වීසා ලැබුණේ ජුලි 28 වැනිදා තරග පටන් ගත්තේ අගෝස්තු 01 වැනිදා ගියේ 31 වැනිදා | සිළුමිණ

වීසා ලැබුණේ ජුලි 28 වැනිදා තරග පටන් ගත්තේ අගෝස්තු 01 වැනිදා ගියේ 31 වැනිදා

 

අද ඇතැම් රාජ්‍ය නිලධාරීන් වගකීමක් අරගෙන වැඩ කරන්නේ නැහැ. ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට යන්න අපේ දරුවන්ට වීසා ලැබිලා තියෙන්නෙ ජුලි 28 වැනිදා. තරග පටන් ගන්නේ අගෝස්තු 01 වැනිදා. මේ දේවල්වලට මැදිහත්වෙලා වැඩ කරලා දෙන්න ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන්න ඕනෑ. එතුමා පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙළට ගිහින්. ඒ වගකීම අරගෙන කටයුතු කරන්න කෙනෙක් ඉඳලා නැහැ. ක්‍රීඩා අධ්‍යක්ෂ විජේරත්නට ඒ ගැන බලන්න කිව්වම එයා කිව්වලු, අද සෙනසුරාදා නිවාඩු, මම විවේකයෙන් ඉන්න දවස කියලා. මෙන්න අපේ අමාත්‍යංශයේ නිලධාරින්ගේ තත්ත්වය...”

ඒ වදන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගේ ය. ගුවන් ප්‍රවේශපත් නිසි පරිදි වෙන් නොකිරීමේ ගැටලුවක් හේතුවෙන් කොලම්බියාවේ පැවැති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අහිමි වීමට ගිය ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල කණ්ඩායමට ක්‍රීඩා උලෙළට එක් වීමේ අවස්ථාව අවසන් මොහොතේ උදා වූයේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගේ මැදිහත් වීමෙනි.

“මේ අය සම්බන්ධයෙන් විනයානූකූල පියවර ගන්නවා. කඩිනමින් මලල ක්‍රීඩා සංගමයේ නිලධාරින් වැඩ තහනමට ලක් කරලා ඉදිරි විමර්ශන කටයුතු කරන්න පියවර ගන්නවා” යැයි ද ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

කොලොම්බියාවේ පැවැති රටවල් 145ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ අවසන් වූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ලාංකේය මලල ක්‍රීඩාවේ අනාගතය බඳු කනිෂ්ඨ (20 න් පහළ) කණ්ඩායම එක් වුයේ අවසන් මොහොතේදීය. ඒ ලාංකේය ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ගුවන් ටිකට්පත් වෙන් කරගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. මෙකී තරගාවලියට සුදුසුකම් ලැබු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් ලැබෙන්නා වු මෙකී අවස්ථාව අහිමි වූයේ නම් එතරම් අපරාධයක් තවත් නොවනු ඇත‍.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකු විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් සහභාගී වූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මීළඟ වටයට යෑමටවත් නොහැකිව නරඹන්නන් වීම ලාංකේය ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයකි. අනාගතය සඳහා සෑම විටම තරු බිහි කරන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය වැනි තරගාවලි සඳහා වියදම් කිරීමට මුදල් ඉතිරි කර ගනිමින් කුඩා ශක්තිමත් කණ්ඩායමක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට යැවීමට නොහැකිව ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න පැහැදිලිය.

බොහෝ දෙනා ප්‍රබල ඕල් බ්ලැක්ස් කණ්ඩායමට එරෙහිව එක් උත්සාහක දිනුමක් පමණක් ලබා ගැනීම සැමරීම දැකීම කනගාටුවට කරුණකි. අපි එකී අදියරෙන් බොහෝ දියුණු විය යුතු අතර, එකී උත්සාහක දිනුම සමරනවා වෙනුවට අනාගතයේදී ඔවුන්ව පරාජය කිරීමට අවධානය යොමු කළ යුතුය.

මලල ක්‍රීඩා අනාගතය සඳහා ආයෝජනය නොකරන්නේ මන්ද යන්නද ගැටලුවකි. ඔවුන් මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය බව බොහෝ දෙනකුට මේ මොහොතේ අමතකය. මේ දුෂ්කර කාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා කුඩා නමුත් ශක්තිමත් කණ්ඩායමක් යැවීමෙන් අපට මුදල් ඉතිරි කර ගැනීමට නොහැකි වූයේ සැලැස්මක් නැති නිසාම පමණක් නොව අනාගතයේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණවලදී අද වියදම් කරන සෑම දෙයක්ම හොඳ ආයෝජන වන බැවිනි.

ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට මෙරට නියෝජනය කරමින් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අදාළ මුදල් වෙන් කර තිබුණද මලල ක්‍රීඩා ආයතනයේ භාණ්ඩාගාරිකවරයා ද ඒ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට එක්ව සිටියේය. ලෝක මලල ක්‍රීඩා ආයතනයෙන් අදාළ වීසා පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ලේඛන අයැදුම් කළද පවතින තත්ත්වයන් හේතුවෙන් එම ක්‍රියාවලිය පමාවිය.

කෙසේ වෙතත් වීසා ලැබෙන තුරු ප්‍රවේශ පත්‍ර වෙන් කර නොගැනීම හේතුවෙන් මෙම ගැටලුව මතුවූ බව වාර්තා විය.

අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියට සුදුසුකම් සැපිරූවේ මීට මාස කිහිපයකට පෙර වුවද අවසන් මොහොත තෙක් සිටීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමකි. කනිෂ්ඨ ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ජීවිතයේ ලැබෙන විශාලම ජයග්‍රහණයක් ලෙස ලෝක ශූරතා තරගාවලියකට සහභාගී වීමේ අවස්ථාව සැලකිය හැකිය.

එවකට මිලදී ගැනීමට වෙන්ව තිබූ ප්‍රවේශ පත් අලෙවි වී තිබීම හේතුවෙන් අධික මිලකට ප්‍රවේශපත් ලබා ගැනීමට සිදුවුවත් එය ද ඒ වන විට ගැටලුවක් විය.

තරගාවලියේ පළමු දිනයේදීම මෙරට ක්‍රීඩිකාවකට හා ක්‍රීඩකයන් දෙදෙනකුට මූලික තරග සඳහා සහභාගී වීමට සිදුවූ පසුබිමක තරගාවලියට දින දෙකක් තිබියදී මේ තත්ත්වය උදා විය. අගෝස්තු පළමු වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා හත් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙකී තරගාවලියට එක් වුයේ කණ්ඩායම් දෙකක් වශයෙනි.

ඒ අනුව, 31වැනිදා තරුෂි කරුණාරත්න (මී.400/800), පසිඳු මල්ෂාන් (තුන් පිම්ම පැනීම), අමේෂා හෙට්ටිආරච්චි (මී.400 කඩුලු මතින් දිවීම), ධනුක දර්ශන (මී.400 කඩුලු මතින් දිවීම), රුමේෂ් තරංග(හෙල්ල විසි කිරීම) ප.ව.8.30ට කොලොම්බියාව බලා පිටත් වූ අතර, තරුෂි කරුණාරත්න 30 වැනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිතව තිබුණද සුළු අතපසුවීමකින් ඇයට ගුවන් යානය මගහැරුණේ ඇයගේ පදක්කම් බලාපොරොත්තුවක්ව තිබූ මීටර් 800 ඉසව්වේ මුලික වටයට සහභාගී වීමේ අවස්ථාව ද අහිමි කරමිනි. අලුයම 1.15ට කැලි නුවරට පැමිණ උදෑසන 9.50ට තරග බිමට එක්වූ තරුෂි, ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර මූලික වටයේ තෙවැනි තරගයේ සිවුවන ස්ථානය හිමිකර ගත්තේ තත්පර 54.13ක කාලයක් වාර්තා කරමිනි. පැය 25කට අධික වෙහෙසකර ගුවන් ගමනකට පසු පැය කිහිපයක විවේකයක් පමණක් ලද තරුෂි දැක්වූ මෙම දක්ෂතාව ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රමාද කර තම ප්‍රධාන ඉසව්ව වන මීටර් 800 ඉසව්ව අහිමි කළ මෙරට ක්‍රීඩා පරිපාලකයන්ට ලබාදුන් කදිම පිළිතුරකි.

අගෝස්තු මස 01 සිට 06 වැනිදා දක්වා කොළොම්බියාවේ කැලි නුවර පැවැති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනා වූයේ කවීෂ බණ්ඩාර - (රාජකීය විද්‍යාලය), කොළඹ මීටර් 110 කඩුලු පැනීම, කේ.ඩී.එම්. දර්ශන - (අඹගමුව මහා විද්‍යාලය) මීටර් 400 කඩුළු පැනීම, හිරූෂ අබේසේකර - (සාන්ත පීතර වි) කොළඹ දුර පැනීම, පසිඳු මල්ෂාන් - (සාන්ත ජෝසප් වි) කොළඹ තුන් පිම්ම, රුමේෂ් තරංග - (සාන්ත පීතර වි) හෙල්ල විසි කිරීම, තරුෂි කරුණාරත්න - (වලල ඒ රත්නායක වි) මීටර් 400 , මීටර 800 ,අමේෂා හෙට්ටිආරච්චි - (විහාරමහාදේවි මහනුවර) මීටර් 400 කඩුලු පැනීම ඉසව් නියෝජනය කරමින් තරගාවලියට එක්වුහ.

Comments