බොහෝ නිපාත පද ගත්තොත් ඒ නිපාත පදවලින් සියයට හැත්තෑපහක් අද නෑ. ලියන සිංහලය අප බැහැර කළේ නැහැ. ඒක වෙනම තියෙනවා. අපි ප්‍රමුඛ අවධානය යොමු කළේ කටවහර සම්බන්ධ ව. ලේඛන ව්‍යවහාරය හොඳ නෑ කියලා අපි බැහැර කළේ නෑ. මගේ හැම පොතකම මම කියලා තියෙන්නෙ ලිඛිත ව්‍යවහාරය රකිනවා, උක්ත ආඛ්‍යාත ගළපනවා කියලයි. මම ලියද්දි මං යනවා හෝ බල්ලො බුරනවා කියලා ලියන්නෙ නෑ. ඒ වගේ ම මා යනවා හෝ බල්ලන් බුරනවා කියලා කතා කරද්දි කියන්නෙත් නෑ. මූලික ම ප්‍රශ්නෙ ඕකයි.

භාෂාව අනෙක් සියලු දෑ සේම පරිණාමය වන දෙයකි. එය කලින් කලට අවැසි බව අනුව වෙනස් වීම එහි ප්‍රගමනයට අවශ්‍ය කරුණක් බව පොදු සමාජ මතයයි. මේ මතය වාග් විද්‍යාඥයන් සිය උගැන්වීමේදී භාවිත කරයි. එහෙත් හෙළ හවුලේ අනු නයු අ. ආ. ගුණතිලක කියන්නේ එය එසේ වීම භාෂාවට කරන ලොකුම හානිය බවයි.

‘ ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙන බව ඇත්ත. සිංහලයෙත් පැරැණි ශිලා ලේඛනයේ සිට මේ දක්වා භාෂාවේ යම් වර්ධනයක් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම හෝ වර්ධනය ඇතිවෙලා තියෙන්නෙ එක ම සම්ප්‍රදායකට අනුව. ඒ සම්ප්‍රදාය අදත් එහෙමම තියෙනවා. පැරැණි සම්භාව්‍ය පොත් ඒ කියන්නෙ අමාවතුර, බුත්සරණෙ ඉඳලා ජාතක පොත, උමංදාව ඇතුළු පොත් කෝට්ටේ යුගය දක්වාමත් ඒ සෑම පොතපතකම, ලේඛනයක ම සම්ප්‍රදාය තියෙනවා. වචන වශයෙන් පමණයි වැඩි වෙන්නෙ. සම්ප්‍රදාය එකමයි. ඒක වෙනස් වෙන්න බෑ. අන්න ඒකට වෙනස් ව තමයි මේ වාග් විද්‍යාඥයන් එක එක දේවල් කරන්නෙ. ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත වීමත් සමඟ ම මේක අයාලෙ යන්න පටන් ගත්තා‘

විශ්වවිද්‍යාලවල වාග් විද්‍යාව උගැන්වීමට පටන් ගැනීම නිසා භාෂාවේ මේ පරිහානිය වඩාත් වර්ධනය වූ බව අ. ආ. ගුණතිලක වැඩිදුරටත් කියයි. විනී විතාරණ, කේ. එන්. ඕ. ධර්මදාස, සුචරිත ගම්ලත්, විමල් ජී. බලගල්ලේ වගේ අය නූතන වාග් විද්‍යාව කරට අරගෙන සම්ප්‍රදාය විවේචනය කරන්නට නොගිය බවත් බසට ඒ අයගෙන් හානියක් නොවුණු බවත් ඔහුගේ අදහසයි.

පරිහානිය පටන් ගත්තෙ කොතනින්ද යන්නට පිළිතුරු දෙන අ. ආ. ගුණතිලක ඒ පිළිබඳව පවසන්නේ මෙවැනි දෙයකි.

‘ඒකට කරුණු කිහිපයක් බලපෑවා. ස්වභාවයෙන් ම සිදු වුණු පරිහානියකුත් තියෙනවා. නමුත් ඊට වඩා බෙහෙවින් ම බලපෑමක් වුණු වෙනත් දෙයක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය ඔස්සේ කරන ලද පරිහානිය. නූතන වාග් විද්‍යාව විෂයක් ලෙස කිසිම ප්‍රශ්නයක් නෑ. මේ අය තමන්ට අයත් කාර්යයෙන් බැහැර ව ලේඛන ව්‍යාවහාරයට අත තැබීම නිසා වුණු පරිහානියට නම් සමාවක් නෑ. මේක වුණේ විශ්වවිද්‍යාලයෙන්මයි.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව ගැන නාමිකව සඳහන් කළ හැකි බව පැවසූ හෙළ හවුලේ අනු නයු අ. ආ. ගුණතිලක තමන් නිරන්තරයෙන් හෙළ බස රැක ගැන්ම වෙනුවෙන් පෙනී සිටි බව ද කියන්නට අමතක නොකළේ ය.

‘ මම හැමදාමත් සටන් කළේ ජේ. බී. දිසානායක එක්ක. ඒ අය ලියන්නට පටන් ගත්තා නූතන ව්‍යාකරණ, සමකාලීන ව්‍යාකරණ වගේ නම්වලින් පොත්. ඒවායේ තියෙන්නෙ අර සාම්ප්‍රදායික ව්‍යාකරණය ම නොවෙයි. සමකාලීන ව්‍යාකරණ විධිත් නිවැරැදි යැයි පිළිගත යුුතු බව කියැවෙන විදියටයි ඒ පොත් ලියලා තියෙන්නෙ. ඔහුගේ එක පොතක තියෙනවා, ව්‍යාකරණ රීති 3ක් ගැන. අනතුරුව එක් එක් අයගෙ නම් දාලා ඒ අයට අදාළව රීති 9ක් ගැන සඳහන්. මේවා කියවන්නෙ විශ්වවිද්‍යාල සිසුන්. සිංහලයට තියෙන්නෙ එක ව්‍යාකරණ රීතියයි. මේ අනුව වියතුන්ගේ ව්‍යවහාර විධිත් නිවැරදි සේ පිළිගත යුතුයි කියලයි ඔහු කියන්නෙ.

මේ සම්න්ධයෙන් මහාචාර්ය ජේ. බී. දිසානායකට ද ඇත්තේ තර්කානුකූල පිළිතුරකි.

‘එ් අය හිතාගෙන ඉන්නෙ එක ව්‍යාකරණ විධියයි තියෙන්නෙ කියලා. ලේඛන ව්‍යවහාරය මිසක් කොහේදෝ තියෙන කටවහරක් මේකට ගේන්න එපා කියලයි ඔවුන් කියන්නෙ. ඔවුන්ට අනුව කටවහර කියලා හඳුන්වන්නේ මේ නූගතුන් ව්‍යවහාර කරන වහරක්. ලෝකෙ කොහෙවත් එහෙම කියන්නෙ නෑ. කටවහර නූගතුන්ගෙ ව්‍යවහාරයක් කියලා සිතීම හොඳ නැහැ. ඒ ස්ථාවරය වැරදියි. ලේඛන ව්‍යවහාරය වගේම කටවහරත් එක වගේම වටිනවා. මේ දෙක වැඩ දෙකකට ගන්නෙ. මම පොතක් ලියද්දි ලේඛන ව්‍යවහාරය ගන්නවා. කතා කරද්දි මම කටවහර යොදා ගන්නවා. මම මේ දෙක මාරු කර ගන්නෙ නෑ. ලියන විදියට කතා කරන්නෙත් නෑ; කතා කරන විදියට ලියන්නෙත් නෑ.

හෙළ හවුල ගැන මහාචාර්ය ජේ. බී. දිසානායකට තිබෙන්නේ මෙවැනි ආස්ථානයකි. තමන් බොහෝ ගෞරව කරන භාෂා සංවිධානයක් වුවත් එහි පැවැත්ම ගැන මේ වනවිට මහාචාර්යවරයා දක්වන්නේ මෙවන් අදහසකි.

අද හෙළ හවුල කියලා එකක් නෑ. අදටත් මේ ගැන කතා කරන්නෙ කිහිපදෙනයිනෙ. කෝ දැන් වර්තමාන පරම්පරාව හෙළ හවුලෙ ඉන්නවද? පුවත්පත් ලේඛකයන් හෙළ බසෙන් ලියන්න ගත්තොත් මේ කලාව රැකෙයිද? නෑනෙ. වාග් විද්‍යාත්මක ආකල්ප කියන දේ ලෝකෙට බලපාන දෙයක්. ඒක ලංකාවෙ විතරක් තියෙන දෙයක් නොවේ. එ් හැම භාවිතයක ම කතා කරන හා ලේඛන කියලා කොටස් දෙකක් තියෙනවා. අපට ගත්වහර හා කටවහර කියන දෙකම තියෙනවා.

හෙළ හවුලේ නිර්මාතෘ කුමාරතුංග මුනිදාස පඬිවරයා ද මේ ගැන අවධානය යොමු කළ බව මහැදුරුවරයාගේ මතයයි.

‘ කුමාරතුංග ඔය ගැන දැනගෙන හිටියා. නමුත් එයා සමහර දේවල් වෙනස් කළා; නූතනයට ගැළපෙන්න. අ. ආ. ගුණතිලක තවමත් ඉන්නෙ කුමාරතුංග එදා හිටිය තැන. යල් පැනලා‘

හෙළ හවුලේ අනු නයු අ. ආ. ගුණතිලක එක හෙළාම කියන්නේ බසෙකට තිබිය යුත්තේ සම්මත එකම වියරණයක් බව ය. එය සැකැස්ම තනි පුද්ගලයකුට පැවැරෙන කාර්යක් නොව වියරණය පිළිබඳ විශේෂඥ මණ්ඩලයෙකින් ඉටු විය යුත්තක් බව ය. වියරණය හෑල්ලුවට ලක් කරන වාග් විද්‍යාඥයනට එවන් කාර්යයක් කළ හැකි ද යන්න පිළිබඳ බොහෝ දෙනාට සාධාරණ පිළිතුරක් තිබේද කියා හේ ප්‍රශ්න කරයි. මේ වන අංග සම්පූර්ණ ව්‍යාකරණයක් වශයෙන් අවිවාදයෙන් සියලු විද්වතුන් පිළිගන්නා කුමාරතුංග මුනිදාසයන්ගේ “ව්‍යාකරණ විවරණය” පදනම් කැරගෙන සරල වියරණයක් සකසා ගැනීමට ව්‍යාකරණඥයන්ගෙන් යුත් විද්වත් මඬුල්ලකට වගකීම පැවරීමට සුදුසු කාලය එළැඹ ඇති බව ඔහුගේ අදහසයි.

මහාචාර්ය ජේ. බී. දිසානායක හරි අපූරු කතාවක් සංවාදය අවසානයේ පැවසීය. ඒ හෙළ හවුලේ සිටින්නේ හරි ගුණවත් මිනිස්සු බව ය. ඔවුන් ට අවැසි වන්නේ හෙළ බස සම්ප්‍රදායානුකූල ව නොවෙනස් ව පවත්වා ගෙන යෑම පමණක් බව ය.

‘ ඔවුන් කිසිදිනෙක ජේ. බී. ගෙ පොත් කියවන්න එපා කියලා කියන්නෙ නෑ. ඒ අය එහෙම අලුගුත්තේරු වැඩ කරන්නෙ නෑ. අරීසෙන් අහුබුදුගෙන් පටන් ගත්තම හැමෝම බොහොම ගුණවත් අය. එක සම්මන්ත්‍රණයකදී වි.ජ.මු. ලොකුබණ්ඩාර දේශනයක් පැවැත්වූවා සීගිරි ගී ගැන. වේදිකාවෙ හිටියෙ වි. ජ. මු. යි, මමයි, අරීසෙන් අහුබුදු යි. මාව සභාවට හඳුන්වාදීමේ වගකීම පැවැරුණේ අරීසෙන් අහුබුදු ට. මම ඉතින් හිතුවා මේ මතවාද වෙනස නිසා මොනව කියයිද කියලා. අහුබුදු බැස්සා පහළට, අහසට අත දික් කළා, අන්න ඉර... මෙන්න ජේ. බී. බොහොම ස්තූතියි කියලා. මට ඉතින් ජිවිතේ ලැබුණු හොඳ ම හැඳින්වීමනෙ ඒ. එතැනින් එහාට තව මොනවද? ඒ අය මේ භාෂාව වෙනුවෙන් කරන පෙනී සිටීමත් කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නොවෙයිනෙ. දිවි හිමියෙන් ඒ අය ඒක කරනවා‘

හෙළ හවුලේ අනු නයු අ. ආ. ගුණතිලක සිය දශක නවයක දිවිසැරියෙහි හෙළ හවුලේ ප්‍රගමනය වෙනුවෙන් නිරන්තර කැපවීමෙන් ක්‍රියා කළ අයෙකි. හේ මේ වනවිට ලේඛන ව්‍යාකරණය ගැන පොත් හතක් පමණ පළ කර තිබේ.

විසිවන සියවසේදී සිංහල භාෂාව පිළිබඳ වැඩිම බලපෑමක් කිරීමට සමත් වූ භාෂා සංවිධානය වන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ (1887-1944) නායකත්වයෙන් 1941 දී ආරම්භ වූ හෙළ හවුල වුව ද, අද එය එකී දීප්තිමත් බවෙන් බැබළෙනු නොපෙනේ. එහෙත් යටත් විජිත සමය නිමවන්නට සිවු වසරකට පෙර ජීවිතයෙන් සමු ගත්තේ වුව ද කුමාරතුංගයන් විසින් ඇති කරනු ලැබූ හෙළ හවුලේ බලපෑම අද ද දක්නට නැතැයි කිව නොහැකිය.

මේ භාෂා සංවිධානය අතු ඉති රිකිලි දා වැඩුණේ කිසිදු වරදානයක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නොවේ. එමෙන්ම ඒ සංවිධානයට ස්වකීය දිවිහිමියෙන් එකතු වූවෝ පවා එකී කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු වූවෝ නොවූහ. අනු නයු අ. ආ. ගුණතිලක වැටෙන්නේ ද ඒ ගණයට ය. භාෂාවේ යම් යම් යාවත්කාලීන වීම් හමුවේ අනම්‍ය වුව ද එකී විද්වතුනගේ සේවාව ලඝු කරන්නට නොහැකි බැව් මහාචාර්ය ජේ. බී. දිසායනායක වුව ද අවධාරණය කරන්නේ ඒ නිසා ය.

Comments