නර්තනයෙන් ගායනයෙන් තරු අතර තරු වූ පොඩ්ඩෝ | සිළුමිණ

නර්තනයෙන් ගායනයෙන් තරු අතර තරු වූ පොඩ්ඩෝ

දෙරණ ලිට්ල් ස්ටාර් 11 වැනි අදියරේ ජයග්‍රාහකයෝ

අපේ රටේ ළමා පරපුරෙහි ගායනය සහ නර්තනය මනාව ඔපමට්ටම් කර උපරිම තලයෙහි තරග වැදි, පුංචි තරු අභිෂේක ගැන්වූ දෙරණ ලිට්ල් ස්ටාර් 11 වැනි අදියර පසුගිය 6 වැනිදා අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. රූපවාහිනි නාළිකා අතරින් පුංචි දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රථම සහ එකම ළමා රියැලිටි වැඩසටහන වන මෙය වයස අවුරුදු 8න් පහළ ගායන, නර්තන අංශ මෙන්ම 12න් පහළ ගායන, නර්තන අංශ ලෙස වෙන් වෙන් වශයෙන් විනිශ්චයට ලක්විය.

 

දේශීය හැඩතල ජාත්‍යන්තරයට ගෙන ගිය නර්තනයෙහි නිපුන් ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, ජාත්‍යන්තර නර්තනයේ වර්ණයන් දේශීයත්වයට මුසු කරන ප්‍රවීණ නර්තන ආචාර්ය කෙවින් නුගාරා නර්තන අංශයට විනිශ්චය ලබා දුන් අතර ශාස්ත්‍රීය සංගීතයේ තබ්ලා විෂයෙහි නිපුන් පේෂල මනෝජ් සහ ජනප්‍රිය ගායන ශිල්පී ගයන්ත විජේරත්නයන් ගායන අංශයේ විනිශ්චය ලබා දුන්හ. එසේ විනිශ්චය මණ්ඩලයේ සියුම් අධීක්ෂණයෙන් ජයගත් දරු දැරියන් ගැනය මේ සටහන.

ගායන අංශය වයස අවුරුදු 8 න් පහළ දක්ෂතම පුංචි තරුව වුයේ ෂසිඳු සත්සරය. සංගීතයේ ඇති සියලු ආයුධවලින් සන්නද්ධව හදවතටම ගයන ෂසිඳු ර/ශාන්ත අන්තෝනි විදුහලේ 4 වසරෙහි ඉගෙනුම ලබන්නේය. ඔහු දැඩි කැපවීමෙන් සහ උත්සාහයෙන් ජයග්‍රහණය කරා පැමිණි පුංචි තරුවකි. නිවිතිගල, පෑබොටුව මහ විදුහලේ නිශ්ශංක සිසිර සංගීතාචාර්යවරයාගෙන් ශිල්පය හැදෑරූ ෂසිඳුගේ නර්තන අංග නිර්මාණය කළේ දිල්කි කාංචනාය. සහජයෙන් ලද ලයාන්විත හඬින් ගී ගයමින් සංගීත අංශයෙන් ඉදිරියට යෑම ඔහුගේ බලාපොරොත්තුවයි.

මෙම අංශයේ ජනප්‍රියම තරුව ලෙස තේරි පත් වූයේ ඩිහේන් දුල්වින්ය. රියැලිටි වේදිකාවේ බයිලා රජු ලෙසින් විනිශ්චය මණ්ඩලයේ නිරතුරු පැසසුමට ලක්වී ජනතා මනාපයෙන් ජනප්‍රියම තරුව මෙන්ම විනිශ්චය මණ්ඩල තේරුමෙන් අනුශූරතාව ද හිමිකර ගත්තේ ඔහුය. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ඩිහේන් ෆේස්බුක් කවර හරහා මේ වනවිටත් ජනප්‍රියත්වයට පත් වී ඇත.

එමෙන්ම මනුමි විතුම්සා අම්බරුවෝ සහ කම්පා නොවන් මහාමායා ගීත ගයමින් 12 න් පහළ ගායන අංශයේ දක්ෂතම සහ ජනප්‍රියම කිරුළු එකවර හිමිකරගනිමින් දෙරණ ලිට්ල් ස්ටාර් රියැලිටි වැඩසටහන් ඉතිහාසයේ වාර්තාගත ජයක් ලබන්නට සමත් වූ පුංචි තරුවකි. ‘වොයිස් ලැබ් එක’ ලෙස විනිශ්චයේ පැසසුමට ලක්වූ ඇය ගායනයට මෙන්ම රංගනයට සහ නිවේදනයටත් දක්ෂතා දක්වන්නියකි. බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකාවට ඇතුළත් වූයේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වෙමිනි. කායිකව මෙන්ම මානසිකව ද රෝගීන් සුවපත් කරන වෛද්‍යවරියක වීම ඇගේ බලාපොරොත්තුවයි.

සුභාවිත නර්තනය රියැලිටි වේදිකාවට ගෙන ඒමට නොහැකි බව පවසන ඕනෑම අයෙකුට අභියෝග කරමින් සුභාවිත නර්තනයේ හැඩය ලෙසින් ඉහළම ප්‍රතිචාර ලබා 8න් පහළ නර්තන අංශයේ දක්ෂතම තරුව බවට පත් වු දෙව්ගි තරුමිලා සත්හැවිරිදිය. කඩුවෙල බප/ජය/ යශෝධරා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය කලා පරිසරයකින් පැවැත එන සහජ කුසලතාවන්ගෙන් පිරිපුන් දියණියකි. පිවිතුරු සඳකැන් ගුරුතුමාගේ ගුරුහරුකම් ලබමින් පියාගේ අනුදැනුමින් නර්තනයේ උපරිම දක්ෂතා දැක්වූ ඇය සිය ජයග්‍රහණය සනිටුහන් කර ගත්තාය.

අපේකම රැකගනිමින් දේශීය නර්තනය අනාගතයට ගෙන යන මහා සිංහයා ලෙසින් ප්‍රතිචාර ලද රදීන් රන්දිව් නර්තනයේ උපන් හපන්කම් ඇති පොඩිත්තෙකි. ප්‍රේක්ෂක මනාපයෙන් නර්තන අංශයේ ජනප්‍රියම තරු කිරුළ මෙන්ම තරග අංශයේ අනුශූරතාවයේ හිමිකරුවා ද ඔහුය. පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන රදීන් කොට්ටාව නුපුර රංගායතනයේ අමිල ඉලුක්කුඹුර නර්තනාචාර්යවරයාගෙන් පුහුණුව ලබා මෙම ජයග්‍රහණයේ හිමිකරුවා විය.

බඹර, මානක්කම් ගහන, වෙස් කැරකැවීමෙහි ශූරයකු වූ බිනර නිම්සර දේශීය නැටුම් කලාවේ අනාගත අංකුරයකි. තම නර්තන අංගයට විවිධත්වයක් එක් කරමින් නිරතුරුවම ‘අප්ඩේට් නැට්ටුවා’ වන බිනර අඛණ්ඩව ඉහළම ප්‍රතිචාර ලබමින් විනිශ්චය මණ්ඩලයේ දැඩි පැසසුමට ලක්වූ තරගකරුවෙකි. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුවකු වන ඔහු අධ්‍යාපනයෙහිද දක්ෂයෙකි. ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ බිනර පාසලේ බාහිර කටයුතුවල ද කැපී පෙනෙන චරිතයකි. කවිඳු දිල්හාන් කුරුප්පු ගුරුතුමා යටතේ නර්තන පුහුණුව ලබමින් ජවසම්පන්න නර්තනයක යෙදෙන බිනර දේශීය නර්තන අනාගතයට හොඳ ආයෝජනයකි.

ඉන්දියානූ සම්ප්‍රදායේ ශාස්ත්‍රීය කොටස් ඉතාම පිරිසුදු ලෙස තම නර්තනයට යොදාගත් ශනුකි දිනුදා දේශීයත්වය ද එයට මුසු කොට දේශීය සහ ඉන්දියානු සම්ප්‍රදායන් අතර ප්‍රේක්ෂකයා දෝලනයට ලක් කළාය. එයට නූතනත්වය ආදේශ කරගනිමින් නව ලොවට අවැසි පරිදි වේදිකාව මත කොමර්ෂල් ආර්ට් එකක් නිර්මාණය කරමින් වැඩිම ජනතා මනාපයෙන් ජනප්‍රියම තරුවට හිමි කිරුළ මෙන්ම අනුශූරතාව ද හිමි කර ගන්නට ඇය සමත් වූවාය.

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශනුකි කොට්ටාව නුපුර රංගායතනයේ අමිල ඉලුක්කුඹුර ගුරුතුමා යටතේ නර්තනය හදාරන්නීය. ඇයට නර්තන අංගයන් නිර්මාණය කර දී තිබුණේ අංජානි සරණිකා ගුරුතුමියයි. වයලීන්, ඕගන් වාදනයෙහි දක්ෂතා දක්වන ඇය ළමා හඬකැවීමේ ශිල්පිනියක් ලෙසත් ජනප්‍රිය වී සිටී. මහරජ කංසාහි පුංචි රාධාට හඬ කවමින් සම්මාන ලබා ඇති ඇය හිරු එෆ්. එම්හි යශෝධරාගේ ළමා කාලයට හඬ මුසු කරමින් දෙරණ එෆ්. එම්. හි සේයා ද විය.

නර්තනයෙන් ගායනයෙන් මෙන්ම විවිධ හැකියාවන්ගෙන් ඉදිරියට පැමිණි ‘දෙරණ ලිට්ල් ස්ටාර් 11 වැනි අදියර‘ ජයග්‍රාහී දරු දැරියන්ට අපි ද සුබ පතන්නෙමු.

Comments